අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට බාධාව කුමක්ද?

Jul 10th, 2017 | By | Category: LEAD NEWS, අවතැන්වූවෝ, දේශපාලන, නීතිය, පුද්ගල නිදහස, පුරවැසි සංවිධාන, මානව හිමිකම්, සමබිම ඉරිදා අතිරේකය

dIAPP-DAY-30.08.2016-cmb-c-s.deshapriya-6198-2

අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව ජනාධිපතිගෙන් අසයි

අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත 2016 වසරේ අගෝස්තු මස 23 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර මාස නමයක කාලයක් මේ වන විට ඉකුත්ව ඇතත් මෙතෙක් එය ක්‍රියාත්මක නොවීමට විරෝධය දක්වමින් පසුගිය ජුනි 29 වැනි දින අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විසින් ජනපති වෙත ලිපියක් භාර දෙනු ලැබීය.  

“2015 සැප්තැම්බරයේ ජිනීවා මානව හිමිකම් කොමිසම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව එකඟ වූ සංහිඳියා වැඩපිළිවෙළෙහි එක් අංගයක්වූ ‘අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත’ 2016 අගෝස්තුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒකාබද්ධ විපක්ෂ නඩයේ බලවත් විරෝධතාව මධ්‍යයේ ඒකමතිකව සම්මත කර ගැනීමට යහපාලන ආණ්ඩුවට ශක්තිය තිබුණ නමුත් 2016 අගෝස්තු 23 වැනි දින සම්මත වී මාස නමයක් පමණ ගතවී තිබියදීත් එය ක්‍රියාත්මක නොවන්නේ ඔබ විසින් පනතේ බලතල කිසියම් අමාත්‍යවරයෙකුට මෙතෙක් නොපැවරීම නිසාමය” යනුවෙන් ජනපති වෙත බාර දුන් ලිපියෙහි සඳහන් වේ.   

මෙම පනත සම්බන්ධයෙන් සංශෝධනයක් කිරීමට ඇති හෙයින් එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් සිදුව ඇති බව පසුගිය දිනෙක ජනාධිපති විසින් කර තිබූ ප්‍රකාශය මෙම ලිපිය ඔස්සේ බැහැර කරන අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව, “යම් පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත වූ පසු සංශෝධනයක් එනතෙක් යැයි කියමින් පනත ක්‍රියාත්මක කිරීම කල්දැමීම කිසිසේත් සාධාරණය කළ නොහැක්කේ ඕනෑම පනතක් ක්‍රියාත්මකව තිබියදී සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කිසිදු බාධාවක්” නැතැයි පෙන්වා දේ. මෙය අතුරුදන් වූ සන්නද්ධ හමුදා නිලධාරීන් පිළිබඳවද සොයා බැලීමට තිබෙන එකම යාන්ත්‍රණය හේතුවෙන් මෙවන් කරුණු ගෙන හැර දක්වමින් රජයේ පාර්ශවයෙන් සිදුවන මෙම ප්‍රමාදය පිළිගත නොහැකි බවට මෙම ලිපියෙහි කරුණු දක්වා ඇත.  

අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත ක්‍රියාත්මක නොවන්නේ නම් එය යහපාලන රජය විසින් ජනවාරි 08 වැනි දින ජනතාවට දුන් පොරොන්දු කඩකිරීමක් බවත් පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව සම්මත කළ පනතක් ක්‍රියාත්මක නොකර සිටීමෙන් පාර්ලිමේන්තු බලය නීති වීරෝධි ලෙස අභිභවා යෑමක් සිදුකරන බවත් ජනාධිපති විසින් අත්හැරීමට පොරොන්දු වූ විධායක බලතල නීති විරෝධී ලෙස නැවත භාවිත කිරීමක් සිදුවන බවටත් මෙම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වේ. 

මෙම ලිපියෙහි පිටපත් අග්‍රමාත්‍යවරයාටත්, අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය රවී කරුණානායක, විපක්ෂ නායක ආර්. සම්පන්දන්, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහලේකම් මනෝ තිත්තවැල්ල යන මහත්ම මහත්මීන් වෙතද භාර දෙන ලදී. 

සටහන-ජයනි අබේසේකර 

 

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment