හරි විදියට තොරතුරු ලබා ගන්නෙ මෙහෙමයි

Jun 12th, 2017 | By | Category: LEAD NEWS, Today Lead News, තොරතුරු හෙළිකරනු, මාධ්‍ය නිදහස

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) ව්‍යවස්ථාවේ ප්‍රකාර තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය බලාත්මක කිරීම සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත 2016 අගෝස්තු 04 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී. තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති මහජන සම්බන්ධව විධිවිධාන සැලසීම හා පනතේ පූර්විකාවේම සඳහන් පරිදි මහජනතාවට යහපාලනය සඳහා වැඩි ඉඩහසර ලබා දෙන සක්‍රීය පුරවැසි සමාජයක ප්‍රවර්ධනය මෙම පනතින් අපේක්ෂිතය. එසේම රටේ පොදු අධිකාරීන්හි විනිවිදභාවය හා වගකීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීම ද මෙහි ප්‍රධාන අරමුණකි.

මහජනයාට තොරතුරු ඉල්ලා සිටිය හැකි ආකාරයන් හා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථාවන් ද තොරතුරු ඉල්ලා සිටීමේ නිශ්චිත ක්‍රියාපටිපාටිය හා ඊට අදාළ කාරණා ද මෙම පනතේ තවදුරටත් සඳහන්ය. එමෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම හා එහි නිලධරයන්ගේ කාර්යභාරය ද මෙම පනත යටතේ ස්ථාපිත වේ. මෙහි පහත ප්‍රශ්නාවලිය මඟින් තොරතුරු අයැදුම් කිරීම පිළිබඳ ක්‍රියාවලිය සරල ලෙස පනත ප්‍රකාරව සාකච්ඡා කෙරේ.

RTI

1. තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලුම් කළ හැක්කේ කුමන ආයතනවලින් ද?

පොදු අධිකාරියක සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරු ලබා ගැනීමේ අයිතිය පුරවැසියාට ඇත. මෙහි පොදු අධිකාරීන් ලෙස සලකනු ලබන්නේ ආණ්ඩුවේ අමාත්‍යංශයක්, මණ්ඩලයක්, දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය සංස්ථාවක්, 25%ට වැඩි කොටස් ප්‍රමාණයක් රජය සතු සංස්ථාගත සමාගමක්, පළාත් පාලන ආයතනයක්, පළාත් සභා මගින් පිහිටුවනු ලබන දෙපාර්තමේන්තුවක් හෝ අධිකාරයක්, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ආයතන ඇතුළු උසස් අධ්‍යාපන ආයතන, වෘත්තීය හෝ කාර්මික අධ්‍යාපන ආයතන ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වෘත්තීය හෝ කාර්මික අධ්‍යාපන ආයතන, අධිකරණ විනිශ්චය අධිකරණ හා ආයතන යන ආයතනයි.

2. තොරතුරු ඉල්ලීම කළ යුත්තේ කවර නිලධාරියෙකුගෙන් ද?

තොරතුරු ඉල්ලීම සිදු කළ යුත්තේ අදාළ ආයතන මගින් පත් කර ඇති තොරතුරු නිලධාරියාගෙනි. තොරතුරු නිලධාරියෙකු පනත ක්‍රියාත්මක වී මාස තුනක් තුළ පත් කළ යුතු අතර එකී පත් කිරීම සිදු කරන ප්‍රධානියා හෝ ප්‍රධාන විධායක නිලධාරියා තොරතුරු නිලධාරියා ලෙස සලකනු ලැබේ.

3. තොරතුරු ඉල්ලීම කළ හැක්කේ කුමන මාර්ගවලින් ද?

ඉල්ලා සිටින තොරතුරු පිළිබඳ නිශ්චිත ලෙස දක්වමින් තොරතුරු නිලධාරියාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ යුතුය. (විද්‍යුත් මාර්ගය ද මීට ඇතුළත් වේ.) කෙසේ වුව ද යම් පුරවැසියෙකුට යම් හේතුවක් මත ලිඛිතව ඉල්ලීම කළ නොහැකි අවස්ථාවල ඉල්ලීම වාචිකව කිරීමට පුරවැසියාට හිමිකමක් ඇති අතර එම ඉල්ලීම කරන පුරවැසියා වෙනුවෙන් එය ලිඛිතව සටහන් කර ගැනීම තොරතුරු නිලධාරියා කළ යුතුය.

image_1489086548-afe3e3adee
4. තොරතුරු පනත මඟින් හඳුන්වා දී ඇති ආකෘති පත්‍රය භාවිතා කිරීම අනිවාර්යය ද?

නැත

5. තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවක ඉල්ලීමේ සඳහන් කළ යුතු කාරණා කවරේද?

● තොරතුරට අදාළ විස්තරය උදාඃ දිනය, වාර්තාවේ නම, ස්වභාවය
● තොරතුර අවශ්‍ය ස්වභාවය උදාඃ ඡායා පිටපත්
● තොරතුර අවශ්‍ය භාෂාව
● යමෙකුගේ ජීවිතය හෝ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහන් වන විට අදාළ ප්‍රකාශනයක්
● තොරතුරු ඉල්ලුම්කරු සම්බන්ධ කර ගත හැකි විස්තර උදාඃ ලිපිනය, දුරකථන අංකය
★ තොරතුරු ඉල්ලා සිටීමේ හේතුව හෝ වෙනත් පුද්ගලික විස්තර ලබා දීම අවශ්‍ය නොවේ.

6. තොරතුරු ලබා ගැනීම සඳහා මුදල් ගෙවිය යුතු ද?

ඔව්. අදාළ ආයතන විසින් තම කාර්යාල පරිශ්‍රය තුළ ප්‍රකටව පෙනෙන ස්ථානයක සහ වෙබ් අඩවියක් ඇත්නම් එහි ඕනෑම තොරතුරක් ලබා ගැනීම සඳහා අය කරනු ලබන ගාස්තුව පිළිබඳව නිවේදනයක් ප්‍රදර්ශනය කළ යුතුය. තොරතුරු දැනගැනීමේ කොමිෂම විසින් මෙකී ගාස්තු පිළිබඳ නිර්ණායක සැපයිය යුතුය. ගාස්තු නොගෙවා තොරතුරු ලබා ගත හැකි අවස්ථාවන් ද නිශ්චිතව දක්වා තිබිය යුතුය.

7. පිළිතුරු ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේ ද?

ඉල්ලීමක් ලැබීමේදී එම ඉල්ලීම ලැබීම පිළිබඳ වහාම ලිඛිත දැනුම්දීමක් ලැබිය යුතුය. තොරතුරු නිලධාරියා විසින් හැකි ඉක්මනින් සහ කෙසේ වුව ද දින දාහතරක් තුළ අදාළ ගාස්තු ගෙවීම මත ඉල්ලා සිටින තොරතුර ලබා දීම හෝ පනතේ ප්‍රකාර ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව තීරණය කර ඇත්නම් එකී තීරණය ඉල්ලුම්කරුට වහාම දැනුම් දිය යුතුය.
අදාළ තොරතුරු ඉල්ලීම පුද්ගලයෙකුගේ ජීවිතය සහ නිදහස සම්බන්ධයෙන් වන විට ප්‍රතිචාර දැක්වීම පැය හතළිස් අටක් තුළ සිදු කළ යුතුය.

8. තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථා මොනවාද?

● තනි පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම. විශාල වශයෙන් මහජන සුභසිද්ධිය සැලසේ නම් හෝ හෙළිදරව් කිරීමට ලිඛිත අනුමැතිය අදාළ තැනැත්තා දී ඇත්නම් මිස තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ හැකිය.
● රාජ්‍ය ආරක්ෂාවට භෞමික අඛණ්ඩතාවයට හෝ ජාතික ආරක්ෂාවට බරපතළ හානි ගෙන දෙන විට,
● යම් රජයක් හෝ ජාත්‍යන්තර නීතිය යටතේ වූ අන්තර්ජාතික ගිවිසුම මඟින් ලබා ගත් රහස්‍ය තොරතුරු වන විට හා එකී තොරතුරු ලබා දීම මඟින් ශ්‍රී ලංකාවේ ඇති අන්තර්ජාතික ගිවිසුම් හා බැඳීම්වලට හානි වන අවස්ථාවන්වන්හී දී,
● ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමට හෝ පවත්වාගෙන යාමට ගන්නා තීරණ නිසි කලට පෙර හෙළිදරව් වීම මඟින් ආර්ථිකයට බරපතළ හානියක් වන විට
● වාණිජ රහස්, වෙළඳ රහස් බුද්ධිමය දේපළ තොරතුරු
● අනෙකුගේ වෛද්‍ය වාර්තා
● වෘත්තිකයන් සපයන සේවා සම්බන්ධ යම් නීතියකින් අවසර දී නොමැති විට
● නීතිය බලාත්මක කිරීමට, අපරාධකරුවන් අත්අඩංගුවට බාධා වන තොරතුරු
● අධිකරණයේ අපක්ෂපාතී බවට හා අධිකාරී බලයට හානිවන තොරතුරු
● පාර්ලිමේන්තු හා පළාත් සභා වරප්‍රසාද උල්ලංඝනය වන තොරතුරු
● රහසිගතව තබා ගත යුතු වන තොරතුරු/ විභාගයකට අදාළ තොරතුරු
● තීරණයක් ගෙන නොමැති අමාත්‍ය මණ්ඩල සංදේශ
● මැතිවරණ නීති මඟින් රහසිගතව තබා ගත යුතු මැතිවරණයකට අදාළ වන තොරතුරු
ඉහත අවස්ථාවල තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට හැකිය.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත ඇසුරින් සකස් කළේ නීතිඥ හේමමාලි පෙරේරා

Recent Posts

Tags: , , , , ,

Leave a Comment