ලක්ෂාන් නැති කිරීම වෙනුවට ලක්ෂාන්ට නඩු නැති කිරීම

Jun 24th, 2017 | By | Category: OTHER NEWS, Today Lead News, ප‍්‍රබෝධ රත්නායක, රුපවාහිනි දේශපාලන සංවාද, සමබිම ඉරිදා අතිරේකය

ආගම් සහ ජාතිවාදයට එරෙහිව සංකල්පීය තලයේදී දක්වන අදහස්වලට තරහ නොයන ගොඩක් දෙනෙකුට නීතිඥ ලක්ෂාන් ඩයස් අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් තරහ ගොස් සිටිනු දක්නට ලැබිණ. අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ යනු මෙහි ජනප්‍රිය ප්‍රකාශකයෙක් පමණි. ලක්ෂාන් කළේ බොරු ප්‍රකාශයක් බව පැවසීමට හදිසි කලබලයක් ඇති වූ අතර කාදිනල් මැල්කම් රංජිත් හිමිගේ ප්‍රකාශයක් ඇසුරින් එය තහවුරු කිරීමට ජනාධිපතිවරයා පවා  උත්සාහ දැරීය. ක්‍රිස්තියානි පල්ලිවලට එල්ලවූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කතෝලික පල්ලියේ නායකයාගෙන් කරුණු සනාත කර ගැනීමට යෑම මේ කලබල වීම වැඩිකමේ ප්‍රතිඵලයකි.

g 

එදින අලුත් පාර්ලිමේන්තුව වැඩ සටහනේදී ලක්ෂාන් ඩයස් විසින් ඉදිරිපත් කරන ලද්දේ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය පිළිබඳ විග්‍රහයකි. සංවාදයට සහභාගී වූ ගාමිණි වියන්ගොඩ සහ ලක්ෂාන් සමාන මතවාදයක සිටිනු දක්නට ලැබූ අතර මහාචාර්ය සුමනසිරි ලියනගේ, මොහාන් සමරනායක සහ ගෙවිඳු කුමාරතුංග එහි ප්‍රතිපාර්ශවය නියෝජනය කරනු දක්නට ලැබිණ. 

වැඩසටහන ආරම්භයේදීම සිවිල් සමාජ සංවිධාන යනු නව යටත් විජිතවාදයේ උපකරණයක් යන මතයට එරෙහිව ලංකාවේ දේශපාලනික සිවිල් සමාජයේ ආරම්භය පිළිබඳ ලක්ෂාන් ප්‍රකාශ කළේ පහත අදහසයි. 

…..1988-90 කාලයේ රටේ ඇති වූ දේශපාලන භීෂණකාරී වාතාවරණය තුළ රටේ තිබුණ සිවිල් සමාජ සංවිධාන යම් ආකාරයකට යටපත් වෙනවා. ඒ සමඟ එන නව ප්‍රවණතාවයක් ලෙස භීෂණකාරී මිනීමැරුම්, බිය වැද්දීම්, පැහැරගෙන යෑම් මෙන්ම පාරවල් අයිනේ තරුණ තරුණියන්ගේ මළ සිරුරු පිළිස්සෙන යුගය අවසන් කළ යුතුය යන නව සිවිල් සමාජයක හඬ ඇසෙන්න ගන්නවා. ඒ හඬ නගපු පතාකයන්ගෙන් එක්කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අනිත් කෙනා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ. මේ දෙන්නා 1990 ජිනීවාවලට යනවා සිවිල් සමාජයේ හඬත් ලංකාවේ සිදුවුණා වූ මිනීමැරුම් ආදියෙහි ඡායාරූපත් රැගෙන. මේ අය දේශපාලනය හා සම්බන්ධ අය වුවත් සිවිල් සමාජය සමඟත් දැඩිව සම්බන්ධ වූණා. මහින්ද රාජපක්ෂ මහත්තයට හම්බන්තොට අතුරුදන් වුණ තරුණයන්ගේ ලැයිස්තු හදන්න සියලු සහාය දැක්වූයේ සුනිලා අබේසේකර මහත්මියගේ ඉන්ෆෝම් ආයතනය. සුනිලා අබේසේකර සහ මහින්ද රාජපක්ෂ කියන්නේ කුළුපග යාළුවෝ. මෙයින් මානව හිමිකම් ගැන කතා කරන, විවිධ අයිතිවාසිකම් ගැන කතා කරන සිවිල් සමාජ සංවිධාන බිහි වුණා. වාසුදේව, මහින්ද කියන්නේ ඒ කාලේ මගේ වීරයෝ…..

gh

මීළඟට සංවාදයේ නිවේදයකයා මතුකළේ කුණු ප්‍රශ්නය, ගොවි ජනතාවගේ ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධාන වලට වඩා සුළුජාතික අයිතිවාසිකම්, බලය බෙදීම, අලුත් ව්‍යවස්ථාවක් ඇති කිරීම ආදිය වෙනුවෙන් පෙනී සිටීන සිවිල් සංවිධාන වෙනස් වන බවයි. මෙහිදී ලක්ෂාන් පෙන්වා දුන්නේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සහ වෙනත් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල වෙනස්කම් පවතින නමුත් මේ දෙපිරිසම සිවිල් සමාජය ලෙස සමහර කාරණාවලදී ආණ්ඩුවට සහයෝගය දෙන අතරම සමහර විට ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරන බවයි. 

…..පසුගිය දා ලංකාවේ ප්‍රධාන සිවිල් සංවිධාන එකතු වෙලා මැතිවරණ කොමසාරිස්වරයාව හමුවුණා. ඔවුන්ගේ ඉල්ලීම වුණේ ඡන්දය පවත්වන්න කියන එක. ඒකබද්ධ විපක්ෂය කරන්නෙත් මේ ඉල්ලීම. පැෆරල් සංවිධානය නඩුවක් ගොනු කර තිබෙනවා මේ ඡන්දය පවත්වන්න කියල. ඒවා සිවිල් සංවිධාන නෙවෙයිද? ගෙවිඳු කුමාරතුංග මහත්තයට කැෆේ සංවිධානය යකෙක් හැටියට පෙනුනට මට එහෙම පේන්නේ නැහැ. ඔවුන් හතර අතේ ආණ්ඩුව පතුරු ගහනව ඡන්ද නොපැවැත්වීම කියන කාරණාව ගැන. අපි සිවිල් සමාජය විදිහට දකින්නේ කොළඹ කේන්ද්‍රීය පුද්ගල මූලික කණ්ඩායම්. නමුත් යාපනයේ තමන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් කෑගසන දරිද්‍රතාවයේ එකමුතු වීම් සිවිල් සමාජ සංවිධාන නෙවෙයිද? වතුකරයේ නිවාස අයිතිය වෙනුවෙන් කෑගසන අය ඉල්ලන්නේ සිවිල් අයිතිවාසිකම් නෙවෙයිද? මේ සියල්ල සිවිල් සමාජය වුවත් ඒවා හැසිරෙන ක්‍රම වෙනස්…..

…..මානව හිමිකම් ගැන කතා කරන සංවිධානයකට මේ රටේ අල ගොවියන්ගේ ප්‍රශ්නයත්, පළතුරු ගොවියන්ගේ ප්‍රශ්නයත්, මුහුදු කූඩැල්ලන්ගේ තියෙන ප්‍රශ්නයත් කතා කරන්න බැහැ. ඒ වගේම ස්ත්‍රී අයිතිවාසිකම් ගැන කතා කරන සංවිධානයකට වතුකරයේ තේ දළු මිල පහළ බැසීම සම්බන්ධයෙන් එන ප්‍රශ්න කතා කරන්නත් බැහැ. ගෙවිඳු කුමාරතුංග මහත්තයාගේ සිවිල් සංවිධානයෙන් ගොවියන්ගේ ප්‍රශ්නේ කතා කරන්න යන්නෙත් නැහැ….

අනතුරුව සංවාදයේ මතුවූ කාරණය වන්නේ ලක්ෂාන් ඉහත සඳහන් කරන දේශපාලන වශයෙන් සංවේදී සිවිල් සමාජය ආණ්ඩුවට කඬේ යමින් සිටිනවාද යන්නයි. එයට පිළිතුරු වශයෙන් ලක්ෂාන් තවත් උදාහරණ කිහිපයක් සමඟ ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව සිවිල් සංවිධාන ක්‍රියාත්මක වන බව මෙසේ පවසයි.

…..සිවිල් සමාජ සංවිධාන ආණ්ඩුවත් එක්ක හැමවිටම එකඟතාවයක නැහැ. මේ රටේ අද වන විට කිතුනු ආගමික මධ්‍යස්ථානවලට සහ මුස්ලිම් ආගමික සංවිධානවලට… 2015 ජනවාරි 8 වැනිදායින් පසු කිතුනු ආගමික මධ්‍යස්ථාන 195කට පහරදුන් බව  National Council For Evangelical Alliance  යන ආයතනයට වාර්තා වී ඇති අතරම ඒවා ප්‍රසිද්ධියටත් පත්කර තිබෙනවා….. 

සංවාදය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවන්නේ මේ උදාහරණය නිසාය ඉන් ලක්ෂාන් සහ නිවේදකයා අතර ඇතිවූ සංවාදය මෙසේ විය.

කාවද මේ පහර දීම්වලට සැකකරන්නේ?

බෞද්ධ භික්ෂුන් වහන්සේලා පහර දෙන බවට සැකකරනවා.

ඔය ප්‍රකාශය වහා ගිනි ඇවිළෙන සුළු ප්‍රකාශයක්. 

මම මේ සම්බන්ධව නඩු එකසිය ගණනක් කරනවා. ඒ නිසා මම බය නැතුව මේ ප්‍රකාශය කරනවා. භික්ෂුන් වහන්සේලා කිතුනු ආගමික ස්ථාන 195ටම කළ පහර දීම්වලට සම්බන්ධයි කියල නෙවෙයි මම කියන්නේ. නමුත් මේ සම්බන්ධයෙන් ඔවුන් චුදිතයෝ වශයෙන් නම් කළ නඩුත් එකසිය ගණනක් තිබෙනවා. බෞද්ධ ආගමික මධ්‍යස්ථානවලට කරන පහර දීම් පිළිබඳව මට වාර්තා වෙලා නැහැ. හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධයෙන් වන නඩුවකටත් අද (2017- ජුනි- 14) උදෑසන මම ගිහින් ආවේ. 

ඔබට එහි නඩු අංකය මතකද? චුදිතයන් විදිහට භික්ෂුන් වහන්සේ කෙනෙක් ද හිටියේ? 

මට නඩු අංකය මතක නැහැ. නමුත් චුදිතයා වශයෙන් භික්ෂුන් වහන්සේ නමක් හිටියේ. ඒක පුද්ගලික නඩුවක් ලෙස විභාග වෙන්නේ. මේ වගේ අතිවිශාල ප්‍රමාණයක් කිතුනු ආගමික ස්ථානවලට පහර දීම් සිදුව තිබෙනවා සහ ඒවා භික්ෂුන් වහන්සේලා සම්බන්ධ අවස්ථාත් තිබෙනවා. මෙහි තිබෙන ප්‍රශ්නය මේතරම් කිතුණු පල්ලි ප්‍රමාණයකට පහර දුන් බව මාධ්‍යයේ හෝ ප්‍රචාරය නොවීම. 

ඔබ කියන ආකාරයට මෙය පුද්ගලික පැමිණිල්ලක්. ඒ කියන්නේ පොලිසිය හෝ මේ පැමිණිලි භාරගෙන නැහැ. 

හරියටම හරි. පොලිසියට කළ පැමිණිලි තිබියදීත් පොලිසිය ක්‍රියාත්මක නොවීම මේකට අදාළ කාරණයක්. සම්බන්ධයෙන් සිවිල් සමාජය ලෙස අපි පැහැදිලිව ආණ්ඩුව සමඟ ගනුදෙනුවක ඉන්නවා. ආණ්ඩුවට එරෙහි විරෝධතාවයක ඉන්නවා, ආණ්ඩුවට චෝදනාත් කරනවා. මේ සමාජයේ ඇති වීමට යන ආගමික ගැටුම වළක්වන්න මේ ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැහැ කියන එකයි මගේ අදහස. සිවිල් සමාජ ආණ්ඩුවට පැහැදිලිවම කියනවා මේ රටේ නීතිය හා සාමය කඩ කරන්න, කිසිම ආගමික ස්ථානයකට කිසිම ආගමිකයෙකුට පහර දෙන්න ඉඩ තියන්න බැහැ. අපි අවුරුදු තිහක යුද්ධයකින් දුක්වින්දා. ආයෙත් අපිට ආගමික වාර්ගික ගැටලුුවකින් දුක් විදින්න බැහැ. 

ඔබතුමාලා සංහිඳියාව වෙනුවෙන් පෙනී ඉන්නවා. නමුත් ඔබතුමා පල්ලි මේච්චරකට ගැහුවා කියල සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමම ගැටුමක් නේද? 

සම්පූර්ණ වැරදියි. මේ තොරතුරු ජනතාව අතට නොයෑමයි තිබෙන ප්‍රශ්නය. මේ සම්බන්ධයෙන් මිනිසුන්ගෙන් ඇහුවම ඔවුන් දන්නේ නැහැ. 

ඔබ කියන ආකාරයට මේ පහර දීම් සිදුව තිබෙන්නේ ක්‍රිස්තියානි ආගමිකයින්ටද ක්‍රිස්තියානි පල්ලිවලටද? 

ක්‍රිස්තියානි පල්ලිවලට. මම දැන් කිව්වේ 
National Council For Evangelical Alliance  යන ආයතනය විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවන්ට අනුව. ඔවුන්ගේ වෙබ් අඩවියේත් ප්‍රකාශනවලත් පැහැදිලිව මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. 

ඔබතුමා කියන ආකාරයේ ආගමික ස්ථාන 195 කියන සංඛ්‍යාව ස්ථාන නෙවෙයි පුද්ගලයන් සංඛ්‍යාවක් බව එම වෙබ් අඩවියේ දක්වා ඇති බව දැනගන්න ලැබෙන්නේ. 

නැහැ. The Cristian place of worship  යනුවෙන් එහි සඳහන්ව තිබෙනවා…..

දැන් අප ලක්ෂාන් විසින් උදාහරණයක් වශයෙන් මෙම කරුණ සාකච්ඡාවට නොගෙන සිටියා යැයි සිතමු. එහෙත් මෙම ආගමික ස්ථානවලට පහරදීම් ප්‍රමාණය සහ ඒ වෙනුවෙන් පවතින නඩු එලෙසම පවතින අතර අනාගතයේ තවත් මෙවැනි ප්‍රහාර සිදුවෙනු ඇත. යටින් ගහ මරා ගන්නා ගමන් සතුටින් සහ සමගියෙන් සිටින බව උඩින් පෙන්වීමට ලංකාවේ බොහෝ දෙනෙක් කැමැතිය. මිනිස්සු පුද්ගලික ජීවිතවල එලෙස සිටීම ගැටලුවක් නැති වුනත් ආණ්ඩුවක් එසේ සිටියොත් අවසානය මහා ඛේදවාචකයකි. දැන් ලක්ෂාන් එක් නිශ්චිත ප්‍රශ්නයක් පෙන්වා දී ඇති අතර ආණ්ඩුව කළ යුත්තේ කරුණු පෙන්වා දුන් ලක්ෂාන්ට ඇඟිල්ල දිගුකර තර්ජනය කර ඔහු කියන දේ නවත්වන්න උත්සාහ කරනවා වෙනුවට මෙවැනි ප්‍රහාර සිදුවීම වළක්වා ලක්ෂාන්ට කියන්නටද දෙයක් (නඩු) නැති කිරීම නොවේද? 

ප්‍රබෝධ රත්නායක 

සම්පුර්ණ වැඩසටහන පහතින් නරඹන්න

Recent Posts

Tags: , , , , ,

Leave a Comment