වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳ පනත නරියන්ට කුකුල්ලු බාර දීමක් ද?

Jul 3rd, 2017 | By | Category: LEAD NEWS, සරනි ගුණතිලක

සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම ගැන සමාජයේ බොහෝ තැන්වල බොහෝ දෙනා කතා කිරීම ආරම්භ කර ඇත. එහෙත් සැබෑ ලෙසම වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව තවමත් වගකිවයුතු පාර්ශ්වයන් අවබෝධ කරගෙන නොමැති බව පෙනී යයි. පාර්ලිමේන්තුව විසින් 2015 වසරේදී මේ උදෙසාම සම්මත කරන ලද පනත ද වින්දිතයන්ගේ සැබෑ ගැටලු හඳුනා ගැනීමට අසමත් වී තිබේ.

වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම හා ඊට ඇති අභියෝග ඇසුරෙන් 2015 වසරේ සම්මත කරන ලද පනතේ ඇති අඩුපාඩු හඳුනා ගනිමින්, ඒවා සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳව සහ සාර්ථක සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියක් සඳහා ශක්තිමත් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතු කර දැක්වීම අරමුණු කරගෙන ලියවෙන ලිපි මාලාවේ පළමු වන ලිපියයි මේ.

russia-anti-gay-protest
වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ වැදගත්කම (අපරාධ රජයන සංස්කෘතිය)
රටක නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා අපරාධවලට එරෙහිව නඩු පැවරීමේ ක්‍රියාවලියට වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරී දායකත්වය අත්‍යවශ්‍ය වේ. අපරාධ සිදු වන විට වින්දිතයන් හා සාක්ෂිකරුවන් මුනිවත රකිනා තරමට අපරාධකරුවන් දිරිගැන්වෙන අතර රට තුළ නීතියේ ආධිපත්‍යය බිඳ වැටෙයි. අප රටෙහි මෑත කාලීන ඉතිහාසය දෙස බැලීමේදී මෙය සක්සුදක් සේ පැහැදිලි වේ. 1970, 1971, 1983, 1988, 1989, යන වසරවල රට තුළ ඇති වූ අභ්‍යන්තර ගැටුම්කාරී තත්ත්වයන්, යුද සමය සහ පශ්චාත් යුද සමය අවධීන්හි උද්ගත වූ සිදුවීම් උදාහරණ වශයෙන් පෙන්වා දිය හැකිය. මානව හිමිකම් උල්ලංඝයන් හා බරපතළ අපරාධ අඛණ්ඩව සිදු වුණ ද ඊට විරුද්ධව නීතිය ඉදිරියට යාමට තරම් එඩිතර වූ වින්දිතයන් පිළිබඳව අප අසා ඇත්තේ නම් ඒ අතේ ඇඟිලි ගන්නටත් වඩා අඩු වාර ගණනකි. නමුත් එසේ ඉදිරියට ආ වින්දිතයන්ට නීතියේ පිහිටක් නොවීය. පොලිසියට පැමිණිල්ල සිදුකළ මොහොතේ පටන් ඔවුන්ට විඳින්නට සිදු වූ දුක් ගැහැට අනන්තය. බොහෝ විට ඔවුන්ට පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන්, දූ දරුවන්, ඥාතීන්, ආදරණීයයන් යන මේ සියලුදෙනාගේ ජීවිත අවදානමට ලක් වූ අතර නිවසේ සිට අධිකරණයට යන අතර මග කුමක් සිදුවේද යන බයෙන් ජීවත් වන්නට සිදු විය. මේ නිසාම බොහෝ දෙනෙක් සිය පැමිණිලි ඉල්ලා අස් කර ගත් අතර තවත් අය තමාගේ අදාළ නඩු වාරවලට සහභාගී නොවී ගෙදර නැවතිණි. මෙවැනි තත්ත්වයන් දිගින් දිගටම සමාජගතවීම නිසා මේ ආකාරයෙන් අපරාධවල වින්දිතයන් වූ තවත් අය තමාට වූ අසාධාරණය වෙනුවෙන් නැගී සිටීමට අධෛර්යමත් වූහ.

මිනී මැරුමක් වේවා, සොරකමක් වේවා, මානව හිමිකම් උල්ලංඝනය වීමක් වේවා, වරදකරුට ඉන් ගැලවීම ඉතා පහසු දෙයක් බවට මේ වන විට පත් වී ඇත. ඔවුන් කළ යුතු වුයේ, වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට තර්ජනය කර ඔවුන් අධිකරණයට යාමෙන් වැළැක්වීම පමණි. සාක්ෂි මැන බලා තීන්දු දෙන අධිකරණයට පැමිණිල්ලේ සාක්ෂි නොමැතිව කිසිවක් නොකළ හැකි මුත් සාක්ෂි රැක ගැනීමට ඒ සතුව යාන්ත්‍රණයක් නොමැති බව දත් වරදකරුවෝ, එයම දඩමීමා කොට ගෙන වින්දිතයන් හා සාක්ෂිකරුවන් පාලනය කළෝය. මේ නිසාම රට තුළ වැරදිකරුවන් දඬුවම් නොලබා බේරී යාමේ සංස්කෘතියක් නිර්මාණය වී තිබේ.

ගෙවී ගිය කාලය පිළිබඳව ආපසු හැරී බැලීමේදී පැහැදිලි වන්නේ අප රට තුළ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට පැහැදිලි ව්‍යවස්ථානුකූල යාන්ත්‍රණයක් තිබුණේ නම් අපරාධකරුවන් වෙනුවට නීතිය සහ යුක්තිය රජයන ශ්‍රී ලංකාවක් බවට අප රට පත් කළ හැකිව තිබූ බව නොවේද?

වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව ප්‍රශ්නයක්ද?

යමෙක් අපරාධයක වින්දිතයෙකු හෝ සාක්ෂිකරුවෙකු වූ පමණින් සැබවින්ම ආරක්ෂාව සම්බන්ධ ගැටලුවලට මුහුණ දෙන්නේද? බොහෝ දෙනෙකුට මෙය ගැටලුවකි. සැබවින්ම රටකට වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සහ ඔවුනට සහය දීමේ ව්‍යවස්ථානුකුල යාන්ත්‍රණයක් අවශ්‍ය වන්නේ “යම් අවස්ථාවක වින්දිතයෙකුට හෝ සාක්ෂිකරුවෙකුට තර්ජනයක් එල්ල වුවහොත් එහිදී ආරක්ෂාව සැපයීමටත් එමෙන්ම අපරාධවලට එරෙහිව නීතිය ඉදිරියට පැමිණීමේදී වින්දිතයන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව බිය නොවිය යුතු බවට වන සහතිකය සමාජයට ලබා දීම සඳහාත්” වේ. එමගින් මෙතෙක් කල් අපරාධකරුවන් විසින් දඩමීමා කරගත් ආරක්ෂාව පිළිබඳ ගැටලුවට විසමක් ලබා දිය හැකි අතර අපරාධවලට එරෙහිව හඬ නැගීමට රටෙහි පුරවැසියන්ට ශක්තිය ලබා දෙයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙක් කතා කරන විට බොහොමයක් අවස්ථාවලදී වින්දිතයන් හා සාක්ෂිකරුවන් පොලිසියට, රාජ්‍ය නිලධාරීන්ට, දේශපාලනඥයින්ට සහ ආරක්ෂක අංශවලට විරුද්ධව සාක්ෂි දීමට හෝ/හා පැමිණිලි කිරීමට බිය වෙයි. ඊට හේතු වන්නේ අපරාධ සිදු කරන පාර්ශ්වයන් සතුව බලය තිබුණ ද වින්දිතයන් හා සාක්ෂිකරුවන් රැක ගැනීම සඳහා ඊට ඉහළින් වන යාන්ත්‍රණයක් නොමැති වීමයි.
කෙසේ වුවත් 2015 වසරේදී වින්දිතයන් හා සාක්ෂිකරුවන් වෙනුවෙන් වන පනත සම්මත වීමත් සමඟ තත්ත්වය වෙනස් වනු ඇතියි අප සියලු දෙනා අපේක්ෂා කළෙමු. එහෙත් පනතෙහි ඇතැම් කොටස් නිසා අද අප අපේක්ෂාභංගත්වයට පත්ව සිටින්නෙමු.

ජෙරාඞ් මර්වින්ට සහ සුගත් නිශාන්තට අත් වූ ඛේදජනක ඉරණම ගැන අප කවුරුත් අසා ඇත්තෙමු. අදට ද ඔවුන්ගේ පවුල් වල ඥාතීන් ඉතාම වේදනාකාරී ජීවිත ගත කරයි. පොලිසියේ වදහිංසා ඉවසාගත නොහී අධිකරණයට ගිය මේ දෙදෙනාටම අවසාන මෙලොව හැරදා යන්නට සිදු විය. (ජෙරාඞ් මරා දැමුනේ පොලිස් නිලධාරියෙකුගේ සැලසුමකට අනුවය/ සුගත්ගේ මරණය පිටුපස ද එවැනි හස්තයක් තිබු බවට කරුණු වරින් වර ඉස්මතු විය) සුගත් නිශාන්තගේ පවුලේ උදවියට රට හැරදා යන්නටත් ජෙරාඞ්ගේ බිරියට තම දරුවන් සමඟ ගම හැරදා යාමටත් සිදු විය. එදා ඔවුනට රැකවරණ අවශ්‍ය වුයේ පොලිසියෙන් බේරීමටය. අද පනතෙන් ආරක්ෂාව ලබාදීමේ වගකීම පවරා ඇත්තේ පොලිසියට ය. දැන් දකින්නට ඇත්තේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් වෙනුවෙන් කියා සම්මත කළ පනතින් නරින්ට කුකුලන් භාර දී ඇති බවකි.

පනතෙහි ඇති එකම ගැටලුව මෙය නොවේ. වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන අන්තර්ජාතික ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකාවේ අතීත අත්දැකීම් සමඟ සසඳා බලන කල මෙම පනතෙහි සංශෝධනය විය යුතු කොටස් කිහිපයක්ම තිබේ. එකී සංශෝධයන්ගෙන් තොරව මෙම පනත මගින් සැබෑ ලෙසම වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට අවශ්‍ය වන රැකවරණය සැලසෙනු ඇති අපේක්ෂා කිරීම දවල් සිහින දැකීමක් පමණි.

එබැවින් මේ මොහොතේ කළ යුතු වන්නේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳ පනත සම්මත වීම ගැන උදම් ඇනීම හෝ හැකි සෑම විටම එමගින් ආරක්ෂාව සපයන බව ප්‍රකාශ කිරීම නොවේ. එහි ඇති දෝෂ හඳුනා ගනිමින්, ඒවා සංශෝධනය කරමින් රට තුළ නැති වී ගොස් ඇති නීතියේ ආධිපත්‍ය යළි නගා සිටුවීම සඳහා වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ උපරිම දායකත්වය ලබා ගත හැකි වන ආකාරයෙන් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වන හා ඔවුන්ගේ විශ්වාසය යළි නගා සිටු විය හැකි ක්‍රමවත් හා ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමයි.

මීළඟ ලිපිය මඟින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් වෙනුවෙන් වන පනතෙහි ඇති අඩුපාඩු සහ ඒවා මග හරවා ගත හැකි ආකාරයන් පිළිබඳව වන නිර්දේශ බලාපොරොත්තු වන්න.

නීතිඥ සරණි ගුණතිලක

Recent Posts

Tags: , , , , ,

Leave a Comment