සීල් මත්ස්‍යයන්ගෙන් පාඩමක්

May 23rd, 2017 | By | Category: OTHER NEWS

Thumbnail_Wayne_Huizenga

උතුරු අප්‍රිකාවේ තියෙනවා සීල් මත්ස්‍යයන්ගේ පාරාදීසයක් වෙච්චි දූපතක්. බොහෝ දුරට කළු ගලක්. සීල් මත්ස්‍යයන් ජීවත් වෙන්නෙ කළු ගල උඩ. එතන ඔවුන්ට කෑම නැහැ. හැබැයි ඒකෙන් යට මුහුදේ ඔවුන්ට කෑමට ගන්න පුළුවන් ලක්ෂ ගණං සාඩින් මත්ස්‍යයන් ඉන්නවා. හැබැයි මේ සීල් මත්ස්‍යයන්ට ගැටලුවක් තියෙනවා. ඒ තමයි ඔවුන් සාඩින්ලා අල්ලං කන්න මූදට බැස්සොත් ගැඹුරු මුහුදේ ඉන්න දරුණු සුදු මෝරු ඔවුන්ව අල්ලං කනවා. ඉතින් සීල් ලා මුහුදට බහින්නෙ නැතුව බඩගින්නෙම වේලි වේලි ඉන්නවා.

ඉවස ගන්නම බැරි තැනක් ආවාම මුලින්ම සීල් ලා කීප දෙනෙක් මුහුදට පනිනවා. ඒ වගේම ඒ පනින අය මෝරුන්ට බිලි වෙනවා. හැබැයි මෝරු මුල් සීල් ලා කීප දෙනාව අල්ලං කෑවට පස්සේ ඉතුරු සීල් ලාට බයක් නැතුව මූදට බැහැලා සාඩින්ලා අල්ලං කන්න පුළුවන් වෙනවා. අර මුල් සීල් ලා මූදට පනින්නෙ තමුන්ගෙ බඩගින්න වෙනුවෙන් නොවුණත් ඔවුන් මෝරුන්ට බිලි වෙලා ඉතුරු අයට වඩා හොඳින් අනාගතයට යන්න සුදුසු තත්ත්වයක් නිර්මාණය කරනවා.

Keerthirathna-200x300

ඛේදවාචක සිදුවීම නරකයි තමයි. ඒවා වෙන්න ඉඩ ඇරලා බලාගෙන ඉඳලා ඔන්නොහෙ කමක් නෑ කියලා හිත හදා ගන්න ඉඩ දෙන්න බෑ තමයි. ඒත් ඛේදවාචකවලින් දිවි පිදූවන්ගෙ ජීවිතවලට වටිනාකමක් ලැබෙන්නනං ඒවායෙන් ඉගෙන ගන්න වෙනවා. යළි එවැනි දේ සිදු නොවෙන්න කළ හැකි සෑම දෙයක් ගැනම සිතමින් අනාගතය නිර්මාණය කරන්න ඉඩක් ලැබෙනවා. මිනිස් ජීවිත පූජාවකට පස්සෙ ගොඩනැගෙන එහෙම ඉඩකඩ මග හරින එක කුණු කන්දකට යට වෙලා මිනිස්සුන්ට මිය යන්න ඉඩ තියනවට වඩා අපරාධයක්. වත්ත වටේ කැරකි කැරකි ඉඳලා කොහාට හරි කුණු ටික තල්ලු කරලා දාන්න හදන පාලකයන්ටත් යටවෙලා විස්සක් තිහක් යටවෙලා මැරෙනකංම නොදැක්කා නෑහුණා වගේ ඉන්න ජනතාවකටත් ඒක බරපතළ අභියෝගයක්. ඉතිං එනිසාම ඒ ඛේදවාචකයේ අපට දැනෙන මූලයන් යම් ලෙසකින් හෝ සටහන් කර තැබීම වටිනා බව හිතෙනවා.

Harry-Wayne-Huizenga

වේන් හුසේන්ගා (Wayne Huzenga) කියන්නේ ඇමරිකාවෙ කුණු එකතු කරපු මනුස්සයෙක්. ඒ කියන්නෙ ඇමරිකාවෙ නගර සභාවක කුණු එකතු කරපු මනුස්සයෙක් නෙමෙයි. තමුන් පුද්ගලිකව ගෙයින් ගෙට ගිහිල්ලා කුණු එකතු කරපු මනුස්සයෙක්. ලෝකෙ මිනිස්සු අලුත් ව්‍යාපාර කර්මාන්ත බිහි කරන මූලිකම ක්‍රමය තමයි මිනිස්සු එදිනෙදා ජීවිතේ මූණ දෙන ප්‍රශ්න හඳුනා ගැනීම.

ප්‍රශ්නයක් දැක්කාම ඒ ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කරන්න පුළුවන් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් එහෙම විසඳුමක් අර ප්‍රශ්නය සහිත මිනිස්සුන්ට දීලා ඒ අයගෙන් මුදලක් ඉල්ල ගෙන ලාභයක් ලබා ගන්නවා. ග්‍රැහැම් බෙල් හදාපු ටෙලිෆෝන් එක දශක ගණනාවක් තිස්සෙ ගෙවල්වල සාලෙ මැද්දෙ තියාගෙන මිනිස්සු කෝල් ගත්තා. ඒත් ඒක යන තැනක අරගෙන යන්න බැරි එක කාලයක් යද්දි මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණා. ඉතිං මිනිස්සුන්ගෙ ඒ ප්‍රශ්නය හඳුනා ගත්තු මෝටරෝලා කොම්පැනියෙ මාටින් කූපර් තැන තැන ගෙන යන්න පුළුවන් ආකාරයේ ෆෝන් එකක් නිර්මාණය කරලා මිනිස්සුන්ට විකුණලා ලාභ ලැබුවා. අද අපි හැමෝම සාක්කුවෙ දාගෙන යන මොබයිල් ෆෝන් එක බිහි වුණේ ඒ විදියට.

waste2
මී හරක් එක්ක කුඹුරු හාන එකේ අපහසුතාවය ප්‍රශ්නයක් විදියට අඳුනා ගත්තු රේ විජේවර්ධන ට්‍රැක්ටර් එක නිර්මාණය කළා. මේ වගේ උදාහරණ ලක්ෂ ගාණක්. අදටත් ලංකාවෙත් මේ විදියට ප්‍රශ්න හඳුනා ගන්න පුළුවන් තරුණ පරම්පරාවක් ඉන්නවා. ඒත් ඒ අය කරන්නෙ ප්‍රශ්නය හඳුනා ගැනීම විතරයි. ලාභයක් හෝ වෙනත් අරමුණක් වෙනුවෙන් විසඳුමක් ඉදිරිපත් කිරීමේ ආකල්පයක් එයාලට නෑ. ඒ වෙනුවට එයාලා කරන්නෙ ප්‍රශ්නය හඳුනා ගත්තට පස්සෙ අදාළ තැනට ගිහිං පැදුරක් එළාගෙන වාඩි වෙලා “කෲර ධනේෂ්වර ආණ්ඩුව මේ ප්‍රශ්නය වහා විසඳව්” කියලා මීඩියාවලට පේන්න බෝඞ් ටිකක් උස්ස ගන්නවා. සත පහක වැඩක් වෙන්නෙ නැතුව ප්‍රශ්නය උග්‍ර වුණාට පස්සෙ “හූ හූ ඕකනෙ අපි කිව්වේ. ඕක වෙනවා කියල අපි කලින්ම කිව්වනේ. හූ හූ…” කියලා කෝචෝක් කරනවා.

වේන් හුසේන්ගා (Wayne Huzenga) ඒ විදියට කාටවත් කොචෝක් කරන්න ප්‍රශ්න හඳුනා ගත්තු කෙනෙක් නෙමේ. ඇමරිකාවෙ වීදිවල තියෙන කුණු ප්‍රශ්නෙ ගැන තේරුම් ගත්ත මෙයා උදේ පාන්දර 2.30ට නැගිටලා කලින් ඇරේන්ජ් කර ගෙන තිබුණ විදියට ගෙවල් ඉස්සරහා තියලා තියෙන කුණු එකතු කරනවා. ඊට පස්සෙ දවාලට දැනට එයාට කුණු දෙන්න සෙට් වෙලා නැති ගෙවල්වලට ගිහිං එයාගෙ සේවය ගැන කියලා පහු වෙනිදා ඉඳලා කුණු එයාට දෙන විදියට වැඩපිළිවෙළ හදා ගන්නවා. අද ලෝකෙ තියෙන ලොකුම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කරන සමාගමක් වෙච්චි ‘වේස්ට් මැනේජ්මන්ට් ඉන්කෝපරේෂන්’ එක මෙයා ගොඩනැගුවෙ අන්න ඒ විදියට. අර පහුගිය කාලෙ නානාවිධ වර්ගවල කුණු එක්ස්පර්ට්ලා ප්‍රාදූර්භූත වෙලා කුණු ප්‍රතිචක්‍රීකරණය සහ ඊට අදාළ තාක්ෂණයන් ගැන රොම්බ ටෝක්ස් ඉෂූ කරනවා අපි දැක්කනේ. ඒ තාක්ෂණයන්ගෙන් බොහෝමයක් ඒවා මෙයාගේ සමාගම හෝ එවැනි වෙනත් සමාගම්වලින් ලෝකයට හඳුන්වා දීපුවා. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලවලින් පර්යේෂණ පත්‍රිකා විදියට, න්‍යායන් විදියට ඉදිරිපත් වෙලා මෙවැනි සමාගම් විසින් ප්‍රායෝගිකව ලෝකය ඉදිරියට ගෙන ආ දේවල්.

වේන් හුසේන්ගා මේ දේවල් කළේ ලෝකය වඩා පිරිසිදු ලස්සන තැනක් කිරීමේ ඒකායන අර්ථයෙන් නොවෙන්න ඇති. මොකද කුණු එකතු කිරීමෙන් ව්‍යාපාර ඇරඹූ ඔහු අද වෙද්දි ඇමරිකන් ඩොලර් බිලියන් 2.5ක සෙල්ෆ් වර්ත් එකක් සහිත පුද්ගලයෙක්. ඒත් වඩා වැදගත් වෙන්නෙ ඒ ගමනෙදි ඔහු ලෝකයට දායාද කළ දේවල්. තමුන්ගෙම ව්‍යාපාරයක් පටන් ගැනීමේ වටිනාකම ගැන ඔහුගේ පියා නිතර දුන් අවවාද අනුව ගිහිං කුණු එකතු කිරීමේ ව්‍යාපාරය ආරම්භ නොකළා නං අද ලෝකයේ තියෙන ප්‍රතිචක්‍රීකරණ තාක්ෂණයන් මීට වඩා බොහෝ පසුපසින් වෙන්න ඉඩ තිබුණා.

වැදගත්ම කාරණේ මේ විදියට හිතලා කුණු එකතු කරලා ප්‍රතිචක්‍රීකරණය කරලා ලාභ ලබන්න හිතපු එකම ඇමරිකානුවා වේන් නෙමෙයි. වේන්ගෙ ‘වේස්ට් මැනෙජ්මන්ට් ඉන්කෝපරේෂන්’ එක විසින් මිලදී ගත් කුඩා පරිමාණ කුණු එකතු කිරීමේ සමාගම් එකසිය පණහකට වඩා තිබෙනවා. ඒත් එක්කම වේන්ගෙ සමාගමට අදටත් ඇමරිකාව තුළ කුණු එකතු කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්ෂේත්‍රය තුළ තරගකරුවන් සැලකිය යුතු ගණනක් ඉන්නවා. ඒ අය ආණ්ඩුවට ඉතුරු කරන්නෙ බොහොම සුළු වගකීමක්.

kolonnawa-මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා කියන්නේ ඉතාම අනුවේදනීය හද කම්පා කරවන අත්දැකීමකට මුහුණ දුන් මනුස්සයෙක්. මතක ඇති කාලෙක ඉඳලා කුණු කන්ද එතනින් ඉවත් කරන්න කියලා ආණ්ඩුවට එරෙහි අරගල කරපු අහිංසක මනුස්සයෙක්. එච්චර කරලත් අවසානයේදි තමුන්ගෙ පවුලෙ ආදරණීයයන් හතර දෙනෙක් කුණු කන්දට යට වෙලා අවසන් ගමන් යාමේ දරුණු ඛේදවාචකයට මුහුණ දීපු මනුස්සයෙක්.

ඉතිං කුණු විකුණලා ප්‍රතිචක්‍රීකරණය කරලා බිලියන් ගණන් හොයපු වේන්ට වඩා අද අසරණ වුණ කීර්තිරත්න අයියලා නරකද?? නෑ කොහෙත්ම නෑ, මොකද ප්‍රශ්නයක් ඇති වුණාම ඒක විසඳගන්න අම්මා තාත්තාගෙන් ආණ්ඩුවෙන් නැත්තන් දෙයියො බුදුන්ගෙන් හරි ඉල්ලනවා මිසක් තමුන් ඉදිරිපත් වෙලා දේවල් විසඳන්න පුළුවන් කියලා ලියන මටවත් කියවන ඔබටවත් කීර්තිරත්න අයියලාටවත් ලංකාවෙ කවුරුවත් කියලා දීලා නෑ. අපිට එහෙම ආකල්ප හැදිලා නෑ. ආකල්ප හැදුණත් ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් පරිසරයක් ගොඩනැගිලා නෑ. එහෙම ව්‍යාපාරයක් පටන් ගත්තත් කුණු එකතු කරන තැන ඉඳලාම ලියාපදිංචි කරන්න ග්‍රාම සේවක ළඟට යන තැන ඉඳලාම තියෙන්නෙ ප්‍රශ්න. කුණු කන්ද ප්‍රතිචක්‍රීකරණය සඳහා එන විසි තිස් ගාණක් ආයෝජකයෝ හැරිලා යන්නෙ ලංකාව සමාජවාදී වාමාංශික රටක් නොවෙන නිසා නෙමෙයි. ඉල්ලන කොමිස් මුදල නිසා. ලංකාවට මේ මොහොතේ දැඩිව අවශ්‍ය වෙන්නෙ ධනේෂ්වර ප්‍රතිසංස්කරණ මිසක් වෙන රෙද්දවල් නෙමෙයි.

1492959224_9729997_hirunews_Mee

මේ අසාධාරණ කොමිස් ඉල්ලීම නිසා පහුගිය අවුරුදු විස්ස තිහ ඇතුළෙ ලංකාවෙ ආයෝජනය කරන්න ඕනෙකම තියෙද්දිත් හැරිලා ගියෙ කුණු ප්‍රශ්නෙට විසඳුම් දෙන්න ආපු ආයෝජකයො විතරක් නෙමෙයි. හරියට හොයලා බැලුවොත් ඒක කුණු කන්දකට වඩා බරපතළ ඛේදවාචකයක්. ජාතික මට්ටමේ දේශපාලකයො වගේම පළාත් සභා, ප්‍රාදේශීය සභා, රියදුරු ලියාපදිංචිය, රේගුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක අය ජරාව කන විදියට ඒ අයව ඔඩිට් වෙන්නෙ නැත්තෙ ඇයි කියන එක බරපතළම ප්‍රශ්නයක්. එවැනි ප්‍රතිසංස්කරණ සහ ආකල්පමය වර්ධනයක් අපේ රටට පැහැදිලිවම වහ වහා අවශ්‍යයි. වාමාංශික හීන කන්ද පිරිමදිමින් පෝඩියම්වලට තඩි බාලා ධනේෂ්වරය කුඩු සංසාර කරන්න හදන විහිළුකාරයෝ ඒ ආතල් දිගටම කරගෙන ගියාවේ. ඒත් අපේ රටේ අනාගත පරපුර ප්‍රශ්න කඳුවලට යටවෙලා මැරෙන මිනිස්සු නොකර ප්‍රශ්නවලට විසඳුම් සොයලා ලෝකය ලස්සන කරන මිනිසුන් බවට පත් කරන ආකල්පමය වෙනස අද අදම ඇරඹිය යුතුයි.

 

රවීෂ තිලකවර්ධන 

Recent Posts

Tags: , , , , ,

Leave a Comment