මිඩියා වලට උතුරේ අරගලය බූරුවා ගහන අයට මළ ගෙවල් වගේ

Jun 1st, 2017 | By | Category: LEAD NEWS, ප්‍රතිසන්ධානය, පුරවැසි අයිතිය, මානව හිමිකම්, සමබිම පුවත්, සාමිනාදන් විමල් - සමබිම තිරු ලිපි

යාපනයෙහි රැකියා විරහිත උපාධිධාරීන්ගේ උපවාසයක් පසුගිය දින වල පැවැත්වුණු අතර අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලයෙහිත් රැකියා විරහිත උපාධිධාරිහු තම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල එළඹ සිටිති. එයට අමතරව වන්නියෙහි ඉඩම් අයිතිය ඉල්ලා කෙරන අරගලයන් ද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් කරනු ලබන උද්ඝෝෂණ ද වශයෙන් අරගල රැල්ලක් දක්නට ලැබෙයි. මෙම තත්ත්වය බලාපොරොත්තුවල ප්‍රකාශනයන් ලෙසින් ද අසහනකාරිත්වයෙහි සහ වේදනාබරිතබවෙහි පිළිබිඹු ලෙසින් ද සැලකිය හැකිය. නමුත් මෙම අරගල පිළිබඳ දේශපාලනික පක්ෂ සහ කණ්ඩායම් දක්වන ප්‍රතිචාරයන් මුළුමනින්ම පාහේ පදනම්ව පවතින්නේ දෙමළ ඊළාම් අරගලය යන මතවාදයට සාපේක්ෂවය. ඒ අනුව දෙමළ ජාතිවාදී දේශපාලනය මෙම අරගල දෙමළ ඊළාම් අරගලයෙහි දිගුවක් ලෙසින් සලකා කටයුතු කරන අතර, බොහෝ ලෙසින්ම සිංහල ජාතිවාදී පක්ෂවල මෙම අරගල පිළිබඳව ප්‍රතිචාරය කොටි නැඟිටීමක් ලෙසින් අර්ථකථනය වෙයි. ඒ අනුව දෙමළ ජාතිවාදයට මෙම තත්ත්වය ‘අරගලයෙහි ආශ්වාදය’ ගෙන එන අතර සිංහල ජාතිවාදයට ‘කොටි බිල්ලාගේ සම්ප්‍රාප්තියෙහි ආශ්වාදය’ ඇති කිරීමට සමත්ය. නමුත් ඇත්තෙන්ම මෙම අරගලවල න්‍යෂ්ටිය පවතින්නේ සමස්තයක් වශයෙන් ලාංකේය සමාජය මුහුණ දී ඇති අර්බුදය තුළ මිස යුද්ධය හෝ කොටි ප්‍රශ්නය මත නොවෙයි. නමුත් ඉතාමත් ජනප්‍රිය දේශපාලන ක්‍රීඩාව වන්නේ මෙම තත්ත්වය දෙමළ ප්‍රශ්නය බවට ඌනිතකරණය තුළය. එහෙයින් මෙය දෙමළාගේ ප්‍රශ්නයක් හුදකලාකරණයට ලක් කිරීමට හැකිය.

????????????????????????????????????

නමුත් ඇත්තෙන්ම මෙම ප්‍රශ්න යුද්ධය මගින් යටපත් කරන ලද පැවැති සමාජ ප්‍රශ්නයන්ගේ මතුවීමක් පෙන්නුම් කරයි. ඉඩම් ප්‍රශ්නය පවා ඇත්තෙන්ම හමුදාව උතුරෙන් පළවා හැර ඉඩම් අත්පත් කරගැනීමට දරන උත්සාහයක් ලෙසින් දකුණු සමාජය තුළට අදහස් කාවැද්දීමට ජනමාධ්‍ය සමහරක් අනවරත උත්සාහයක යෙදුණත් මෙය එයට වඩා වෙනස් යථාර්ථයකින් යුතුය. යුද්ධය පවතින තෙක් ‘ඉඩම්’ යන්න ජනතාවට බලගතු ප්‍රශ්නයක්ව පැවතුණේ නැත. එයට හේතුව යුද්ධයෙහි ගොදුරු නොවී දිවි රැක ගැනීම ප්‍රමුඛ අරමුණ වූ හෙයින් මිනිසුන් නිශ්චිතව එකම ස්ථානයක පදිංචිව සිටීම කළ හැකි දෙයක් නොවීය. එහෙයින් ඉඩම්වල අයිතිය අන්සතු වීම පිළිබඳ බයක් ඉඩම් හිමියන් තුළ නොවූ අතර ප්‍රදේශයෙන් එසේත් නැතිනම් රටින් බැහැර වන අයට තම ඉඩමෙහි යමෙක් නතරව එම ඉඩම බලා කියා ගැනීම සැනසිල්ලට කරුණක් විය. එමෙන්ම එම ඉඩම්වල පදිංචිව සිටි ජනයාට ද එම ඉඩම හෝ නිවෙස තම අයිතියට අයත් වස්තුවක් නොවීම කිසිම ගැටලුවක් ඇති කළේ නැත.

නමුත් යුද්ධය අවසන් වූ වහාම තත්ත්වය වෙනස් වෙයි. අනුන්ගේ ඉඩම්වල සිටි අයට ඒවායින් ඉවත් වීමට සිදුවන්නේ නීත්‍යනුකූල ක්‍රියාමාර්ගවලින් ද එයට බැහැර ක්‍රියාමාර්ගවලින් ද එකී පිරිස් බැහැර කිරීමට කටයුතු කිරීමට පටන් ගැනීමයි. මෙහි ඇති උත්ප්‍රාසජනක ලක්ෂණය වන්නේ පිටරට සිටින දෙමළ ජනයා තම ජනයාට නිදහස් රටක් ලබා ගැනීම සදහා අරගලයට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මුදල් ලබා දී කටයුතු කළත් යුද්ධය අහවර වූ වහාම ලංකාවට පැමිණ තම ඉඩම් අත්පත් කර ගැනීමට එම ඉඩම්වල සිටි ජනයාව ඉවත් කිරීමට කටයුතු කිරීමයි. එවිට එම ජනතාවට තමාගේ මුල් පදිංචි ඉඩම්වල අයිතිය ඉල්ලා සටන් කිරීමට සිදුවීම අනිවාර්යයකි. එමෙන්ම කොටි සංවිධානය විසින් අත්පත් කරගත් ඉඩම් සහ නිවාස තම වැදගත් මර්මස්ථාන වශයෙන් භාවිතා කළ අතර එම ස්ථාන පසුව හමුදාව අතට පත්වීමෙන් පසුව එම ස්ථානවට හිමි වැදගත්කම වැඩි වූ හෙයින් එම ස්ථාන හමුදා සතු දේපළකි යන පුවරුවට වැසී ගියේය. එහෙයින් එම ස්ථාන මුල් පදිංචිකරුවන්ට තවමත් අහිමිව පවතියි.

එමෙන්ම සමහර ඉඩම් පරම්පරා ගණනාවක් තිස්සේ ඉඩම් අහිමි ජනයා පදිංවි වී සිටි සහ පදිංචි කරවනු ලැබ සිටි ඉඩම්ය. විශේෂයෙන් ජාතිවාදී කෝලාහල හේතුවෙන් ලංකාවෙහි දකුණේ සිට උතුරට පළා ආ කඳුරට දෙමළ ජනයා මෙසේ පදිංචි කරවනු ලැබිණ. ගාන්ධියම් ව්‍යාපාරය මෙසේ එම ජනයා පදිංචි කිරීමට කටයුතු කළ සංවිධානයකි. අද දිනයෙහි සටන අවසන් වූ පන්නකණ්ඩු ගමේ ජනයාගේ ඉඩම් හිටපු නීතිපතිවරයෙකු වන ශිවා පශූපති මහතාට අයත් වන අතර ඔවුන්ගේ පවුලේ ඥාතීන් විසින් ලබා දුන් පොරොන්දුවක් මත එම සටන අවසන් විය.

යුද්ධයෙන් පසුව ජන ජීවිතය ගොඩනැගීමේදී ඉඩමෙහි අයිතිය ඉතාමත් අවශ්‍යව පවතින අතර නැවැත පදිංචියටත් නිවෙසක් ඉදි කර ගැනීමටත් ජීවනෝපයක් උදෙසා ණයක් ලබා ගැනීමටත් විදුලිය ලබා ගැනීමට පවා ඉඩමෙහි නීත්‍යනුකූල අයිතිය අත්‍යවශ්‍යව පවතියි.
මෙම සෑම අරගලයක්ම ජීවත්වීම සඳහා මූලික අවශ්‍යතාවයක් වශයෙන් ඉඩමක උපයෝගිතා වටිනාකම මත පදනම්ව පවතිනවා මිස දේශපාලන අර්ථ නිරූපණවලින් සහ විශේෂයෙන්ම මාධ්‍ය සන්නිවේදනයන් මගින් පෙන්නුම් කිරීමට උත්සාහ කරන අයුරින් දෙමළ භූමිය පිළිබඳ ආශ්වාදය හෝ තර්ජනය ප්‍රකට කරන සංසිද්ධි නොවෙයි. ඇත්තෙන්ම බොහෝ මාධ්‍යකරුවෝ මෙම ජනයාගේ වේදනාබර ප්‍රශ්න භාවිතා කරන්නේ බූරුවා ගහන අය මළ ගෙවල් පාවිච්චි කරන්නා සේය.

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් විසින් සමබිම මැයි කලාපයට රචිත ලිපියකි 

Recent Posts

Leave a Comment