අමද්‍යප සංවිධානයක සාමාජිකයෙකුට බියර් බොන්නට අයිතියක් තිබේද?

Jul 17th, 2017 | By | Category: OTHER NEWS, Today Lead News

“අමද්‍යප සංවිධානයක සාමාජිකයෙකුට බියර් වැනි මද්‍යසාර ප්‍රතිශතය අඩු පානයක් බොන්න ඉඩ දිය යුතුයි කියලා කවුරුහරි යෝජනාවක් ගෙනාවොත් ඔබ ඒ සමිතියේ සාමාජිකයෙකු විදියට ඒ යෝජනාවට එකඟ වෙනවද?” කියන ප්‍රශ්නය ඉදිරිපත් කරලා ඒ ගැන හැමෝටම අදහස් දක්වන්න අවස්ථාව දුන්නා. මට මතක විදිහට අනිත් හැමෝම වගේ කිව්වෙ ඒක අවස්ථානුකූලයි සහ බියර් වගේ ඇල්කොහොල් අඩු දෙයක් පානය කිරීම අවුලක් නැහැ වගේ කතා ටිකකුයි. ඕන දෙයක් වෙච්චදෙන් කියල මම නම් කිව්වෙම ඒකෙන් සංවිධානෙ අරමුණට හානි වෙන නිසා බියර් බොන්න දෙන්න බැහැ කියලයි.” ජයබුද්ධි ඥානතිලක වසර හතකට එපිට 2010 දී විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස රයිට්ස් නව් සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ සීමාවාසික පුහුණුව සඳහා සම්මුඛ සාකච්ඡාවට සහභාගි වූ අවස්ථාව සිහිපත් කළේය. ඒ වන විට ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකි. “කොහොම හරි බියර් බොන්න බැහැ කියල තර්ක කරපු මාත්, බොන්න පුළුවන් කියල තර්ක කරපු අනිත් අයගෙනුත් දහදෙනෙක් සීමාවාසික පුහුණුවට තේරුණා.” ඔහු කියන්නේය. “පස්සේ කාලෙක මට තේරුණා එදා අහපු ප්‍රශ්න තුන හතරම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් වලට සම්බන්ධයි කියලා. ප්‍රජාතන්ත්‍රවාදය තුළ බහුතර කැමැත්තට ඉඩ දීම සාධාරණය නෙවෙයි කියල දැනගත්තෙ එදා සාකච්ඡාවෙන්. ඒ වෙද්දි කොච්චර ඉගෙන ගෙන තිබුණත් අපි ප්‍රශ්නෙක එක පැත්තක් බලල තීරණ ගන්න පුරුදු වුණු යථාර්ථවාදී නොවන පිරිසක් බව එහිදී තේරුම් ගත්තා.”

රයිට්ස් නව් ආයතනයේ මානව හිමිකම් සීමාවාසික පුහුණුව 2008 වසරේ ආරම්භ කරන ලදී. මෙම සීමාවාසික පුහුණුවේ මූලික පරමාර්ථය වූයේ විශ්වවිද්‍යාලයන්හි, උසස් අධ්‍යාපන ආයතනයන්හි හෝ වෘත්තීය පුහුණු ආයතනයන්හි ඉගෙනුම ලබන විද්‍යාර්ථීන් හෝ උපාධිධාරීන් හට මානව හිමිකම් අධ්‍යාපනය හා ක්‍රියාකාරකම් පිළිබඳව දැනුමක් ලබාදීමටත්, මානව හිමිකම් පිළිබඳ න්‍යායික දැනුම වර්ධනය කරවීමටත්, මානව හිමිකම් ආශ්‍රිත ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමටත් කටයුතු කිරීමයි. එමගින් ඔවුන්ට මානව හිමිකම් පිළිබඳ ලංකාවේ අභියෝගය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීම අරමුණ වූ අතර මේ වනවිට රයිට්ස් නව් ආයතනයෙන් සීමාවාසික කණ්ඩායම් 22 මඟින් සීමාවාසිකයින් 200 ක් පමණ පුහුණුව ලබා ඇති අතර එයින් සීමාවාසිකයන් බොහොමයක් දෙනා අද වනවිට සමාජයේ ක්‍රියාකාරී පුද්ගලයින් ලෙස ලංකාවේ නන් දෙස ක්‍රියාකාරීව සිටී.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රථමාධාර උපදේශකවරයෙක් මෙන්ම ජාතික ප්‍රථමාධාර වැඩසටහන් සම්බන්ධීකාරකවරයෙකු හා සහකාර කළමනාකරුවෙකු ලෙස ද සේවය කරන ඇති ජයබුද්ධි වර්තමානයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු ලෙස සේවය කරයි.

 

In

06 වන සීමාවාසික පුහුණුවේ සාමාජික සාමාජිකාවන්
බුද්ධි ජයවීර, චමිදු අබේරත්න, සමන්ත තිලකරත්න, ධනංජනී එදිරිසිංහ, ධනුෂ්ක දිසානායක,නිරාෂා සුභසිංහ, ලලන්ත ප්‍රේමරත්න, ජයබුද්ධි ඥානතිලක

පහත පළවන්නේ 06 වන සීමාවසික කණ්ඩායමේ සාමාජිකයකු වන ජයබුද්ධි ඥානතිලක මහතා සමග “සමබිම” වෙනුවෙන් මා කළ කතෝපකතනයක සටහනකි.

ඔබ රයිට්ස් නව් සීමාවාසික පුහුණුවත් සමඟ සම්බන්ධ වන්නේ කෙසේද?

මම රයිට්ස් නව් සීමාවාසික පුහුණුවට සම්බන්ධ වුණේ එහි 06 වැනි කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට 2010 අවුරුද්දෙදියි. පුහුණුව මූලික වශයෙන් 2010 මාර්තු මාසේ ඉඳන් මැයි වෙනකන් තමයි තිබුණේ. 2010 අවුරුද්දෙ මුල් කාලෙ වෙනකොට මං කොළඹ විශ්වවිද්‍යාලෙ ශාස්ත්‍ර පීඨයේ අවසන් වසරෙ ඉගෙන ගනිමිනුයි හිටියෙ. පොඩි කාලෙ ඉඳලම පුරුද්දක් විදියට විවේකයක් ලැබෙන හැම වෙලාවෙම මොනව හරි අහුවෙන දෙයක් කියවන පුරුද්දක් මට තිබුණ. ඒ අතරතුර තමයි කැම්පස් එකේදි අහම්බෙන් රාවය පත්තරේ අහුවුණ වෙලාවක රයිට්ස් නව් එකේ මාස තුනක මානව හිමිකම් පිළිබඳ සීමාවාසික පුහුණුවට විද්‍යාර්ථීන් බඳවා ගන්නවා කියල දැන්වීමක් ඒකෙ දාල තියෙනවා දැක්කේ. කැම්පස් ඉවර වෙන්නත් කිට්ටු හන්දා සහ ඒ වෙනකෙට අවුරුදු එකොළහක් විතර රතු කුරුස සමාජයේ ස්වේච්ඡා තරුණ සාමාජිකයෙක් විදිහට කරපු කියපු වැඩවල පුරුද්ද නිසා, රයිට්ස් නව් එකේ පුහුණුවට එකතු වෙන අනිත් තරුණ කට්ටියත් එක්ක වැඩ කරන්න තිබුණ ආසාවට මමත් ඉල්ලුම් පත්‍රයක් දැම්මා.

පළවෙනි ඉන්ටවීව් එකට ගියාමයි දැනගත්තෙ ඒකට දහ දෙනයි තෝරගන්නෙ කියලා. තුන්සීයකටත් වැඩි ගාණක් ඉන්ටවීව් එකට ඇවිල්ල හිටියා. පළමුවන ඉන්ටවිව් එකේදි මානව හිමිකම් ගැන ප්‍රශ්න ඇසීමක් තිබුණෙ නැති නිසා මම තේරෙයි කියන විශ්වාසය මට තිබුණා. ඊළඟ ඉන්ටවීව් එකට පොඩි පිරිසක් තෝරගෙන අපේ අදහස් උදහස් බලන්න සාකච්ඡාවක් පැවැත්තුවා රාජගිරියෙදි. ඒකෙදිත් මානව හිමිකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්න ඇහුවෙ නැහැ, එහෙම ඇහුව නම් එතන හිටපු නීති පීඨයෙන් ආපු අපේක්ෂක අපේක්ෂිකාවන් එක්ක ඒවට උත්තර දෙන්න ගිහින් මං නිකන්ම එළියට විසි වෙන්න ඉඩ තිබුණා.

රයිට්ස් නව් විධායක අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධන මහතා සාකච්ඡාව මෙහෙයවමින් අහපු එක ප්‍රශ්නයක් තමයි අමද්‍යප සංවිධානෙක බියර් වැනි ඉතා සරල පානයක් විතරක් බොන්න කවුරුහරි යෝජනාවක් ගෙනාවොත් ඒකෙ සාමාජිකයෙක් විදිහට ඔබ එකඟ වෙනවද කියන එක. මේ වගේ ප්‍රශ්නවලට හැමෝටම අදහස් දක්වන්න අවස්ථාව දුන්නා. මට මතක විදිහට අනිත් හැමෝම වගේ කිව්වෙ ඒක අවස්ථානුකූලයි සහ බියර් වගේ ඇල්කොහොල් අඩු දෙයක් අවුලක් නැහැ වගේ කතා ටිකකුයි. ඕන දෙයක් වෙච්චදෙන් කියල මම නම් කිව්වෙම ඒකෙන් සංවිධානෙ අරමුණට හානි වෙන නිසා බියර් බොන්න දෙන්න බැහැ කියලයි. කොහොමහරි බියර් බොන්න බැහැ කියපු මාත් බොන්න පුළුවන් කියල තර්ක කරපු අනිත් අයගෙනුත් දහදෙනෙක් පුහුණුවට තේරුණා. පස්සේ කාලෙක මට තේරුණා එදා අහපු ප්‍රශ්න තුන හතරම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් වලට සම්බන්ධයි කියලා. ප්‍රජාතන්ත්‍රවාදය තුළ බහුතර කැමැත්තට ඉඩ දීම සාධාරණය නෙවෙයි කියල දැනගත්තෙ එදා සාකච්ඡාවෙන්. ඒ වෙද්දි කොච්චර ඉගෙන ගෙන තිබුණත් අපි ප්‍රශ්නෙක එක පැත්තක් බලල තීරණ ගන්න පුරුදු වුණු යථාර්ථවාදී නොවන පිරිසක් බව එහිදී තේරුම් ගත්තා.

රයිට්ස් නව් සීමාවාසික පුහුණුවෙන් ඔබ ලබා ගත් දේ මොනවාද සහ පුහුණුව පිළිබඳව ඔබගේ අදහස මොන වගේ එකක්ද?

ඇත්තටම අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා, පුරවැසියා කියන්නෙ කවුද කියන එක, මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර නීති රීති හා යාන්ත්‍රණයන්, මූලික අයිතිවාසිකම් හා දේශීය යාන්ත්‍රණය, ස්වාධිපත්‍යය බලය, ප්‍රජාතන්ත්‍රවාදය ආදී බොහෝ නොදත් දේ මාස තුන තුළත්, ඉන් අනතුරුව ‘රයිට්ස් නව්’හි විවිධ ක්‍රියාකාරකම් හා සම්බන්ධ වෙමිනුත් ඉගෙනගත්තා. මාස තුනක් තිස්සෙ සතියකට දින තුනක් හෝ ඊට වැඩි ගණනක් උදේ අට හමාරෙ ඉඳන් හවස හතර වෙනකන් මේව ඉගෙන ගන්න එක අමාරුයි. පුහුණුව අතරතුර ආර්ථිකමය වශයෙන් එන ප්‍රශ්නවලට විසඳුමක් විදියට රයිට්ස් නව් එකෙන් ගමන් වියදමක් වශයෙන් රුපියල් හයදහසක් ගෙවපු එක නොකඩවා පුහුණුව පවත්වාගෙන යන්න බොහෝ සෙයින් ඉවහල් වුණා.

අපේ සීමාවාසික කණ්ඩායම හොඳ මිශ්‍රණයකින් යුතු වුණා. නීති පීඨ සහෝදර සහෝදරියන් හතර දෙනෙක් කණ්ඩායමේ හිටියා. සඳුදට තිබුණු කොමන් ඬේ එකේ (දහ දෙනාම එන දවස) සැසිවලට අපි ආවෙ බොහොම උද්යෝගයෙනුයි. විවිධ දේශකයන් සමඟ වගේම සීමාවාසික කණ්ඩායමේ අය අතරත් විවිධ සාකච්ඡා වාද විවාද ඇති වුණා. සුළුතර අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, ඡන්ද අයිතිය හා අපගේ ස්වාධිපත්‍යය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හරහා පැවරීම, විධායකය – අධිකරණය – ව්‍යවස්ථාදායකය හසුරුවන රාජ්‍ය යාන්ත්‍රණය, බදු ක්‍රමය මෙන්ම පොලිස්, ස්වාධීන කොමිෂන් සභා, මැතිවරණ ආදියෙහි ක්‍රියාකාරීත්වය හා යාන්ත්‍රණය පිළිබඳවත් පුළුල් දැනුමක් ලබන්නට මේ කාලය තුළ අපිට හැකි වුණා. තමන්ගේ අයිතිවාසිකම් දැනගෙන ජීවත් වෙන කොට තමා අපිට අපි පුරවැසියො කියල තේරෙන්නෙ. අපේ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳව ඉගෙන ගන්න ලැබීම පුහුණුවෙන් ලද වටින දෙයක් වුණා වගේම අපි සමාජයේ සක්‍රීය සාමාජිකයෙකු ලෙස ජීවත්වීමට අවශ්‍ය දැනුම ඉන් ලබා ගත්තා. මේ අතරතුර මියැන්මාරයේ ඡන්දයෙන් ජයගත් අවුන්සාන් සුකී සිරකොට තැබීමට එරෙහිව විරෝධතා දැක්වීම ඇතුළු මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමේ විවිධ පුහුණු හා වැඩසටහන්වලට මෙන්ම සමබිම පුවත්පතේ සමාරම්භයේ සිටම එහි කටයුතුවලට සක්‍රීයව දායක වීමෙන් විශාල ප්‍රජාතන්ත්‍රීය පන්නරයක් ලැබුවා. ආදි සීමාවාසිකයින් සමඟ මෙන්ම විවිධ ප්‍රදේශවල තරුණ ප්‍රජාව සමඟ තරුණ කඳවුරු පැවැත්වීම, යාපනය විශ්වවිද්‍යාලයේ මෙන්ම එම ප්‍රදේශවල ගවේෂණ චාරිකාවක් යෑම, ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට එරෙහිව පැවැත්වෙන විරෝධතාවලට සහභාගී වීම ආදිය මගින් අප විශාල ප්‍රායෝගික පුහුණුවකුත් ලැබුවා. ධනුෂ්ක, නිරාශා, ධනංජනී, නදීශානි, බුද්ධි, මහේෂ් ආදී අප කණ්ඩායමේ සියලු දෙනාම එකතු වී තෝලංගමුවේදී පැවැත්වූ තරුණ කඳවුර මේ අතර අමතක නොකළ හැක්කක්.

පසුකාලීනව මේ සීමාවාසික පුහුණුව කණ්ඩායම් වශයෙන් නොව එක් එක් අය විවිධ අවස්ථාවල බඳවා ගැනීමේ ක්‍රමයට පැවැත්වුණ නිසා එහි ජවය මදක් අඩුවුණාදැයි මට සිතුණත් මේ පුහුණුව ලැබූවන් වැඩි පිරිසක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට අවශ්‍යතාවයකින් හා ක්‍රියාකාරීත්වයකින් යුතු අය බව පැහැදිලියි.

DSC02571පුහුණු ක්‍රියාකාරකම්හි නිරත වන 6වන කණ්ඩායමේ අාදී සිමාවාසිකයින් 

මේ වන විට ඔබ නියැලෙන්නේ කුමන කාර්යයකද?

රයිට්ස් නව් පුහුණුව ඉවර වී අවුරුද්දක් පමණ මම රයිට්ස් නව් ආයතනයේම පුහුණු හා ශක්‍යතා සංවර්ධන වැඩසටහන් නිලධාරියෙකු ලෙස කටයුතු කළා. ඉන් අනතුරුව කුඩා කාලයේ පටන් ක්‍රියාකාරීව කටයුතු කරපු රතු කරුස සමාජයේ කාර්යමණ්ඩලයට එකතු වුණා. එහිදී සුපුරුදු මානුෂවාදී කටයුතුවල නිරත වෙලා පසුගිය වසරේ පටන් පාර්ලිමේන්තු නිලධාරියෙකු ලෙස කටයුතු කරනවා. ඒ කියන්නේ රජයේ සේවකයෙක් විදිහට. රාජ්‍යයේ උත්තරීතර ආයතනයක සේවය කරන්න ලැබීම වගේම, ව්‍යවස්ථාදායකයට සහාය සපයන්න ලැබීම මට ලැබුණු භාග්‍යයක්.

‘සමබිම’ පුවත්පතේ පාඨකයෙක් ලෙස එහි සමාජ අවශ්‍යතාවය පිළිබඳව තිබෙන්නේ මොන වගේ අදහසක්ද?

සමබිම පුවත්පත ආරම්භ වුණේම අභියෝගාත්මක අවධියකයි. රටේ ප්‍රජාතන්ත්‍රීය උන්නතියට අවශ්‍ය මගපෙන්වීම විවිධ අයුරින් කරන්නට පුවත්පත විශාල උත්සාහයක් එහි ආරම්භයේ පටන්ම දැරුවා. ඒ කටයුත්ත කරන එක වෙන කිසිදු පුවත්පතකින් ඒ කාලයේ සිදු වුණේ නෑ. අඛණ්ඩව අවුරුදු හතක් පුවත්පත මගින් කියපු දේවල් යම්තාක් දුරකට අද මල්ඵල ගැන්විලා තියෙනවා කියල හිතෙනවා. දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉන් එකක්. නිදහස් ස්වාධීන රාජ්‍ය ආයතන බිහිකිරීම, බහුතරයේ වගේම සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මාධ්‍ය නිදහස ආදී බොහෝ දේ ක්‍රමක්‍රමයෙන් ජයග්‍රහණය කරමින් පවතිනවා. අලුත් ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ කටයුත්තටත් සමබිම විවිධ අයුරින් දායක වුණා.

සෑම මසකම දහස් ගණනකට නොමිලයේ පුවත්පතක් යවන එක ලෙහෙසි කටයුත්තක් නොවෙයි. ඒත් බොහෝ දෙනාගේ දායක මුදල් ලැබීම හා සහයෝගය ලැබීම මත තීරණය වෙමින් පුවත්පත ඉදිරියට ගලා යාම තවදුරටත් රටේ අවශ්‍යතාවයක් වන්නේ පවත්නා ආණ්ඩුවේද අඩුපාඩු පෙන්වා දෙමින් සමබිම අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ මේ රටේ ඇතිකිරීම සඳහායි. සමබිම අපේක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී සමබිම රට තුළ ස්ථාපිත කිරීමත් එය පවත්වා ගැනීමත් තීරණය කිරීමට දේශපාලන බලවේගය ඉතා විශාල වැදගත්කමක් දරනවා වගේම එහි පැවැත්ම තීරණය වන්නේත් ජනතාවට එය උවමනා වන්නේත් රටේ ආර්ථිකය දියුණු වූ තරමටම වන නිසා පුවත්පත මගින් දැන් ‘තිරසර ආර්ථික සංවර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වූ සමබිම’ වැනි මාතෘකා ඔස්සේ පාඨකයා දැනුවත් කරමින් රට ආර්ථික පෙළහරකට පෙළගැස්වීමේ කටයුත්තත් සමගාමීව කළ යුතු යැයි යන්න මගේ විශ්වාසයයි.

FB_IMG_1497325620068

නම -ජයබුද්ධි ඥානතිලක
සීමාවාසික පුහුණුව ලැබූ අවුරුද්ද හා කණ්ඩායම
2010 – 06 වැනි රයිට්ස් නව් සීමාවාසික කණ්ඩායම
රැකියාව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රථමාධාර උපදේශකවරයෙක් මෙන්ම ජාතික ප්‍රථමාධාර වැඩසටහන් සම්බන්ධීකාරකවරයෙකු හා සහකාර කළමනාකරුවෙකු ලෙස ද සේවය කරන ලදී.
පාර්ලිමේන්තු නිලධාරියෙකු ලෙස දැනට සේවය කරයි.
නායකත්ව හා කණ්ඩායම් ගොඩනැඟීමේ පුහුණුකරුවෙකු, ප්‍රථමාධාර පුහුණුකරුවෙකු, රතු කුරුස සමාජයේ ජාතික හා දකුණු ආසියානු ආපදා ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් සාමාජිකයකු මෙන්ම සහචර දැනුවත් කරන්නකු Peer Educator ලෙස ද කටයුතු කරයි.

ලබන කලාපයෙන් තවත් ආදි සීමාවාසිකයෙකු සමග කථා කරමු.

සාකච්ඡා කර  සකස් කළේ රුවිනි අයේෂා බියගම

ආදි සීමාවාසිකයන්ට පණිවිඩයක්:
රයිට්ස් නව් සංවිධානයේ ආදි සීමාවාසිකයන්ගේ දත්ත යාවත්කාලීන කරන බැවින් ඔබගේ නම සහ සීමාවාසික කණ්ඩායමේ අංකය සටහන් කර කෙටි පණිවිඩ 0771097910 වෙත එවන්න. වයිබර් හෝ වට්සැප් මගින් 0771097910 වෙත එවන්න. නැත්නම් ෆේස්බුක් ඔස්සෙ Aditha Ekmal වෙත ඉන්බොක්ස් කරන්න. ආදි සීමාවාසිකයන්ගේ දෙදින කඳවුරක් සහ සුහද හමුවක් සංවිධානය කිරීමට ද රයිට්ස් නව් සංවිධානය කටයුතු කරමින් සිටියි.

Recent Posts

Tags: , , , , ,

Leave a Comment