ප්ලාස්ටික් හාල් සහ Media බෝල

Jun 21st, 2017 | By | Category: LEAD NEWS, Today Lead News

“ඇමති මණ්ඩලය වෙනස් කළ ආකාරය විද්‍යාත්මක නැහැ කියලා ඇතැමුන් කියනවා. එයින් වැඩි දෙනකු ඒකාබද්ධ විපක්ෂයේ. ටික දෙනකු ආණ්ඩු පක්ෂයේ. ජනමාධ්‍යයේ පඬියනුත් එය විද්‍යාත්මක නැහැ කියලා කියනවා. මට නම් තේරෙන්නෙ නැහැ මේ විද්‍යාත්මක නොවීම කියන්නේ මොකක් ද කියලා. ඒ කියන අය අතර විද්‍යාඥයන් නැති බව මා දන්නවා. ඒ ලංකාවෙ විද්‍යාඥයන් නැති නිසයි. ඒ වුණත් ජනමාධ්‍ය පඬියන් කියන්නේ පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය යන්න විද්‍යාත්මක විධි ක්‍රමය කියලයි. ඒක ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය නොවන බව ඇතැමුන් දන්නවා

මේ මහාචාර්ය නලින් ද සිල්වා සිය කාලය (www.kalaya.org) කියන වෙබ් අඩවියට ලියූ සටහනක කොටසක්. මේක උපුටා දැක්වූයේ ඇමති මණ්ඩලය හෝ අමාත්‍යංශ විෂයන් මාරු කරපු විදිහ ගැන ලියන්න නෙවෙයි. කවුරුහරි මොකක්හරි වචනයක් දාපුහම ඒක අල්ලගෙන අනෙක් අය දඟලන විදිහ ගැන තේරුම් ගන්න. මෙතනදී මහාචාර්ය නලින් ද සිල්වා නිවැරදිවම කියන ආකාරයටම කවුරුහරි පඬියෙක් ඇමැති මණ්ඩල බෙදීම විද්‍යාත්මක නැහැ කිව්වහම හැමොම ඒක අල්ලගෙන දඟලනවා. ඇමැති මණ්ඩල බෙදන විද්‍යාත්මක ක්‍රමයක් ලෝකයේ කොහේවත් නැහැ, තියෙන්නේ දේශපාලන ක්‍රමයක් පමණයි. ඒ දේශපාලන ක්‍රමය තමයි පවතින දේශපාලන යථාර්ථයට සාපේක්ෂව එය සිදු කරන එක. ලංකාවෙත් ඇමැති මණ්ඩලය බෙදල තියෙන්නේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයකට නොව පවතින දේශපාලන යථාර්ථය අනුව බව ඕනිම කෙනෙකුට පැහැදිලි වෙන්න ඕන. 2015 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරද්දලා යහපාලන ආණ්ඩුව ආවේ රටේ ජාතීන් අතර සංහිඳියාව ඇති කරන්න, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන, බලය බෙදන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න සහ ස්ථිර ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න මිස ලොතරැයි මණ්ඩලයට වඩාත්ම සුදුසු තැන තෝරන්න නෙවෙයි.

මේ මොහොතේ වඩා ප්‍රධාන දේ තමයි යහපාලන ආණ්ඩුව තමන් ආපු වැඬේ එහෙමත් නැත්නම් මැන්ඬේට් එකට අනුව වැඩ කරනවද කියන එක. ඒ මැන්ඬේට් එක වෙනුවෙන් ඇමති මණ්ඩල මාරු කරන්න, අමාත්‍යංශ විෂයයන් මාරු කරන්න විතරක් නෙවෙයි ඇමැති මණ්ඩලය ඔළුවෙන් හිටවල ප්‍රශ්න කරත් ප්‍රශ්නයක් නැහැ.

ආණ්ඩුව තමන්ගේ මැන්ඬේට් එකට අනුව වැඩ කරනවද කියල හොයල බලන එක පැත්තක තියල ආණ්ඩුව බලය සමබර කරගැනීම වෙනුවෙන් කරන තාක්ෂණික කටයුතු ප්‍රධාන දේවල් බවට පත්කරන්නේ මාධ්‍ය විසිනුයි. මේක හරියට ප්ලාස්ටික් සහල් කතාව වගේ. හාල් ගෙනල්ල බත් උයල කනව වෙනුවට බත්වලින් බෝල හදල බිම ගහල බලන්න මාධ්‍ය විසින් පහුගිය දවස්වල පුරුදු කරා. අන්තිමට ගොවි මහත්මයෙක්ම මාධ්‍ය සාකච්ඡාවක් තියල කිව්වා ඕනම හාල් ජාතියක් මෙහෙම තමයි කියලා. මේ වගේ මාධ්‍ය විසින් කාලෙන් කාලෙට හදල දෙන බෝල අපි හැමෝම උඩ දාන එක හරි බිම ගහන එක හරි නවත්තන්න කාලය හරි.

 

 නිතිඥ ප්‍රබෝධ රත්නායක විසින් 2017 ජුනි සමබිම කලාපයේ කවරයේ කතාවට ලියන ලද ලිපියකි.

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment