ඒජන්ට් ස්මිත් සහ නියෝ අතර අරගලය හෙවත් සැකකරුවෙකුට නීතිඥ සහය ලබාගැනීමේ අයිතිය

Jun 19th, 2017 | By | Category: OTHER NEWS, Today Lead News, සමබිම ඉරිදා අතිරේකය

ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුණු හොලිවුඞ් චිත්‍රපටයක් වන ද මැට්‍රික්ස්”‍ චිත්‍රපටියේ මිස්ටර් ඇන්ඩර්සන් යනු පරිගණක මෘදුකාංග සමාගමක සේවය කරන වැදගත් නීතිගරුක පුරවැසියෙකි. නමුත් රාත්‍රී කාලයේදී ඔහු නියෝ යන ආරූඪ නමින් පෙනී සිටින කොම්පියුටර් හැකර් කෙනෙකි. ලෝකය පාලනය කරන යන්ත්‍රවලට එරෙහිව කැරළි ගසන කණ්ඩායමක නායකයෙකු වන මෝෆියස් නියෝ සමග සම්බන්ධතාවයක් ඇති කර ගනියි. මේ බව දැනගන්නා ඔත්තු සේවා නියෝ අත්අඩංගුවට ගනියි. ඒජන්ට් ස්මිත් ප්‍රමුඛ ඔත්තු සේවා නිලධාරීන් නියෝ පිළිබඳ සියලු තොරතුරු දන්නා අතර මින් මතුවට ඔහුගේ නිත්‍යනුකූල ජීවිතය හෝ නීතිවිරෝධී ජීවිතය යන දෙකෙන් එක ජීවිතයක් ඔහු විසින් තෝරාගත යුතු බව පවසති. නියෝගේ නීති විරෝධී අතීතය වළලා දමා ෆයිල් එක වසා දැමීමට තමාට පුළුවන් බවත්, එයට ප්‍රති උපකාර ලෙස මෝෆියස් නම් භයානක ත්‍රස්තවාදියා අල්ලාගැනීමට තමාට ඔත්තු සපයන ලෙසත් රහස් ඔත්තු සේවා නිලධාරීහු ඔහුට කියා සිටිති. 

m-1

නමුත්, පුරවැසියෙකු හැටියට තමාට අයිතිවාසිකම් තිබෙන බව නියෝ දනියි. ඒ නිසා ඔහු මේ ඔත්තුකරුවන්ගේ යෝජනාවට බිය නොවී, ඔවුනට තම මැඳැඟිල්ල පෙන්වා උපහාසයෙන් මෙසේ කියයි. යනව ඕයි යන්න, මට දෙනව මගේ ෆෝන් කෝල් එක.නීතිඥයෙකුට කතා කොට නීතිඥ සහාය ගැනීමට තමන්ට අයිතියක් ඇති බවත්, තමන් නීතියට යටින් කටයුතු කළත් තමන් සැකකරුවෙක් පමණක් බවත්, වරදකරුවෙක් වශයෙන් ඔප්පු වෙනතුරු තමාට නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය හිමි බවත් ඔහුට විශ්වාසය. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මේ අයිතිවාසිකම් වලට ගරු කරන බවත් ඔහුට විශ්වාසය. පුරවැසියන් වශයෙන් අප අතින් නීතිය කැඩෙන්නට පුළුවන. අපගේ බදු මුදල් යොදවා නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිහිටුවා ඇත්තේ ඒ ගැන සොයා බලා නීතිය අනුව ක්‍රියා කිරීමටය.

2017 ජුනි 06 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කළ විශේෂ නඩු කටයුත්තකදී ඉහත සඳහාන් මැට්‍රික්ස් චිත්‍රපටය සිහිගන්වන කරුණක් විවාද කෙරිණි. ඒ 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන පනත) සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කොට ඇති සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන්නේද (එනම් එකඟද) යන්න පිළිබඳව වූ නඩුවේදීය. කිසියම් පනතක් පාර්ලිමේන්තුවෙහි සම්මත කළ පසු එය නීතියක් බවට පත් වෙයි. නමුත්, පනත සම්මත වීමට පෙර, එහි ව්‍යවස්ථානුකූලභාවය උරගා බලනු පිණිස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කෙරෙයි. අදාළ සංශෝධන පනත් කෙටුමත ඉදිරිපත්වූ අවස්ථවේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සිවිල් සමාජ සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයත්, එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතාත් මෙම කෙටුම්පතෙහි වගන්ති දෙකක් සම්බන්ධයෙන් ඒවායේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළහ. මෙයට අමතරව මහජන එක්සත් පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සෝමවීර චන්ද්‍රසිරි මහතා විසින්ද තවත් පෙත්සමක් ඉදිරිපත්ව තිබිණි.

85411008694887059-pakiasothy-saravanamuttu.one-half

මෙහිදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් තර්ක කරන ලද්දේ කෙටුම්පතේ 2 වැනි වගන්තියේ ඇතුළත් 6 අ (2) සහ (6) අනු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 11, 12(1), 13(1), 13(2), 13(3), 14(1) සහ 17 යන ව්‍යවස්ථාවන්ට අනුකූල නොවන බවයි. මෙම විධිවිධානයන් නීති බවට පත් වුවහොත් එමගින් යම් සැකකරුවෙකු පොලිස් ස්ථානයක රඳවා ඇති විටෙක සිදුකරමින් පවතින පරීක්ෂණයන්හට බලපානහෝ අගතිගාමී ලෙස බලපානයන පදනමින් සැකකරුවකු වෙත හෝ පොලිස් ස්ථානයක් වෙත නීතිඥයකු විසින් ප්‍රවේශවීම වැළැක්වීමට පොලිස් ස්ථානාධිපතිවරයකුට ඉඩකඩ සැලසේ. එම නිසා මෙම විධිවිධානයන් නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අත්අඩංගුවේ සිටින පුද්ගලයන්හට සහතික කොට ඇති අයිතිවාසිකම්වලට  පටහැණි වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වන සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිවාසිකමට අත්අඩංගුවේ සිටින ඕනෑම පුද්ගලයකුහට නීතිඥ සහාය ලබා ගැනීමට ඇති අයිතිවාසිකම ද ඇතුළත්වන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් තර්ක කරනු ලැබීය.

කෙටුම්පතේ දෙවන වගන්තියේ ඇතුළත් 6අ(2) සහ (6) අනු වගන්ති ඉතා අපහැදිලි ලෙස කෙටුම්පත් කර ඇති අතර විමර්ශනයක් සිදුකරමින් පවතින විටක  රැඳවියකුහට නීතිඥයකු වෙත ප්‍රවේශවීමෙහි හෝ පොලිස් ස්ථානයක් වෙත වන නීතිඥයකුගේ ප්‍රවේශවීමෙහි  අගතිගාමී බලපෑමනිර්ණය කිරීමේ වාස්තවික නිර්ණායකයන් පිළිබඳව සඳහනක් නොමැත. මෙමගින් තම සේවාලාභියා ප්‍රමාණවත් ලෙස නියෝජනය කිරීමට නීතිඥයකුට ඇති හැකියාවට සීමා පැනවෙයි. මෙම විධිවිධානයන් ඒවා අවභාවිතයට ඉඩකඩ සලසන සුළු යැයි කිව හැක්කේ එමගින් වධහිංසා පමුණුවනු නොලැබීමට ඇති අයිතිය ඇතුළුව රැඳවියන්ගේ අයිතිවාසිකම්වල වැඩිදුර උල්ලංඝනයනටද මග සැලසෙන බැවිනි.

තාවකාලික ලෙස පමණක් මෙම විධිවිධානයන් ක්‍රියාත්මක කරනු ලැබීමට යෝජනා වී ඇති නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වැනි මෙවැනිම තාවකාලික නීතිකරණයන් කාලයාගේ ඇවැමෙන් ස්ථිර නීති බවට පත් වු බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සඳහන් කරයි.

කෙසේ වුවද, සංශෝධනය සඳහා වු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගැනීමට රජය විසින් තීරණය කර ඇති බව ජුනි 06 වන දා නඩුව විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා විසින් ශ්‍රේෂ්ඨාධිරණය වෙත දැනුම් දෙන ලදී.  ඒ අනුව පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු කටයුතු කළහ.

අධිකරණයේදී දැනුම් දෙනු ලැබු කරුණු සැලකිල්ලට ගන්නා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය රජය වෙතින් ඉල්ලා සිටින්නේ අදාළ සියලු පාර්ශ්වයන් ගේ අදහස් විමසා බැලීම පිණිස අදහස් හා යෝජනා කැඳවීමක් සිදු කරන ලෙසය. මෙම ක්‍රියාදාමය විනිවිදභාවයෙන් යුතු සහ සියල්ලන් ඇතුළත් කර ගන්නා එකක් බව සහතික කරනු ලබන්නේ එමගිනි.

(ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මාධ්‍ය වෙත  නිකුත් කළ නිවේදනයද පාදක කරගන්නා ලදී.)

සුදර්ශන ගුණවර්ධන

 

Recent Posts

Tags: , , , , , , , ,

Leave a Comment