ලොකුම ගොඩ

May 22nd, 2017 | By | Category: LEAD NEWS, Today Lead News

_74 SAMABIMA- 2017-April-May-1

සිංහල අලුත් අවුරුද්ද අවසන් වූයේ මීතොටමුල්ල කුණු ගොඬේ ඛේදවාචකයෙනි. මැයි මාසය පටන් ගත්තේ කම්කරු දිනයටය. කොළඹට (නුවරට) ගෙන්වන ලොකුම ගොඩ කාගෙද යන්නෙනි. අවුරුද්දට කොළඹ මිනිස්සු ගමට යන අතර මැයි පළවෙනිදාට ගමේ මිනිස්සු කොළඹ එති. සිංහල අවුරුද්ද පෞද්ගලික ජීවිතවල චාරිත්‍රයක් නම් මැයි පළවෙනිදා යනු දේශපාලන ජීවිතයේ චාරිත්‍රයකි. ගෙදරදී කුණු පෞද්ගලික දෙයක් වුවත් අප ඒවා පාරට දැමු පසු සමාජයේදී එය කුණු ගොඩවල් (කදු) බවට පත්වේ. ඒ කුණු කඳු කඩා වැටෙන්නේ තවත් අප වැනිම මිනිසුන් පිරිසකගේ හිස මතටය. කෙනෙකු ජාතිවාදී හෝ ආගම්වාදී වීම පෞද්ගලික කාරණයකි. එහෙත් එම ජාතිවාදය පාරට ගෙන ගොස් ගෝල් ෆේස් පිටිය වැනි විවෘත තැනක ගොඩ ගැසුවහොත් එයද මීතොටමුල්ල කුණු කන්ද මෙන්ම කඩා වැටෙන්නේ තවත් මිනිසුන් පිරිසකගේ හිස් මතටය. වරක් උතුරේදී නොගිණිය හැකි මිනිස් හිස් ගොඩක් උඩට ඒ කුණු ගොඩ කඩා පාත් වූ අතර පසුව අලුත්ගමදී තවත් පිරිසක් මතට ඒ වැනි කුණු කන්දක් කඩා වැටිණි. ගෙදර කුණු රැගෙන ගොස් ප්‍රතිචක්‍රීකරණය කිරීම නගර සභාව විසින් සිදු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා සේම ජාතිවාදී කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම ආණ්ඩුව විසින් සිදු කළ යුතුය. ඒ අනුව මැයි දින චාරිත්‍රය අපට වැදගත් වන්නේ එහිදී මිනිසුන්ගේ හිස මතට තවත් කුණු ගොඩක් අතහැරියාද නැතිනම් තිබූ කුණු ගොඩවල් සෝදා හැරියාද යන්නෙන් මිස පැමිණි මිනිසුන් ගණනෙන් නොවේ. මේ කුණු ගොඩවල් ඉවත් කිරීමට දේශපාලනය අසමත් වන්නේ නම් සිවිල් සමාජය එයට නායකත්වය දිය යුතුය. මීතොටමුල්ල කුණු ගොඩ මෙන්ම ජාතිවාදී, වර්ගවාදී, ආගම්වාදී, ලිංගවාදී කුණු ගොඩද සමබිමකට එකසේ බාධාවකි. ඇති තරම් කුණු කඳු ඔළුවට පාත් වුනත් තවම අප එය මොළයට ලාභයක් කරගෙන තිබෙන ප්‍රමාණය ප්‍රමාණවත් නැත. එම නිසා මෙවර ‘සමබිම’ ඔළුවට කුණු ගොඩක් කඩා වැටීම මොළයට ලාභයක් කර ගැනීම වෙනුවෙනි.

නිතිඥ ප්‍රබෝධ රත්නායක

කියවන්න සමබිම 2017 මැයි කලාප https://goo.gl/rNEISc

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment