පැරණි රෙජීමයේ දෘෂ්ටිවාදය තවමත් පරාජය වී නැහැ 

Jul 4th, 2017 | By | Category: LEAD NEWS, දේශපාලන, සමබිම ඉරිදා අතිරේකය, සුදර්ශන ගුණවර්ධන

”සිවිල් සමාජය දැන් ගතකරන්නේ පහුගිය රජයේ පාලන කාලයටත් වඩා අසීරු කාලයක් බව අපේ සමහරු කියනවා. එක ආකාරයකට බැලුවොත් එහි ඇත්තක් ද තියෙනවා. එළැඹී තිබෙන නව වාතාවරණය තුළ කටයුතු කළ යුතු ආකාරය සූත්‍රගත කිරීම අපහසු විය හැකියි. පසුගියදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මට භාර දුන්නා. ඒ අවස්ථාවේදී ඔහු කිව්වේ රජයේ ප්‍රතිපත්තිඅ වන සංහිඳියාව සහ සංවර්ධනය පිළිබඳ පණිවිඩය මහජනයා වෙත ගෙන යාමට මෙම මාධ්‍ය ආයතනය යොදා ගන්නා ලෙසයි. මෙම තනතුර කෙනෙකුගේ ඉරිසියාවට ලක් විය යුතු වරප්‍රසාදයක් නොවන බවත් මෙය අභියෝගයක් බවත් ඔහු වැඩිදුරටත් කිව්වා. සිවිල් සමාජ සමාජිකයෙක් වශයෙන් මා එය භාරගත්තේ සිවිල් සමාජයේද එකඟත්වය මතයි. රජයේ ප්‍රතිපත්තිය වන සංහිඳියාව සහ සංවර්ධනය වන විට එය සිවිල් සමාජයේ න්‍යාය පත්‍රය සමගත් ගැලපෙනවා. ඒ නිසා මේ ඇත්වී ඇති අවකාශය තුළ ආණ්ඩුවට සහ සිවිල් සමාජයට එකතු වෙලා වැඩ කිරීමේ අවස්ථාව තිබෙනවා. සිවිල් සමාජය අත්‍යන්තයෙන්ම බහුවිධ වුවක්. එහිදී අප විවිධ භූමිකා තුළ කටයුතු කරනවා. නමුත් අප හැමදෙනාම පෑගෙන පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිසක්. මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන ආයතනවලටත්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වැනි මහජන සේවා මාධ්‍ය ආයතනවලටත් අපේ ශක්තිය දීලා සිවිල් සමාජය ලෙස ඔවුන් සමඟ අප කටයුතු කළත් රජය විසින් සිදුකරන මානව හිමිකම් කඩ කිරීම්වලට එරෙහි වීමට අපට කිසිදු බාධාවක් නැහැ. මේ රජය ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස පුරවැසියා ඉදිරියට ඇවිත් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටීවිය යන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. එසේම පුරවැසි යුතුකම් පිළිබඳවද සිහි තබා ගනිමින් ඇතිව තිබෙන අලුත් තත්ත්වය තුළ අභියෝගය ජයගැනීමට සිවිල් සමාජයට හැකිවේය යන්න මගේ අදහසයි. ” නීතිඥ සුදර්ශන ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඔහු මේ අදහස් පළ කළේ වධහිංසා වින්දිතයන්ට සහය දැක්වීමේ ජාත්‍යට්න්තර දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් ජුනි 27 වනදා කොළඹ ඔලිම්පික් නිවහනේ ශ්‍රවණාගාරයෙහි සංවිධානය කරන ලද උත්සවයකය සහභගි වෙමිනි. සුදර්ශන ගුණවර්ධන රයිට්ස් නව් කලෙක්ටිව් ෆො ඩිමොක්‍රසි සංවිධානයෙහි විධායක අධ්‍යක්ෂවරයා වන අතර පසුගියදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයට පත් කරන ලදී. ඔහු මෙසේද පැවසීය.

DSC_0179

සිවිල් සමාජය යනු රජය කරන කටයුතුවලදී රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකම් ආරක්ෂා වෙනවාද යන්න සොයා බලන, ඒ පිළිබඳ තොරතුරු සොයා වාර්තා කරන ඊට මැදිහත් වන පිරිසක්. ඒ වගේම අයිතිවාසිකම් පිළිබඳ තිබෙන දැනුවත්භාවය වර්ධනය කර ඒ පිළිබඳ මහජන අවබෝධය වැඩි කරන්නට මැදිහත් වන පිරිසක්. ඒ අනුව විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් මෙම අයිතිවාසිකම් කඩ වූ විට එයට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ මානව හිමිකම් කොමිසන් සභාව වෙත යන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පුරවැසියන්ට අයිතිවාසිකමක් තිබෙනවා. එමෙන්ම මෙම අයිතිවාසිකම්වලට ගරු කිරීමට, ආරක්ෂා කිරීමට සහ වැඩිදියුණු කිරීමට රාජ්‍යයේ සියළු අංගයන්ට වගකීමක් තිබෙනවා.  ඒ අනුව අයිතිවාසිකම් කඩවීමට ලක්වන පිරිස වෙනුවෙන් මැදිහත් වීමට සිවිල් සමාජයට අයිතියක් තිබෙනවා.

අයිතිවාසිකම් තිබෙන්නේ අපේ මූලික අයිතිවාසිකම් තුළ පමණක් නෙවෙයි.  ජාතීන්ගේ එකමුතුව තුළ වන එකඟතාවයන්ට අනුව සෑම මනුෂ්‍යයෙක්ගෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අප රටක් වශයෙන් පොරොන්දු වී සිටිනවා . එම අයිතිවාසිකම් කිසියම් රටක ජනතාවට අහිමිවන විට එයට මැදිහත්ව ක්‍රියා කරන්නටඑයට සාක්ෂිකරුවන් වන අනෙක් රටවල්වලට වගකීමක් ඇති වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලටත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මුතීන්වලටත් එකඟව කටයුතු කිරීමට බැඳී සිටිනවා. ඒ නිසාම ඒ පිළිබඳව සොයා බැලීමේ වගකීම සිවිල් සමාජයටත් තිබෙනවා.

ඉහත කී සිවිල් සමාජයේ කාර්ය භාරය කිරීමට තිබූ නීත්‍යනුකූල සහ තර්කානූකූල අවකාශය පසුගිය යුගය තුළ ප්‍රශ්න කිරීමට ලක් වූණා. එම කාර්ය භාරයෙහි නිරත වූ සිවිල් සංවිධානවලට නීති රීති මඟින්, රෙගුලාසි මඟින්, සන්නද්ධ බලය යොදමින් හෙවත් රාජ්‍යයේ මර්දන උපකරණ යොදාගෙන පහරදීම් සිදු කළා. දෙවනුව රාජ්‍යයේ මතවාදී  උපකරණ යොදාගෙන මෙම සංවිධාන විසින් වින්දිතයන් වෙනුවෙන් කරන ක්‍රියාකාරකම් අපවාදයට ලක් කරනු ලැබුවා. නමුත් ඉතාම අසීරු කොන්දේසි යටතේ  අරගල කරමින් අපි මෙම තත්ත්වය ජයගත්තා. අද තිබෙන තත්ත්වය මීට වඩා වෙනස්. එසේ වෙනසක් ඇතිවූ බව ඇතමෙකු පිළිනොගන්නවා විය හැකියි. නමුත් වෙනසක් තිබේද නැද්ද යන්න ගැන පවා විවෘත සංවාද කරන්නට හැකි අවකාශයක් ලැබී තිබීමම වෙනසක්. එවන් අලුත් තත්ත්වයක් යටතේ අප ක්‍රියාකරන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිවෙකු විසින් අත්පොතක් නිර්මාණය කර නැහැ. ඒ නිසාම සිදුවීමට ඉඩ ඇත්තේ පරණ පුරුදු දේම කරමින් අප කලකිරීමට පත් වීම හෝ අලුත් දෙයක් කරල හරියයිද කියන සැකය ඇති වීමයි.

පසුගිය ජනවාරි 08 වනදා පරාජය කරන ලද ආණ්ඩුව සමඟ ඒ කාලයේ රජ කළ දෘෂ්ටිවාදය තවමත් පරාජය වී නැහැ. එය පරාජය කළ හැකිවන්නේ අදහස්වලින්ම පමණයි. විවෘත වී ඇති නව අවකාශය තුළ මෙම දෘෂ්ටිවාදයට එරෙහිව වැඩ කිරීමට කොතෙක් දුරට සුදානම්ද කියන අභියෝගය අද සිවිල් සමාජය හමුවේ තිබෙනවා.

පැවති මර්දනකාරී පාලනය අවසන් කිරීමට කටයුතු කළ පළල් සිවිල් සමාජ සංවිධානයන්ට අද ආණ්ඩුවේම සමහර පාර්ශ්වයන්ගෙන් විශාල වශයෙන් පහර එල්ල වෙන්නට පටන් ගෙන තියෙනවා. ඒ නිසා සිවිල් සමාජයේ බොහෝ දෙනා අද කැළඹිලා තිබෙනවා. බහුවිධ සමාජයක මෙවැනි දේ සිදුවිය හැකි යැයි බලාපොරොත්තු විය යුතුයි. එසේ වුවත් මීට එරෙහි වීමටත් පුරවැසියන් ලෙස අපට ඉඩක් තිබෙනවා. නව ආණ්ඩුවක් බලයට පත් වූ විගස ජනාධිපති, අගමැති ඇතුළු සියලු බලධාරීන් මානව හිමිකම් ක්‍රියාධරයන් බවට පත්වේයැයි අප විසින් නොසිතිය යුතුයි. නමුත් අපේ ක්ෂේත්‍රයට සිදුවන මර්දනයට එරෙහිව අපි එළියට පැමිණ කතා කළ යුතුයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව 1996 වසරේදී පිහිට වූවක්. අවුරුදු දහයක අවෑමෙන් ඒ මානව හිමිකම් කොමිසන් සභාවේ කොමසාරිස්වරුන්, නිලධාරීන් ස්වාධීනව පත්වීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අහෝසි කිරීම නිසා එයට දැඩි පහරක් එල්ල වුණා.  මෙය සිදුවුණේ සටන්කාමී සංවිධානයක් රටේ එක් ප්‍රදේශයක බලය පවත්වාගෙන යන, ජාත්‍යන්තර අධීක්ෂණයක් සහිත සටන් විරාමයක් ක්‍රියාත්මක වූ, ශ්‍රේෂ්ඨාධිකරණය කිසියම් ප්‍රමාණයකින් විධායකයෙන් ස්වායත්නව ක්‍රියා කළ, 17 වන ව්‍යවස්ථා සංශෝධනය බලපැවැත්වූ කාලයකයි. එවන් කාලයක එය සිදුවුණේ මේ රටේ බුද්ධිමතුන්, අධිකරණය, පාර්ලිමේන්තුව ඇතුළු සියලු දෙනාම ඊට ඉඩ දීලා බලා සිටි නිසායි. මෙයයි අපිට තිබෙන සැබෑ අභියෝගය. අද අලුත් මානව හිමිකම් කොමිසන් සභාවක් පත්ව තිබෙනවා. මේ කොමිසන් සභාව ප්‍රශ්න නැති අඩුපාඩු රහිත එකක් නෙවෙයි. නමුත් අපිට පුළුවන් ආකාර දෙකකින් එකක් තෝර ගෙන මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න. එක්කෝ මානව හිමිකම් කොමිසන් සභාව ඉදිරියට ගිහින් පිකට් එකක් කරන්න අපිට පුළුවන්. නැතිනම් ඔවුන් සමඟ යම් එකඟතාවයකට පැමිණිලා මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න පුළුවන්. ඇතැම් විට මේ දෙකම අපිට කරන්න වෙයි. නමුත් අලුත් යුගයක් තුළ මේ නව ප්‍රවේශය අරගෙන අපි ක්‍රියාකළ යුතුයි.

නිතිඥ සුදර්ශන ගුණවර්ධන

 

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment