මානව හිමිකම් රැකීමේ ප්‍රතිලාභ යුරෝපීයන්ට නොව අපටමය!

Jul 3rd, 2017 | By | Category: OTHER NEWS, මොකක්ද මේ GSP+, සුදර්ශන ගුණවර්ධන

ශ්‍රී ලංකාවේ වත්මන් රජය යටතේ ජීඑස්පී ප්ලස් බදු සහනය දෙන්නේ කිසියම් කොන්දේසි ප්‍රමාණයකට යටත්වය, යන්න අවස්ථාවාදි දේශපාලනය ජනිත කළ එක්තරා අන්දම මිථ්‍යාවකි. මෙහි සරල අදහස වන්නේ යුරෝපා සංගමය අපට ලබාදෙන කොන්දේසිවලට යටත්ව ක්‍රියා කළොත් පමණක් මේ බදු සහනය ලැබේය යන්නය. ඇතැමුන් එලෙස පැනවූ කොන්දේසි පිළිබඳ අදහස් දැක්වීමේදී සමලිංගික විවාහ පිළිගැනීම, ගණිකා වෘත්තිය නීතිගත කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, ගබ්සාව නීතිගත කිරීම, බලය බෙදීම, නව ව්‍යවස්ථාවක් ගෙන ඒම… ආදි වශයෙන් කොන්දේසි ගණනාවක් පිළිබඳ සඳහන් කරති. එහෙත් අපට පේනී යන්නේ වර්තමානයේ ජීඑස්පී ප්ලස් බදු සහනය දීමේදී මේ කිසිදු කොන්දේසියක් බලපා නැති බවයි. යුරෝපා කොමිසම ජනවාරි මාසයේ ප්‍රකාශ කර සිටියේ මේ සහනය දීම සඳහා ලංකාව සුදුසුකම් ලබා ඇති බවයි. එ අනුව පසු ගිය මැයි මාසයේදී යුරෝපා පාර්ලීමෙන්තුවේ සම්මත වී, යුරෝපා කවුන්සිලය මගින් ද අනුමත වී මෙය ක්‍රියාත්මක වීම ඇරඹිණි. ඒ අනුව මෙරට නිෂ්පාදිත කිසියම් වූ භාණ්ඩයක් යුරෝපා නැව් තොටකින් හෝ ගුවන්තොටුපළකින් ඇතුළු වීමේදී තීරුබදු රහිතව ඇතුළු විය හැකි අවස්ථාව උදා විය. එසේ තිබියදී ඇතැමුන් ගෙන යන බොරු චෝදනා අප සැලකිය යුත්තේ කෙසේද? එහි අරමුණ කුමක්ද යන්න විමසා බැලිය යුතුය. ඔවුන් කියන ආකාරයට කොන්දේසිවලට යටත්ව මේ අවස්ථාව හිමි වූයේ නම් කොන්දේසි කිසිවක් ඉටු නොකර තිබියදී මෙලෙස ඒ සදහා ඉඩහසර විවර වූයේ කෙසේද? යන්න අප ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතුය. ජීඑස්පී ප්ලස් බදු සහනය දෙන අවස්ථාවේ යුරෝපා කොමිසම නිවේදනයක් නිකුත් කළ අතර එහිදී හෝ මේ කොන්දේසි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබිණි.

එහෙත් එවැන්නක්ද සිදු වී නැත. එනිසා මෙසේ දිගින් දිගටම ඔවුන් මෙසේ කියන්නේ ඇයිද යන්න විමසා බැලිය යුතුය. යුරෝපා සංගමය මේ බදු සහනය ලබාදෙන අවස්ථාවේදී නිකුත් කළ නිවේදනයේ ලංකාවට ජීඑස්පී ප්ලස් බදු සහනය දෙන බව පවසමින් සඳහන් කරන පරිදි, ඒ වෙනුවෙන් යුරෝපා සංගමය කිසිදු ලාභයක් බලාපොරොත්තු වන්නේ නැත. මේ තීරුබදු සහනය දෙන්නේ මානව හිමිකම්, කම්කරුවන්ගේ තත්ත්වය, පරිසරය ආරක්ෂා කිරීම හා යහපාලනය සඳහා අදාළ වන අන්තර්ජාතික සම්මුති විසිහතක් තමරට තුළ වලංගු කොට ඵලදායී ලෙස ක්‍රියා කිරීම සඳහා ලංකාව දක්වා ඇති කැපවීම අගේ කිරීමක් වශයෙනි. එනම් මෙය ලබාදීම මත පදනම්ව යමක් සිදු කරනවා නොව, ලංකා ආණ්ඩුව දැනටමත් ක්‍රියාවට නංවා ඇති යහපාලන ක්‍රියාදාමය තුළ මානව හිමිකම් සුරක්ෂිත කිරීම, කම්කරු අයිතීන් සුරක්ෂිත කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම වැනි මේ ආණ්ඩුව පමණක් නොව පැවති ආණ්ඩු පවා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සැලකිල්ලට ලක් කිරීමෙනි. ඒ පිළිබඳව අගය කිරීමක් වශයෙනි.

කෙනකු මෙය කිසියම් කොන්දේසියක් මත ලබා දුන්නේයැයි ප්‍රකාශ කරන්නේ නම් මෙහි ඒ පිළිබඳව සඳහනක් කළ යුතුය. එවැන්නක් අපට දක්නටද නොමැතිය. එහෙත් ඔවුන් මෙවැන්නක් එහි දක්වා ඇත. “යුරෝපා සංගමය ලංකාවට මේ බදු සහනය දීමට කටයුතු කරන්නේ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට වැඩිවැඩියෙන් සහ හොඳ රැකියා අවස්ථා ලබාදෙන, මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම් වැඩි දියුණු කළ හැකි තිරසාර පදනමක් මත පාරිසරික වශයෙන් චිරස්ථායි ලෙස තවදුරටත් ආර්ථික වශයෙන් සංවර්ධනය වීම සඳහා අවස්ථාවක් ලබාදීම අරමුණු කරගෙනය. මෙය වනාහී අන්තර්ජාතික සම්මුති ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකා ආණ්ඩුව අත්පත් කරගෙන ඇති ප්‍රමිතිය තවදුරටත් පවත්වාගෙන යනු ඇති බවට යුරෝපා සංගමය විසින් තබා ඇති විශ්වාසය පළ කිරිමක්ද වේ.“කලින් සඳහන් කළ ආකාරයට ලංකාව මේ සම්මුතීන්ට අත්සන් තබා ඇති අතර, ඒවා ක්‍රියාත්මක කරාවියැයි ඔවුන් තබා ඇති විස්වාසය උඩ මේ බදු සහනය ලබාදීමට කටයුතු කර ඇත.

එහෙත් ලංකාවේ මේ වන විට පවතින තත්ත්වය අඩුලුහුඬු නැති පරිපූර්ණ එකක් බව අපි නොකියමු. බොහෝ දෙනා කොන්දේසි යනුවෙන් අර්ථ දක්වන්නේ මේ කාරණාව මුල් කරගෙන විය හැකිය. උදාහරණයක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කොට ඒ සඳහා වෙනමම නීතියක් ගෙන ඒමේ ක්‍රියාවලිය තවදුරටත් සම්පූර්ණ කළ යුතුය. වදහිංසා පැමිණ වීම්, ළමයින් බලහත්කාරයෙන් විවාහ කර දීම තවමත් නතර වී නැත එසේම සමහර ජනකොටස්වලට එරෙහිව වෙනස්කොට සැලකීම අවසන් වී නැත. එහෙත් අප කැමැත්ත දක්වන්නේ මේ භාවිතාවන් හා ව්‍යවහාරයන් නැවතීමේ ලකුණු තියනවා දකින්නටය. මන්ද ඒ අපි කියන නිසා නොව ලංකාව අන්තර්ජාතික සම්මුති පිළිගනිමින් මේවා ක්‍රියාත්මක කර තම රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන බවට පොරොන්දු වී ඇති නිසාය. මේ නිසා මේ ක්‍රියාදාමයේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව අපි ආණ්ඩුව හා රාජ්‍ය නොවන සංවිධාන සමග එකතු වී කටයුතු කරන්නෙමු.” කොමිසම ක්‍රියාත්මක වන්නේ මේ තත්ත්වය මත පදනම්වය.

මෙහි කොන්දේසි නොවේ නම් කොන්දේසි ඇත්තේ කොහිද යන්න කෙනකු ප්‍රශ්න කළ හැකිය. එසේ නම එය තිබිය හැක්කේ අර කියන්නා වූ කොන්දේසි විසිහත තුළය. ලංකාව සාමාජිකත්වය දරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොන්දේසි ක්‍රියාත්මක කරන බවට අස්සන් තබා ඒවා ක්‍රියාත්මක නොකිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඇති වූ ගැටලු මත මේ තත්ත්වය ඇති වූ බව පැවසීම වඩා යෝග්‍ය වේ. යමක් කිරීමට පොරොන්දු වී එය සිදු කළේදැයි ඔවුන් සොයා බැලීම සාධාරණය. ඒ අනුව ලංකාවට ජීඑස්පී ප්ලස් බදු සහනය ලැබී අහිමි වීමට බලපෑ කාරණය වන්නේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට ලංකාව අත්සන් තබා, ඒවා ක්‍රියාත්මක කිරීමේදී දැක්වූ ප්‍රගතිය හා අඩුලුහුඩුකම් වාර්තා කිරීමේදී අනුගමනය කළ ක්‍රියාපටිපාටිය සලකා බැලීමෙන් අනතුරුවය. මීට අමතරව වදහිංසාවට එරෙහි අන්තර්ජාතික සම්මුතියට අස්සන් තබා තිබුණද ඒ තත්ත්වය වෙනස් වී නැති බව තහවුරු වීමෙන් අනතුරුවය. අනෙක් කාරණය වන්නේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියයි. එහිදී ළමයින් සම්බන්ධයෙන් ගත් විට ළමා සොල්දාදුවන්, ළමා ශ්‍රමිකයන්, ළමයින් බලහත්කාරයෙන් විවාහ කරදීම… ආදි ගැටලු ලංකාව තුළ තවමත් නොවිසඳුණු කාරණයක් බවට ඒත්තු යෑම ආදි වූ කරුණු රාසියක් නිසා මෙය අපට අහිමි වී තිබිණි.

2014 වසරේදී සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය රටවල්වල ක්‍රියාත්මක වන ආකාරය සොයා බැලීම නීත්‍යනුකූලව පැවරී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුවටය. මෙම කමිටුව ජිනීවා හීදී රැස් වී ලංකාව සම්බන්ධයෙන් කාලාන්තර වාර්තාව සලකා බැලූ අවස්ථාවේදී සඳහන් කළ කරුණු සලකා බැලීමෙන් අපට මේ තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරක් ලැබේ. ඒ අනුව ලංකා රජය කියූ කරුණු සහා සිවිල් සංවිධාන ඉදිරිපත් කළ කරුණු සලකා බලා ඒ සම්බන්ධයෙන් සම්පිණ්ඩන විමර්ශන වාර්තාවක් 2014.10.27 වැනිදා ප්‍රකාශයට පත් කළේය. එහි පැහැදිලිවම දක්වා ඇත්තේ මේ සම්මුතිය යටතේ කටයුතු කළ යුතු වූ නමුත් එය ඉටු කිරීමට අපොහොසත් වීම සලකා බලා මෙම බදු සහනය අහෝසි කළ බවය. මේ සම්මුතිය අනුව රටේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමට අප ක්‍රියා කළ යුතු ය. ඊළඟ කාරණය වන්නේ ත්‍රස්තවිරෝධී නීතියයි. අපි මේ පිළිබඳව පුද්ගලයන් අතුරුදන් කිරීම කියන කාරණය හරහා තවදුරටත් විග්‍රහ කර බැලුව හොත්, මේ සඳහා කොමිසමක් පත් කර තිබූ අතර ඒ කොමිසම මගින් ලබාදුන් මැන්ඩේටය සීමාසහිත එකක් විය. එනිසා අතුරුදන් වූවන්ගේ පවුල්වල උදවියට හා ඔවුන් ගේ සමීපතමයන්ට ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය රජය විසින් තහවුරු කළ යුතු බව ජිනිවා කවුන්සිලය පෙන්වා දී ඇත. රජය මේ සම්බන්ධයෙන් සැලකීමට ලක් කර අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත සම්මත කරගෙන ඇති අතර, එය තවම ක්‍රියාත්මක නොවූවද ඒ සදහා ගත් සාධනීය පියවරක් ලෙස සැළකිය හැකිය. මෙමගින් යහපතක් සිදුවන්නේ දෙමළ ජනතාවට පමණක් නොවේ. මෙරට වෙසෙන සියලු පුරවැසියන්ට තමන්ගේ සමීපතමයන් සම්බන්ධයෙන් දැනගැනීමට ඇති සාධාරණ අයිතිය තහවුරු කර තිබේ.

හිටපු සැකකරුවන් සම්බන්ධයෙන් සැලකීමේදී ඔවුන්ට නැවත තමන්ගේ ගම්බිම් බලා යෑමට හා අවතැන් වූවන්ට ඔවුන්ට හිමි ස්ථානවල නැවත පදිංචි වීමට අවස්ථාව හිමි කරදීම රජය සතු වගකීමක් ලෙස පිළිගෙන කයටයුතු කිරීම ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිය තහවුරු කිරීමේ කටයුත්තකටත් වඩා වගකිව යුතු රජයක් ලෙස තම රටේ ජනතාව කෙරෙහි සංවේදීව කටයුතු කිරීමකි.

අනෙක් අතින් අත් අඩංගුවට පත්වීමේදී වැඩිහිටියන්ට මෙන්ම ළමයින්ටද වදහිංසාවලට ලක් වීමට තිබෙන ඉඩකඩ අහෝසි කිරීම. වගවිභාගයකින් තොරව රඳවා තබාගැනීම, අත් අඩංගුවට පත්වන අවස්ථාවේදී නිතීඥයකුගේ සහය ලබා ගැනීමට හා පවුලේ උදවියට ඒ පිළිබඳව දැනුම් දීමට රැඳවියන්ට තිබෙන අවස්ථාව සීමාසහිත බව අහොසි කිරීම සහ ඔවුන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම, භාෂණයේ නිදහස; මාධ්‍යවේදීන්, නීතිඥයන්, රාජ්‍ය සේවකයන්… ආදි පාර්ශ්වයන් අධ්‍යයන කටයුතු සඳහා තොරතුරු ලබාගැනීමට යෑමේදී සිදු වන අවහිර කිරීම්, තොරතුරු සැඟවීම් වැනි අනිසි බලපෑම් සිදු වීමට ඇති ඉඩකඩ නැති කිරීම, රැස්වීමේ හා සමාගමේ යෙදීමේ නිදහස ආරක්ෂා කිරීම, ජනතාවගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, නාන්තාවන් වෙනස් කොට සැලකීම, කාන්තාවන්ට ගබ්සා කිරීමට තිබෙන අයිතිය තහවුරු කිරීම, මිනිස් ජාවාරම (කුට්ටනය)… වැනි කාරණා රාශියක් පිළිබඳ සලකා මානව නිදහස තහවුරු වන ආකාරයට කටයුතු කරන ලෙස දන්වා තිබේ. මේ එකක් හෝ ශිෂ්ට සම්පන්න සමාජයක් අගයන කිසිදු පුරවැසියකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය.

එනිසා මේ කාරණා සම්බන්ධයෙන් පියවර ගැනීමෙන් යහපතක් සිදු වන්නේ නැති නම් මින් ප්‍රතිලාභ අත් වන්නේ යුරෝපීයන්ට නොව මෙරට මහ ජනතාවටය. එනිසා ජීඑස්පී ප්ලස් බදු සහනය ලබාදීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව තම පටු දේශපාලන වාසි තකා ගොඩනගන බොරු චෝදනා සම්බන්ධයෙන් විමසිලිමත්ව කටයුතු කිරීම සිහිබුද්ධියක් ඇති ජනතාවගේ යුතුකමය.

නීතිඥ සුදර්ශන ගුණවර්ධන

සටහන – රසික කොටුදුරගේ 

http://www.silumina.lk

Recent Posts

Tags: , , , ,

Leave a Comment