දූෂණ විමර්ශනය සෙමින් නමුත් හොඳින් වෙනවා

Jul 14th, 2017 | By | Category: LEAD NEWS, ආර්ථික, තොරතුරු හෙළිකරනු, දේශපාලන, ප‍්‍රබෝධ රත්නායක, සමබිම ඉරිදා අතිරේකය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පත වැනි රජය විසින් ආරම්භ කර ඇති ප්‍රගතිශිලී ප්‍රවේශයන්ට එරෙහිව හදිසියේ මතුවූ විරෝධය පිටුපස පවතින්නේ දූෂණ වංචා විමර්ශනයන් බව ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ පසුගිය දා හිස ඔසවන ජාතිවාදයට සහ දූෂිතයන් රැකීමට එරෙහිවපුරවැසිබලය විසින් කැඳවූ සම්මන්ත්‍රණයේදී ප්‍රකාශ කරන ලදී. අනතුරුව ඔහු පසුගිය 12 වනදා ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සූභාරතී වැඩසටහනට එක් වෙමින් දූෂණ විමර්ශන ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය පිළිබඳ දීර්ඝ විවරණයක් කළේය. ඒ සමගම ජාතිවාදයට එරෙහි පුද්ගයන් සහ සිවිල් සංවිධාන දේශද්‍රෝහීන් ලෙසට නම් කිරීමේ ප්‍රයනත්නය පිළිබඳවද ඔහු සිය අදහස් දැක්වීය. මෙම කරුණු ආශ්‍රයෙන් රජය දූෂණ-වංචා සම්බන්ධයෙන් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග සහ එයට ඇති විරෝධය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව විරෝධයක් ලෙසින් කරලියට ගෙන එන අකාරය පිළිබඳ මෙවර සමබිම අවධානය යොමුවේ. 

timthumb

අද බරපතළ මුල්‍ය අපරාධ සිදුවෙන්නෙ 1950 ගණන්වල ඒවා සිදුවූ ස්වරූපයෙන් නෙවෙයි. වංචනික ලෙස උපයන මුදල්වලින් තේ වතු මිලදී ගන්නවා වෙනුවට මේ මුදල් සැඟවීමට ලෝකය පුරාම දිව යන දුෂණ ජාලය හා සම්බන්ධ ඉතාම සංකීර්ණ උපක්‍රම අද භාවිත කරනවා. මේ සම්බන්ධව සිදුවෙන විමර්ශන කටයුතුවලදී චුදිතයන්ට අවස්ථා ගණනාවක් හිමිවෙනවා තමන් වෙනුවෙන් කරුණු දැක්වීමට. ඒ නිසා දේශපාලන පළිගැනීමකට මේ විමර්ශන යොදාගන්න බැහැ. අපි නීතිඥවරු වශයෙන් වගේම සමාජ ක්‍රියාධරයන් ලෙස පසුගිය කාලයේ වගේම මේ රජය තුළත් සිදුවන මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් ඉන්නවා. මහාධිකරණයේ මේ සම්බන්ධ නඩු දාසයක් පමණ දැනට තිබෙනවා. මේ නඩු දෙස බලද්දී ඒවා දේශපාලන මැදිහත් වීම්වලින් තොරව සිදුවන බව කිව හැකියි. 

අවුරුදු දෙකහමාරකට පෙර මේ ආණ්ඩුව බලයට පත් වන විට ලංකාවේ රජය පවුල් කණ්ඩායමක් විසින් ග්‍රහණය කරගෙන සිටියා. සියලු තීන්දු තීරණ ගනු ලැබුවේ, සංවර්ධනය මුවාවෙන් කළ සියලු කටයුතු සිදුකළේ මේ පවුලේ අය විසින්. රාජ්‍ය යාන්ත්‍රණය තුළ තීරණාත්මක තනතුරු සියල්ල පාලනය කළේ මේ පවුලට හිතවත් සහ ඔවුන්ට පහසුවෙන් පාලනය කළ හැකි අය විසින්. මේ අය කළ කිසිම දෙයක් කිසිදු ප්‍රශ්න කිරීමකට ලක් නොවන තත්ත්වයක රාජ්‍ය සේවකයාත් බොහෝ විට දූෂිත තීරණවලට සහය වුණා හෝ ඒ දෙස නිහඬව බලා සිටියා. දැන් මේ කටයුතුවලට සම්බන්ධ වූ රජයේ සේවකයන් විමර්ශනයන්ට සහය දෙන්නේ නැහැ. රාජපක්ෂ පාලන කාලයේ රජයේ ඉහළ තනතුරු දැරූ අය මේ රජයේද දේශපාලනඥයන් සමඟ සම්බන්ධතා පවත්වනවා. මේ විමර්ශන රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයට බලපාන බව කියමින් රට නොමඟ යැවීමට මේ අය කටයුතු කරනවා. 

රජය කිව්වම විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන සියල්ලමත් තවත් රජයේ සේවකයන් ගොන්නකුත් අයිතියි. නමුත් ජනතාවගේ මතයක් තිබෙනවා බලයට පත්වුණු දේශපාලකයන් තමයි ආණ්ඩුව කියල. ආණ්ඩුව කියන්නෙ රට පාලනය කිරීම සඳහා යම් කිසි කාලයකට පත්වෙන දේශපාලන කණ්ඩායමක්. ඔවුන් භාරකරුවන් පමණයි. 

මේ විමර්ශන කටයුතු සිදුවෙන්නෙ ඉබි ගමනින්ය යන ප්‍රශ්නය ජනතාවගෙන් මතුවෙනවා. ඉතාම සංකීර්ණ මූල්‍යමය වංචාවන් ස්ත්‍රී දුෂණ නඩුවකට, මිනීමැරුම් නඩුවකට සමාන කරන්න බැහැ. එවැනි සිදුවීමකදී පවා  විමර්ශනයක් අරඹා අවසාන ප්‍රතිඵලයක් දැකීමට ආසන්න වශයෙන් අවුරුදු දහයක කාලයක් ගත වෙනවා. නමුත් මූල්‍ය අපරාධයක් සිදුවෙලා අවුරුදු හතක් අටක් ගියත් තුනක් හතරක් ගියත් එය විමර්ශනයට යන කාලය අනිකුත් අපරාධයන්ට යන කාලය වගේ දෙතුන් ගුණයක්. සාමාන්‍ය වකවානුවක පොලිසිවලට ගලාගෙන එන පැමිණිලි සංඛ්‍යාව සිමීතයි. නමුත් 2015 ජනවාරි අට වෙනිදායින් පසුව පොලිසියට ආව පැමිණිලි සංඛ්‍යාව දාහකට අධිකයි. මූල්‍ය විමර්ශන අංශයට එන පැමිණිලි දෙසීයක් තුන්සියයක් අවුරුදු දෙකකින් විමර්ශනය කර අවසන් කරන්න ලෝකයේ කිසිම රටකට බැහැ. මේ සිදුවීම්වලට සම්බන්ධ අය බොහෝමයක් සමාජයේ ඉහළ පෙළේ ඉන්න පිරිස්. ඔවුන් ඉහළ පෙළේ නීතිඥවරුගේ සහය ලබා ගෙන විමර්ශනයන් අභියෝගයට ලක්කරනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩු තිහකට ආසන්න ප්‍රමාණයක් ගොනු කර තිබෙනවා. මේ අයට තිබෙන දේශපාලන සබඳතා සහ හැකියාව මත විවිධ කටයුතු සිදුකරනවා. අස්ගිරි පාර්ශ්වයේ ස්වාමින් වහන්සේලා මාර්ගයෙන් යම් යම් ප්‍රකාශ සිදුකිරීම යනාදීයත් මේ කාරණාවන්ටම අදාළයි. මේ ආකාරයට විමර්ශන කටයුතු අඩපණ කිරීම සඳහා විවිධ ක්‍රමවේද යොදාගන්නවා.

අනිත් කාරණය මේ බරපතළ මූල්‍ය අපරාධ සම්බන්ධ පරීක්ෂණයෙන් කොටසක් ලංකාවේත් කොටසක් රටින් පිටත් සිදුවිය හැකියි. එහිදී ජාත්‍යන්තර නීති ක්‍රමය අනුව කටයුතු කළ යුතු වෙනවා. මේ සඳහා සෑහෙන තරම් කාලයක් ගත වෙනවා. විමර්ශන කටයුතුවල ප්‍රමාදයට මේ සියලු කරුණු හේතුවක් වෙලා තිබෙනවාය කියන දේයි මගේ අදහස. 

විමර්ශන කටයුතුවලින් පසුව මේ විමර්ශන ගොනුවක් නීතිපති දෙපාර්තුමේන්තුවට ගියාම ඒ නිලධාරීන්ට මෙම විමර්ශන ගොනු අධ්‍යයනය වගේම උසාවි කටයුතුවලටත් යායුතුයි. සීිමිත නිලධාරීන් සංඛ්‍යාවක් සමඟ ඉතාම සීමිත කාලයයි සියලු රාජකාරී කටයුතුවලට ඔවුන්ට තිබෙන්නෙත්. ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය ඇතුළේ නඩුවක් අද තිබුණොත් ඊළඟ දිනය ලැබෙන්නෙ මාස ගණනකට පස්සේ. ඒ අනුව දූෂිත පුද්ගලයන් ආරක්ෂාවට තිබෙන නීතිමය ප්‍රතිපාදන වැඩියි අනිත් සියල්ලට වැඩිය. 

මේ රජය බලයට පත් වීමෙන් අනතුරුව දූෂණ විරෝධී කටයුතු සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගනු ලැබුවා. 

කැබිනට් අනුකමිටුවක් මඟින් දූෂණ විරෝධී ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කිරීම 

මූල්‍ය විමර්ශන ඒකකය පිහිටුවීම සහ එම කැබිනට් පත්‍රිකාවෙන්ම දූෂණ විරෝධී කාර්යාංශය ආරම්භ කිරීම 

■ අකර්මන්‍ය වී තිබූ අල්ලස් කොමිසමට සුදුසු නිලධාරීන් පත් කොට එය නැවත කාර්යක්ෂමව ආරම්භ කිරීම 

■ විදේශ වත්කම් සොයා බැලීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ක්‍රියාත්මක කිරීමත් 

■ බරපතළ අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසම ඔවුන්ගේ බලතල සීමා අනුව කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම 

මේ නිසා යම් ආකාරයකට විමර්ශන කටයුතු සිදුවෙන ආකාරය දකින්න පුඵවන්. මහාධිකරණයට නඩු දාසයකුත් මහේස්ත්‍රාත් අධිකරණවල තවත් නඩු සියයක් පමණත් විමර්ශනයන් සඳහා මහේස්ත්‍රාත්වරුන්ගේ නියෝග ගනිමින් ක්‍රියාශීලිව කටයුතු කරන ආකාරයක් දකින්න ලැබෙනවා. ජනතාවට මේ සම්බන්ධයෙන් උනන්දුව තිබුණත් දේශපාලනඥයාගේ කැපවීම තිබුණත් ලංකාවේ අපරාධ විමර්ශනය කිරීම සඳහා තිබෙන නීතියත් අධිකරණවල නඩු ඇසීම සඳහා තිබෙන පටිපාටී ගත නීතියත් නඩුවල තිබෙන ස්වාභාවික ප්‍රමාදයත් නිසාම මේ කටයුතු කල් යනවා. මේ තත්ත්වය අපි තේරුම් ගත යුතුයි. මම හිතන්නෙ මිනිස්සු ඇඟිල්ල දික් කරන්නේ දේශපාලකයන්ට මිසක් විමර්ශකයන්ට නෙවෙයි කියලයි. විමර්ශකයන්ට ඇඟිල්ල දික් කරනවා නම් එය අසාධාරණයි. මොකද ඔවුන් සාමාන්‍ය රජයේ සේවකයෝ. වෙනත් ආණ්ඩුවක් ආවොත් ඔවුන්ට සිද්ධ වෙන්නෙ බෙල්ල කපා ගන්න. ඒ නිසා ජනතාව හිටගන්න අවශ්‍ය විමර්ශකයන්ගේ පාර්ශ්වයේ. අපි රජයේ සේවකයන්ට බලකළ යුතුයි විමර්ශකයන්ට සහය දෙන්න කියල. ඒ වගේම අපි බලකළ යුතුයි අධිකරණ පද්ධතිය තුළ යම් යම් වෙනස්කම් කිරීම අවශ්‍ය නම් ඒ සඳහා. නඩු තීන්දුවක් සම්බන්ධයෙන් එනම් යම් අයෙක් වැරදිකරුද නිවැරදිකරුද යන අධිකරණයේ අවසන් තීන්දුව සම්බන්ධයෙන් බලපෑම් කිරීමට කිසිම කෙනෙකුට හැකියවක් තිබිය යුතු නැහැ. එහෙත් අධිකරණ ක්ෂේත්‍රය ක්‍රියාශීලී කිරීම අධිකරණයේ පමණක් වගකීමක් නෙවෙයි ඒක රජයෙත්, පාර්ලිමේන්තුවෙත්,  විධායකයේ වගේම මිනිස්සුන්ගෙත් වගකීමක්. මම හිතන්නේ දූෂණය සම්බන්ධ නඩු කතා කිරීමට අවශ්‍ය යම්කිසි නීතිමය හා පරිපාලනමය සොයා ගැනීමක් කිරීම සඳහා රජය මූලිකත්වය ගත යුතුයි. 

මේ කාලේ රාජපක්ෂ මහත්තයගෙ කාලේ වගේ නෙවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදියි. කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන් මේක දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී රටක්, නමුත් රජය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව සෑහීමකට පත් වෙන්න බැහැ කියල. මොන මිනුම් දණ්ඩෙන් ගත්තත් අද අපිට දකින්නට හැකි දෙය තමයි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය වෙලා තියෙනවා කියන කාරණය. අපි මේ වගේ තත්ත්වයක් රාජපක්ෂ කාලය තුළ දැක්කෙ නැහැ. එළියෙදි කතා කළොත් සුදුවෑන් එකේ යන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔය වහසි බස් දෙඩුවට ඕක තමයි යථාර්ථය. ඒ කාලයේ හාමුදුරුවරුන්ටවත් දොස්තර මහත්තුරුන්ටවත් විරෝධතා කරන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. අද තත්ත්වය වෙනස්. පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉදිරිපෙළ ඇමතිවරුන්ගෙන් සහ අමාත්‍ය මණ්ඩලයෙන් ප්‍රශ්න කරන ආකාරය අපට දකින්නට ලැබෙනවා. ඒක හොඳ දෙයක් වුනත් එයින් මම කියන්නෙ නැහැ කැබිනට් එක තීරණයක් ගත්තහම සාමූහික වගකීමකඩ කරන්න ඕනි කියලා. පක්ෂ කීපයක් එකතු වෙලා කැබිනට් එක හැදුවට පස්සේ කැබිනට් එක ඇතුළත සාමූහික වගකීම ආරක්ෂා කරන්නෙ නැතුව පාර්ලිමේන්තු ක්‍රමයක් ඉදිරියට ගෙන යන්න අමාරුයි. මම හිතන්නේ පාර්ලිමේන්තුව ඇතුළත වගේම දේශපාලන පක්ෂ ඇතුළතත් මෙම ප්‍රශ්න කිරීම ඉතාම අත්‍යවශ්‍යයි. ඒ කෙසේ වුවත් අද තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය තුළ මොන ආකාරයක දේශපාලනමය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තත් ඒ පිළිබඳව අභියෝග කරන්න රජය ඇතුළත හෝ පිට යම්කිසි කණ්ඩායමක් ඉන්න එක අපි දකින්න ඕන සාධනීය ලක්ෂණයක් විදියටයි. 

මේ ප්‍රතිසංස්කරණවලට හොඳ කාලයක්. අපි දන්නවා අද රජයට මන්ත්‍රීවරු සංඛ්‍යාව තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම විපක්ෂයේ වාඩිවෙලා හිටියත් සෑහෙන්න මන්ත්‍රීවරු සංඛ්‍යාවක් මේ ප්‍රතිසංස්කරණයන්වලට කැමැත්තකින් ඉන්නවා. ඒ අතර අවුරුදු සියයකට පෙර සිටි අය විදියට ඔළුව තියාගෙන ඉන්න, පසුගාමී, ලෝකෙ වෙන දේවල් පිළිබඳව අවබෝධයක් නැති සහ අන්තගාමී කොටස් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට අකුල් හෙළන බවත් අපි දන්නවා. ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයන්ට අකුල් හෙළුවත් එය ඉදිරියට ගෙන යාමේ හැකියාව තියෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුවට පුළුවන්කම තිබිය යුතුයි දේශපාලනමය වශයෙන් ඒ ඒ අයගේ සහයෝගය ලබාගෙන කටයුතු කරන්න. 

සටහන-ජයනි අබේසේකර

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment