වධහිංසාවට තිත තියන්න අපරාධ විමර්ශනය කරන අලුත් ක්‍රමවේදයන් පොලිසියට හඳුන්වා දිය යුතුයි 

Jul 3rd, 2017 | By | Category: OTHER NEWS, සමබිම ඉරිදා අතිරේකය

 

DSC_0185

මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම

‘වධහිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක්’ යන තේමාව යටතේ, වධහිංසාවට පාත්‍ර වූ වින්දිතයන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජුනි මස 27 වැනිදාවේ ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේදී සැමරීමට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය කටයුතු කළේය. එහිදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම, ජාතික පොලිස් කොමිසමෙහි නියෝජිත පී.ඩී. ලියනාරච්චි, රයිට්ස් නව් සංවිධානයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ වෙළෙඳ සහ දේශපාලන නියෝජ්‍ය අංශ ප්‍රධනී රොෂාන් ලයිමන් සහ රයිට් ටූ ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක ලේකම් පිලිප් දිසානායක විසින් අදහස් දැක්වීම් සිදු කළ අතර වධහිංසාවට පාත්‍ර වූ වින්දිතයින් මෙහිදී සිය අත්දැකීම් බෙදාගනු ලැබිණි. මෙහි පළ වන්නේ මෙම අවස්ථාවේදී මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි දීපිකා උඩගම  විසින් පළ කළ අදහස්හි සාරාංශයකි.   

සමස්තයක් ලෙස මානව හිමිකම් සම්බන්ධව ගත් විට බොහෝ ක්ෂේත්‍ර තුළ සාධනීය වෙනසක් අද දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම භාෂණයේ ප්‍රකාශනයේ නිදහස, රැස්වීමේ සහ සමාගමයේ නිදහස වගේම පහුගිය කාලයේ අප අත්දැකපු ඉතාම භයංකර මානව හිමිකම් උල්ලංඝනයක් වූ අතුරුදන් කිරීම් අද දකින්න ලැබෙන්නෙ නැහැ. එවැනි දේ සම්බන්ධ පැමිණිලි මේ අවුරුදු දෙක තුන තුළ අපිට වාර්තා වී නැහැ. රාජ්‍ය බලය යොදා සිදුකරන ඝාතනය කිරීම් සම්බන්ධවද කිසිදු පැමිණිල්ලක් මේ කාලය තුළ අපිට ලැබී නැහැ. බලහත්කාර අතුරුදන් කිරීම් සහ රාජ්‍ය බලය යොදා සිදුකරන ඝාතනය කිරීම් සාමාන්‍ය සංසිද්ධියක් බවට පත්ව තිබූ වකවානුවකින් අනතුරුව මෙය ජනතාව විසින් දිනා ගත් විශාල ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. මොකද ජනතා පෙළගැසීම හරහායි මේ වෙනස ඇති කළ හැකි වුණේ. 

නමුත් මේ පරිසරය තුළ පවා අපට දකින්න තිබෙන එක ලක්ෂණයක් මේ වධහිංසාව දිගින් දිගටම පැවතීමයි. කොළඹ තිබෙන අපේ ප්‍රධාන මූලස්ථානයටත්, ඊට අමතරව තිබෙන ප්‍රාදේශීය කාර්යාල දහයටත් ලැබෙන පැමිණිලි සංඛ්‍යාවත් බැලුවිට මේ සම්බන්ධයෙන් වන පැමිණිලි පසුගිය කාලයට සාපේක්ෂව යම් කිසි අඩුවක් තිබුණා වුවත් සැලකිය යුතු මට්ටමේ සාධනීය වෙනසක් තවමත් ඇති වී නැහැ. ඒ අනුව ඇතිව තිබෙන තත්ත්වයට නිදහසට කරුණු සොයමින් මෙය මඟහැරයාමේ හැකියාවක් අපට නැහැ. අපි මේ කොමිසමට ආවේ තනතුරු තානාන්තර ලබා ගැනීමට හෝ කිසිවෙක් ආරක්ෂා කිරීමට නෙවෙයි; රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීමටයි. ඒ නිසාම අපි රටේ වධහිංසාව තුරන් කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා. වධහිංසාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසන් සභාවට ඉදිරිපත් කර තිබෙන ලිපි ගොනු ඇතැම් ඒවා අවුරුදු හය හතක් පරණයි. නමුත් මේවා විභාග කර නැහැ. 

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව මේ මෙහොතේ ප්‍රතිපත්තිමය වශයෙන් වධහිංසාව තුරන් කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය දී කටයුතු කරන්න තීරණය කර තිබෙනවා. ඒ නිසාම අපට එන පැමිණිලි තුළ වධහිංසාව සම්බන්ධයෙන් එන පැමිණිලිවලට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් කාර්ය මණ්ඩලයට පවා අප ලබා දී තිබෙනවා.  පුද්ගලයන් අත්අඩංගුවට ගත් විට ඒ පුද්ගලයන් රඳවා තබා ගන්නා ස්ථානවල ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් පැමිණිලි විභාග කර බැලීම සඳහා අපගේ විමර්ශන හා පැමිණිලි අංශයේ වෙනම ම ඒකකයක් පිහිටුවා තිබෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් අපගේ ප්‍රමුඛතාවය වධහිංසාව තුරන් කිරීම කෙරෙහි යොමු වී ඇති බව අද අපේ කාර්ය මණ්ඩලයේ සියල්ලන් දන්නවා. මේ හේතුවෙන්ම ස්වාධීන කොමිසන් සභාවක් ලෙස මානව හිමිකම් කොමිසන් සභාව විසින් ජිනීවාහි වධහිංසාවට එරෙහි කමිටුවට පස්වැනි වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවා. වධහිංසාව රටේ එක කොටසකට පමණක් සීමා වූ දෙයක් නොව එය රට වටේ සිදුවන දෙයක් බවත් විශේෂයෙන්ම මෙය “නිරන්තරයෙන් සිදුවන” දෙයක් බවත් එහි අපගේ නිරීක්ෂණ ලෙස පෙන්වා දුන්නා. මානව හිමිකම් කොමිසන් සභාව ලෙස අපි මේ කාර්යයේදී මෙවැනි දායකත්වයක් දැක්වීම රටේ ජනතාවට විශාල ආරක්ෂාවක්ය යන්න අපගේ විශ්වාසයයි. 

ලැබෙන පැමිණිලි විමර්ශනය කර නිර්දේශ ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවන බව අපට පැහැදිලියි. ඒක පුද්ගල වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් හෝ කරන පැමිණිලි විමර්ශනය කිරීම අතිශය වැදගත් වුනත් වසරකට ඉතාම සුළු පැමිණිලිවල සිට බරපතළ ගණයේ අපරාධ සම්බන්ධයෙන්ද වන පැමිණිලි දසදහසක් පමණ අප වෙත ලැබෙනවා. නමුත් අපට තිබෙන පිරිස් බලය සමඟ මේ පැමිණිලි විභාග කර බැලීම සඳහා සෑහෙන තරම් කාලයක් ගත වෙනවා. මම මේ සම්බන්ධයෙන් මහජනතාවගෙන් සමාව අයදිනවා. නමුත් කුමනාකාරයේ ප්‍රයත්නයක් ගෙන හෝ ඒක පුද්ගල පැමිණිලි විභාග කළත් රටේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වයේ සාධනීය වෙනසක් ඇති කළ හැකිද යන ප්‍රශ්නය අපට නිරන්තරයෙන් මතු වෙනවා. අපිට දැනෙන ආකාරයට අපේ බලතල ශක්තිමත් ලෙස භාවිත කළ හැකි වන්නේ රටේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න හඳුනාගෙන ඒවා විසඳීම සඳහා නිර්දේශ රජයට ඉදිරිපත් කිරීම තුළින් ප්‍රතිපත්තිමය වශයෙන් වෙනසක් ඇති කළ හැකි නම් එයින් පමණයි. 

උදාහරණයක් ලෙස, නීති කෙටුම්පත් ඉදිරිපත්වන විට ඒවායේ රටේ මානව හිමිකම් පිළිබඳ ඇති වන ප්‍රශ්න ඇතුළත් වෙනවා. මෑතකදී අපරාධ නීති නඩු විධිවිධාන සංග්‍රහයට සංශෝධනයක් ඉදිරිපත් වුණා. එම සංශෝධනය තුළින් රැඳවියෙකුට වහාම නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීමට තිබෙන අයිතිය සීමා කිරීමට පොලිසියට හැකියි. එම සංශෝධනයේ මූලික වශයෙන් කියැවෙන්නේ ඕනෑම රැඳවියෙකුට පොලිසියේ රඳවා සිටින පුද්ගලයෙකුට, නීතිඥවරයෙකුගේ සහය ලබා ගැනීමට හැකිය යන අයිතිය පිළිගන්නවාය යන්න. එයට අපේ සම්පූර්ණ සහාය හිමිවෙනවා වුවත් ඒ අතරේ තිබෙන යම් ප්‍රතිපාදනයක් තුළින් නීතිඥවරයෙකුට රැඳවුම්ගතව සිටින තමන්ගේ සේවාදායකයා බැලීමට, සේවාදායකයා සමඟ සාකච්ඡා කිරීමට තිබෙන අයිතිය සීමා කිරීමටද හැකියාව තිබෙනවා. අපි මෙයට එරෙහිව අදහස් දැක්වූවා. මානව හිමිකම් කොමිසන් සභාව ලෙස මෙය අධ්‍යයනය කිරීමෙන් පසු මෙය මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ජේදයටත් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ යුතුකම්වලටත් පටහැනි බව අපි අගමැතිතුමාටත් ලියා දැක්වූවා . කුමන හෝ හේතුවක් මත පළමු අවස්ථාවේදී මෙම සංශෝධනය කිරීම වැළකුණා. ඒ සඳහා අපේ ද බලපෑමක් තිබෙන්නට ඇතැයි අපි සිතනවා. දෙවැනි වතාවටත් මෙම පොඩි පොඩි වෙනස්කම් සහිතව සංශෝධනය ගෙන ආවා. ඕනෑම රැඳවියෙකුට අත්අඩංගුවට ගත් මෙහොතේ සිට නීතිඥවරයෙකුගේ සහාය පැතීමට තිබෙන අයිතිය සීමා කීරීමට කිසිසේත්ම නොහැකි නිසා අපි එයටත් එරෙහි වුණා. අපි දැනගත් පරිදි මෙම සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණා. නමුත් සිවිල් සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙයට අභියෝග කළා. එහිදී ඔවුන් පෙන්වා දෙනු ලැබුවා මානව හිමිකම් කොමිසන් සභාව පවා මෙයට එරෙහිව අගමැතිතුමාට දෙවතාවකදී ලිඛිතව මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවයි. කුමක් හෝ හේතුවක් මත එම සංශෝධනය රජය විසින් ඉල්ලා අස්කරගෙන ඇත යන්න නීතිපතිවරයාගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. එවැනි ප්‍රතිපත්තිමය මැදිහත් වීමකින් දහස් සංඛ්‍යාත ජනතාවකට ආරක්ෂාව සපයන්න අපට හැකි වුණා. 

මෙයින් අදහස් කරන්නේ ඒක පුද්ගල පරීක්ෂණ කිරීම අවම කරනවා යන්න නොවුණත් අපි ප්‍රතිපත්තිමය වශයෙන් මැදිහත් වීම් කරන්නට අපේ ප්‍රමුඛතාවය දී තිබෙනවා. මේ තත්ත්වයන් යටතේ මානව හිමිකම් කොමිසන් සභාවේ වධහිංසාව පිළිබඳවම වූ වෙනම තේමාන්විත කමිටුවක් පිහිටුවා තිබෙනවා. එම කමිටුවේ සභාපතිත්වය දරන්නේ මූලික අයිතිවාසිකම් නඩු පිළිබඳ පරිණත දැනුමක් ඇති කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසිනුයි. කොමසාරිස්වරුන් මෙන්ම සිවිල් සමාජයේ නියෝජිතයන්ද එහි සාමාජිකයන් ලෙස කටයුතු කරනවා. මීට අතිරේකව මනෝ චිකිත්සක වෛද්‍යවරයෙක්ද කමිටු සමාජිකයෙකු ලෙස ඇතුළත් කර ගැනීමට තීරණය කර තිබෙනවා. මොකද වධහිංසාව තුරන් කිරීම පිළිබඳ වන කර්තව්‍ය නීතිඥවරුන්ට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. 

අපි නිරන්තරයෙන් කියනවා වධහිංසාව තුරන්කිරීම වෙනුවෙන් පොලිසියට අධ්‍යාපනික වැඩසටහනක් තිබිය යුතුයි කියල. මානව හිමිකම් අධ්‍යාපනික වැඩසටහන්වලින් ඒ ආකාරයට දශක ගණනාවක් අධ්‍යාපනය දීලා තිබෙනවා. වධහිංසාව අපරාධයක් බවත්, එය සිදු නොකළ යුතු දෙයක් බවත් දැන් හැම රාජ්‍ය නිලධාරීයෙක්ම දන්නවා. මෙම අධ්‍යාපනික පුහුණු වැඩසටහන් තුළින් මොනවා දුන්නත් ප්‍රායෝගික තලයේ විමර්ශන කටයුතු කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම පොලිස් නිලධාරීන්ට ලබා නොදුන්නොත් මේ තත්ත්වයේ වැඩි වෙනසක් ඇති කිරීමට අපට හැකියාවක් නැහැ. ඒ අනුව පොලිසියට අවශ්‍ය කුමනාකාරයේ පුහුණුවීම්ද යන්න අපි කල්පනා කළා. අපට පෙනෙන්නට තිබෙන ආකාරයට වධහිංසාව සිදුවෙන්නේ මූලික වශයෙන්ම විමර්ශන කටයුතුවලදී ප්‍රකාශ හෝ ඒ අවශ්‍ය යම් තොරතුරක් ලබා ගැනීමටයි. ඒ අනුව ලෝකයේ තිබෙන නූතන විමර්ශන ක්‍රමවේදයන් පොලිසියට හඳුන්වාදීම අත්‍යවශ්‍යයි.  ඒ වගේම ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීම සඳහා වන කොන්දේසි අනුව කටයුතු කිරීම, අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසන් සභාවේ දායකත්වය කුමනාකාරද යන්න බොහෝ දෙනා අපෙන් අහන ප්‍රශ්නයක්. නමුත් මේ වෙනුවෙන් අපිට වෙනමම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට හෝ වෙනම විශේෂිත කාර්ය භාරයක් කිරීමට හෝ නැහැ. මානව හිමිකම් කොමිසන් සභාව තමන්ගේ දෛනික කාර්යන් නිසියාකාරයෙන් ඉටු කරනවා නම් නිරායාසයෙන්ම ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම සඳහා ඉදිරිපත්ව තිබෙන කොන්දේසි ඒ ආකාරයෙන් සිදුවෙනවාද නැද්ද යන්න අධීක්ෂණය කිරීම සිදුවෙනවා. 

රටේ වධහිංසාව තුරන් කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසන් සභාවට තිබෙන ප්‍රධානතම අභියෝගය වන්නේ කුමක්ද?,  වධහිංසාව රටට ප්‍රශ්නයක්ව තිබෙන බව රාජ්‍ය බලය සහිතව පුද්ගලයන් රඳවා ගැනීමට හැකියාව තිබෙන රාජ්‍ය ආයතන විසින් පිළිගත යුතු වෙනවා. ස්වාධීන කොමිසන් සභාවක් ලෙස මානව හිමිකම් කොමිසම වධහිංසාවට එරෙහි ජාත්‍යන්තර කමිටුවට ඉදිරිපත් කළ වාර්තාව මෙයට හොඳ නිදසුනක්. රටේ ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙක් රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවකදී මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව කිව්වා. මෙයට හේතුව ලෙස එතුමා ඉදිරිපත් කරන්නේ අප විසින් දක්වා තිබෙන දත්ත, පැමිණිලි පිළිබඳ දත්ත මිස මානව හිමිකම් කොමිසන් සභාව විසින් විභාග කර අවසන් වූ පැමිණිලිවල සංඛ්‍යාත්මක දත්ත එකතුවක් නොවන බවයි. රටක මානව හිමිකම් පිළිබඳ තත්ත්වය පිළිබඳ අදහසක් ලබා ගැනීමේදී නඩුවලදී වරදකරුවන් වූණු සංඛ්‍යාවෙන් පමණක් ඒ රටේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය දිහා බැලීමක් මම දන්න ආකාරයට කිසිදු රටක සිදුවෙන්නේ නැහැ. අපිට සිදුවෙනවා අපේ ජන සමාජය මුහුණ දෙන ප්‍රශ්න පිළිඅරගෙන යථාර්ථවාදීව ඒ දිහා බැලීමට. මානව හිමිකම් කොමිසන් සභාව සහ රාජ්‍ය ආයතන අතර කිසිදු ආකාරයකට එදිරිවාදිකමක් තිබීම අවශ්‍ය නැහැ. නමුත් අපි නීතියෙන් පත් කර සිටින අධීක්ෂණ ආයතනයක්ය යන්න තේරුම් ගැනීම අවශ්‍යයි. මානව හිමිකම් කොමිසන් සභාව යන මේ ගමනට සිවිල් සමාජයේ සක්‍රීය මැදිහත් වීම අවශ්‍යයි. නමුත් නව වාතාවරණය තුළ සිවිල් සමාජයේ භූමිකාව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැහැ. අද විවෘත වී ඇති පුළුල් අවකාශය තුළ සිවිල් සමාජය, විවේචකයා වන අතරම රටේ මානව හිමිකම් තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ඔබත් අපිත් හවුල්කරුවන් වීම අවශ්‍යයි.

 

Recent Posts

Tags: , , , , , , , ,

Leave a Comment