දුර්වල(ම) ආණ්ඩුවෙන් හොඳට(ම) වැඩ ගැනීම

Aug 15th, 2017 | By | Category: EDITOR'S CHOICE, LEAD NEWS, Today Lead News

යහපාලන ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් බව පොදු ජනයා අතර ජනප්‍රිය මතයකි. දේශපාලන විචාරකයන් එම අදහසම ටිකක් බර කර කියන්නේ මෙය දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බවයි. අනුර දිසානායකගේ වචනයෙන් කියනවා මෙය ඉතිහාසයේ දුර්වලම ආණ්ඩුව නිසා ඕනෑම විටක වට්ටන්න හැකිය. මෙසේ ආණ්ඩුව දුර්වල යැයි කියන්නට හේතු පාදක වන කරුණු කිහිපයක් අපට පරීක්ෂා කළ හැකිය.

01. 2015 පෙර පැවතියේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යොදාගෙන රට පාලනය කරනවා වෙනුවට විධායකයෙන් පමණක් පාලනය කළ යුගයකි. දැන් ව්‍යවස්ථාදයකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුනම නැවතත් ක්‍රියාත්මක වේ. සමහරු එය ආණ්ඩුවේ දුර්වලතාවයක් ලෙස දකියි.

02. එසේම කලින් ඉතාම බලවත් ලෙස පැවැති විධායකයේ බලතල 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අඩු කර තිබේ. එය ආණ්ඩුවේ දුර්වලතාවයක් ලෙස කෙනෙකුට පැවසිය හැකිය.

03. ප්‍රධාන පක්ෂ දෙක ජාතික ආණඩුවක් ලෙස එක්ව දේශපාලන බලය බෙදාගෙන ඇති නිසා ව්‍යවස්ථාදායකය තුළ තනි පක්ෂයකට අවශ්‍ය ලෙස කටයුතු කිරීමේ ඉඩ ඇහිරී ඇත. එයද ආණ්ඩුවේ දුර්වලතාවයක් ලෙස දැක්විය හැකිය.

04. අධිකරණයට සහ අනෙකුත් ස්වාධීන කොමිෂන් සභාවලට දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නිදහසේ කටුයතු කිරීමට ඉඩක් විවරව ඇති අතර එයත් ආණ්ඩුවේ දුර්වලතා ගිණුමට එකතු වේ.

05. රටේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ භාෂණයේ නිදහස කලින්ට වඩා තහවුරු වී ඇති අතර එය ආණ්ඩු විරෝධී මාධ්‍ය සහ විරුද්ධ දේශපාලන පක්ෂ උපරිමයෙන් භාවිතා කරයි. එයත් ආණ්ඩුවේ දුර්වලතාවයක් ලෙස හඳුන්වන අය සිටිති.

06. ආණ්ඩුවට එරෙහිව සංවිධානගත වීම, විරෝධතා දැක්වීම වැඩවර්ජනය කිරීම් සඳහා ද පෙරට වඩා නිදහසක් ඇති අතර එය මේ වන විට එය හොඳින් භාවිතයට ගැනීම ආණ්ඩුවේ දුර්වලතාවයක් ලෙස දකින අය ඇත.

07. ආණ්ඩුව ඉටු කළ යුතු කාරණා අතින් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසදුමක් දීම අධිනිශ්චය වී ඇති අතර එහි ව්‍යුහාත්මක ප්‍රකාශනය වන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය දෙමළ ජාතික සංධානය වීමයි. එම නිසා ආණ්ඩුවට ජාතික ප්‍රශ්නය කිසි ලෙසකින් මඟහැර යා නොහැකි වී ඇත. එයත් ආණ්ඩුවේ දුර්වලතාවයක් ලෙස දකින පිරිසක් ඇත.

08. ආර්ථික සංවර්ධනයේදී ද එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි ප්‍රතිපත්තියක් මත ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තීන්දු ගැනීමට ජාතික ආණ්ඩුවේ සැකැස්ම විසින්ම අහුරා ඇත. සමහරුන්ට අනුව එය ආණ්ඩුවේ දුර්වලතාවයකි.

09. පුළුල් මහජන සංවාදයකින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව උත්සාහ දරන අතර එම ක්‍රියාවලියට එරෙහිව දැනටමත් ජාතිවාදී බලවේග යුද ප්‍රකාශ කර ඇත. එම නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආණ්ඩුවේ දුර්වලකමක් ලෙස දකින අය සිටිති.

10. අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට එරෙහි පනත ගෙන ඒම වැනි සංහිඳියාව වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පවා ඇතැමෙකුට අනුව ආණ්ඩුව දුර්වලතාවයක් වේ.

11.සංහිඳියා යාන්ත්‍රණ ගොඩනැගීම ප්‍රමාද වීම ආණ්ඩුවේ දුර්වලතාවයක් ලෙස සිවිල් සමාජය සහ දෙමළ සමාජය දකියි. සිංහල ජාතිකවාදී බලවේග කල්පනා කරන්නේ මෙම යාන්ත්‍රණ පිහිටුවීම. වනාහි බටහිර රටවලට යටවූ ආණ්ඩුවේ දුර්වලතාවයක් ලෙසයි.

12. දූෂණ වංචා ගැන පරීක්ෂණ නොමැති වීම ආණ්ඩුවේ දුර්වලතාවයක් ලෙස දකින කණ්ඩායමක් සිටින අතර දැන් ආණ්ඩුව උපරිම ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරමින් බැඳුම්කර කොමිසම හමුවේ තම ප්‍රබලතම අමාත්‍යවරයෙකු වන රවී කරුණානායකව දැඩි ලෙස ප්‍රශ්න කර ඇත. එම නිසා එයද ආණ්ඩුවේ දුර්වලතා ගොඩට එකතු වේ.

නමුත් මේ එකක්වත් සැබැවින්ම ආණ්ඩුවේ දුර්වලතා නොව කාලයක් අපට අමතකව ගොස් තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය ආදිය සෙමින් සෙමින් ක්‍රියාත්මක වීමේ ස්වරූපයි. එම නිසා ආණ්ඩුව දුර්වලයි ලෙස නිතර වරනැගීම හුදු මතුපිට කියවීමක් පමණි. සැබැවින්ම යහපාලන ආණ්ඩුව දුර්වල එකක් නොවේ. ආණ්ඩුවේ මතුපිටින් පෙනෙන දුර්වල ස්වභාවයම එහි ශක්තිය වේ. තවමත් බොහෝ දෙනෙකුට මෙය තේරුම් ගන්නට හැකි වී නැත. මෙය ප්‍රතිවිරුද්ධ උදාහරණයකින් මෙසේ පැහැදිලි කළ හැකිය. 2015 පෙර පැවැති ආණ්ඩුවේ ශක්තිය ලෙස බොහෝ දෙනෙකු සැලකුවේ රාජපක්ෂ පවුලෙන් මෙහෙයවනු ලැබූ විධායකයයි. එහෙත් එම ආණ්ඩුව පරාජය වීමට තරම් දුර්වලතාවය වූයේද එම විධායක බලයයි. එම නිසා පැවැති ආණ්ඩුව ඉතා බලවත් ලෙස පෙනෙන්නට තිබූ අතර මෙම ආණ්ඩුව දුර්වලම ආණ්ඩුවක් ලෙස හැඳින්විය හැකිය. එම තත්ත්වය තේරුම් ගෙන එයට ප්‍රතිවිරුද්ධව ගොඩනැගුණ යහපාලන ආණ්ඩුවේ පෙර කී දුර්වල ස්වභාවයම එහි ශක්තිය වේ. විරුද්ධවාදීන් ආණ්ඩු වට්ටන්නේ එහි ශක්තිමත් තැනට ප්‍රහාර එල්ල කිරීමෙනි. එහෙත් මෙම ආණ්ඩුවේ එසේ ශක්තිමත් විය යුතු තැන් ව්‍යුහාත්මකවම දුර්වල කර ඇති නිසා කොතෙක් පහර දුන්නත් ප්‍රයෝජනයක් නැත.

සැබැවින්ම මෙසේ ආණ්ඩුවේ දුර්වලතා ලෙස හඳුන්වන අවස්ථාවන්ගෙන් ජනතාවට ප්‍රයෝජන ගත හැකි නමුත් තවමත් සැබෑ ප්‍රයොජනයක් ගන්නේ නැත. උදාහරණ ලෙස ස්වාධීන කොමිෂන් සභා පෙන්විය හැකිය. තවමත් තොරතුරු පනත, මානව හිමිකම් කොමිසම, අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂම වැනි ආයතන සමඟ ජනතාවගේ ඓන්ද්‍රීය සම්බන්ධයක් නැත. එම නිසා යහපාලනයේ ඊනියා දුර්වලතාවය නිසි ලෙස ප්‍රයොජනයට ගනිමින් කොමිස්වලින් වැඩ ගැනීම අතහැර කොමිෂන් සභාවලින් වැඩ ගැනීම ජනතාව හුරු විය යුතු යැයි අපට හැඟේ. එම නිසා මෙතැන් සිට සමබිම පුවත්පතේ වැඩි ඉඩක් යහපාලන ආණ්ඩුව ගැන සිතට නැගෙන සිතුවිලිවලින් පුරවනවා වෙනුවට කරළියට එමින් සිටින ස්වාධීන කොමිෂන් සභා, නව ආයතන, නව නීති රීති සහ අයිතිවාසිකම්වලින් වැඩ ගැනීම සම්බන්ධයෙන් මෙන්ම එම ආයතන සහ සැබෑ ජනතාවගේ ගැටලු අතර සංවාදයක් ඇති කිරීමට අපගේ වැඩි අවධානයක් යොමු වේ.

 සටහන- ප්‍රබෝධ රත්නායක

 2017 අගෝස්තු සමබිම කලාපයේ කතුවැකියෙන් උපුටා ගන්නා ලදි .

Recent Posts

Tags: , ,

Leave a Comment