විධායක ජනාධිපති ක්‍රමය සහ සුළුතර ජනවාර්ගික පක්ෂ

Jun 26th, 2017 | By | Category: LEAD NEWS, දේශපාලන, ප්‍රතිසන්ධානය, බලය බෙදීම, මානව හිමිකම්, සමබිම පුවත්, සාමිනාදන් විමල් - සමබිම තිරු ලිපි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා පැවැත්වෙන පාර්ලිමේන්තු කාරක සභා සාකච්ඡාවලදී ලංකාවෙහි ජන වාර්ගික සුළුතරය නියෝජනය කෙරෙන බවට පවසන දේශපාලන පක්ෂ බහුතරයක් විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටි බවට ජනමාධ්‍ය වාර්තා කළේය. ‘දෙමළ සහ මුස්ලිම් යන අනන්‍යතා වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රචලිත මෙම දේශපාලන පක්ෂවල මෙම ස්ථාවරය සහ ලාංකේය සමාජය ප්‍රජාතන්ත්‍රීකරණය පිළිබඳ අවශ්‍යතාව අතර පරස්පරතාවක් ප්‍රකට කිරීමක් මෙයින් සිදු නොවන්නේ ද යන්න පිළිබඳවත් එකී දේශපාලන පක්ෂවල මෙම ස්ථාවරයට හේතු පිළිබඳවත්’ විමසීමක් සිදු කිරීම එහෙයින් වැදගත් යැයි සිතමි.

විධායක ජනාධිපති ක්‍රමය පිළිලයක් ලෙසත් ලාංකේය සමාජය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනු වහාම සිදු කළ යුතු කාර්යයක් බවත් නිති අවධාරණය කරන බවට සාධක ගෙනහැර දැක්වීම අවශ්‍ය නොවෙයි. එමෙන්ම ලාංකේය දේශපාලන පරිසරය තුළ ජනවාර්ගික සුළුතරයෙහි අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමද මෙම ලාංකේය සමාජය ප්‍රජාතන්ත්‍රිකරණය කිරීමේ කාර්යභාරයෙහිම කොටසකි. මෙවන් තත්ත්වයක් තුළ ‘විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව යමින් ජනවාර්ගික සුළුතරයෙහි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රගතිශීලි බලවේග තුළ මන්දෝත්සාහි බවක් ඇති කිරීමට’ ජන වාර්ගික සුළුතරය නියෝජනය කෙරෙන බවට පවසන දේශපාලන පක්ෂ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටීම හේතු වනු ඇත.

ජනවාර්ගික ප්‍රශ්නය යුද්ධයක් දක්වා වර්ධනය වීමට විධායක ජනාධිපති ක්‍රමය හේතු වූ බවට දක්වන අදහස් පහසුවෙන් බැහැර කළ හැකි ඒවා නොවෙයි. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමත් සමඟ ගෙන එන ලද අණපනත් දෙමළ සන්නද්ධ අරගලයට උත්තේජනයක් වූ අයුරුත්, විශේෂයෙන්ම පාර්ලිමේන්තුව අභිභවා රටෙහි ජනාධිපති ප්‍රමුඛවීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ ප්‍රබල හඬක්ව පැවැති දෙමළ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය විධායක ජනාධිපති අභියස අවලංගු කාසියක් බවට පත් වීමට හේතු වූ බවත් අපි දන්නා කාරණයකි. 1983 වසරෙහි සිදු කරන ලද කළු ජූලිය නමින් හැඳින්වෙන දෙමළ ජනතාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කෙරෙද්දී දින ගණනක් යන තෙක් නීතිය ක්‍රියාත්මක නොකර උදාසීන පිළිවෙතක් අනුගමනය කළේය යන්න ප්‍රථම විධායක ජනාධිපති ධුරය දැරූ ජේ. ආර්. ජයවර්ධන මහතාට එල්ල කෙරෙන චෝදනාවක් වෙයි. පාර්ලිමේන්තු ක්‍රමය බලගතුව පවතින තත්ත්වයක් තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ ඉතාමත් අල්පය. යුද්ධය සම්බන්ධ කටයුතුවලදී පමණක් නොව ජනවාර්ගික ප්‍රශ්නයට විසදුම් ලබා ගැනීමට දැරූ අවස්ථාවන්වලදී පවා ඒවා පුළුල් මහජන නියෝජිතයන්ගේ දායකත්වය සහිත ක්‍රියාමාර්ග නොවී පුද්ගල කේන්ද්‍රීය තත්ත්වයට පත් වීම විධායක ජනාධිපති ධුරය නිසාවෙන් දැකිය හැකි ලක්ෂණයක් විය. ඒ අනුව ඉන්දු – ලංකා ගිවිසුම එවක විධායක ජනාධිපති ධුරය දැරූ ජේ. ආර්. ජයවර්ධනගේ විසදුමක් මිස එක්සත් ජාතික පක්ෂයෙහි විසදුමක් නොවීය. පක්ෂයටත් නොදන්වා අත්සන් කළ ගිවිසුමක් ලෙසින් පක්ෂය තුළින්ම චෝදනා එල්ල කෙරුණේ එවැනි තත්ත්වයක් තුළය. එමෙන්ම 1994 වසරෙහි ජනාධිපති ධුරයට පත්වු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කලාප සභා විසදුම ද හුදු “චන්ද්‍රිකාගේ පැකේජය” බවට ලඝු විය.

මෙලෙසින් විධායක ජනාධිපති ක්‍රමය ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක් යන විෂයෙහි හෝ නැතහොත් ජන වාර්ගික සුළුතරයෙහි අයිතිවාසිකම් දිනා ගැනීම යන විෂයෙහි සුභවාදීමය වෙනසකට හේතු වී ඇති බවට සාධක ගෙනහැර දැක්වීම ඉතාමත් අපහසුය. එමෙන්ම වෙනත් බොහෝ ප්‍රශ්න සම්බන්ධයෙන් මෙන්ම මෙම ප්‍රශ්න ආශ්‍රිතවත් පුද්ගල කේන්ද්‍රීය විශ්වාසයක් සමාජය තුළ ඇති කිරීමට විධායක ජනාධිපති ක්‍රමය හේතු වී ඇත. “මෛත්‍රී විසදුමක් දෙයි” යන සරලමතික විශ්වාසය තුළින් ප්‍රකට කෙරෙන්නේ මෙම තත්ත්වයයි.

මීළඟට අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ ජන වාර්ගික සුළුතරය කේන්ද්‍ර කරගත් දේශපාලන පක්ෂ නායකත්වය මෙලෙසින් විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගෙන යෑමේ ස්ථාවරයකට සහයෝගය පළ කරන්නේ මක් නිසා ද යන්නයි. මෙහිදී ජනවාර්ගික සුළුතරය යන යෙදුම භාවිත කළ ද ඇත්තෙන්ම මෙම දේශපාලන පක්ෂවල සංඛ්‍යාව සහ සංයුතිය දෙස අවධානය යොමු කිරීමෙහිදී ගැටලු සහගත තත්ත්වයක් ඇති කෙරෙයි. එයට හේතුව ලාංකේය සමාජය තුළ දෙමළ සහ මුස්ලිම් වශයෙන් දෙවැදෑරුම් ජනවාර්ගික සුළුතරයක් දක්නට ලැබුණත් මෙකී දේශපාලන පක්ෂවල සංයුතිය එයට වඩා සංකීර්ණ ස්වභාවයක් ගනියි. ඒ අනුව මෙම පක්ෂ, මුස්ලිම් පක්ෂ, උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ සහ වතුකරයෙහි දේශපාලන පක්ෂ වශයෙන් වෙයි. මෙම දේශපාලන පක්ෂ තමන් ආධිපත්‍ය දරන සමාජයෙහි පවතින වාර්ගික මෙන්ම ප්‍රාදේශීය භේදභින්නතා ආරක්ෂා කර ගනිමින් ඒ මත තම සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට උත්සහ දැරීම එනිසා අනිවාර්ය කාර්යයක් බවට පත්ව ඇත. මෙම දේශපාලනය බොහෝ දුරට ක්‍රියාත්මක වන්නේ තමන් සතු ඡන්ද ගොඩ පෙන්වා ජනාධිපතිගෙන් දේශපාලන වරපතක් ලබා ගැනීම වෙනුවෙන්ය. එහෙයින් මෙම දේශපාලන පක්ෂ විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගෙන යෑමට රුකුල් දෙන්නේ තම පැවැත්ම උදෙසා එක් පුද්ගලයෙකු සමඟ කේවල් කර කටයුතු කිරීම පහසු නිසාය. පාර්ලිමේන්තුව බලවත් ක්‍රමයක් තුළ සන්ධානගත වීම යනු දේශපාලන පක්ෂයක් සමඟ සන්ධානගත වීම නොව බොහෝ විට ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කර ගනිමින් සන්ධාන ගත වීමයි. වසර ගණනාවක් තිස්සේ පැළපැදියම්ව පවතින සම්ප්‍රදාය වන්නේ විධායක ජනාධිපතිවරයාගේ “දෑත් ශක්තිමත්” කිරීමට එක්වීම මිස ප්‍රතිපත්තිමය සන්ධානගත වීමක් නොවෙයි.

එහෙයින් ජනවාර්ගික සුළුතරය පදනම් කරගත් දේශපාලන පක්ෂවල මෙම විධායක ජනාධිපති ක්‍රමය කෙරෙහි වන කැමැත්ත වනාහි තේරුම් ගත යුත්තේ ‘උපයෝගිතාවාදී කේවල් කිරීමේ අභිලාෂය පෙරටුකරගත් කාරණයක් ලෙසින් මිස ජනවාර්ගික සුළුතරයෙහි අභිලාෂයන් ප්‍රමුඛ කරගත් දෙයක් නොවෙයි’ යනුවෙන්ය.

සාමිනාදන් විමල් මහතා විසින් 2017 සමබිම ජුනි කලාපයට රචිත ලිපියකි .

Recent Posts

Tags: , , ,

Leave a Comment