ආබාධ සහිත පුද්ගලයන්ට ‘අනුකම්පාව’ අවශ්‍ය නොවේ

Jul 17th, 2017 | By | Category: LEAD NEWS, Today Lead News

ආබාධ සහිත පුද්ගලයන් යනු රටේ සුළුතර ජන කොට්ඨාශයක් වන අතර ඔවුන් පිළිබඳව ඉතිහාසයේ පටන් පැවත එන සමාජ මතය වන්නේ ඔවුන් කාගේ හෝ සරණක් අවැසි ජන කොට්ඨාශයක් වන බව හා ඔවුන්ව රැකබලා ගැනීම පවා පුණ්‍යවන්ත කටයුත්තක් වන බවයි. නමුත් තවදුරටත් ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොවේ. ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට භුක්ති විඳීමට අයිතියක් ඇති අතර ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා දෙනු ඇතැයි යන්න පමණක් ඔවුන් සමාජයෙන් බලාපොරොත්තු වේ. ආබාධ සහිත පුද්ගලයෝ ද මනුෂ්‍යයෝ වන අතර මේ ඔවුන්ගේ අයිතිවාසිකම් හා ඔවුන් පිළිබඳව සමබිම පාඨක ඔබ වෙත ගෙන එන ලිපි මාලාවේ පළමුවැනි ලිපියයි.

DSC0513-294x300ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට ලෝක ජනගහනයෙන් 15% ක් පමණ කවර හෝ ආබාධිත තත්ත්වයකින් පෙළෙති. 2012 ජන සංගණන සංඛ්‍යාලේඛන වාර්තාවන් පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ අවුරුදු 5 ට වැඩි සමස්ත ජනගහනයෙන් 8.7% ක් හෙවත් මිලියන 1.74 ක් යම් ආකාරයක ආබාධ තත්ත්වයකින් පෙළෙන අතර පසුගිය දශක තුනක කාලය තුළ අප රටේ පැවති යුද්ධයත් සමඟින් මෙම සංඛ්‍යාවන්හි වර්ධනය වීමක් දැකිය හැකිය. ආබාධ සහිත පුද්ගලයන්ගේ සැබෑ නිල සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් 12% – 15% ක් වන බව සමාජ ක්‍රියාධරයන්ගේ මතයයි. ඒ අනුව මෙම ජනකොටස රටේ සුළුතර ජන කොට්ඨාශයක් ලෙසින් සැලකිය යුතු පිරිසක් වේ.

පුද්ගලයෙක් උපතින් හෝ පසුකලෙක යම් ඌණතාවයකින් පෙළෙමින් ජීවත් වන්නේ නම් එවැනි අයෙක් සරල අර්ථයෙන් ආබාධ සහිත පුද්ගලයෙකු ලෙස හඳුන්වනු ලබයි. 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතට අනුව ‘ශාරීරික හෝ මානසික හැකියාවන්හි ඌණතාවන්හි ප්‍රතිඵලයක් ලෙසින් තමාගේ කටයුතු තමාටම කරගත නොහැකි තත්ත්වයෙන් ජීවත්වන්නෙකු’ ආබාධ සහිත පුද්ගලයෙකු වේ. නමුත් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ආබාධිත බව යනු, ‘ඌණතා (දුර්වලතා) වලින් යුත් පුද්ගලයින් සහ අනෙකුත් අය අතර අන්තර් ක්‍රියාකාරීත්වයේදී තම පූර්ණ හා ක්‍රියාකාරී සමාජ සහභාගීත්වයට අවහිර කෙරෙන ආකල්පමය හා පාරිසරික බාධාවලින් හටගන්නා තත්ත්වයයි’. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ආබාධ සහිත පුද්ගලයා තම ඌණතාවය නිසා නොව එම පුද්ගලයාව සමාජය තුළට ඒමට අවහිර කෙරෙන ආකල්පමය හා පාරිසරික බාධාවන් නිසා ඇතිවන තත්ත්වයක් ලෙසින් හඳුනාගෙන තිබීම විශේෂත්වයකි.

ලංකාවේ මේ වන විට පොදුවේ පිළිගන්නා ආබාධ සහිත පුද්ගල වර්ගීකරණයක් ඉදිරිපත් වී නොමැති වුවද ආබාධ සහිත පුද්ගලයින්ව ප්‍රධාන වශයෙන් දෘශ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත, ශාරීරික ආබාධිත, බුද්ධි ඌණතා සහිත, මානසික ආබාධිත සහ උග්‍ර හා බහු ආබාධිත පුද්ගලයින් ලෙස වර්ග 6 ක් යටතේ හඳුනාගත හැකිය. සංඛ්‍යාලේඛන අනුව දෘශ්‍යාබාධිත පුද්ගලයින් 450,000 ක් ද ශාරීරික ආබාධිත පුද්ගලයින් 734,213 ක් ද, ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් 389,077 ක් ද මේ වනවිට ලංකාවේ ජීවත් වෙයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලුම තැනැත්තන් නීතිය ඉදිරියේ සමාන බව ප්‍රකාශ කර ඇති නමුත් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේදී එය ප්‍රමාණවත් නොවන බව පෙනී යයි. 1996 අංක 28 දරන ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතට අනුව මූලික වශයෙන් ආබාධ සහිත පුද්ගලයන් අධ්‍යාපන ප්‍රවේශයේදී සහ රැකියාවන්ට බඳවා ගැනීමේදී වෙනස්කොට නොසැලකීම පමණක් සහතික කරන අතර, ඊට අමතරව 2006 අංක 01 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ (ප්‍රවේශ) පිළිබඳ නියෝග පනවා තිබේ.

මෙසේ මූලික අණ පනත් මගින් අතිශය සීමිත වරප්‍රසාදයන් පිළිබඳ අයිතිවාසිකම් තහවුරු කර තිබුණ ද ඒවා ප්‍රයෝගිකව ක්‍රියාත්මක නොකිරීම හා පිළිනොපැදීම බලවත් ගැටලුවක් වී තිබේ. ශ්‍රී ලංකා රජය විසින් මෙම ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් බොහෝ නීති ප්‍රතිපාදන, රෙගුලාසි, ප්‍රතිපත්ති ජාතික සැලසුම් සකස් කර අනුමත කර තිබුණත් ඒවා ප්‍රායෝගික තලය තුළ ක්‍රියාත්මක නොවීම බලවත් ප්‍රශ්නයක් වී තිබේ. පහතින් සඳහන් වන්නේ ශ්‍රී ලංකා රජය විසින් ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව ගෙන ඇති නීතිමය රැකවරණයන් හා ප්‍රතිපත්තීන් කිහිපයකි.

■ අංක 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත
■ 1988 දී නිකුත් කරන ලද රාජ්‍ය සේවයට ආබාධ සහිත පුද්ගලයින් 3% ක් බඳවා ගැනීමේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය
■ 2003 දී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
■ 2006 දී නිකුත් කරන ලද ප්‍රවේශ පහසුකම් පිළිබඳ රෙගුලාසි
■ 2014 දී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම
■ 2016 දී රජය විසින් අනුමත කරන ලද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය

1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත තුලින් ආබාධිත පුද්ගලයින්ගේ අයිතාවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් නෛතික විධිවිධාන නොමැති බැවින් 2006 දී සමාජසේවා අමාත්‍යාංශය විසින් නව පනත් කෙටුම්පතක් සකස්කර කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කළ අතර එය 2008 වසරේදී සංශෝධනයන්ට යටත්ව කැබිනට් මණ්ඩලය තුළ අනුමත වූ අතර, එය මේ වන විට 5 වතාවක් පමණ නැවත සංශෝධනයන්ට භාජනය වෙමින් පැමිණ, 2016 වසරේදී නැවත කෙටුම්පත් කරමින් පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කිරීමට කටයුතු සිදුකෙරමින් පවතී. එය මේ වන විට නීති කෙටුම්පත් කාර්යාලයේ අනුමැතිය සඳහා යොමු කර ඇත.

DSC03500

යෝජිත ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත කෙටුම්පත් කිරීමේදී මූලික වශයෙන් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව කෙටුම්පත් කර ඇත. ඒ අනුව පවතින පනතෙන් ලැබෙන ආරක්ෂණයට වඩා පුළුල් අයිතිවාසිකම් පරාසයක් භුක්ති විඳීමට මෙම නව යෝජිත පනත් කෙටම්පත තුළින් ආබාධ සහිත පුද්ගලයන් හට හැකි වේ. මෙම අයිතිවාසිකම් ආබාධ සහිත පුද්ගලයන්ට භුක්ති විඳීමට ඉඩකඩ සැලැස්වීම උදෙසා රජයට විශාල කාර්යභාරයක් පැවරෙන අතර, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිගත් රාජ්‍යයක් ලෙස සිය වගකීම ද ඉටු කරන්නකි.

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, ලෝක ජනගහනයෙන් 15%ක් පමණ වන ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් 2007 වසරේදී එළිදැක්වූ අතර ශ්‍රී ලංකා රජය 2007 වසරේ මාර්තු 30 වන දින එම පනත පිළිගනිමින් ඒ සඳහා අත්සන් කරමින් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ එම ප්‍රඥප්තියෙහි ප්‍රතිපත්ති හා නියමයන්ට එකඟ වී ඇත. එය අත්සන් කර වසර 10 ක් පමණ ගතවූ පසු 2016 පෙබරවාරි මසදී ශ්‍රී ලංකා රජය විසින් මෙම පනත අපරානුමත කරන ලදී. ඒ අනුව මේ වන විට එම ප්‍රඥප්තියට අනුව කටයුතු කිරීමට රජය සම්මුතියක් මගින් බැඳී සිටී. කෙසේ වෙතත් මෙම තත්ත්වය පැවතියට වඩා සාධනීය තත්ත්වයකි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ එන වෛකල්පිත සන්ධානය (Optional Protocol)අනුමත කර ගැනීම ද මෙහිදී ඉතා වැදගත් වන අතර එමඟින් රජයක් විසින් ප්‍රඥප්තියේ ඇති එකඟතාවයන් යම් හෙයකින් ඉටු නොකිරීම හෝ කඩ කිරීම සිදුකළ විටකදී ඕනෑම පුද්ගලයෙකුට ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත පැමිණිලි කිරීමේ බලය පැවරේ. ඒ අනුව මේ වන විට ආබාධ සහිත පුද්ගල සංවිධාන එක්ව වෛකල්පිත සන්ධානය අනුමත කර ගැනීම වෙනුවෙන් මැදිහත්වීම් සිදු කෙරමින් පවතී.

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සඳහා ඇති තවත් වැදගත් නීතියක් වනුයේ 2006 අංක 01 දරන ගැසට් පත්‍රයයි (ප්‍රවේශ පහසුකම් පිලිබද රෙගුලාසි). සෑම ආබාධ සහිත පුද්ලයෙකුම තමාට අවශ්‍ය සේවාවන් ලබාගැනීමට යාමේදී (රාජ්‍ය හෝ පෞද්ගලික) එම සේවා ස්ථානයන් එම තැනැත්තන්ට පහසුවෙන් ප්‍රවේශ වීමට ඇති හැකියාව තහවුරු කළ යුතුය. විශේෂයෙන් ශාරීරික ආබාධ සහිත පුද්ගලයෙක් හට (රෝද පුටුවක් හෝ අත්වාරුවක් භාවිතයෙන්) අදාළ ගොඩනැගිල්ලට ඇතුළුවීමේ හැකියාවත්, එලෙසම දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් හට තම සුදු සැරයටිය භාවිතයෙන් ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සහ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙක් හට තම කටයුතු කර ගැනීමේදී අවශ්‍ය සංඥා භාෂා භාවිතය ආදී බොහෝ දේ ප්‍රවේශ පහසුකම් යටතේ විස්තර කරනු ලැබේ. සමාජයේ අන් අය ලෙසින් මෙම ආබාධ සහිත තැනැත්තන් හට ද සමාජය වෙත පැමිණ තනිවම කාර්යන් සිදුකර ගැනීමට හැකියාව ඇති නමුත් සමාජය සහ පරිසරය ඒ සඳහා අවශ්‍ය පරිදි සකස් වී නොමැති වීම බලවත් ගැටලුවක් වී තිබේ. රජය විසින් කළ යුතු වන්නේ ආබාධ සහිත පුද්ගලයන්ව තම ආබාධිත භාවයට අමතර සමාජය විසින් නැවත වරක් ඔවුන්ව ආබාධිත තත්ත්වයට පත් කරවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සිදු කිරීම වන අතර එය අපගේ සමාජමය වගකීමකි.

තවත් කොටසක් ලබන කලාපයෙන්

සසංක මෙන්ඩිස්
ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ කළමනාකරු

Recent Posts

Tags: , , , , , , ,

Leave a Comment