මොකක්ද මේ GSP+ ? 04 කොටස

Jul 24th, 2017 | By | Category: OTHER NEWS, මොකක්ද මේ GSP+

“මොකක්ද මේ GSP+ ? ලිපි මාලාවේ පසුගිය කොටස්වලින් අපි GSP+ සහනය සම්බන්ධයෙන් වූ මූලික කාරණා පිළිබඳව අවධානය යොමු කරනු ලැබුවා. ඒ යටතේ පසුගිය කොටස් තුනෙන් GSP+ සහනය ලැබෙන රටවල් පිළිබඳවත්, එම සහනයේ වැදගත්කම පිළිබඳවත්, GSP+ සහනය ලබාගැනීමේදී අවධානය යොමු කරනු ලබන මූලික කොන්දේසි පිළිබඳවත් සහ GSP සහනයේ ඉතිහාසය පිළිබඳවත් ඔබ වෙත ගෙන එනු ලැබුවා. මෙවර ලිපියෙන් යුරෝපා GSP ක්‍රමය ඇතුළත තිබෙන සහන ක්‍රමවේද මොනවාද යන්න පිළිබඳව සමබිම පාඨක ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

කලින් ලිපියෙන් සඳහන් කළ ආකාරයට යුරෝපා සංගමය තමන්ගේ මූල්‍ය සහ බදු ප්‍රතිපත්ති ඇතුළත වරණීය සහන ලබාදීම 1971 වර්ෂයේදී ආරම්භ කරනවා. මෙතැනදී යුරෝපා සංගමයේ බලාපොරොත්තුව වුණේ දියුණු වෙමින් පවතින රටවලට තමන්ගේ වෙළඳපොළ සඳහා පිවිසීමට ඇති අවස්ථා වැඩිකිරීමයි. තමන් මේ ලබාදෙන ආර්ථික සහන ක්‍රමය පොදු (Generalized), රට රටවලට වෙනස්කොට සැලකීම ඉලක්ක කර නොගත් (non-discriminatory), නීතිමය බැඳීමකින් තොර (non-reciprocal) ක්‍රමයක් බව GSP සහන ක්‍රමය ආරම්භ කරමින් යුරෝපා සංගමය අවධාරණය කරනු ලැබුවා.

යුරෝපා සංගමය 1971 වර්ෂයේදී ආරම්භ කරන GSP සහන ක්‍රමය එයින් දශක 05 කට ආසන්න කාලයක් ගතව ගොස් තිබෙන අද දවස වනවිට බොහෝ සෙයින් සංවර්ධනයව තිබෙනවා. ඒ අනුව යුරෝපා GSP ක්‍රමය ඇතුළත සහන ක්‍රමවේද ආකාර 03 ක් හඳුනාගත හැකියි.

01. සාමාන්‍ය GSP ක්‍රමය හෙවත් Standard/General GSP arrangement
02. EBA හෙවත් Everything But Arms සහන ක්‍රමය
03. GSP+ සහන ක්‍රමය

GSP ක්‍රමය පොදුවේ පිරිනැමෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට බව ඔබ දන්නවා. නමුත් ඒ මූලික නිර්ණායකයෙන් ඔබ්බට ගිහින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහ ඌන සංවර්ධිත රටවලට තව තවත් තමන්ගේ වෙළඳපොළ වෙත පිවිසීමේ අවස්ථා පුළුල් කරන්නට ඔවුන් උත්සාහ ගෙන තිබීම තුළ යුරෝපා සංගමය විසින් ලබාදෙන GSP සහනය ඉතාම සුවිශේෂී එකක් බවට පත්ව තිබෙනවා.

සාමාන්‍ය GSP ක්‍රමය හෙවත් Standard/General GSP arrangement

යුරෝපා සංගමයේ සාමාන්‍ය වෙළඳවරණ පොදු ක්‍රමය වශයෙන් හඳුනා ගැනෙන්නේ ඔවුන් ආරම්භයේදී, එනම් 1971 වර්ෂයේදී ආරම්භ කර මේ දක්වා පවත්වාගෙන යන GSP සහන ක්‍රම විශේෂයයි.

සාමාන්‍ය GSP ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලැබීමට නම් යම් රටක් සම්පූර්ණ කළ යුතු මූලික කොන්දේසිය ඒ රට සංවර්ධනය වෙමින් පවතින රටක්, නැතිනම් පහළ-මධ්‍යම ආදායම් කාණ්ඩයේ රටක් වීමයි. කිසියම් රටක් සංවර්ධනය වෙමින් පවතින/පහළ-මධ්‍යම ආදායම් කාණ්ඩයේ රටක්ද යන වග තීරණය වෙන්නේ බ්‍රෙටන්වුඞ්ස් සංවිධාන විසින් (1944 වර්ෂයේ එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ බ්‍රෙටන්වුඞ්ස් දිස්ත්‍රික්කයේ පැවති ජාත්‍යන්තර ආර්ථික ප්‍රවර්ධන සමුළුවෙන් බිහිවූ සංවිධානයි, උදාහරණ – ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) ඒ ඒ රටවල ආර්ථික සහ මූල්‍ය තත්ත්ව සම්බන්ධයෙන් පළ කරන සංඛ්‍යා වාර්තා අනුවයි. ඒ අනුව යම්කිසි රටක් නොකඩවා වසර 03 ක් සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් හැඳින්වෙමින් තිබෙනවා නම් ඒ රට මේ සහන ක්‍රමය ලැබීම සඳහා සුදුසුකම් ලබනවා.

මේ අවස්ථාව වනවිට ලෝකයේ රටවල් 30 ක් යුරෝපා සංගමය විසින් ලබාදෙන සාමාන්‍ය GSP ක්‍රමය යටතේ සහන ලබනවා. මේ රටවල් යටතට අප්‍රිකානු රටවල් 10 ක්, ආසියානු රටවල් 08 ක්, ඔස්ට්‍රිෙලියාව ශාන්තිකර කලාපයේ රටවල් 06 ක්, මැද පෙරදිග රටවල් 02 ක්, යුරෝපා කලාපයේ එක් රටක් (යුක්රේනය) සහ දකුණු ඇමරිකානු කලාපයේ රටවල් 03 ක් අයත් වෙනවා.

සාමාන්‍ය GSP ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබන රටකට හිමිවන්නේ බදු අඩු කිරීමක් පමණයි. ඒ යටතේ යුරෝපා සංගමය විසින් නීර්ණය කරන ලද භාණ්ඩ වර්ග 6000 කට අධික ප්‍රමාණයක් යටතේ නිෂ්පාදන යුරෝපා වෙළඳපොළ වෙත අපනයනය කරද්දි ගෙවිය යුතු මුළු බදු ප්‍රමාණයෙන් කිසියම් කොටසක් අඩු කරනවා. අපනයන භාණ්ඩ සඳහා ගෙවිය යුතු බදු මුදල් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමකුත් සාමාන්‍ය GSP ක්‍රමය යටතේ ඇතැම් අවස්ථාවල සිදුව තිබෙනවා. නමුත් එම සහනය ලැබෙන්නේ ඉතාම සුළු භාණ්ඩ වර්ග ප්‍රමාණයකට යුරෝපා සංගමය විසින් වරින් වර තීරණය කරන සීමිත අවස්ථාවන්වලදී පමණයි.

EBA හෙවත් Everything But Arms සහන ක්‍රමය

කලින් සඳහන් කළ සාමාන්‍ය ඨීඡ ක්‍රමය සංවර්ධනය වෙමින් පවතින රටවලට හිමිවෙද්දී EBA සහනය හිමිවෙන්නේ ඌන සංවර්ධිත, නැතිනම් දිළිඳු රටවල් වශයෙන් සැලකෙන රටවලටයි. ඒ වගේම සාමාන්‍ය ඨීඡ ක්‍රමයේදී මෙන් යුරෝපා සංගමය මෙම ක්‍රමයේදී භාණ්ඩ වර්ග හෝ ප්‍රමාණයක් නිශ්චය කර නැහැ. මෙහි නමින්ම කියවෙන ආකාරයට යුද අවි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන හැරෙන්න වෙනත් ඕනෑම භාණ්ඩයක් මෙම සහන ක්‍රමය යටතේ යුරෝපා වෙළඳපොළ වෙත අපනයනය කරන්නට දිළිඳු රටවලට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඒ අපනයන ක්‍රියාවලියේදී දිළිඳු රටවලට සම්පූර්ණ බදු ඉවත් කිරීමකුත් හිමිවෙනවා.

මේ සටහන සකස්වෙන අවස්ථාව වනවිට ලෝකයේ රටවල් 49 කට මෙම සහනය හිමිව තිබෙනවා. ඒ යටතට අප්‍රිකානු කලාපයේ රටවල් 34 ක්, ආසියානු රටවල් 09 ක්, ඔස්ටේ්‍රලියා ශාන්තිකර කලාපයේ රටවල් 05 ක්, සහ කැරිබියානු රටවල් 01 (හයිටිය) ක් ඇතුළත් වෙනවා.

GSP+ සහන ක්‍රමය

යුරෝපා සංගමයේ වෙළඳ වරණ සහන ක්‍රමය ඇතුළත තිබෙන ඉතාම සුවිශේෂී සහ වඩාත්ම ආන්දෝලනාත්මක සහන වර්ගය වශයෙන් GSP+ සහන ක්‍රමය සැලකිය හැකියි. කලින් සඳහන් කළ සාමාන්‍ය GSP ක්‍රමය වගේම මෙම සහනය හිමිවන්නේත් සංවර්ධනය වෙමින් පවතින/පහළ-මධ්‍යම ආදායම් කාණ්ඩයේ රටවලටයි. නමුත් මෙතැන තිබෙන සුවිශේෂීත්වය වන්නේ යම් රටක් හුදෙක් සංවර්ධනය වෙමින් පවතින රටක් වීම පමණක් මෙම සහනය ලැබීම සඳහා ප්‍රමාණවත් නොවීමයි. ඒ සඳහා සංවර්ධනය වෙමින් පවතින රටක් වීමට අමතරව පහත සුවිශේෂී කොන්දේසි දෙකත් අදාළ වෙනවා.

01. GSP+ සහන ක්‍රමය ඉල්ලා සිටින රටක් භාණ්ඩ සුළු ප්‍රමාණයක් විශාල වශයෙන් යුරෝපා සංගමය වෙත අපනයනය කරන රටක් විය යුතුයි. ඒ අනුව GSP+ සහනය යටතේ අදාළ රට විසින් යුරෝපය වෙත අපනයනය කිරීමට බලාපොරොත්තු වන ප්‍රධානම නිෂ්පාදන වර්ග 07 න් 75% ක ප්‍රමාණයක් අපනයනය විය යුත්තේ යුරෝපා වෙළඳපොළ වෙතයි. නිදසුනක් විදියට A නමැති රටේ ප්‍රධානම නිෂ්පාදනය ඇඟළුම් ආශ්‍රිත නිෂ්පාදන නම්, සහ එම නිෂ්පාදනවලින් 60% ක් ඇමරිකා එක්සත් ජනපදයටත් 40% ක් පමණක් යුරෝපය වෙතත් අපනයනය වන්නේ නම් එම රට GSP+ සහනය ලැබීම සඳහා නුසුදුස්සෙක්.

අනෙක් කාරණය, අදාළ ඉල්ලීම සිදුකරන රට යුරෝපා සංගමය වෙත සිදුකරන සමස්ත අපනයන ප්‍රමාණය සුළු ප්‍රමාණයක් විය යුතුයි. එහි අරමුණ රටවල් වැඩි ගණනකට GSP+ සහන ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලැබීම සඳහා ඉඩකඩ සලසා ගැනීමයි.ඒ යටතේ, අදාල ඉල්ලීම කරන රට ඨීඡූ සහනය යටතේ අපනයනය කිරීමට බලාපොරොත්තු වන භාණ්ඩ ප්‍රමාණය යුරෝපා සංගමය සියලුම GSP+ ප්‍රතිලාභී රටවලින් කරන අපනයන ප්‍රමාණයෙන් 02% නොඉක්මවිය යුතුයි.

02. දෙවැනි කොන්දේසිය මුල් කොන්දේසියට සාපේක්ෂව ඉතාම ආන්දෝලනාත්මකයි. යුරෝපා GSP+ සහනය තුළට ආර්ථිකමය ලක්ෂණ ඉක්මවා ගිය දේශපාලනමය අර්ථයක් ලබාදෙන්නට හේතු වන්නේත් මේ කියන දෙවැනි කොන්දේසිය බව කිව යුතුයි.

මේ කොන්දේසියට අනුව කිසියම් රටක් GSP+ සහනය ලබාගැනීමට අපේක්ෂා කරනවා නම් ඒ රට සංවර්ධනය වෙමින් පවතින රටක් වීම සහ යුරෝපා සංගමය වෙත සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පමණක් අපනයනය කරන රටක් වීම යන කාරණා දෙකට අමතරව යුරෝපා සංගමය විසින් තෝරාගත් ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් තම තමන්ගේ රට තුළ බලාත්මක කිරීම සඳහා සාධාරණ සහ පැහැදිලි කැපවීමක් දක්වා තිබිය යුතුයි. GSP+ සහනාපේක්ෂිත රටවල් මේ කියන ජාත්‍යන්තර සම්මුතීන් 27 මුළුමනින්ම සහ ඒ ආකාරයෙන්ම තම තමන්ගේ රටවල බලාත්මක කළයුතු යැයි යුරෝපා සංගමය මෙතැනදි අවධාරණය වෙන්නේ නැහැ. ඔවුන් මෙතැනදී බලාපොරොත්තු වෙන්නේ විවිධ පනත් සහ රෙගුලාසි හරහා ඉහත ජාත්‍යන්තර සම්මුතීන්වල සඳහන් වන සංකල්ප ආරක්ෂා කිරීමත් රාජ්‍ය පාලනයේ තීන්දු තීරණ තුළ එකී ජාත්‍යන්තර සම්මුතීන්වලට පටහැණි ආකාරයේ ක්‍රියාවන් සිදු නොකිරීමත් කියන කාරණා පමණයි.

ශ්‍රී ලංකාවත් ඇතුළත්ව ලෝකයේ රටවල් 11 ක් මේ වනවිට GSP+ සහන ක්‍රමයේ ප්‍රතිලාභ ලබනවා. දකුණු ආසියානු කලාපයෙන් පාකිස්ථානයත්, ඉක්වදෝරය සහ බොලීවියාව වැනි දකුණු ඇමරිකානු රටවලුත් මෙම ලැයිස්තුවේ සෙසු සාමාජිකයන් අතර ඉන්නවා.

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව එය GSP+ සහන ක්‍රමයේ ප්‍රතිලාභියෙකු වීම ආර්ථික වශයෙන් වැදගත් වෙන්නේ කෙසේද සහ කලින් සඳහන් කළ ජාත්‍යන්තර සම්මුතීන් 27 න් අවධාරණයට ලක් වෙන්නේ කුමන කාරණාද යන මාතෘකා මීළඟ ලිපියෙන් අවධානයට ලක්කරමු.

ප්‍රගීත් ලියනාරච්චි

තවත් කොටසක් මීළඟ සමබිම කලාපයෙන් බලාපොරොත්තු වන්න.

මෙම ලිපි මාලාවේ පලමු කොටස මෙතනින් කියවිය හැක 

මෙම ලිපි මාලාවේ දෙවන කොටස මෙතනින් කියවිය හැක 

මෙම ලිපි මාලාවේ තෙවන කොටස මෙතනින් කියවිය හැක 

Recent Posts

Tags: ,

Leave a Comment