රුසියාව ට්‍රම්ප්ට සහය දෙමින් අපේ ඡන්දයට ඇඟිලි ගැහුවා

Jul 12th, 2017 | By | Category: OTHER NEWS, Today Lead News

ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇති විශ්වාසයට පහර දීම රුසියාවේ අරමුණක්
ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධුරාපේක්ෂකත්වයට තරග කළ බර්නි සැන්ඩර්ස්

170710-bernie-sanders-iowa-2016-ac-419p_f4915b0703c1a3ae1900265a81f8e30e.nbcnews-ux-2880-1000

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ඇමරිකානු ෆෙඩරල් විමර්ශන බියුරෝවේ හෙවත් එෆ්බීඅයි හි අධ්‍යක්ෂ ජේම්ස් කොමී තනතුරෙන් පහ කරන ලදී. ජේම්ස් කොමී විසින් ඒ වන විට ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියාව විසින් මැදිහත්වීමක් සිදුකරන ලද්දේ ද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කොට තිබිණි. ජුනි 08 දා සෙනෙට් සභාවේ පරීක්ෂණ කමිටුවක් ඉදිරියෙහි මේ සඳහා පසුබිම් වූ කරුණු පිළිබඳව ජේම්ස් කොමී විසින් සාක්ෂි දෙන ලදී. ජේම්ස් කොමී සෙනෙට් සභාව හමුවේ පැවසුවේ ජනාධිපතිවරයා විසින් තමා ඉවත් කිරීමට හේතුව රුසියානු මැදිහත්වීම පිළිබඳ පරීක්ෂණය බවයි.

රුසියාව විසින් වෙනත් රටවල මැතිවරණයන්ට බලපෑම් කරන බව දැන් ප්‍රකට රහසකි. එහෙත් ලංකාවේ වාමාංශිකයන්ට අනුව අනෙකුත් රටවල් මැතිවරණයන්ට බලපෑම කරන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර ඇලියේ රටවල්ය.

පහත පළවන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධුරාපේක්ෂකත්වයට තරග කළ බර්නි සැන්ඩර්ස් විසින් මේ සම්බන්ධව දැක්වූ අදහසකි. බර්නි සැන්ඩර්ස් යනු වාමාංශික අදහස් දරන්නෙකි. බ්‍රිතාන්‍යය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් මෙන්ම බර්නි සැන්ඩර්ස් ද ලංකාවේ වාමාංශිකයන්ගේ ද සම්භාවනාවට පාත්‍ර වූවෙකි.

“එෆ්බීඅයි අධ්‍යක්ෂ හැටියට ජේම්ස් කොමීගේ ධුර කාලය ඇතුළත සිදුවුණ සියලුම දේ මම අනුමත කරන්නෙ නැහැ. ඒ වගේම 2016 ජනාධිපතිවරණයට පෙර ඔහුගේ ක්‍රියා කලාපය පෙර නොවූ විරූ ආකාරයේ නින්දිත එකක්. නමුත් ජනාධිපති ට්‍රම්ප් විසින් මේ අවස්ථාවේදී ජේම්ස් කොමී ඉවත් කිරීම සම්පූර්ණයෙන්ම අනවශ්‍ය දෙයක්. එය අපේ රටේ නීතියේ ආධිපත්‍යයට බලවත් තර්ජනයක්.

මේ සමස්ත ක්‍රියාවලිය කුමක් අරඹයා ද කියන කාරණය අපි අමතක කරන්න නරකයි. රුසියාව ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ට සහ ඒවායේ මැතිවරණවලට අනතුරු කිරීමට පසුගිය කාලයේ සක්‍රීයව උත්සාහ කරලා තිබුණා. ඔවුන් යුක්රේනයේ, බල්ගේරියාවේ, එස්තෝනියාවේ, ජර්මනියේ සහ ඔස්ටි්‍රයාවේ මැතිවරණවලට මැදිහත් වෙලා තිබුණා. එසේම ඔබ බොහෝ දෙනෙක් දන්නා පරිදි පසුගිය දා අවසන් වුණු ප්‍රංශ මැතිවරණයේදී මරී ල පෙන්ට සහයෝගය දීමට ඔවුන් බරපතළ ලෙස සම්බන්ධ වෙලා තිබුණා.

රුසියාවේ අරමුණ තමන්ගේ ලෝක දෘෂ්ටියට සහයෝගය දෙන අපේක්ෂකයන්ට උදව් කිරීම පමණක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයටත්, සාධාරණ මැතිවරණවලටත්, ජනතාවගේ ඇති විශ්වාසයට සැඟවුණු ආකාරයෙන් පහර දීම ඔවුන්ගේ තවත් අරමුණක්. නිශ්චිත ලෙසම ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වයට සහයෝගය දෙමින් රුසියාව අපේ 2016 ජනාධිපතිවරණයට ඇඟිලි ගැසූ බව සෑම එක්සත් ජනපද බුද්ධි ඒජන්සියක්ම පිළිගන්නවා. කොන්ග්‍රස් මණ්ඩලයේ සිටින රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ දෙකම එකතු වී දැනට අවධානය යොමු කරන ප්‍රශ්නය වන්නේ ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය කුමන මට්ටමකින් කුමන්ත්‍රණකාරී ලෙස රුසියාව සමඟ රහස් එකඟතාවයකට පැමිණියේ ද යන්නයි. රුසියාව ට්‍රම්ප්ට සහයෝගය දීමේදී ස්වාධීනව කටයුතු කළාද? එසේ නොමැති නම් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ, ජනාධිපතිවරණය ජය ගැනීමේ අපේක්ෂාවෙන් ට්‍රම්ප් රුසියාව සමඟ රහස් එකඟතාවයකට පැමිණියාද? එවැනි එකඟතාවයක් තිබුණු බව ඔප්පු කළහොත් එය ඇමරිකන් නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වෙනවා.

ට්‍රම්ප් ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ නොයෙක් විට රුසියාවේ ඒකාධිපති ජනාධිපතිවරයා වන ව්ලැඞ්මීර් පුටින් අගය කිරීමක් සහ ඔහු කෙරෙහි දයාවක් දැක්වූ බව අප දන්නවා. ඒ වගේම ජේම්ස් කොමී යටතේ එෆ්බීඅයි සංවිධානය රුසියාව සමඟ ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ තිබූ සබඳතාවයන් පිළිබඳ සක්‍රීය අපරාධ පරීක්ෂණයක යෙදුණු බවත් අපි දන්නවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පළමු උපදේශකයා වුණු, එමෙන්ම ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ හිටපු උපදේශකයෙකු වුනු මයික් ෆ්ලින් ඉල්ලා අස්වුණේ ඔහු රුසියාව සමඟ සම්මුතිගත වීමට ඉඩකඩ තිබේ යයි අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ධවල මන්දිරයට (ජනාධිපති කාර්යාලයාලයට) දැනුම් දී සති දෙකකට වඩා ගතවූ පසුව බවත්, ඔහුගේ සාක්ෂිය විභාග කිරීමට මහා ජූරියක් පත්ව තිබූ බවත් අප දන්නවා. ඒ වගේම ජේම්ස් කොමී අස් කරන ලද්දේ රුසියන් පරීක්ෂණය පැවැත්වීම සඳහා තමන්ට තිබෙන සම්පත්වල සැලකිය යුතු වැඩිවීමක් ඔහු විසින් අධිකරණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමෙන් පසුව බවත් අප දන්නවා. මෙම කාරණය නිශ්චිත වශයෙන්ම විභාගයට ගැනීමට ඉඩකඩ තිබුණු බුද්ධි කටයුතු පිළිබඳ සෙනෙට් සභා කමිටුව ඉදිරියේ සාක්ෂි දෙන ලැයිස්තුවට කොමීගේ නම ඇතුළත් කර තිබූ බවත් අප දන්නවා.

මේ අනුව 2016 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය රුසියාව සමඟ රහස් එකඟතාවයකට පැමිණියේද නැද්ද යන්න විමර්ශනය කිරීම සඳහා අධිකරණ දෙපාර්තමේන්තුව කෙරෙහි විශ්වාසයක් තැබීමට ඇමරිකන් ජනතාවට නොහැකි බව මගේ අදහසයි. මෙම කරුණ මුළුමනින්ම සහ සාධාරණ ලෙස විමර්ශනය කිරීමට හැකි වන්නේ ස්වාධීනව පත්කරන ලද විශේෂ නීති උපදේශකයකුට පමණයි.

අද දිනයේ අප ඉදිරියේ තිබෙන අති විශාල ලෙස වැදගත් ප්‍රශ්නය වන්නේ මෙම රටේ නීතියේ ආධිපත්‍යය තිබේද නැද්ද යන කාරණයයි. එය ඇත්ත වශයෙන්ම කනගාටුදායක කාරණයක්, තමාට ලැබෙන කාලයෙන් බොහෝ වේලාවක් බොරු කියන ජනාධිපතිවරයෙක් අපට අද සිටිනවා. ඇත්ත කීමට ඔහුට ඉතාමත් අපහසු බව පෙනෙන්නට තිබෙනවා. පෙර නොවූ විරූ ලෙස මාධ්‍යයට පහර දෙන ජනාධිපතිවරයක් අපට අද සිටිනවා. මෙයින් ඔහු අදහස් කරන්නේ විශේෂයෙන්ම ඔහු ගැන මාධ්‍යය වාර්තා කරන සෑම දෙයක්ම අසත්‍ය හෝ ගොතන ලද පුවත් බවයි.

එමෙන්ම පෙර නොවූ විරූ ලෙස අධිකරණයට පහර දෙන ජනාධිපතිවරයක් අපට අද සිටිනවා. අධිකරණය විසින් තමන් අකමැති තීන්දු දුන් පසුව ඔවුන් ඊනියා විනිසුරුවරුන් ලෙස ඔහු විසින් හඳුන්වනු ලබනවා. එමෙන්ම තමන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය නීතිය කඩ කළ බවට නිගමනය කිරීමට ඉඩ තිබෙන වැදගත් විමර්ශනයක අතරමැද එෆ්බීඅයි අධ්‍යක්ෂවරයාව ඉවත් කළ ජනාධිපතිවරයෙක් අපට අද සිටිනවා. එනිසා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නීතියේ අධිපත්‍යයේ නාමයෙන් සත්‍යය සෙවීම සඳහා පක්ෂ දෙකම එකතුවීමට කාලයයි මේ.”

 

බර්නි සැන්ඩර්ස් විසින් නිකුත් කරන ලද වීඩියෝවක් සමබිමට පරිවර්තනය කළේ හර්ෂ ගුණසේන විසිනි.

Recent Posts

Tags: , , ,

Leave a Comment