GSP + අවුරුදු තුනෙන් ඉවර වෙන්නේ නැහැ

May 19th, 2017 | By | Category: OTHER NEWS, මොකක්ද මේ GSP+, සමබිම ඉරිදා අතිරේකය

පසුගිය කාලයේ ජීඑස්පී ප්ලස් සහනය බාල්දු කරමින් කතා කළ බොහෝ දෙනෙකු කිව්වේ මේ සහනය ලැබෙන්නේ අවුරුදු තුනකට බැවින් මොකට මේ හැටි නැහෙනවාද කියාය. ඔවුන්ට අනුව 2020 වන විට ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයේ රටක් බවට පත් වීමට නියමිතය. ඉන් අනතුරුව සම්පූර්ණයෙන් තීරු බදු ඉවත්වන ජීඑස්පී ප්ලස් සහනය පමණක් නොව දැනටමත් ශ්‍රී ලංකාව ලබමින් සිටින තීරු බදු සහන සහිත ජීඑස්පී සහනය පවා ලැබීමට ශ්‍රී ලංකාව සුදුසුකම් නොලබන බවයි. එහෙත්, මේ විශ්වාසය සත්‍යයෙන් බොහෝ දුරස්තය. ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයන් වන අනුෂ්ක විජේසිංහ සහ ජයනි රත්නායක විසින් රචනා කොට ඬේලි මිරර් පුවත්පතේ මැයි 18 දින පළ වූ ලිපියෙහි නිවැරදිව පැහැදිලි කරන පරිදි සහනය ලබාදීමෙන් අනතුරුව වසර දෙකක් ගිය තැන යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව එකඟවී ඇති මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ ආණ්ඩුකරණයට අදාළ ප්‍රතිසංස්කරණයන් සිදු කර “ප්‍රගතිය”ක් ලබා ඇත්දැයි මැන බැලීමට කාලාන්තර සමාලෝචනයක් පවත්වනු ලැබේ. එම සමාලෝචනයේදී ශ්‍රී ලංකාව ප්‍රගතිය කරා යන බව තහවුරු වුවහොත් ජීඑස්පී ප්ලස් සහනය දිගටම භුක්ති විඳීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි. කෙසේ වුවද, දැනට “පහළ මධ්‍යම ආදායම්” කාණ්ඩයේ රටක් ලෙස ලෝක බැංකුව විසින් වර්ගීකරණය කොට ඇති ශ්‍රී ලංකාව “ඉහළ මධ්‍යම ආදායම්” කාණ්ඩයේ රටක් බවට පත්වී, එම තත්ත්වයෙහි වසර තුනක් එක දිගට පැවතුණහොත්, ශ්‍රී ලංකාව තවදුරටත් ජීඑස්පී ප්ලස් සහනය ලැබීමට පමණක් නොව ජීඑස්පී සහනය ලබා ගැනීමට පවා හිමිකම් නොකියයි. නමුත් මෙහිදී පවා වසර දෙකක සහන කාලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිය. ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආර්ථික කාණ්ඩයට උසස් වීමක් ලබනු ඇත්ද යන්න ඉදිරි අවුරුදු කිහිපය තුළ අපගේ ආර්ථිකයේ වර්ධන වේගය, මුදලේ වටිනාකම සහ ලෝක බැංකුව විසින් සිදුකරන වර්ගීකරණයෙහි ශ්‍රී ලංකාව ලබන ස්ථානය ආදී සාධක කිහිපයක් මත රඳා පවතියි. ආර්ථික වර්ධන වේගය අඩු වීම සහ මුදල අවප්‍රමාණය වීම වේගවත්වීම මත උසස්වීම ලැබීමට ගත වන කාලය වැඩි විය හැකිය.

production_intro1

Recent Posts

Tags: , , , , ,

Leave a Comment