අපටත් වැසිකිළියක්

May 22nd, 2017 | By | Category: OTHER NEWS, Today Lead News

අලුත් භාවිතාවක් සමාජය තුළ තහවුරු කරන්න කොයිතරම් අමාරුද කියල කල්පනා කරන කොට මට මතක් වුණේ පොඩි කාලේ කියවපු කෙටි කතා පොතක තිබුණ කතාවක්. ඒ තමයි කේ. ජයතිලක මහත්තයාගේ ‛බොඳ වුණු සිත්තම’ කෙටිකතා පොතේ “අපටත් වැසිකිළියක්” කියන කෙටිකතාව.

මේ කතාව ගෙතී ඇත්තේ 1924 වගේ කාලවකවානුවක පිටිසර ගමක ජීවත් වුණු පවුලක් පිළිබඳවයි. මේ කාලයේ ලංකාව පුරා කොකුපණු රෝගය පැතිරිලා එයින් විශාල පිරිසක් රෝගී වෙලා සහ මරණයට පත්වෙලා තිබුණා. කොකුපණු රෝගය හැදෙන්නේ කොකුපණු බීජාණු මිනිස්සුන්ගේ ශරීරයට ආහාර මඟින් හෝ ජලය මඟින් ඇතුළු වුණාමයි. කොකුපණු බීජාණු පරිසරයට එකතු වන්නේ මිනිස්සුන්ගේ මළපහ මගින්. මේ කාලයේ ගම්වල හුඟාක් අය වැසිකිළි භාවිතා කළේ නැහැ. මේ හේතුව නිසා ගම් ප්‍රදේශ ආශ්‍රිතව මෙම කොකුපණු රෝගය වසංගතයක් විදිහට පැතිරිලා ගියා.

මේ වසංගතය මර්දනය කරන්න ඒ කාලයේ තිබුණු යටත්විජිත ආණ්ඩුව කෙටිකාලීනව රෝගීන්ට ප්‍රතිකාර කරන ගමන් දීර්ඝකාලීනව මේ වගේ වසංගතයක් ඇතිවන එක නවත්තන්න ජනතාවට වැසිකිළි භාවිතය හඳුන්වා දෙන්න තීරණය කළා. ඒ තීරණය ක්‍රියාත්මක කළේ මහජන සෞඛ්‍ය නිලධාරීන්, එහෙමත් නැත්නම් දන්න සිංහලෙන් කියන විදිහට සැන්ටිපෝට් මහත්වරුන් හරහා. දුර බැහැර පිටිසර හුදකලා ගම්මානයකට රජයේ නිලධාරියකුගේ පැමිණීම නිසා ගැමියන්ගේ ජීවිතවලට සිදුවුණු බලපෑම මේ කතාව හරහා අපූරුවට දිගහැරෙනවා.
“මේ ගෙදර වැසිකිළියක් තියෙනවාද?” තාත්තා යළිත් උඩ බිම බලයි. “මේ ගෙදර කක්කුස්සියක් තියෙනවාද?” “නෑ…” “සුමාන දෙකක් ඇතුළත වැසිකිළියක් හදන්න ඕනෑ. මම ආයිමත් සුමාන දෙකකට පස්සේ එනවා. එතකොට වැසිකිළියක් හදලා නොතිබුණොත් නඩු දානව. එහෙම කළොත් උසාවි ගිහින් දඩ කන්න වේවි.”

 

hhhh

කතාවට අනුව සැන්ටිපෝට් මහත්තයාට නැත්නම් සෞඛ්‍ය පරීක්ෂකවරයාට රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්න වුණේ එහෙමයි. මුළු ජීවිත කාලය තුළම වැසිකිළියක් භාවිතා නොකළ ගම්වැසියන් මෙහිදී මහත් අපහසුතාවයට පත්වුණා. මෙතෙක් තමන් ගත කරමින් ආ නිස්කලංක ජීවිතය බාහිර බලවේගයක් මගින් අභියෝගයට ලක්වීම දරා ගත නොහැකි වූ ඔවුන් ඊට ප්‍රතිවිරෝධය පෑවා.
“මෙච්චර කල් නොතිබුණු කක්කුස්සියක් මොකද මේ එකපාරටම ඕනැ වුණේ. කාගෙහරි මගෝඩියක් වෙන්න ඇති. කාට තියෙන සල්ලිද ඕව හදන්න.” “දැන් ඔය පාර අද්දර නම් හැම ගෙදරකම කක්කුස්සි හදල තියෙනව. නැති එවුන්ට දඩ ගහලත් තියෙනව.” “පාර අයිනෙ එහෙම එකක් තියෙන එක හරි. මොකද එහෙ කැලෑ තියෙනවද? මේ කැලෙන් වටවෙලා ඉන්න අපට මොන කක්කුස්සි ද?”

අපේ රටේ මානව හිමිකම් තහවුරු කරන්න ගෙන යන වැඩපිළිවෙළත් මේ වගේ කියලා මට හිතෙනවා. මානව හිමිකම් ගැන කතා කරද්දි සමහරුන්ට නයාට අඳු කොළ වගේ. මොකද ඒ අය තමයි රටේ මිනිස්සුන්ගේ මානව හිමිකම් කඩ කරන්නෙ. නමුත් උදේ හවස මානව හිමිකම් කඩවෙලා ඒවායින් පීඩාවට පත්වෙන පොදු ජනතාවත් ‛කැලෙන් වටවෙලා ඉන්න අපිට මොන අයිතිවාසිකම් ද ඕයි’ කියලා අහනකොට එහෙමත් නැත්නම් ‛මෙච්චර කල් නොතිබිච්ච මානව හිමිකමක් මොකද එකපාරටම ඕන වුණේ. කාගේහරි මගෝඩියක් වෙන්න ඇති. කාටහරි පිටරටකින් සල්ලි හම්බවෙන්න ඇති මානව හිමිකම් ගැන කතා කරන්න’ කියලා කියන කොට මානව හිමිකම් ගැන වැඩ කරන්න යන කට්ටිය අසරණ වෙනවා. ඇත්තටම මානව හිමිකම් කියන්නේ මනුෂ්‍යයෙකුට ගෞරවාන්විතව ජීවත්වීමට රට තුළ පවත්වා ගත යුතු යම්කිසි ප්‍රමිතීන් සමූහයක්. මේවා එන්නේ කොහෙන්ද කියලා ඇහුවොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය පෙන්නන්න පුළුවන්.

රාජ්‍යයේ ස්වෛරීභාවය කියන බටහිර දේශපාලන සංකල්පය පිළිබඳව මීට අවුරුදු හැත්තෑවකට අසූවකට ඉස්සර තිබුණ අර්ථ දැක්වීමට අනුව යම් රටක පාලකයන් රට තුළ කරන කිසිම ක්‍රියාවකට වෙනත් රටකට මැදිහත් වෙන්න බෑ. නමුත් 1933 ජර්මනියේ චාන්සලර් පදවියට පත්වුණු ඇඩොල්ෆ් හිට්ලර් දරුණු මර්දන නීති පනවලා දේශපාලන විරුද්ධවාදීන් හා සුළු ජාතිකයින් ඇතුළු තමන්ගේ මතයට එකඟ නොවන ඕනෑම කෙනෙක් වද කඳවුරු තුළ අමු අමුවේ ඝාතනය කරනකොට ඔන්න ඔය කියන රාජ්‍ය ස්වෛරීභාවයට ගරු කරලා අහළ පහළ උදවිය ඇස් කන් පියාගෙන සිටියා. ඔහොම ගිහිං දෙවන ලෝක යුද්ධය 1939 ආරම්භ වෙලා 1945 අවසන් වෙනකොට ලෝකයේ ලක්ෂ හාරසීයක විතර මිනිස්සු මිය ගිහිල්ලා තිබුණා. තුවාල ලැබූ පිරිස සහ දේපළ හානි වූ ප්‍රමාණය ඊටත් වඩා වැඩියි. තවදුරටත් මේ සිදුවීම බලපෑවේ ජර්මනියට විතරක් නෙවෙයි. අපේ රටත් ඇතුළුව ලෝකයේ රටවල් ගණනාවකට මේ සිදුවීම බලපෑවා.

ඒ හින්දා තමයි මේ රටවල් හැම එකක්ම එකතු වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගත්තේ. එහි ප්‍රධාන පරමාර්ථය තමයි මානව හිමිකම් රැකගැනීම සහ ලෝක සාමය පවත්වා ගැනීම. රටක් තුළ මානව හිමිකම් උල්ලංඝනය වීම ලෝක සාමයට බරපතළ ලෙස බලපාන නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය 1948 අවුරුද්දේ මිනිසෙකුට තිබිය යුතු යැයි කියලා විශ්වාස කරන අයිතිවාසිකම් එක ලේඛනයකට ගොනු කළා. ඒක තමයි ‛මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනය’. මානව හිමිකම් තහවුරු කරන්න අවශ්‍ය උපදෙස්, මූල්‍යාධාර, තාක්ෂණික සහාය සහ අධීක්ෂණය කිරීමේ වගකීම එහි සාමාජික රටවල් ඔක්කොම එකතු වෙලා පවරලා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතයි.

කිසියම් රටක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු වෙන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඊට අදාළ ගිවිසුමක් අත්සන් කරලා. එහෙම කළාට පස්සේ අදාළ රටේ මානව හිමිකම් තත්ත්වය අධීක්ෂණය කිරීමේ බලය ඒ රට විසින් සිය කැමැත්තෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවරනවා. එක අතකින් මේක ස්වේච්ඡාවෙන් තමන්ගේ ස්වෛරීභාවය සීමා කර ගැනීමක්.

කොටින්ම මේකෙන් පස්සේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව පරීක්ෂා කරන්න සැන්ටිපෝට් මහත්තයා එන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉඳලා.

පාර අයිනේ අය වැසිකිළි හදාගෙන ඒවා පාවිච්චි කළාට ගම ඇතුළේ අය පුරුදු විදිහටම කැලේට යනවා නම් ආයෙමත් කොකුපණු රෝගය, කොළරාව වසංගතයක් වෙන එක වළක්වන්න බැහැ. ඒක හින්දා ඔක්කෝම වැසිකිළි භාවිතා කරන්න පටන් ගත්ත දවසටයි වසංගතය පැතිරෙන එක නවතින්නේ.

ආයෙමත් අපි කතාව දිහාවට හැරුණොත්, වැසිකිළියක් සෑදීමට උනන්දුවක් නොදැක්වුවාට නැවත සැන්ටිපෝට් මහත්තයා එනවා කියලා ආරංචි වුණාම අපේ කතා නායකයා බාස් කෙනෙක් ගෙනැල්ලා වැසිකිළියක් හදන්න ලෑල්ලක් දාම්මා. ඇත්තටම ඒ වැසිකිළියක් පාවිච්චි කරන්න තියෙන වුවමනාවට නෙවෙයි නඩු දානවාට බයේ.

ඔන්න මාස කිහිපයකට පස්සේ සැන්ටිපෝට් මහත්තයා මේ ගෙදරට ගොඩ වුණා. “කෝ වැසිකිළිය හැදුවද?” ඔහු ගිගුරුවේය. “තවම ඉවර නෑ.” “ඉවර නෑ කියන්නෙ හදන්න පටන් ගත්තද?” “ඒකට තමයි මේ ලෑල්ල දැම්මේ” “ලෑල්ල දැම්මට වැසිකිළියක් හැදෙනවද මිනිහො” “නෑ ආයිබොවන්, මේ දවස් ටිකේ එක දිගටම කුඹුරු වැඩ තිබුණ. ඒකයි ඉවර කරන්න බැරි වුණේ” “ඕව ගිහින් කියනව මට නෙවෙයි උසාවියට. කෝ වළ කපලද?” තාත්තා උඩ බිම බැලීය. “තවම නෑ” යි අනතුරුව කීය. “වළ කපන්න පටන් ගත්තෙවත් නැතුවයි තවම නෑ ගෑවෙ, තව සුමාන දෙකකින් වැඩ ඉවර කරල නොතිබුණොත් බලා ගත හැකි කාටද වරදින්නෙ කියල.” “හැම දෙනාම ලෑලි දමන හින්දා දැම්ම මිසක වළක් ඕනැයි කියල මට නම් කල්පනාවක්වත් උණේ නෑ” යි සෞඛ්‍ය පරීක්ෂකවරයා පිටත්ව ගිය පසු තාත්තා තනියම කීය.

වැසිකිළි තැනීමට කිසිම උනන්දුවක් නොගත් කිහිප දෙනෙකුටම නඩු පැවරීමට ලියාගෙන ගිය බව සැලවූයෙන් පසුවදාම වළක් කැපීම ආරම්භ කරන ලදී. එය තාත්තාටම කළ හැකි දෙයක් වූයෙන් උපදෙස් හැරෙන්නට වෙන උදව්වක් කිසිවෙකුගෙන් අවශ්‍ය නොවීය. වළෙන් පසු නැවතත් වැඩ නතර විය. ඒ, මෙවරත් සෞඛ්‍ය පරීක්ෂක සති දෙකක් ඇතුළත නොපැමිණි බැවිනි. එහෙත් හය මසකට පමණ පසු යළිත් ඔහු ගෙදරට පාත්වූ කළ ගැලවී ගත හැකි වූයේ නොවඳින වැඳුම් වැඳ කෙසේ හෝ තව සති දෙකක් ඇතුළත වැසිකිළිය තනා නිමකරන බවට පොරොන්දුවක් දීමෙන් ඉක්බිතිවය. තවදුරටත් මෙය කල් දැමිය නොහැකිය. අඩක් වැඩ අවසන් කර ඇති නිසා එසේ කල් දැමීමේ තේරුමක් ද නැත. නඩු, උසාවි යනු බොහෝ ගැමියන්ට මෙන්ම තාත්තාට ද නරකය වැනි භයානක තැනකි. මේ නිසා ගෙදරට පුංචි පැටියෙකු ඇති වූවාක් මෙන්, ගේ කිට්ටුව පුංචි වැසිකිළියක් තැනිණ.

වැසිකිළිය තනා නිම වූ නමුත් අපි කිසිවෙක් එය පාවිච්චි නොකළෙමු. නීතියෙන් ගැලවීමට, සෞඛ්‍ය පරීක්ෂකටත් අපටත් අවශ්‍ය වූයේ ගොඩනැඟිල්ල පමණකි.

“විය පැහැදම් කොට මහන්සි වී වැසිකිළියක් තනා අලංකාරය සඳහා තබා ගැනීමේ තේරුම කුමක්ද? කැලෑ රොදට වදිද්දී වරක් දෙකක්ම පයට දැනුණු පිළිකුල් ස්පර්ශය මතක් වන විටත් හිරිකිතයක් ඇති කරලයි”

ලංකාව තුළ සිදුවෙන මානව හිමිකම් උල්ලංඝනයන්, පැහැරගෙන යාම්, පහරදීම්, වදදීම්, මරාදැමීම් වැනි දෑ සමඟ අප කිසිවෙකු පෞද්ගලිකව එකඟ වන්නේ නැත. නමුත් ජීවිතය පුරාවට අපි මෙම පිළිකුල් සහගත අත්දැකීම් සමඟ ජීවත්වෙමු. එම පිළිකුල් සහගත අත්දැකීම් සාධාරණීයකරණය කිරීමට පාතාල මර්දනය, ජාතිය සහ ආගම ආරක්ෂා කිරීම, ත්‍රස්තවාදය පරාජය කිරීම වැනි හුඟක් තර්ක ඉස්සරහට දමමින් අපි විසින්ම නිර්මාණය කරගත්ත කතන්දර ගොඩක් තුළ ජීවත්වෙමු. හැමදාම අත්විඳින මෙම පිළිකුල් සහගත සිදුවීම්වලට එරෙහිව සමාජයක් ලෙස එකමුතු වෙන දිනය දක්වා අපට වැසිකිළි තියාගෙන කැලෑ රොදට වදින්න සිදුවනු ඇත.

සම්පත් පුෂ්පකුමාර

Recent Posts

Tags: , , , , ,

Leave a Comment