භික්ෂු දේශපාලනයේ අසරණකම

Jul 7th, 2017 | By | Category: LEAD NEWS, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමබිම ඉරිදා අතිරේකය

මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් මහානායක හිමියන්ගේ අත්සනින් යුතුව රජය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. ඉන් පසුව රාමඤ්ඤ නිකාය විසින් ද ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මෑතකදී සියම් නිකායේ කෝට්ටේ පාර්ශ්වය විසින් ද ප්‍රකාශයක් නිකුත් කර තිබේ. මෙම ප්‍රකාශවලින් අදහස් වන්නේ මේ දිනවල මෙරට බුද්ධ ශාසනයට සහ භික්ෂුන් වහන්සේට අභියෝගයක් පැමිණ ඇති බවයි. එමෙන්ම මෙම සතියේදී සියලුම නිකායික භික්ෂුහු නව ව්‍යවස්ථාවක් මෙරටට අනවශ්‍ය බව කීහ. රාමඤ්ඤ නිකාය විසින් කැඳවනු ලැබූ පුවත්පත් සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියෝ තමන් අස්ගිරි ප්‍රකාශය අනුමත කරන බව කීහ. අස්ගිරි විහාරයේ නිවේදනය තදබල ප්‍රකාශයක් ලෙස මාධ්‍ය විසින් හඳුන්වාදී තිබුණි. එම ප්‍රකාශය ආරම්භ වන්නේ මෙලෙසිනි.

“අප මාතෘ භූමියටත් සිංහල ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් යම්බඳු අභියෝගයක් පැමිණි කළ එහි ආරක්ෂාව වෙනුවෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේ හැම කල්හිම ජිවිත පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කළ බව අප කවුරුත් දන්නා කරුණකි.”

2

ඉන් පසුව වර්තමානයේ සිංහල ජාතියටත් බෞද්ධ භික්ෂුන් වහන්සේටත් මුහුණ දීමට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටීම යෝග්‍ය නොවන බැවින් කාරණා අටක් පිළිබඳව සංඝ සභාව රජයේ අවධානය යොමුකර ඇත. එයින් පළමුවැන්න වන්නේ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චර්යාව පිළිබඳවයි. උන්වහන්සේගේ ප්‍රකාශන ශෛලිය අනුමත නොකරන නමුත් උන්වහන්සේ ඉදිරිපත් කරන මතවාදය බැහැර නොකරන බව කාරක සභාව පවසයි. ඥානසාර හිමියන් පිළිබඳව ප්‍රමුඛ ප්‍රශ්නය වන්නේ එහිමියන්ගේ ප්‍රකාශන ශෛලියයි. විරාතු හිමියන් වැනි මෝඝ ක්‍රියාවන්හි නිරතවුවකු අනුගමනය කරන එහිමියන්ගෙ ප්‍රකාශන ශෛලිය කිසිසේත්ම බෞද්ධ භික්ෂුවකට නොගැලපෙන අතර එය මහා කරුණාව සහ මහා ප්‍රඥාව පෙරටුකොටගත් සමස්ත බුද්ධාගමද බෞද්ධයන්ද නින්දාවට සහ අවමානයට ලක් කරයි. මේ හිමියන්ගේ ප්‍රකාශන ශෛලිය හේතුවෙන් එහිමියන්ට වන අපවාද තරයේ හෙළා දකින කාරක සභාව මේ හිමියන්ගේ අගෝචර ප්‍රකාශන ශෛලිය වෙනස් කිරීමට කර ඇත්තේ කුමක්ද? එමෙන්ම මේ හිමියන් බීමතින් රිය පදවා උසාවියක වැරදිකරුවකු වූ හිමිනමකි. අස්ගිරි කාරක සභාව මෙවැනි භික්ෂුවක් ආරක්ෂා කිරීමට ඉදිරිපත්වීම කෙතරම් නින්දා සහගතද? 

එමෙන්ම මහනුවර දළදා මාලිගය ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට එරෙහි සිද්ධියෙන් ද පසුගිය ආණ්ඩු කාලයේ මහනුවර නගරයේ කාර් රේස් සිද්ධියෙන් ද 1818 කැරලි නායකයන් රාජද්‍රෝහීත්වයෙන් නිදහස් කරගැනීමේ උත්සවයේ ඇතිවූ තත්ත්වයෙන්ද, මහා කරුණාවටද මහා ප්‍රඥාවටද භික්ෂුන් සතුවිය යුතු උජුපටිපන්න ගුණයටද සපුරා පටහැනි අස්ගිරි විහාරයේ ක්‍රියා පිළිවෙළ විශද වේ.  

අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටකි. පසුගිය පාලන කාලයේ මෙන් නොව සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳිති. ඥානසාර හිමියන්ගේ මතවාදය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මෙරටේ පුරවැසියන් වන විවිධ සුළු ජන කොටස්වලට සහ සුළු ආගමික කොටස්වලට අපහාස නොවන ලෙස ඉදිරිපත් කිරීම කිසිසේත්ම වැරැද්දක් නොවේ. මතවාද ඉදිරිපත් කළ යුතුය. සාකච්ඡා කළ යුතුය. නිවැරදි මතවාදය ඉදිරියට පැමිණීමට ඉඩදිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයද බුදුන් අනුදැන වදාළ ලිච්ඡවී සම්ප්‍රදායද එයයි. බෞද්ධ භික්ෂුන් දරන දේශපාලන මතවාද සම්පුර්ණයෙන්ම වැරදි යයි පුර්ව නිගමනයකට ඒමට කිසිවකුට නොහැක.

රට ජාතිය සහ ආගම ආරක්ෂා කිරීම බෞද්ධ භික්ෂුන්ගේ යුතුකමෙකියි ප්‍රවාදයක් පවතී. රටට ප්‍රශ්නයක් ආ විට රට ආරක්ෂා කිරීම මෙරට වෙසෙන සියලුම ජන වර්ගවලට අයත් ජනතාවගේ යුතුකමකි. සිංහල ජාතියට ප්‍රශ්නයක් පැමිණි විට එයට මැදහත් වීම සිංහල ජාතියට අයත් ජනතාවගේ යුතුකමකි. භික්ෂුන්ගේ යුතුකම සහ කාර්ය භාරය වන්නේ බුද්ධාගම රැක ගැනීමයි. මේ ප්‍රමුඛ කාර්යය අද දවසේ  භික්ෂුන් විසින් නොසලකා හැර තිබේ. රටේ දේශපාලනඥයන් සිය දේශපාලන පක්ෂයේ අභිලාෂයන් රටේ සමස්ත අභිලාෂයන්ට වඩා ඉදිරියෙන් තබන්නාක් සේ මෙරට බෞද්ධ භික්ෂුහු බුද්ධාගමේ අභිලාෂයන්ට වඩා ඉදිරියෙන් අනෙකුත් සියලු අභිලාෂයන් තබති.

මෙම තත්ත්වය ඇතිවීමට මූලික හේතුව වූයේ 1946 දී වල්පොල රාහුල හිමියන් විසින් රචිත භික්ෂුවගේ උරුමය නැමැති පොත සහ විද්‍යාලංකාර සභාව රැගෙන ආ මතවාදයයි. රාහුල හිමියන් භික්ෂුවගේ උරුමය වශයෙන් සිය දායකයන්ගේ අභිවෘද්ධිය සඳහා කුදු මහත් සමාජ දේශපාලන ක්‍රියාවල යෙදීම අනුදැන වදාළහ. එයට හේතු වශයෙන් අතීතයේදී ග්‍රන්ථ ධුරය සහ විදර්ශනා ධුරය වඩන භික්ෂුන් දෙකොටසක් සිටි බවත් ග්‍රන්ථ ධුරය වැඩු භික්ෂූන් ගම්වල වාසය කරමින් ගම්වාසීන්ගේ අවශ්‍යතාවයන් පිරිමැසු බවත් ඒ අනුව යමින් එම ක්‍රියාවල යෙදීම සුදුසු බවත් උන්වහන්සේ අදහස් දැක්වූහ.

රට 1946 දී තිබුණ තත්ත්වයට වඩා අද තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. පළමුව එදා අප නිදහස් ජාතියක් නොවූ අතර දිවයින පුරා තිබූ පිරිවෙන්වල ගිහියෝ ද අධ්‍යාපනය ලදහ. පුරාණ කාලයේ අධ්‍යාපනයේ අයිතිය තිබුනේ බොහෝ සෙයින්ම භික්ෂුන් අතය. විදේශිකයන් මෙරට පාලනය කිරීමට පටන් ගත් පසු අධ්‍යාපනයේ ආධිපත්‍යය බටහිර මිෂනාරීන් වෙතටද ඉන් පසුව ගිහියන් වෙතටද පත් විය. අද වන විට මෙරට අධ්‍යාපනය භික්ෂුන් වෙත රඳා නොපවතී. එදා අධ්‍යාපනය හරහා ජනතාවට යම් සේවයක් කිරීමටද ජනතාව වෙත සිය ආධිපත්‍යය පැතිරවිමටද භික්ෂුන්ට හැකියාවක් තිබුණි.

එමෙන්ම 1946ට වඩා අද බෞද්ධ භාවනා ක්‍රම සමාජයේ ප්‍රචලිතව පවතී. මෙම තත්ත්වයට හේතු වූයේ බුරුම සහ තායි භික්ෂුන් වහන්සේ විසින් පරපුරෙන් පරපුරට රැගෙන ආ විපස්සනා භාවනා ක්‍රම ගිහියන් අතරට යැවීමට උන්වහන්සේලා විසින් ඉඩ ප්‍රස්ථා සැලසීමයි. භික්ෂුවගේ උරුමය පොතේ සඳහන් වී ඇත්තේ ද මෙරට බෞද්ධයන් විශ්වාස කළේද ආත්මාවබෝධය හෙවත් නිවන සඳහා මෛත්‍රී බුදුන් එනතුරු බලාසිටිය යුතු බවයි. මෙම තත්ත්වය දැන් අනුක්‍රමයෙන් වෙනස් වී බොහෝ ගිහි බෞද්ධයෝ විපස්සනා භාවනාවේ නිතිපතා යෙදෙති. මේ අර්ථයෙන් මෙරට සංඝ සමාජය සිටින්නේ ගිහියන්ට වඩා පසුපසිනි. සංඝ සමාජයේ සිටින අල්පයක් වූ භික්ෂුන් වහන්සේ විපස්සනා භාවනාව වෙනුවෙන් පෙරමුණ ගෙන සිටිති.

එමතුද නොව, තායි සහ බුරුම භික්ෂුන් වහන්සේ විසින් ආරම්භ කළ විපස්සනා භාවනාව ජනතාව අතරට ගෙනයාමේ ව්‍යාපාරය නිසා අද බටහිර රටවල විපස්සනා භාවනාව ප්‍රචලිත වෙමින් පවතී. පසුගිය දිනෙක බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ආනාපාන සති භාවනාවේ යෙදුන බව වාර්තා විය. එමෙන්ම බටහිර වෛද්‍යවරු ආතතිය අවම කර ගැනීම සඳහා අනාපාන සතිය නිර්දේශ කරති. නෙයෙකුත් විද්‍යාත්මක පර්යේෂණ වලින් භාවනාවේ ප්‍රතිලාභ සනාථ කර තිබේ. එමෙන්ම ආගමික පදනමකින් තොරව පාසල්වල ළමුන්ට සතිය පුහුණු කිරීමේ ව්‍යාපාර බටහිර රටවල ක්‍රියාත්මක වේ. ලංකාවේද මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.

එබැවින් බෞද්ධ භික්ෂුව දේශපාලනය පසෙකලා බුදු දහම ආරක්ෂාකර ගැනීමෙහිලා අද දවසේ සිය කාර්ය භාරය පිළිබඳව තක්සේරුවකට පැමිණිය යුතුය. ඥානසාර හිමියන්ගේ ක්‍රියා කලාපය ඉදිරියට ගෙන ගියහොත් එයින් බුදු දහම ආරක්ෂා නොවන අතර එනිසා බුදු දහමට යටින් වළ කැපී බුදු දහම විනාශ වනු ඇත. රාහුල හිමියන් යෝජනා කළ මගෙහි ගියොත් බුදු දහමේ පොත්ත මෙරට භික්ෂුන් අත ඉතිරිවී හරය බටහිර සහ මෙරට ගිහියන් අත ඉතිරිවනු ඇත. බුදු දහම යනු පිරිත් දෙසීම හෝ පාංශුකූලය දීම හෝ දන් වැළඳීම හෝ වතාවත් කිරීම හෝ පමණක් නොව අධ්‍යාත්මික පාරිශුද්ධිය සඳහා ක්‍රියාකිරීම බවත් ඒ සඳහා ජනතාව යොමු කිරීමට කාලය පැමිණ ඇති බවත් සම්ප්‍රදායික ග්‍රන්ථ ධුරයෙන් ඒ සඳහා පිටුබලයක් නොලැබෙන බවත් විදර්ශනා ධුරයද සම්බන්ධ කරගෙන නව පිළිවෙතක් නිපදවිය යුතු බවත් භික්ෂුන් වටහා ගත යුතුය.

මෙරට විසු ශ්‍රේෂ්ඨ පඬිවරයකු වූ කුමාරතුංග මුනිදාසයන්ගේ අනුගාමිකයකු වූ රැයිපියෙල් තෙන්නකෝනුන් රාජ්‍ය පාලනය පිළිබඳ භික්ෂුන්ගේ දැනුම සරදමට ලක් කරමින් භික්ෂුන්ගේ උපදෙස් පැතූ මෙරට රාජ්‍ය නායකයන් දෙදෙනකු අකාලයේ මියගිය බව දක්වති. එක් අයෙක් සිරිසඟබෝ රජු වූ අතර අනෙක් පුද්ගලයා අගමැති බණ්ඩාරනායකයි. 

එබැවින් භික්ෂු දේශපාලනය අද දවසේ අවශ්‍යතාව නොවේ. ඒ අනුව  ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේ මෙරටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි යනුවෙන් කර ඇති ප්‍රකාශය පසුගිය මැතිවරණවලින් ප්‍රකාශ වූ ජනතා අභිලාෂයන්ටද මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ සිවිල් සමාජයේ අභිලාෂයන්ටද සපුරා පටහැනි වන අතර දශක ගණනාවකට පසු භික්ෂුන් දේශපාලන අතකොළු බවට පත්වීමේ ප්‍රවනතාවයක්ද පෙන්නුම් කරයි. මෙම ප්‍රකාශයේ පෙර ගමන්කරුවා අස්ගිරි විහාරයයි. මෙය ක්‍රියාත්මක වුවහොත් ජනවාර්ගික ප්‍රශ්නයට කිසිදු විසඳුමක් නොලැබෙනු ඇති අතර ජනාධිපති ක්‍රමය එසේම පවතිනු ඇත. 

මෑත යුගයේ බුදු දහමේ හර පද්ධතියට පටහැනි ලෙස මෙරට ජාතීන් අතර සංහිඳියාවට විරුද්ධව පෙරමුණ ගත්තේ මෙරට භික්ෂුන් වහන්සේය. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධ වීමට පෙරමුණ ගත්තේ මෙරට භික්ෂුන් වහන්සේය. එම ගිවිසුම තිබුණි නම් රට මේ සා විශාල යුද්ධයකට මුහුණ නොපානු ඇත. ජාතික සංහිඳියාවකට යෝග්‍ය මෙම කාලයේදී භික්ෂුන් විසින් ගෙන එන මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් රට නැවතත් ආපස්සට ගමන් කරනු ඇති අතර තවත් අරගලයකට රට සූදානම් කරනු ඇත. එබැවින් මේ අවස්ථාවේදී රට ගිනි නොතබා කටයුතු කිරීම ඥානාන්විත වනු ඇත. එමෙන්ම එය භික්ෂුත්වයටද ගෝචර වනු ඇත. දැන් සංඝාඥාවකට යායුතු යයි භික්ෂුවක් ප්‍රකාශ කර තිබුණි. දැන් යා යුත්තේ සංඝාඥාවකට නොව භික්ෂු කතිකාවතකටයි. මක්නිසාදයත් සංඝාඥාවක් පැනවීමට තරම් සදාචාරාත්මක බලයක් දැනට භික්ෂුන්ට නොමැති බැවිනි. 

හර්ෂ ගුණසේන

Recent Posts

Tags: , , , ,

Leave a Comment