රට, ජාතිය  ආගම ඉස්සරහට දාන්නෙ අපරාධ වලින් බේරෙන්න

Jul 15th, 2017 | By | Category: OTHER NEWS

සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින්නන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමත්, ජනබලය යටපත් කරන වැදි බණ අසන්නට ලැබීමත්, පල්ලි පන්සල් ගිනි තැබුවත් කිසිවෙක් අත්අඩංගුවට නොගැනීමත් යන ඥානසාරකරණය නැවත දකින්නට අසන්නට ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන භීතිකාවක් නැවත වරක් හටගෙන තිබීමත් තුළ ජනවාරි අට සිදුවූ වෙනස ආපස්සට හැරවීම සඳහා යම් කිසි ආකාරයක කුමන්ත්‍රණයක් සිදුවන බවක් පෙනෙන්නට තිබෙනවා.

ලක්ෂාන් ඩයස්

අප සමඟ සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටී නීතිඥ ලක්ෂාන් ඩයස් රූපවාහිනි සංවාදයකදී ඉදිරිපත් කළ අදහස් අළලා දේශපාලනඥයන් පළ කළ මත සහ බුද්ධ ශාසන සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ මෙහෙය වීම යටතේ ඔහුට එරෙහිව නොයකුත් ආකාරයේ පැමිණිලි ඉදිරිපත් කිරීමත් සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු වෙනවා. නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් ඉදිරිපත් කළ කාරණයට අදාළ සංඛ්‍යාව පිළිබඳ වෙනස් මත තිබිය හැකි වුවත් ඔහු තර්ක කරමින් කියා සිටි දෙය වූයේ මේ ආණ්ඩුව ආවට පස්සෙත් යම් යම් ක්‍රිස්තියානි පල්ලිවලට පහර දීමක් මෙන්ම අන්‍යාගමික සිද්ධස්ථානයන්ට පහර දීමක් සිදුවීම සහ ඒ සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නම් ඒ මතය ඔහුටත් අනිත් අයටත් ප්‍රකාශ කිරීමට ඉඩක් තිබිය යුතුයි. මේ මත ප්‍රකාශ කිරීමේ අයිතිය අපිට ලැබී තිබුණා වුණත් රාජපක්ෂ පාලන සමයේදී මේ අයිතිය මර්දනයට ලක් වුණා. ඒ නිසයි මිනිස්සු ජනවාරි අට තමන්ගේ ඡන්දය ඊට එරෙහිව භාවිත කළේ. එයින් පසුව ඇතිව තිබෙන්නා වූ තත්ත්වය තුළ විප්ලවකාරී අදහස් යමෙකුගෙන් ප්‍රකාශ විය හැකි සේම ඊට යම් කෙනෙක් විරුද්ධද විය හැකියි. නමුත් නීතිඥ ලක්ෂාන් ඩයස්ගේ අදහස්වලට විරුද්ධව ඔහුගේ කළු කබාය ගලවන්නට පියවර ගන්නවාය යන ප්‍රකාශය තුළ යම් තර්ජනයක් තිබෙනවා. සාමාන්‍ය මනුස්සයෙකුට හිතෙන්න පුළුවන් නීතිඥවරයෙක් අදහසක් පළ කරල මෙහෙම තර්ජනයක් තිබෙනවා නම් අපිට මොනවා විය හැකිද කියල. කෙසේ වූවත් මේ හැම අවස්ථාවකදීම අපි හිටගන්නේ නීතිඥ ලක්ෂාන් ඩයස්ගේ පාර්ශ්වයේ. ලක්ෂාන් ඩයස්ට එරෙහිව පොලිස් පැමිණිලි දාන්න එන අයට අමතක කරන්න බැහැ අලුත්ගම සිදුවුණු අපරාධය. මුස්ලිම් ජනතාවගේ දේපලවලට විශාල වශයෙන් හානි වුණා. දැනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩුවක් ලෙස මෙය තිබෙනවා. අලුත්ගම ගිනිජාලයක් කිරීම සඳහා යම් යම් ආකාරයේ ප්‍රකෝපකාරී අදහස් ප්‍රකාශ කළ භික්ෂුවක වශයෙන් ඥානසාර හාමුදුරුවන්ට එරෙහිව පොලිස් පරීක්ෂණ සිදු කළා. නමුත් මේ වන තෙක් එම පොලිස් පරීක්ෂණවල අවසානය මොකක්ද කියල දන්නේ නැහැ. රටේ නීතිගරුක ඇමතිවරයෙක් වශයෙන් විජේදාස රාජපක්ෂ මහත්තයා බැලිය යුත්තේ ඒ පරීක්ෂණයට මොකද වුණේ කියා සොයා බලා ජාතීන් අතර සමඟිය ආරක්ෂා කිරීම සඳහා ඒ අපරාධකාරයන් නීතිය ඉදිරියට පැමිණවීම. 

අපරාධ විමර්ශන

දූෂිතයන් රැකීම සම්බන්ධ කාරණයේදී මූල්‍ය අපරාධ සහ ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ පිළිබඳව විශේෂයෙන්ම අපේ අවධානය යොමු වෙනවා.  ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා වී ඇති ස්වාභාවය අනුව මට පැහැදිලිවම කියන්න පුළුවන් සීඅයිඩීය, එෆ්සීඅයිඩීය සහ දුෂණ විමර්ශන කාර්යාලය මඟින් ලංකාවේ වෙනත් කිසිදු කාලයක නොවූ විරූ ආකාරයෙන් විමර්ශනවල ප්‍රගතියක් දැකගන්න පුළුවන්. දේශපාලනඥයෝ කළ යුතු වෙන්නේ මේ විමර්ශනයන් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ඒ සඳහා අවශය සහය දීම. කිසිදු දේශපාලනඥයෙක් විමර්ශන ගැන ඕනවට වඩා කතා කළ යුතු නැහැ. දේශපාලනඥයා මේ විමර්ශන පිළිබඳව කතා කිරීමෙන් සිදුවෙන්නෙ මෙම විමර්ශන දේශපාලනීකරණය වී ඇතැයි යන මතවාදය ගොඩනැගීමට දූෂිතයන්ට හැකි වීම. 

අස්ගිරිය පාර්ශ්වය රට පාලනය කළොත් ඊළඟට කරන ඉල්ලීම වෙන්නේ මේ විමර්ශන කටයුතු නවත්වන්න කියන දේ. අපි දන්නව හරකා හැරෙන්නේ මොන ගහ කන්නද කියල. මේ විමර්ශනවල කටයුතු යම් උච්චස්ථානයකට ඇවිත් තිබියදී තමයි මේ සියලු කැළඹීම් සිදුවෙන්නේ. දේශපාලන විඥානයක් තිබෙන ඕනෑම පුද්ගලයෙකුට තේරෙනවා මේ සියල්ල එකතු වෙන්නේ එක පොදු ගුණාකාරයකට බව. 

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් යම් කිසි ජන බලයක් ගොඩනැගුණා. ඒ ජන බලය ඉදිරියට ගෙනියන්න හැකියාව ලැබුණේ මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු මේ රටේ බුද්ධිමතුන් විද්වතුන් සහ ලක්ෂ ගණනක් වන ජනතාවකගේ ඒකරාශීත්වය නිසා. ඒ ජනමතයට අභියෝග කරන්න කිසියම්ම හෝ ආගමික පාර්ශ්වයකට ඉඩ නොතැබිය යුතුයි කියල මම හිතන්නෙ. මොකද මේ මතය තුළ ප්‍රගතිශිලී ජනතාවකගෙ වගේම සෑම ආගමකම මතයන් එකතු වී තිබෙනවා. ජනතාව වෙනුවෙන් මේ මතය නියෝජනය කරන ව්‍යවස්ථාදායකය, විධායකය හෝ වෙනයම් ආයතනයකට කටයුතු කිරීමට අවශ්‍ය නිදහස දිය යුතුයි. ■

ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ 

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment