ජී එස් පී ප්ලස් කුහක කතා සහ ඇත්ත කතා

Jul 3rd, 2017 | By | Category: LEAD NEWS, Today Lead News, මොකක්ද මේ GSP+, සුදර්ශන ගුණවර්ධන

featxx

උද­ාහරණය වන්නේ ඉන්දියානු සමාගමක් වන හීරෝ සමාගමය. අපේ රටේ වැඩිදෙනා දන්නේ හීරෝ හොණ්ඩා යැයි කියු විටය. අප රටට බොහෝ සෙයින් පැමිණෙන්නේ හිරෝ හොණ්ඩා යතුරු පැදිය. නමුත් මෙහි මුල් සමාගම යතුරු පැදි නිපදවන සමාගමක් නොව, පාපැදි සමාගමකි. මේ අය ලංකාවට පැමිණ වී.එච්.එස්. නමින් බියගම ප්‍රදේශයේ පවතින පාපැදි සමාගමකට ආයෝජනය කළේය. ඒ සඳහා ඔවුන් පැමිණියේ 2016 මුල් කාලයේය. ඔවුන් මෙහි 30% පමණ කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන මිලියන ගණනක් ආයෝජනය කළේය. එහිදී ඔවුන් පවසා සිටියේ අපට ජි.එස්.පී ප්ලස් තිබුණට ඔවුනට නැති නිසා ලංකාවේ නිෂ්පාදනයක් විදියට එළියට ගියොත් ජී.එස්.පී සහනය ඔවුන්ටද ලැබෙන බවත්, ඒ නිසා පාපැදි නිපද වීමට ලංකාවේ ආයෝජනය කිරීමට කටයුතු කරන බවත්ය.

වත්මන් රජය යටතේ ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදෙන්නේ කිසියම් කොන්දේසි ප්‍රමාණයකට යටත්ව යන මිථ්‍යාව අවස්ථාවාදී දේශපාලනය කණ්ඩායම් විසින් ප්‍රචාරය කෙරෙමින් තිබේ. මෙහි සරළ අදහස වන්නේ යුරෝපා සංගමයේ කොන්දේසිවලට යටත්ව ක්‍රියා කළොත් පමණක් මෙම බදු සහනය ලැබේය යන්නය.

සත්‍ය වන්නේ ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීමේදී මේ කිසිදු කොන්දේසියක් බලපා නැති බවය. යුරෝපා සංගමය ජනවාරි මාසයේ ප්‍රකාශ කර සිටියේ මෙම සහනය ලබාදීම සඳහා ලංකාව සුදුසු කම් ලබා ඇති බවය. එ අනුව පසු ගිය මැයි මාසයේ දී යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත වී, යුරෝපා කවුන්සිලය මගින් ද අනුමත වී මෙම බදු සහනය ක්‍රියාත්මක වීම ඇරඹිණි.

ඇතැමුන් කියන ආකාරයට කොන්දේසිවලට යටත්ව මේ අවස්ථාව හිමි වූයේ නම් කොන්දේසි කිසිවක් ඉටු නොකර තිබියදී මෙලෙස ඒ සදහා ඉඩහසර විවර වූයේ කෙසේද? යන්න අප ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතුය. ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදෙන අවස්ථාවේ දී යුරෝපා කොමිසම විසින් නිවේදනයක් නිකුත් කළ අතර එමගින් කොන්දේසි පනවා එය ලබාදීමට ඔවුන්ට ඕනෑ තරම් අවස්ථාව තිබුණි. නමුත් එවැන්නක් සිදු වූයේ නැත.

බදු සහනය

යුරෝපා සංගමය විසින් මෙම බදු සහනය ලබාදෙන අවස්ථාවේදී නිකුත් කළ නිවේදනයේ ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාන දෙන බව සඳහන් කරමින් පවසන්නේ, ඒ වෙනුවෙන් යුරෝපා සංගමය කිසිදු ලාභයක් බලාපොරොත්තු නොවන බවය. මෙම තීරුබදු සහනය ලබාදෙන්නේ මානව හිමිකම්, කම්කරුවන්ගේ තත්ත්වය, පරිසරය ආරක්ෂා කිරීම හා යහපාලනය සඳහා අදාළ වන ජාත්‍යන්තර සම්මුතීන් විසි හතක් තම රට තුළ වලංගුකොට ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාව දක්වා ඇති කැපවීම අගය කිරීමක් වශයෙනි. මින් හැඟී යන්නේ මෙම බදු සහනය ලබාදීම මත පදනම්ව යමක් සිදු කළ බව නොව, ලංකා ආණ්ඩුව දැනටමත් ක්‍රියාවට නංවා ඇති යහපාලන ක්‍රියාදාමය අගය කිරීමක් වශයෙන් මෙම බදු සහනය හිමි වූ බවය.

එනම් මානව හිමිකම් සුරක්ෂිත කිරීම, කම්කරු අයිතීන් සුරක්ෂිත කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය තාහවුරු කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් මෙතෙක් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සැලකිල්ලට ගෙන අගය කිරීමක් වශයෙනි. කෙනෙක් මෙය කිසියම් කොන්දේසියක් මත ලබා දුන්නේ යැයි ප්‍රකාශ කරන්නේ නම් මෙම ප්‍රකාශනයේ ඒ පිළිබඳව සඳහනක් තිබිය යුතුය. එනමුත් එවැන්නක් අපට දක්නට ද නොමැතිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොන්දේසි ක්‍රියාත්මක කරන බවට ලංකාව එහි සාමාජිකත්වය දරමින් අත්සන් තබා ඇත. එනිසා ඒවා ක්‍රියාත්මක නො කිරීම හේතුවෙන් මේ තත්ත්වය ඇති වූ බව පැවසීම වඩා යෝග්‍ය වේ. යමක් කිරීමට පොරොන්දු වී ඇතිවිට එය සිදු කළේ දැයි ඔවුන් සොයා බැලීම සාධාරණය. ඒ අනුව ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලැබී, එය අහිමි වී ගියේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට ලංකාව අත්සන් තබා, ඒවා ක්‍රියාත්මක කිරීමේදී දැක්වූ ප්‍රගතිය හා අඩුලුහුඩුකම් වාර්තා කිරීමේදී අනුගමනය කළ ක්‍රියා පටිපාටිය සලකා බැලීමෙන් අනතුරුවය. මීට අමතරව වදහිංසාවට එරෙහි ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තබා තිබුණද ඒ තත්ත්වය වෙනස් වී නොමැති බව තහවුරු වීමෙන් අනතුරුවය. අනෙක් කාරණය වන්නේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියයි. එහිදී ළමයින් සම්බන්ධයෙන් ගත්විට ළමා සොල්දාදුවන්, ළමා ශ්‍රමිකයින්, ළමයින් බලහත් කාරයෙන් විවාහකරදීම…ආදී ගැටලු ලංකාව තුළ තවමත් නොවිසඳුනු කාරණයක් බවට ඒත්තු යාම නිසාය.

2014 වසරේදී සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය රටවල්වල ක්‍රියාත්මක වන ආකාරය සොයා බැලීම නීත්‍යානුකූලව පැවරී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුවටය. මෙම කමිටුව ජිනීවා හීදී රැස් වී ලංකාව සම්බන්ධයෙන් කාලාන්තර වාර්තාව සලකා බැලූ අවස්ථාවේදී සඳහන් කළ කරුණු සලකා බැලීමෙන් අපට මේ තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරක් ලැබේ. ඒ අනුව ලංකා රජය කියූ කරුණු සහ සිවිල් සංවිධාන විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා ඒ සම්බන්ධයෙන් සම්පිණ්ඩන විමර්ශන වාර්තාවක් 2014.10.27 වෙනිදා ප්‍රකාශයට පත් කළේය. එහි පැහැදිලිවම දක්වා ඇත්තේ මේ සම්මුතිය යටතේ කට යුතු කළ යුතු වූ නමුත් එය ඉටු කිරීමට අපොහොසත් වීම සලකා බලා මෙම බදු සහනය අහෝසි කළ බවය. මේ කරණු කවරේද යන්න අපි මදක් විමසා බලමු.

ඒ පිළිබඳව ඔවුන් දක්වා ඇත්තේ මෙසේය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට ගෙනා 18වන සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීනත්වය අහෝසි කොට, අධිකරණ පද්ධතිය පිහිටුවීමේ පරම බලය ජනාධිපතිවරයා අත රඳවනු ලදී. එමගින් අධිකරණයේ ස්වාධීනතාවයට බරපතල බලපෑමක් එල්ල වී තිබේ. එසේම හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය දෝශාභියෝගයක් ගෙන එමින් ධූරයෙන් පහකරන ලද්දේ නිසි පටිපාටියකින් තොරව පවත්නා නීතිය අමු අමුව උල්ලංඝණය කරමිනි. එනිසා 18වන සංශෝධනය අහෝසි කරන ලෙසත් අධිකරණය හා වෙනත් ස්වාධීන ආයතනවලට පුද්ගයන් පත් කිරීමේ දී පාරදුෂ්‍ය භාවයෙන් හා අපක්ෂපාතී භාවය සහතික කිරීමට අදාළ ව්‍යස්ථානුකූල ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් ව්‍යස්ථාදායකයේ හෝ විධායකයේ සාමාජිකයන් විසින් අධිකරණයේ විනිසුරුවන්ට අයුතු ලෙස බලපෑම් කිරීම වැලැක් වීමඳහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත. අප ස්වාධීනව කල්පනා කර බලන්නේ නම් ඉහත දැක්වූ කිසිවකින් රටට හෝ ජනතාවට හානියක් සිදු නො වන බව ප්‍රත්‍යක්ෂය. මෙවැනි දේ නිවැරදිව ක්‍රියාත්මක කිරීම මගින් සැබෑ ලෙසම ඉටුවන්නේ ජනතා අපේක්ෂාවන්ය.

අාර්ථික ප්‍රතිපත්තිය

වර්තමාන අණ්ඩුව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව විමසා බැලීමේදී යූරෝපා සංගමයෙන් ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලබා ගැනීම මුල්පෙලේ සාධකයක් ලෙස පෙන්වාදිය හැකිය. මෙම බදු සහනය 2005 වසරේ පමණ සිට මෙරට ක්‍රියාත්මකව පැවති අතර පසුගිය ආණ්ඩුව කාලයේ ගෙන ගිය ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය හේතුවෙන් එය අපට අහිමි විය. මෙම බදු සාහනය ඉවත් කිරීමට පියවර ගැනීමට ප්‍රථම යුරෝපා සංගමය විසින් විවිධ අන්දමින් දැනුම් දී තිබුණද, ඒ සඳහා කාලය ලබා දුන්නද පසුගිය රජය ඒ පිළිබඳව කිසිදු තැකීමක් නො කළේය. සරලව කියන්නේ නම් ඔවුන් ප්‍රකාශකර තිබුණේ ඔබලා යන මාවත ප්‍රජාතන්ත්‍ර විරෝධීය, එනිසා එය වෙනස් කර මූලික මානව අයිතින් සුරකිමින් පාලන කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස ය. නමුත් පසුගිය ආණ්ඩුව පෙරලා ඔවුන් වෙත දන්වා සිටියේ, ‘අපට මේ ගෙනයන පාලන ක්‍රමය වෙනස් කිරීමට උවමනාවක් නැහැ, ඒ වෙනුවෙන් ජී.එස්.පී බදු සහනය නො මැතිව වුවද අපට කටයුතු කළ හැකි’ බවය. නමුත් එය නැවත ලබා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුවට බෙහෙවින් මහන්සි වීමට සිදු විය. එනම්, 2015 දී බලයට පැමිණි මොහොතේ සිට වසර දෙකක පමණ කාලයක් (2017 වන තෙක්) මේ සඳහා වෙහෙසීමට සිදු විය. ඒ වන විටත් ජාත්‍යන්තර වශයෙන් විවිධ සම්මුතින්ට යටත්ව කටයුතු කිරීමට පියවර ගන්නා බවට එකඟව සිටියේය. එසේම මෙම කොන්දේසි ඉටු කිරීමද එතරම් ලෙහෙසි කටයුත්තක් නො වන බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

මෙවැනි තත්ත්වයක ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍යවරයා හා විදේශ අමාත්‍යවරයා ඉතාම දූරදර්ශීව සාමූහිකව කටයුතු කරමින් නැවත මෙම බදු සහනය අප රටට ලබා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව අප ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුය. මෙම ජී.එස්.පී ප්ලස් බදු සහනය පිළිබඳව සලකා බලන විට මෙම බදු සහනය බංගලිදේශයටද හිමිව ඇත. එම රටෙහි මෙම බදු සහනය ක්‍රියත්මක වීම නිසා විශාල ආර්ථික ප්‍රගතියක් අත් කරගෙන තිබේ. ඒ පිළිබඳව සරලව විමසා බලන්නේ නම් මෙහි වටිනාකම අපට මැන බැලිය හැකිය. අප රටට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලැබීමට ප්‍රථම බංගලා දේශයේ නිපද වන ඩොලර් සීයක් පමණ වටිනා ඇඟලුම් තොගයක් හා ඒ හා සමාන වටිනා කමින් යුතු මෙරට නිපද වූ ඇඟලුම් තොගයක් යුරෝපා රටකට ගොස් අලෙවි කළේ නම්, එහි සිටින ගැනුම්කරුවනට බංගලාදේශයේ නිපද වූ ඇඟලුම් තොගය ඩොලර් සීයටම ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසේ. නමුත් අපට බදු සහනය නොමැති නිසා අපේ ඇඟලුම් තොගය විකිණීමට සිදු වන්නේ ඩොලර් එකසිය දහයකටය. එවිට 100 -110 අතර පරතරය සලක බලන විට ගැනුම්කරුට වඩා වාසි දායක වන්නේ බංගලා දේශයේ ඇඟලුම් තොගය මිලදී ගැනීමය. නමුත් ජී.එස්.පී ප්ලස් බදු සහනය ලැබීම නිසා ලංකාවේ ඇඟලුම් තොගයත් සීයටම ලබාදිය හැකිය. මෙනිස අප දෙගොල්ලන්ටම එක හා සමානව තරඟ කරමින් යුරෝප රටවලට ඇඟලුම් නිපද වීමට මෙනිසා අවකාශ සැලසී තිබේ. මෙම බදු සහනය ලැබීමේ ඇති වැදගත්කම වන්නේ මෙයයි.

නමුත් මෙම සහනය ලබාදු පමණින් ගැනුම්කරුවන් මෙරට භාණ්ඩ මිලදී ගන්නේ නැත. ඒ සඳහා මෙරට ඇඟලුම් ආයතන හිමියන්ට යුරෝපා වෙළෙඳපොළ තුළ සිටින ගැනුම් කරුවන් දිනා ගැනීමට සිදුවේ. ඒ සඳහා ඔවුන් ආකර්ෂණය කරගත හැකි උසස් තත්ත්වයේ නිමි ඇඳුම් නිපද වීම ඔවුන් සතු වගකීමකි. අණ්ඩුවකට කළ හැක්කේ මාර්ගයේ පවතින් බාධා ඉවත් කර දැමීම පමණකි. වෙළෙඳ පොළ දිනා ගැනීම කළ යුත්තේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලා හිමියන්ය. එය නිවැරදිව වටහා ගන්නේ නම් පමණක් මෙහි ප්‍රතිලාභ බුක්ති විඳිය හැකිය. අනෙක් අතට මෙම බදු සහනය හේතු කොටගෙන අපගේ අපනයන භාණ්ඩවල ධාරිතාවය පුළුල් කර ගැනීමේ අවකාශය ද සැලසේ. නමුත් ප්‍රමාණය වැඩි කරගත් පමණින් ලංකවේ ලාභ වැඩිවේ යැයි මින් අදහස් නොවේ. ලාභය තීරණය වන්නේ විකුණන ප්‍රමාණය, විකුණා ලබා ගන්නා මුදල හා එකී භාණ්ඩය නිපදවීමට වැයවන මුදල සංසන්දනාත්මකව ගැලපීමෙන් අනතුරුවය. එනම් ආදායම හා වියදම අතර පරතරය විමසීමෙනි.

මෙහිදී ඇති වන ගැටලුව වන්නේ ජී.එස්.පී ප්ලස් ලැබුණ පමණින් වියදම අඩු නොවීමය. වියදම අඩුවී ඇත්තේ අපේ භාණ්ඩ මිලදී ගන්නා ගැනුම්කරුවාටය. නමුත් අපේ නිෂ්පදකයාට නැවු ගාස්තු, වරාය ගාස්තු හා කම්කරු වැටුප් ආදී මේ සියල්ලම පෙර පරිදිම දැරීමට සිදුවේ. මේ බදු සහනය නිසා ඇති වූ එකම වෙනස නම් ගැනුම්කරුවාට අනෙකුත් රටවල් සමඟ තරඟකාරීව භාණ්ඩ විකිණීමට ලැබී තිබෙන අවස්ථාවය. එනිසා ප්‍රමණය වැඩිකර ගැනීමට උත්සාහ කරන්නේ නම් පමණක් කිසියම් වූ ලාභයක් උපයා ගැනීමට හැකි වේ. මෙය අපි මනාව තේරුම් ගත යුතුය. සමහරුන් සිතන්නේ මෙය දිව්‍යලෝකයෙන් ලැබුණු තැග්ගක් මෙන් අපි කොහොමද මෙය බෙදා ගන්නේ කියාය. නමුත් සත්‍ය නම් පුද්ගලික සැපයුම්කරුවන් යුරෝපීය වෙළෙඳපොළ තුළ හොඳ තරඟයක් ලබාදෙමින් ගැනුම්කරුවන් වර්ධනය කර ගැනීමට කටයුතු කර වැඩි අපනයන ප්‍රමාණයක් අලෙවි කිරීමය. එමගින් ලාබය වැඩි දියුණු කර ගැනීමට හැකිවේ. නමුත් එය සිතන තරම් පහසු කටයුත්තක් ද නොවේ. එනිසා මේ පිළිබඳව අවදානය යොමු කරමින් කටයුතු කළ යුතුය. මේ වන විට ලංකාව තුළ පුහුණු ශ්‍රම හිඟයක් පවතින් අතර, නිෂ්පාදනය වැඩි කිරීමට යාමේදී මේ සාධක බෙහෙවින් බලපෑ හැකිය.

නිමි අැඳුම් අපනයනය

අවසාන වශයෙන් අවධාරණය කරන්නේ නම්, මේ වන විට ලංකාවෙන් අපනයනය වන විශාලතම භාණ්ඩය නිමි ඇඳුම් වන නිසා, මෙයට අමතරව වෙනත් දෑ අපනයනය කිරීමට අප මහන්සි විය යුතුය. ඊට ඇති හොඳම උද­ාහරණය වන්නේ ඉන්දියානු සමාගමක් වන හීරෝ සමාගමය. අපේ රටේ වැඩිදෙනා දන්නේ හීරෝ හොණ්ඩා යැයි කියු විටය. අප රටට බොහෝ සෙයින් පැමිණෙන්නේ හිරෝ හොණ්ඩා යතුරු පැදිය. නමුත් මෙහි මුල් සමාගම යතුරු පැදි නිපදවන සමාගමක් නොව, පාපැදි සමාගමකි. මේ අය ලංකාවට පැමිණ වී.එච්.එස්. නමින් බියගම ප්‍රදේශයේ පවතින පාපැදි සමාගමකට ආයෝජනය කළේය. ඒ සඳහා ඔවුන් පැමිණියේ 2016 මුල් කාලයේය. ඔවුන් මෙහි 30% පමණ කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන මිලියන ගණනක් ආයෝජනය කළේය. එහිදී ඔවුන් පවසා සිටියේ අපට ජි.එස්.පී ප්ලස් තිබුණට ඔවුනට නැති නිසා ලංකාවේ නිෂ්පාදනයක් විදියට එළියට ගියොත් ජී.එස්.පී සහනය ඔවුන්ටද ලැබෙන බවත්, ඒ නිසා පාපැදි නිපද වීමට ලංකාවේ ආයෝජනය කිරීමට කටයුතු කරන බවත්ය. මෙමගින් නව තාක්ෂණික ඥනය පමණක් නොව යුරෝපය තුළ ඔවුන් ගොඩනගාගෙන තිබෙන වෙළෙද සබඳතා සමඟ ද ගනුදෙනු කිරීමට මං විවරවේ. මෙය ජී.එස්.පී. ප්ලස් නිසා ඇති වූ ඉතාම හොඳ ප්‍රවනතාවයක් ලෙස පෙන්වාදිය හැකිය. එනිසා මේ පිළිබඳව විමසීමක් නොමැතිව පටු දේශපාලන අරමුණැතිව අවස්ථාවාදී මුග්ධ ප්‍රකාශ නිකුත් කිරීමට ප්‍රථම ඒ පිළිබඳව විමසා බල කටයුතු කරන්නේ නම් මේ රට මීටත් වඩා යහපත් රටක් බවට පරිවර්තනය කළ හැකිය.

මහාචාර්ය රොහාන් සමරජීව හා නීතිඥ සුදර්ශන ගුණවර්ධන සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.

රසික කොටුදුරගේ

http://www.dinamina.lk

Recent Posts

Tags: , , , , ,

Leave a Comment