අතුරුදන් කරවීම් අතුරුදන් කරන නව පනතට නිදහසේ වේදිකාවේ සහය

Jul 7th, 2017 | By | Category: OTHER NEWS, තොරතුරු හෙළිකරනු, නීතිය, ප‍්‍රබෝධ රත්නායක, පුරවැසි අයිතිය, පුරවැසි සංවිධාන, සමබිම ඉරිදා අතිරේකය

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පත ජුලි මස 05 වැනි දින පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිතව තිබුණද එයට සංශෝධන එක් කිරීමට නියමිත යැයි පවසමින් විවාදය පසුවට කල් තබන ලදී. මේ තත්ත්වය යටතේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලුු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පතට සහය දැක්වීම සඳහා සහ පාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීම පදනම් කර ගනිමින් නිදහසේ වේදිකාව අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව හා එක්ව පසුගිය 05 වනදා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. මේ සඳහා නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරුවන් වන බ්‍රිටෝ ප්‍රනාන්දු, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ වීදියේ විරෝධයේ කැඳවුම්කරු පිලිප් දිසානායක සහ මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ සහභාගී වූහ. 

DSC_0349

ශ්‍රී ලංකාව නිදහසින් පසුව කැරලි තුනකට මුහුණ දුන් අතර විශේෂයෙන්ම 1989 ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ලේ දී සහ උතුරේ කැරැල්ලේ දී රජය සහ රාජ්‍ය නොවන පාර්ශ්ව විසින් සිදුකළේ යැයි සැක කෙරෙන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පුළුල් ලෙස වාර්තා වී ඇත. 1989 සිද්ධීන් ගෙන් පසුව ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිව සිටි ජි.එල්. පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කැරැල්ලට හේතු සොයා බැලීම සඳහා කමිටුවක් පත් කළ අතර උතුරේ කැරැල්ලෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හිටපු නීතිපති සී. ආර්. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම පත් කළේය. වගකිවයුතු රාජ්‍යයක් වශයෙන් පළමුව රාජ්‍යය විසින් ආණ්ඩු විරෝධී කැරලි ඇති නොවීමට වග බලා  ගත යුතු අතර දෙවනුව කැරලි මර්දනයේදී නිත්‍යනුකූල නොවන ක්‍රියා මාර්ග ගැනීමෙන් වැළකිය යුතුය. ශ්‍රී ලංකා රාජ්‍යය කිසිසේත්ම කැරලිකරුවන්ගේ මට්ටමට වැටිය යුතු නොවේ.

එබැවින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට අදාළව පහත සඳහන් නිර්දේශය කර තිබේ. “…..මෙම ප්‍රශ්නය පුළුල්ව ආමන්ත්‍රණය කිරීමට හා අනාගතයේදී මෙවන් වූ සංසිද්ධීන් තුරන් කිරීමටත්, එසේම පවත්නා හිඩැස් පිරවීමටත්, කොමිසම තරයේ නිර්දේශ කර සිටින්නේ දේශීය ව්‍යවස්ථාවක් පැනවීම මගින් විශේෂයෙන්ම බලහත්කාරයෙන් හෝ ස්වේච්ඡාවෙන් තොරව අතුරුදන් කිරීම අපරාධකරණය කළ යුතු බවයි.” 

මේ අනුව යමින් නව රජය බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට 2015 දෙසැම්බර් මස අත්සන් තැබූ අතර එය 2016 වසරේ මැයි මස අපරානුමත කරන ලදී. මෙම සම්මුතියට ශ්‍රී ලංකාව තුළදී නෛතික වලංගුභාවය ලබා දීම සඳහා බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලුු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුූතිය පිළිබඳ පනත් කෙටුම්පත 2017 වසරේ පෙබරවාරියේදී හඳුන්වා දෙනු ලැබීය. මෙම පනත් කෙටුම්පත, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට භාජනය වූ වින්දිතයන්ට යුක්තිය පසිඳලීම සහ වන්දි ලබා ගැනීමේ අයිතිවාසිකම් සහතික කිරීම සඳහාද ඊට සම්බන්ධ හෝ ආනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලස්වීම පිණිසද වූවකි. 

යහපාලන රජය සිය පොරොන්දු ඉටු කරමින් මෙම ඉදිරිගාමී අණ පනත් ගෙන ඒමට කටයුතු කළත් රාජපක්ෂ අඳුරු සෙවැනැල්ල තුළ තවමත් ක්‍රියාකාරීවන ජාතිවාදී අවතාර විසින් මේවා ක්‍රියාත්මක තලයට පැමිණවීම වළක්වන අතර ඒ නිසා ජාතිවාදී බලවේග පරාජය කරමින් මෙම පනත් ගෙන ඒමට ආණ්ඩුව දරන උත්සාහයට තමන් සම්පූර්ණයෙන්ම සහය පළ කරන බව මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් ප්‍රකාශ විය.

DSC_0376 DSC_0369 DSC_0357 DSC_0355 DSC_0349 DSC_0388

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment