අධිකරණය විසින් පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය පැහැර නොගැනීමට නම්;

Jun 5th, 2017 | By | Category: LEAD NEWS, අධ්‍යාපන, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පරිවර්තන, මානව හිමිකම්, සමබිම ඉරිදා අතිරේකය

සුභසාධක අයිතිවාසිකම් ව්‍යවස්ථාවට ඇතුළු කළොත් පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය අධිකරණය විසින් පැහැර ගනීවිද?

සුබසාධක අයිතිවාසිකම්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල කිරීම මනෝරාජික නපුරු සිහිනයකි- 2

21-e1496040729207මහාචාර්ය සූරි රත්නපාල ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ සේවා සම්මත මහාචාර්යවරයෙකි. ශ්‍රී ලංකාවේ නීතිඥයෙකු වශයෙන්ද කටයුතු කොට ඇති මහාචාර්ය සූරි රත්නපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධව විශේෂඥයෙකි. 

ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් අධිකරණ මගින් බලාත්මක කරගත හැකි වන සේ ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය යන අදහස පිළිබඳව ප්‍රබල විවේචනයක් සහිත Ending poverty by judicial decree: Constitutionalised welfare rights are a Utopian nightmare නම් වූ මෙම ලිපියෙහි සිංහල පරිවර්තනයක් ‘සමබිම ඉරිදා සංග්‍රහයෙහි’ පළ කිරීමට අප අදහස් කළේ සිංහල පාඨකයා වෙතද මෙම සංවාදය ගෙන යෑමේ අරමුණ ඇතිවය. සෙන්ටර් ඔෆ් ඉන්ඩිපෙන්ඩෙන්ට් සර්විසස් විසින් පළ කරන පොලිසි සඟරාවේ පළවූ මෙම ලිපිය ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියෙහි නැවත පළ වූ අතර, ඒ ආශ්‍රයෙන් සිංහලට නැගුවේ හර්ෂ ගුණසේන විසිනි. 

මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සිංහල බසින් සංවාදය ඉදිරියට ගෙන යාම පිණිස වසර 09ක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වී ඇති ‘සමබිම’‍ වෑයම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය තුළ මතු වන අයිතිවාසිකම් විවාදය හැකිතාක් දුරට පාඨකයා වෙත ගෙන යෑමයි. විවාදයේ සෑම පාර්ශ්වයකම තර්ක අපි පාඨකයන් වෙත ගෙන ඒමට කටයුතු කර ඇත්තෙමු. ඒ අතර ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න, ආචාර්ය දීපිකා උඩගම, ගිහාන් ඩි චිකේරා වැනි සමාජ ආර්ථික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු යැයි යෝජනා කරන පිරිස් මෙන්ම මහාචාර්ය රසීන් සාලි, සහ මහාචාර්ය සූරි රත්නපාල වැනි එම අදහසට විරුද්ධ මතධාරීන්ද වෙති.

සුබසාධක අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත නොකිරීමට හේතු

සියලුම දෙනා ඉහළ ජිවන තත්ත්වයක් භුක්ති විඳින ලෝකයක් ඇතිකර ගැනීමට අපි සියලු දෙනා  අපේක්ෂා කරමු. ප්‍රශ්නය වන්නේ එතැනට යන්නේ කෙසේද යන්නයි.

ව්‍යවස්ථාපිත සුබසාධක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් නිතොරවම ජාත්‍යන්තර සම්මුතීන් වෙතට අවධානය යොමු කරනු ලැබේ. එනමුත් කිසිම ජාත්‍යන්තර සම්මුතියක් සමාජ සහ ආර්ථික අයිතිවාසිකම් අධිකරණය මගින් බලාත්මක කිරීමට උත්සාහ කර නැත. ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මගින් එම අයිතිවාසිකම් බලාත්මක කිරීමේ ක්‍රමවේදයක් සකසා නොමැත. රාජ්‍යයන්හි ප්‍රධාන කාර්ය භාරය වන්නේ නීති සම්පාදනය ඇතුළු සියලු අදාළ ක්‍රමවේද යොදාගනිමින්  එහි ප්‍රගතියක් අත්කර ගැනීමයි. (2(1) ව්‍යවස්ථාව) මෙම ක්‍රමවේද නිශ්චය කිරීම ජනතාව විසින් තෝරා පත් කරගන්නා ලද ආණ්ඩු සහ නීති සම්පාදකයන්ගේ වගකීම වේ. එකම ස්ථිරසාර වූ බැඳීම වන්නේ මෙම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීමේදී කිසිම පුද්ගලයකුට වෙනස්කොට නොසැලකීමයි. මෙම සම්මතය පැන නැංගේ සිවිල් අයිතිවාසිකම් වලිනි. කිසිම සාධාරණ පුද්ගලයකුට මෙම ප්‍රකාශය සමඟ එකඟ නොවී සිටිය නොහැක. ඇත්ත වශයෙන්ම නියෝජනාත්මක ප්‍රජාතන්ත්‍රවාදය නම් මෙයයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට සිය ජනතාවගේ සුබසාධනය ඇතිකිරීම සම්බන්ධයෙන් වන අවශ්‍යයෙන්ම කළ යුතු කාර්යභාරය පිළිබඳ උපදෙස් දීමට කිසිම ජාත්‍යන්තර සම්මුතියක් අවශ්‍ය නැත.

මෙම අයිතිවාසිකම් වෙත ඇති විශ්වව්‍යාපී සහයෝගයත්, අඩු ගණනේ ප්‍රංශ විප්ලවයේ සිට ජාතික සහ ජාත්‍යන්තර දේශපාලන අරගලයන්හි මෙකී අයිතිවාසිකම්වලට හිමිවූ කේන්ද්‍රීය තත්ත්වයත් තිබියදී පවා, ඉතා විස්තීර්ණ සුබසාධක ක්‍රමයන් පවතින ඕස්ටේ්‍රලියාව, බි්‍රතාන්‍යය, ස්වීඩනය, නෝර්වේ සහ ජර්මනිය වැනි ධනවත්ම රටවල්වත් මෙම අයිතිවාසිකම් අධිකරණ මගින් බලාත්මක කළ හැකි තත්ත්වයට පත් නොකළේ මක්නිසාද යන ප්‍රශ්නය අප විසින් විමසිය යුතුය. පිළිතුරු බලවත්ය. 

1. සුබසාධක අයිතිවාසිකම් සැබෑ අරුතෙන් ගත් කළ අයිතිවාසිකම් නොවේ.

අයිතිවාසිකමක ස්වභාවය පිළිබඳව විවිධාකාර න්‍යායන් ඇත. නමුත්, කිසියම් තැනැත්තෙකුට අයිතිවාසිකමක් පවතින්නේ තවත් තැනැත්තෙකුට එයට අනුරූප වූ හෝ සහසම්බන්ධ වූ යුතුකමක් පවතින විට පමණකිය යන්න පිළිබඳව තර්කයක් නැත. කිසියම් මුදලක් මවෙත ලැබිය යුතු යැයි හිමිකම් කියා පෑමට මට පුළුවන් වුවත් එම මුදල මවෙත ලබා දීමට යුතුකමක් ඇති කිසිවෙකු නොවේ නම් මගේ හිමිකම් කියාපෑම හුදු ප්‍රාර්ථනයක් පමණකි. සදාචාරමය අයිතිවාසිකම් සහ නෛතික අයිතිවාසිකම් එකිනෙක මත සමපාත වන අවස්ථා බොහොමයක් ඇත. තමා විසින් සපයන ලද භාණ්ඩ වෙනුවෙන් ගෙවීමක් ලැබීමට විකුණුම්කරුවෙකුට  සදාචාරමය අයිතිවාසිකමක් මෙන්ම නෛතික අයිතිවාසිකමක්ද ඇත්තේය. නමුත් සෑම සදාචාරමය අයිතිවාසිකමක් විසින්ම නෛතික යුතුකමක් ඇති නොකරයි. ප්‍රතිලාභියා තමාට කළගුණ සැලකිය යුතුය යන සදාචාර අයිතිවාසිකම පරිත්‍යාගශීලියා සතුව පවතින නමුත් එය ලබා ගැනීම උදෙසා වන නෛතික අයිතිවාසිකමක් නැත. අයිතිවාසිකමක පැවැත්ම චර්යාව පාලනය කරන රීති මත රඳා පවතින අතර, රීති නොමැති තැන යුතුකම්ද, යුතුකම් නොමැති තැන අයිතිවාසිකම්ද නැත. සුබසාධක අයිතිවාසිකම් ප්‍රකාශ කොට ඇත්තේ චර්යාව පාලනය කරන රීති ලෙස නොව හිමිකම් කියාපෑම් ලෙසය. ඒවා අයිතිවාසිකම් වන්නේ දේශපාලන හෝ සදාචාරමය අර්ථයෙන් හිමිකම් කියාපෑම ලෙස පමණි. සුබසාධක අයිතිවාසිකමක අන්තර්ගතය කල් තියා දැනගැනීමට නොහැකිය. 

2. සුබසාධක අයිතිවාසිකම් අධිකරණ මගින් බලාත්මක කරගැනීමේ හැකියාව විසින් නීතියේ ආධිපත්‍යයට යටින් වළ කපන අතර එය අධිකරණයේ ස්වාධීනතාවයට හානිකර වෙයි. 

නීතියේ ආධිපත්‍යය සඳහා ඥාතව්‍ය (දැනගත හැකි), සාමාන්‍ය සහ පුරෝකථනය කළ හැකි නීතියක් අවශ්‍යය. නෛතික උරුමයන් ලෙස සුබසාධක අයිතිවාසිකම් තදින්ම පරායත්ත වන්නේ ප්‍රතිපත්තිමය සහ සදාචාරමය විනිශ්චයන් මත පදනම් වූ අධිකරණමය අභිමතයන් මතය. ඒවා ස්වභාවයෙන්ම අභිලාෂාත්මකය. සුබසාධක අයිතිවාසිකමක් සමග අනුකූල වන චර්යා රීති කල් ඇතිව හඳුනා ගැනීම රාජ්‍යයට හෝ රටවැසියන්ට නොහැක්කේය. සාධාරණ වැටුප හෝ නිෂ්පාදනයක් හෝ සේවාවක් උදෙසා යුක්ති සහගත මිල හෝ නිශ්චිත කර්මාන්තයකට අදාළ වායු විමෝචන ප්‍රමිතිය හෝ පිළිබඳව තීරණයක් ලබා දෙන ලෙසට යොමු කරන ලද අධිකරණයක් විසින් කරන්නේ නීති සම්පාදනය මිස නීතිය අනුව යුක්තිය පසිඳලීම නොවෙයි. තවදුරටත්, බොහෝ නඩුවලදී අධිකරණයට පොදු චර්යා රීතියක් ප්‍රකාශයට පත් කළ නොහැකි වන අතර, කළ හැකි වන්නේ එක් එක් සුවිශේෂී නඩුව සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමයි. නමුත්, එම නිශ්චිත නඩු තීන්දුව විසින් තවත් ගිණිය නොහැකි බොහෝ දෙනෙකුගේ අයිතිවාසිකම් අස්ථාවර කළ හැකි වන්නේ එකී තීන්දුවෙහි බලපෑම ප්‍රතිපත්ති සම්පාදන ක්ෂේත්‍රය කෙරෙහි දැනෙන බැවිනි.

ආර්ථික සහ සමාජීය අයිතිවාසිකම් අධිකරණ මගින් බලාත්මක කරගත හැකි ඒවා බවට පත්වී නම්, එකී අධිකරණ බලය හිමි අධිකරණයන් ව්‍යාපී හෙවත් බෙදා හදා ගන්නා දේශපාලනය උදෙසා වන මණ්ඩපයන් බවට පත්වනු ඇත. එවිට අධිකරණය දේශපාලනීයකරණය වී, මහජන විශ්වාසය සහ සදාචාර ආධිපත්‍යය අහිමිවීමට මගපෑදීමේ සැබෑ අනතුරක් ඇත. ෆෙඩරල් අධිකරණ වෙත අධිකරණමය නොවන බලතල පැවරීමට එරෙහිව ඕස්ටේ්‍රලියානු මහාධිකරණය ස්ථිරසාරව තීන්දු ලබා දී ඇත්තේ එබැවිනි.

3. පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය අධිකරණය විසින් පැහැරගැනීම:

සුබසාධක අයිතිවාසිකම් අධිකරණ මගින් බලගැන්වීමේ හැකියාව විසින් සමාජීය සහ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව තීරණය කිරීමට පාර්ලිමේන්තුවට ඇති බලය හීන කරන අතර මෙම ප්‍රශ්න ඡන්දයෙන් තේරී පත්නොවූ ආයතනයකට පැවරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට යටින් වළ කපයි. සමෘද්ධිය සහ ජනතාවගේ පොදු සුබසාධනය ප්‍රවර්ධනය කිරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට වඩා සුදුසු වන්නේ ඡන්දයෙන් තෝරා පත්කරගත් පාර්ලිමේන්තුවකට වගකියන ඡන්දයෙන් තෝරාපත්කරගත් ආණ්ඩුවකි.

සමාජීය සහ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව නඩු තීන්දු දීමට අධිකරණය සම්පූර්ණයෙන්ම අපොහොසත්ය. නිදසුනක් ලෙස රැකියා උත්පාදනය සහ ආදායම් ඉහළ නැංවීම සඳහා වන වඩා හොඳ මාර්ගය කුමක්ද? එය කළ හැක්කේ පෞද්ගලික ව්‍යවසාය සහ තරගකාරිත්වය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති මගින්ද? නැත්නම් රාජ්‍ය අංශය ව්‍යාප්ත කිරීම මගින්ද? පරිසරය වැඩි දියුණු කරන්නේ කෙසේද? ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයේ බිඳවැටීමක් ඇති නොකර එහි සේවකයන්ගේ යුක්ති සහගත වේතන තීරණය කරන්නේ කෙසේද? මේවා ජනතා මතයට ප්‍රතික්‍රියා දක්වන එමෙන්ම අදාළ විශේෂඥ සහාය ලබාගැනීමට හැකි ආණ්ඩුවක් විසින් ගත යුතු දේශපාලන තීරණ වන අතර අධිකරණයට මෙම හැකියාව නොමැත. හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආරම්භකයකු වූද වරෙක ඇමෙරිකන් සිවිල් නිදහස පිළිබඳ සංගමයේ ජාතික අධ්‍යක්ෂවරයකු වූද අර්යේහ් නෙයියර් මෙම කරුණ මෙසේ සඳහන් කරයි.

ඔබ සමාජයේ සම්පත් එකිනෙකාට පවරන්නේ නම් සිය ජිවිත සුරක්ෂිත කර ගැනීම සඳහා තමාගේ වකුගඩු බද්ධ කිරීමකට හෝ හෘදය වස්තුවේ බයි-පාස් සැත්කමක් හෝ වෛරස්වල ක්‍රියාකාරීත්වය බාල කරන ඖෂධ පාවිච්චියට හෝ කරන ඉල්ලීම්, එම ඉල්ලීම් සඳහා වැය වන මුදලෙන් දහස් ගණන් දරුවන්ට මූලික වෛද්‍ය පහසුකම් සැපයිය හැකිනම්, ඉටු කරන්නේ කෙසේද? තමාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් නොමැති වුවහොත් සිය ජීවිතය අනතුරට ලක් විය හැකි පුද්ගලයන් නොසලකා වැඩි දෙනෙකුට වැඩි ප්‍රතිලාභ බෙදීමට ඔබ සූදානම් වන්නේද? අධිකරණයක් මගින් මෙම කටයුතු කළ හැකි යයි මම විශ්වාස නොකරමි.

අධිකරණය මගින් බලාත්මක කළ හැකි ආර්ථික සහ සමාජ අයිතිවාසිකම් සහිත ක්‍රමයක තමන් වග නොකියන යම් පිරිවැය පැනවීමට අධිකරණයට බලතල ලැබේ. උදාහරණයක් වශයෙන් අධිකරණයට යම් සේවාවක් සැපයීම සඳහා, ඒ සඳහා මුදල් සොයා ගන්නේ කෙසේදැයි නොපෙන්වා, ආණ්ඩුවට නියෝග කළ හැකිය. නීතියට අනුව සිදුවන අධිකරණ නියෝග මෙන් නොව සුබසාධන සහන සැලසීමට කරන මෙම නියෝග මගින් ඇතිවන ප්‍රතිවිපාක අධිකරණයට නොපෙනේ. වගකීම් රහිත අධිකරණයක නියෝග වලට අවනත වීමට සිදුවන ආණ්ඩුවකට වෙනත් වැය ශිර්ෂවල ප්‍රතිපාදන අඩු කිරීමට හෝ ජනතාවගෙන් වැඩිපුර බදු අය කිරීමට හෝ සිදුවනු ඇත. 

සමාජයේ එක් කොටසකගේ ආර්ථික අයිතිවාසිකම් බලාත්මක කිරීම මගින් තවත් කොටසකගේ ආර්ථික අයිතිවාසිකම්වලට බලපෑමක් සිදුවිය හැක. උදාහරණයක් වශයෙන් අරක්ෂණවාදී ප්‍රතිපත්ති වල මිල පාරිභෝගිකයන් විසින් දරා ගනු ලැබේ. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය මගින් දුප්පතුන්ට වඩාත් හානි සිදු කරමින් එම භාණ්ඩවල හිඟයක් සහ කළු කඩයක් ඇතිවිය හැක. සමහර අවස්ථාවලදී හානි සිදුවූ සමාජ කොටස්වලට වෙනත් ක්‍රමයකින් හානිපූරණය කිරීමට සිදුවනු ඇත. අධිකරණයට මෙය කළ නොහැක. මේවා දේශපාලන වශයෙන් ප්‍රතික්‍රියා දැක්විය හැකි තෝරා පත්කරගත් ආණ්ඩුවක තීරණ විය යුතුය. ඩැනියෙල් එම්. බි්‍රන්ක්ස් සහ විලියම් ෆෝබත් මෙසේ  විස්තර කර ඇත.

සමාජ සහ ආර්ථික අයිතිවාසිකම් වෙනුවෙන් කෙරෙන අධිකරණමය මැදහත් වීම් වලින් යම් බලපෑමක් ඇතිවීමට නම් අධිකරණය සහ නීතිවේදීන් සිය සම්ප්‍රදායික කාර්යයන්ගෙන් ඔබ්බට ගොස් වඩාත් මුහුකුරා ගිය ලෙස හැසිරිය යුතුය. එනමුත් ප්‍රශ්නය වන්නේ අධිකරණය සිය සම්ප්‍රදායික කාර්යයෙන් ඔබ්බට යන විට නීතිය අනුව විනිශ්චයන් දීමේ කාර්යයේදී ප්‍රජාතන්ත්‍රවාදයට, ව්‍යවස්ථාපිත ආණ්ඩුකරණයට සහ සිවිල් නිදහසට වන බරපතළ හානියයි.

සුබසාධක අයිතිවාසිකම් අධිකරණය මගින් බලාත්මක කිරීම හරහා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් අනතුරට ලක්වේ.

වඩාත් විස්තීර්ණ සමාජ සුබසාධක ක්‍රම තිබෙන්නේ නීතියේ අධිපත්‍යය, ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදය සහ  සිවිල් නිදහස පදනම් කරගෙන ජාතික ධනය ගොඩනංවන ලද රටවල්වල බව පුදුමයක් නොවේ. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඇති සුබසාධන රාජ්‍යවල පරිමාණය සහ එම පහසුකම් සැලසීමේ හැකියාව මෑත අවුරුදුවල බරපතළ ලෙස ප්‍රශ්ණ කිරීමට ලක්ව තිබේ. සිය උසස් ආර්ථික ක්‍රියාකාරීත්වය,  විශේෂයෙන්ම දේපලවල අයිතිය ද  ව්‍යාපාරයක රැකියාවක හෝ වෘත්තියක යෙදීමේ අයිතියද තහවුරු කෙරෙන්නා වූ  සිවිල් සහ දේශපාලන නිදහස මත පදනම්ව තිබෙන  දියුණු වූ රටවල  ලෝකයේ තිබෙන වඩාත් ත්‍යාගශීලි සුබසාධක ක්‍රම තිබෙන බවට සැකයක් නොමැත. සුබසාධන හිමිකම් සැපයීම පහසු කරන කොන්දේසි අනුක්‍රමයෙන් වැඩි වනසේ වැඩි දියුණු කිරීමට සිවිල් අයිතීන් සහ නිදහස සෘජුව සහ වක්‍රව දායක වේ. වැඩි ආර්ථික වෘද්ධියක් තිබුණු අග්නිදිග ආසියාතික රටවල් විස්තීර්ණ සුබසාධක ක්‍රම නිර්මාණය නොකළ අතර  එම රටවල් මගින් ඇතිකරන ලද ඉහළ ජීවන තත්ත්වයන් මගින් රාජ්‍ය සුබසාධනය බොහෝ සෙයින් අනවශ්‍ය මට්ටමකට පත් කරන ලදී.

අධිකරණය මගින් බලාත්මක කරන ලද ආර්ථික සහ සමාජ අයිතීන් මෙයට ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති කරයි. නීිතිය මගින් තහවුරු කරන ලද අයිතිවාසිකම් සහ යුතුකම් අනුව සුබසාධක අයිතිවාසිකම් තීරණය නොවේ. ඒවා තීරණය වන්නේ ප්‍රතිපත්තීන් අනුව සහ සාධාරණත්වය පිළිබඳ අධිකරණයේ ආවේනික දැක්ම  හා නඩුවට පැටලී සිටින්නන් ගේ අවශ්‍යතා අධිකරණය විසින් තේරුම් ගන්නා  ආකාරය අනුවයි. මෙහි තේරුම නම් සේවා යෝජකයන්, වෙළෙන්දන්, පුද්ගලික රෝහල්   සහ පුද්ගලික පාසල් වැනි පුද්ගලයන්ට හෝ ව්‍යාපාරයන්ට එරෙහිව වන සුබසාධක හිමිකම් ඉල්ලීම් සෑමවිටම පාහේ ඔවුන්ගේ පවතින අයිතිවාසිකම් අඩුවන අන්දමින් අවසන් වේ. පවතින අයිතිවාසිකම් අස්ථාවර කරන සහ නිදහස සිමා කරණ මෙවැනි අධිකරණ මැදහත් වීම් මගින් ජාතික සමෘද්ධිය වර්ධනය කරන  තත්ත්වයන්ද එමගින් සුබසාධනය සැලසීමේ හැකියාවද අනතුරට හෙලයි.

සුබසාධක අයිතිවාසිකම් ව්‍යවස්ථාපිත කිරීම දුප්පතුන්ට හානි කරයි.

ව්‍යවස්ථාපිත සුබසාධක අයිතිවාසිකම්වල ප්‍රධාන අර්ථලාභීන් වන්නේ ඉහළ අදායම් ලබන කණ්ඩායම්ය. වියදම් අධික නඩු කීමේ පටිපාටියක් තිබෙන විට මෙය පුදුමයක් නොවේ.  බලාපොරොත්තු විය හැකි නඩු කීමේ ක්‍රම දෙකක් තිබේ. (අ) ජාතික සාධාරණ වේතනයක්, විශ්‍රාම වැටුප් සඳහා සැමට පොදු වයස් සීමාවක් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය පහසුකම් වැනි පුළුල් තීන්දු අපේක්ෂා කරන පොදු යහපත සඳහා පවරන නඩු  (ආ) වියදම් අධික වෛද්‍ය පහසුකම් වැනි දේ ඉල්ලා කෙරෙන පුද්ගලික ඉල්ලීම්. අධිකරණය මගින් බලාත්මක කරන ලද සුබසාධක අයිතිවාසිකම් මොඩලය ස්ථාපිත රටවල  අත්දැකීම වන්නේ මෙවැනි නඩුවල ඇති බහුතරය දෙවන වර්ගයේ නඩු වීමයි. බ්‍රසීලයේ සෑම වසරකම වෛද්‍ය පහසුකම් ඉල්ලා කෙරෙන පුද්ගලික නඩුවල ප්‍රමාණය 40,000 ඉක්මවන බව ඔක්ටවියෝ ෆෙරාස් සඳහන් කරයි. මෙම නඩුවල බහුතරය පොහොසතුන් විසින් වියදම් අධික වෛද්‍ය පහසුකම් ඉල්ලා පවරන ලද නඩු වේ. 

ෆෙරාස් සිය ලියවිල්ල මෙසේ සමාප්ත කරයි. දියුණු රාජ්‍යවල, නගරවල සහ දිස්ත්‍රික්කවල මෙවැනි නඩුවල වැඩි සංකේන්ද්‍රණයක් දක්නට ලැබීම පැහැදිලි කිරීමේ පුදුමයක් නැත. බොහෝ දුගී බ්‍රසීල ජාතිකයන්ට උසාවිවලට සහ නීතිඥයන්ට ප්‍රවේශ වීමේ හැකියාවක් නොමැත.  බොහෝ අසමානකම් ද සම්පත්වල සීමා සහිතකම් ඇති පොදු සෞඛ්‍ය සේවයක් ද ඇති රටක එමෙන්ම උසාවි පද්ධතිය කුඩා කණ්ඩායමක් විසින් තමන්ට වාසිදායක ලෙස හැසිරවිය හැකි රටක බොහෝ නඩු පැවරීම් සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් වීම ප්‍රමුඛතාවයක් ලෙස සැලකිය නොහැක. මෙම තත්ත්වය යටතේ සමාජ අයිතිවාසිකම් පිළිබඳ නඩුකර බ්‍රසීල උසාවි පද්ධතියෙන් ඉවතට ගැනීමට පක්ෂ තර්කය වඩාත් ප්‍රබල වේ.

දියුණු වන රටවල බහුතරය වන සමාජයේ අඩු වරප්‍රසාදිත කොටස්වලට වැඩි කේවල් කිරීමේ හැකියාවක් ඇත්තේ ඡන්ද පෙට්ටියේ මිස උසාවියේ නොවේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ විශේෂය මෙයයි. 

ව්‍යවස්ථාපිත සුබසාධන අයිතිවාසිකම් – මනෝරාජික නපුරු සිහිනය

සුබසාධන හිමිකම් සදාචාරාත්මක සහ දේශපාලන හිමිකම් වේ. මේවා ආමන්ත්‍රණය කළ යුත්තේ දේශපාලන සහ සදාචාරවාදී අනුශාසනාවන්ගේ රඟමඬලවල්  තුළය. නූතන ප්‍රගතිශීලින් සිතන්නේ සුබසාධන අයිතිවාසිකම්වල භාරකරු ලෙස අධිකරණය පත් කිරීම මගින් ඒවා වෙළෙඳපොළ බලවේග සහ ප්‍රතිගාමී දේශපාලනයේ බලපෑමට හසු නොවී පවතිනු ඇති බවයි. අවාසනාවකට මෙන් අවවරප්‍රසාදිතයන්ට හානි සිදුකරමින් වරප්‍රසාද ලාභී සුළුතරයකට වාසි සැලසෙනසේ බලවත් ජාතික ප්‍රතිවිපාක ඇති කරවන මෙම කරුණු පොදු සහ පුද්ගලික විෂය පථයෙන් බැහැර කිරීමට ඔවුන් සමත් වනු ඇත. කරුණු නිවැරදි ලෙස වාර්තා නොකරන ලද එමෙන්ම අභිමතානුකුල ලෙස වෙළෙඳපොළ ක්‍රියාදාමයන්ට මැදහත් වීමට බලය ඇති අධිකරණය ජනතාවගේ සුබසාධනය රඳා පවතින ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී කරනු ඇත.

සුබසාධන අයිතිවාසිකම් ව්‍යවස්ථාපිත කිරීම ප්‍රවර්ධනය කරන්නන් ධනය සහ අර්ථ සාධනය උත්පාදනය කරන්නේ ජනතාව මිස ආණ්ඩු හෝ අධිකරණ හෝ නොවන බව හොඳින් මතක තබා ගත යුතුය. ආර්ථික ඉතිහාසයේ වැදගත්ම පාඩම මෙයයි. ජනතාවගේ නිර්මාණාත්මක හැකියාවන් මුදා හැරීම සියල්ලන්ගේම සුබසාධනය සුරැකීමේ නිසැක මඟ වේ. මෙය කළ හැක්කේ සිවිල් අයිතීන් සහ නිදහස බලගැන්වීම මත මිස  මානව හිමිකම්වල නාමයෙන් නිශ්චිත හැඩරුවක් නොමැති විෂය සීමාවක් ඉල්ලා සිටීම මගින් නොවේ.■

(මෙම ලේඛනය සඳහා මහාචාර්ය රසින් සාලි, මහාචාර්ය ඔස්ටින් පුල්ලේ, නීතිඥ සුරේන් ප්‍රනාන්දු සහ නීතිඥ නිරාන් අන්කටෙල් විසින් දෙන ලද බුද්ධිමය දායකත්වය ලේඛකයා කෘතඥතා පූර්වකව සිහිපත් කරයි.)

මෙහි පළමුවන ලිපිය හෙවත් සුභසාධක අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල කිරීම මනෝරාජික නපුරු සිහිනයකි – 1 2017.05.29 වන දින රාවය සමබිම අතිරේකයේ පල කරන ලදී.

මහාචාර්ය සූරී රත්නපාල විසින් ලියන ලිපියක් හර්ෂ ගුණසේන විසින් සිංහලට පරිවර්තනය කරමින් 2017.06.04 වන දින රාවය සමබිම අතිරේකයට සකස් කරන ලද්දකි.

Recent Posts

Tags: , , , ,

Leave a Comment