නඩු තීන්දුවෙන් දුගීබව නැති කිරීම -මහාචාර්ය සූරී රත්නපාල

May 29th, 2017 | By | Category: OTHER NEWS, සමබිම ඉරිදා අතිරේකය

21

සුබසාධක අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත කිරීම මනෝරාජික නපුරු සිහිනයකි

මහාචාර්ය සූරි රත්නපාල ඔ්‍රිස්ට්‍රෙිලියාවේ ක්වීන්ස්ලන්ඞ් විශ්වවිද්‍යාලයේ සේවා සම්මත මහාචාර්යවරයෙකි. ශ්‍රී ලංකාවේ නීතිඥයෙකු වශයෙන්ද කටයුතු කොට ඇති මහාචාර්ය සූරි රත්නපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධව විශේෂඥයෙකි. 

ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් අධිකරණ මගින් බලාත්මක කරගත හැකි වන සේ ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය යන අදහස පිළිබඳව ප්‍රබල විවේචනයක් සහිත Ending poverty by judicial decree: Constitutionalised welfare rights are a utopian nightmare නම් වූ මෙම ලිපියෙහි සිංහල පරිවර්තනයක් ‘සමබිම ඉරිදා සංග්‍රහයෙහි’ පළ කිරීමට අප අදහස් කළේ සිංහල පාඨකයා වෙතද මෙම සංවාදය ගෙන යෑමේ අරමුණ ඇතිවය. සෙන්ටර් ඔෆ් ඉන්ඩිපෙන්ඩෙන්ට් සර්විසස් විසින් පළ කරන පොලිසි සඟරාවේ පළවූ මෙම ලිපිය ග්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවියෙහි නැවත පළ වූ අතර, ඒ ආශ්‍රයෙන් සිංහලට නැගුවේ හර්ෂ ගුණසේන විසිනි. 

මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සිංහල බසින් සංවාදය ඉදිරියට ගෙන යාම පිණිස වසර 09ක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වී ඇති ‘සමබිම’‍ වෑයම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය තුළ මතු වන අයිතිවාසිකම් විවාදය හැකිතාක් දුරට පාඨකයා වෙත ගෙන යෑමයි. විවාදයේ සෑම පාර්ශ්වයකම තර්ක අපි පාඨකයන් වෙත ගෙන ඒමට කටයුතු කර ඇත්තෙමු. ඒ අතර ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න, ආචාර්ය දීපිකා උඩගම, ගිහාන් ඩි චිකේරා වැනි සමාජ ආර්ථික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු යැයි යෝජනා කරන පිරිස් මෙන්ම මහාචාර්ය රසීන් සාලි, සහ මහාචාර්ය සූරි රත්නපාල වැනි එම අදහසට විරුද්ධ මතධාරීන්ද වෙති.

brandis_croucher_suri

ජනතාවගේ සමාජ ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම්වල විස්තීර්ණ වට්ටෝරුවක්  අධිකරණය මගින් බලාත්මක කළ හැකි වනසේ රාජ්‍යයන්හි ව්‍යවස්ථාවලට ඇතුළත් කළ යුතු යයි උද්ඝෝෂණය කෙරෙන ව්‍යාපාරයක් ලොව පුරා  පැතිර තිබේ. නිදහස් සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට, ප්‍රමාණවත් ආහාරවලට සහ නිවහනකට,  යෝග්‍ය රැකියාවකට, රාජ්‍ය විශ්‍රාම වැටුපකට, සාධාරණ වැටුපකට, වෙළෙඳපොළේ සාධාරණ මිල ගණන්වලට, පාරිභෝගික සුරක්ෂතාවයට සහ පිරිසිදු පරිසරයකට ඇති අයිතිවාසිකම් මෙම හිමිකම්වලට ඇතුළත්ය. මෙයට අමතරව තවත් බොහෝ දේ පොරොත්තු ලේඛනයට ඇතුළත්ය.  

සුබසාධක අයිතිවාසිකම් අධිකරණය මගින් බලාත්මක කිරීමට වැඩිපුරම බලපෑම් එල්ල වන්නේ එසේ කිරීමට අඩුම හැකියාවක් ඇති රටවලය. එනමුත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල ද මේ සඳහා යම් ආකර්ෂණයක් ඇතිවෙමින් තිබේ. උදාහරණයක් වශයෙන් මෑතකදී ස්විට්සර්ලන්තයේ සැමට පොදු අවම ආදායමක් සඳහා වූ ජනමත විචාරණයද, ෆින්ලන්තයේ වූ එවැනිම ක්‍රියාදාමයක්ද දැක්විය හැක. ස්විට්සර්ලන්තයේ යෝජනාව ඉතාමත් වැඩි ඡන්දයකින් පරාජය වූ නමුත් මෙම අදහස යුරෝපා ව්‍යවස්ථාදායකයන්හි බරපතළ අවධානයක් දිනා ගනිමින් තිබේ. 

මෙම ලිපිය ලියන අවස්ථාවේදී දකුණු අප්‍රිකාවේ, බ්‍රසීලයේ සහ වෙනිසියුලාවේ ආර්ථික අපහසුකම් වලට අදාළව බරපතළ ලෙස ජනතා නොසන්සුන්තාවයන් හටගෙන ඇත. මෙම රටවල් තුනටම විශාල වශයෙන් ස්වාභාවික සම්පත් තිබේ. එමෙන්ම ඔවුන්ට සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට ඇතුළත් කරන ලද සුබසාධක අයිතිවාසිකම් ද තිබේ. මෙම රටවල් තුනේම රාජ්‍ය බලය අවභාවිත කිරීම සහ දූෂණය මගින් ප්‍රජාතන්ත්‍රවාදය, මූලික සිවිල් අයිතිවාසිකම් සහ නිදහස ඉතා පහත් තත්ත්වයකට හෙළා තිබේ. අධිකරණය මගින් බලාත්මක කෙරෙන සුබසාධක හිමිකම් ගැන සලකා බලන රටවල් සිය උපද්‍රවයන්හිදී ඒවා නොසලකා හරින බව මේ මගින් උගත හැකි පාඩමයි.

අධිකරණය මගින් බලාත්මක කළ හැකි සුබසාධක අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම නොමඟ යවන ලද ක්‍රියාවලියක් බවත් එය නියෝජනාත්මක ප්‍රජාතන්ත්‍රවාදය, බලතල විභේදනය, නීතියේ ආධිපත්‍යය සහ සම්ප්‍රදායික සිවිල් අයිතිවාසිකම් සහ නිදහස  යන බොහෝ කාලයක් තිස්සේ පෝෂණය කරන ලද ආයතන බලවත් අර්බුදයකට ලක් කරන බවත් මම යෝජනා කරමි. එමෙන්ම එය සමානුපාතික නොවන ලෙස සමාජයේ අවවරප්‍රසාදිත කොටස්වලට හානි කරමින් විනාශකාරී අර්ථීක ප්‍රතිවිපාක ගෙන එමින් එම ක්‍රියාවලියේ මූලික අරමුණ ව්‍යර්ථ කරයි.

අධිකරණය මගින් බලාත්මක කළ හැකි සුබසාධක අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරය පිටුපස ඇති පෙළඹවීම:

මෙම මනෝරාජික ව්‍යවස්ථා මොඩලය වැළඳගත් රටවල් අතර බොහෝ ලතින් ඇමරිකානු ජාතීන්, කෙන්යාව, සිම්බාබ්වේ, හයිටි, දකුණු සුඩානය, නැගෙනහිර ටිමෝරය, සෝමාලියාව, බොලිවියාව, දකුණු අප්‍රිකාව, නේපාලය, නයිජර් සහ වෙනිසියුලාව ඇතුළත් වන අතර ඒවායේ අයිතිවාසිකම් ලැයිස්තුව සමස්ත ඕස්ටේ්‍රලියානු ව්‍යවස්ථාවට වඩා දිගය.  මෙම රටවල් කාරණා දෙකකට කොටස්කරුවෝ වෙති. පළමුව එම රටවල  ජනතාවගේ සුබසාධනය නගා සිටුවීම පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි වාර්තාවක් ඇති අතර සමහර රටවල මානව සංවර්ධනයේ නිර්ණායක ඉතා පහත් මට්ටමක ඇත. සම්පත් වලින් අනූන දකුණු අප්‍රිකාව පවා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් දර්ශකයේ රටවල් 188ක් අතරින් සිටින්නේ 119 වන ස්ථානයේය. (ශ්‍රී ලංකාව 73 වන ස්ථානයේ සිටී.) දෙවනුව එම රටවල් නීතියේ ආධිපත්‍යය පිළිබඳ නිර්ණායකවල පහත් ස්ථානයක් ගනී. 

මෙයට ප්‍රතිවිරුද්ධව බොහෝ සමෘද්ධිමත්, එමෙන්ම පුළුල් සුබසාධන ක්‍රම ස්ථාපිත බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල සමාජ සුබසාධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කර නොමැත. ක්‍රියාශීලි ආර්ථිකයන් සහිත ඈත පෙරදිග ජාතීන් ජාතික ධනය නිර්මාණය කිරීම සහ සිය රටවැසියන්ගේ ජිවන තත්ත්වය නගා සිටුවීමේලා ආශ්චර්යමත් ජයග්‍රහණ අත් කරගෙන ඇත්තේ සාමාජික සහ ආර්ථික ප්‍රතිපත්තින්හි අධිකරණමය මැදහත්වීමක් නොමැතිවය. මෙම රටවල ජයග්‍රහණ ගොඩනගා ඇත්තේ නීතියේ ආධිපත්‍යය සහ ආර්ථික නිදහස මතය.  ආර්ථික ක්‍රියාකාරීත්වය සහ ආර්ථික නිදහස අතර ඇති ධනාත්මක සහසම්බන්ධය ඉතා බලවත් වේ. එබැවින් පරාජිතයන් අනුකරණය කරන ජයග්‍රාහකයන් නොසලකා හරින මෙම ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්නේ කුමන සාධකද?

20 වන සියවසේ ගොඩනැගුණු කම්කරු පංතියේ ආඥාදායක රාජ්‍යයන් තුළදී තම සාර්ථකත්වය පෙන්වීම සඳහා සමාජවාදයට අවස්ථාවක් ලැබුණු නමුත් එය එහිදී අසමත් විය. පළමුව, ඒවා තමන් විසින් සේවය කරනු ලැබීමට බලාපොරොත්තු වූ ජනතාව කෙරෙහි වගවීමට බැඳී නොසිටි ආඥාදායකත්වයන් විය. දෙවනුව, විධානය සහ පාලනය මත පදනම් වූ ඔවුන්ගේ ආර්ථික ක්‍රමයන් ජනතාවට අවශ්‍ය භාණ්ඩ සහ සේවා සැපයීමට අසමත් වූ අකාර්යක්ෂම, වැරැදිවලින් ගහණ සහ දූෂිත ඒවා විය. නූතන සමාජවාදීන්ගේ බලාපොරොත්තුව ධනය නිර්මාණය කිරීමෙහි සමත් ධනවාදී නිෂ්පාදන මාදිලිය සහ ධනය විසුරුවා හැරීම සඳහා වන නැවත බෙදාහැරීමේ වැඩසටහන් ඒකාබද්ධ කිරීමයි.  මේ අරමුණු කරා ළඟා වීමට ඔවුනට නිරතුරුවම උපකාරී වන්නේ දේශපාලන වාසි ලබා ගැනීමට උත්සුක වන කොන්සර්වේටිව්, ලිබරල් සහ ජනප්‍රියවාදී දේශපාලන පක්ෂ විසිනි.

නිර්ධන පන්ති ආඥාදායකත්වය සනාථ කිරීමට සමාජවාදයට විසිවන ශත වර්ෂයේදී අවස්ථාවක් ලැබුණු නමුත් එය අසාර්ථක විය. පළමුව ඒවා ඒකාධිපති රාජ්‍යයන් වූ අතර ඔවුන් සේවය සැපයීමට බලාපොරොත්තු වූ ජනතාවට ඔවුන්ගේ වගවීමක් නොමැතිවිය. දෙවනුව ඔවුන්ගේ පරිපාලිත ආර්ථික පද්ධතීන් ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේදී ඉතාමත් අකාර්යක්ෂම, දෝෂ සහිත සහ දූෂිත විය. නවීන සමාජවාදීහු   ධනය ඉපැයීමට අවශ්‍ය ධනවාදී නිෂ්පාදන මාදිලි භාවිතා කරමින් ඒවා ධනය නැවත බෙදා හැරීමේ විවිධ ක්‍රමවේද සමඟ බද්ධ කිරීමට උත්සුක වෙති. බොහෝ විට කොන්සර්වැටිව්, ලිබරල් සහ ජනතාවාදී දේශපාලන පක්ෂ මැතිවරණ වාසි බලාපොරොත්තුවෙන් බොහෝ විට මේ සඳහා ඔවුන්ට සහයෝගය දෙති. 

සමාජ සහ ආර්ථික අයිතිවාසිකම් අධිකරණ ක්‍රියාවලියකට යටත් කිරීමේ ව්‍යාපාරය සමාජවාදී චින්තනය ඉදිරියට ගෙනයාමේ නූතන උපක්‍රමයකි. පෞද්ගලික අයිතියේ අරුත් ගැන්වීම සමඟ එන අයිතිවාසිකම පිළිබඳ සංකල්පය සමඟ සම්ප්‍රදායික සමාජවාදයට අනන්‍ය විය නොහැකිය. අයිතිවාසිකම් මගින් නීතිය පුර්වකල්පනය කරන අතර නීිතිය සේවය කරන්නේ නිෂ්පාදනයේ ධනපති මාදිලි නගා සිටුවීමට බව මාක්ස් සහ එංගල්ස් විසින් තර්ක කර ඇත. සුබසාධන අයිතිවාසිකම් අධිකරණ ක්‍රියාවලියකට යටත් කිරීමට එරෙහි වූ ගැඹුරු චින්තනයක් ඇති ටොම් කැම්බෙල් මෙසේ පැහැදිලි කරයි. “සමාජවාදී අයිතීන් දේශපාලනික වනවාට වඩා ආයතනික වන අතර ඒවා එකිනෙකට එරෙහිව නිශේධනය කළ හැකි සහ විවාද කළ හැකි ඉල්ලීම් වලට වෙනස්ව සමුපකාර සමාජයීය උත්සාහයන් වශයෙන් ඉස්මතුවේ….. සමාජවාදී අයිතීන් සම්බන්ධ වන්නේ අනිවාර්ය නීති පද්ධතියකට විනා බලාත්මක කරණ ලද සම්බාධක සමූහයකට අනුග්‍රහ දැක්වීමකට නොවේ.” සම්ප්‍රදායික නිතිය, සමාජ ආචාරධර්ම සහ පුද්ගලික සදාචාරය සමඟ බද්ධ කරන විවේචනාත්මක නීති අධ්‍යයනය  (Critical Legal Studies) සහ විසංයෝජන (deconstructionist schools of thought) ගුරුකුල මගින් කරන්නාක් මෙන් අද දිනයේ රැඩිකල්වාදී න්‍යායාචාර්යවරුන් විසින් හිමිකම් පිළිබඳ අදහසද ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ව්‍යවස්ථාපිත සුබසාධක අයිතීන් පිළිබඳ ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම ලිබරල් ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ක්‍රමයේ ආංගික සත්ත්වයන් වූද එම ක්‍රමයේ මූලිකාංගයන් වෙනස් කිරීමට හැකි සෑම උපක්‍රමයක්ම භාවිතා කිරීමට පසුබට නොවන්නා වූද වාමාංශික ක්‍රියාකාරීන් විසිනි. සුබසාධක අයිතිවාසිකම් මානව හිමිකම් මෙන් පූජනීයත්වයට පත්කර ව්‍යවස්ථාපිත වශයෙන් බලගන්වා එමගින් තවදුරටත් ඒවා දේශපාලන වශයෙන් විවාදාපන්න කිරීම වැළැක්වීම ප්‍රගතිශීලි උත්සාහයක කොටසකි.  ක්‍රියාකාරීන්ට අනුව සමාජ සහ ආර්ථික අයිතිවාසිකම් පිළිබඳ විවාදය කාලගුණ විද්‍යාව පිළිබඳ විවාදය සංසිඳුණු ආකාරයටම අවසන්වී ඇත. මෙම අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු වූ පසු දේශපාලන ක්‍රමය විසින් අවශ්‍ය අවස්ථාවන්හි උසාවි නියෝග වලට යටත්ව මෙම ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය. 

ජනතාවගෙන් විශාල කොටසක් දරිද්‍රතාවයෙන් කෙටි කාලීන සහන බලාපොරොත්තු වන සංවර්ධනය නොවූ ජාතීන් අතර සුබසාධක අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරය ස්වභාවයෙන්ම ජනප්‍රිය වේ. අධිකරණය මගින් බලාත්මක කරන ලද භාණ්ඩ සහ සේවා සැපයීම මගින් වාසි ලැබිය හැකි සමහර වෘත්තික කොටස් සහ කර්මාන්ත මෙම ව්‍යාපාරයට සහයෝගය දක්වති.   මෙම ව්‍යාපාරයට විරුද්ධ වන්නවුන් නවීන ව්‍යවස්ථාවල සාරධර්මයන් නොදන්නා අනුකම්පා විරහිත නව ලිබරල්වාදීන් වශයෙන් හෙළා දකිනු ලැබේ. 

මහාචාර්ය සූරී රත්නපාල විසින් රචිත ලිපිය 2017.05.28 දින රාවය සමබිම ඉරිදා සංග්‍රහය වෙත පරිවර්තනය කලේ වරලත් ගණකාධිකාරි හර්ෂ ගුණසේන මහතා විසිනි

 

Recent Posts

Tags: , , , ,

Leave a Comment