අස්ගිරිය අස්සෙන් නල්ලූර් මතු වීම

Aug 21st, 2017 | By | Category: LEAD NEWS, Today Lead News, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සාමිනාදන් විමල් - සමබිම තිරු ලිපි

මෑත සති කීපය තුළ දෙමළ ජනමාධ්‍යවල වැඩිපුර සඳහන් වූ වචනයක් බවට ‘අස්ගිරිය’ යන්න පත්විය. ඇත්තෙන්ම මෙම වචනය දෙමළ සමාජයට බොහෝ සෙයින් ආගන්තුක වචනයක්ය. බොහෝ විට අස්ගිරිය යන වචනය මෙයට පෙර දෙමළ අයගේ සවනට පැමිණියේ ක්‍රිකට් ක්‍රීඩාව සමඟය. ඒ අස්ගිරිය ක්‍රිඩාංගණය හේතුවෙන්ය. කෙසේවුවත් මෙවර අස්ගිරිය යන වචනය දෙමළ සමාජයට ඇතුළු වූවේ ‘අලුත් ව්‍යවස්ථාවක් එපා’ යන ඝෝෂාවත් සමඟය. එහෙයින් අස්ගිරිය යන්න ගැන හාරා ඇවිස්සීමක් දෙමළ ජනමාධ්‍ය තුළින් සිදු කෙරුණි. අස්ගිරිය තුළින් ඉහළට මතුවුණු මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට හෝ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට එරෙහි විරෝධය පිළිබඳවත් එම විරෝධයේ අභියෝගය ජයගැනීමේ අවශ්‍යතාවය පිළිබඳවත් සාකච්ඡා කිරීම වැදගත් වුවත් මම මෙහිදී අවධානය යොමු කරන්නේ මෙයට සමගාමීව උතුරෙහි වර්ධනය වෙමින් පවතින ප්‍රවණතාවයක් පිළිබඳවයි.

එම ප්‍රවණතාවය වන්නේ ආගමික සංස්ථා දේශපාලනික ව්‍යාපෘතිවල ග්‍රහණයට ලක්වීමට පටන් ගැනීමයි. බෞද්ධ භික්ෂු සංස්ථාව විෂයෙහි මෙය ඇටවුම් බැස්ස ස්වභාවයකින් යුක්ත වුවත් විශේෂයෙන්ම උතුරෙහි හින්දු ආගමික සංස්ථාව විෂයෙහි මෙය අලුත් තත්ත්වයකි. ක්‍රිස්තියානි ආගම රදගුරුවරයෙකුගේ පාලනය යටතේ පවතින කේන්ද්‍රීය ආගමික සංස්ථාවක් වශයෙන් ක්‍රියාත්මක වන අතර ඉස්ලාම් ආගමද එසේ විධිමත් සංස්ථාවක් වශයෙන් ක්‍රියාත්මක වෙයි. එහෙයින් බලයත් පැතිරවීමේ හැකියාව ක්‍රිස්තියානු සහ ඉස්ලාම් පූජක පිරිස් සතුය. නමුත් උතුරෙහි මෙම ආගම් දෙකම සුළුතරයෙහි ආගම්ය.

kl

උතුරෙහි බහුතරයෙහි ආගම ද එමෙන්ම සමාජ බල ධුරාවලියෙහිත් උතුරෙහි අනන්‍යතාවයෙහිත් ප්‍රකාශනය ලෙසින් ගෙන හැර දක්වන හින්දු ආගම එවැනි සංස්ථාපිත කේන්ද්‍රීය පාලනයක් සහිත ආගමක් නොවෙයි. අනෙක් අතට හින්දු ආගමික පූජකවරු වනාහි හින්දු ගිහියන් කෙරෙහි අධිකාරිමය බලයක් සහිත පිරිසක් නොවෙති. එයට වෙනස්ව හින්දු ආගමික පූජකවරු වැටුප් ලබන වෘත්තිකයන් පිරිසක් යැයි කිවහැකිය. කෝවිලෙහි අයිතිය ගිහියන් සතුවන අතර කෝවිල වෙනුවෙන් තීරණ ගැනීමේ හැකියාවක් පූජකවරුන්ට නොමැත. එහෙයින් ගිහි දේශපාලනයට ආශිර්වාද කිරීමට මිස අතපෙවීමට හැකියාවක් ඔවුන්ට නොමැත. උතුරෙහි සමාජ සැකසුම තුළ වැදගත් භූමිකාවක් දරන කුල ක්‍රමය පවා සැකසී ඇත්තේ ඉන්දියාවට වඩා වෙනස්ව යාපනයෙහිදී පූජක ආධිපත්‍යයට අවස්ථාවක් හිමි කර නොදෙමින්ය.

නමුත් වර්තමානයෙහි විශේෂයෙන්ම යුද්ධයට පසුව කාලයෙහි හින්දු ආගමික පූජකවරුන්ව දේශපාලනය කෙරෙහි ඈඳා ගැනීමට දරන උත්සාහයන් වර්ධනය වෙමින් පවතින ප්‍රවණතාවක් දක්නට ලැබෙයි. මෙයට ප්‍රධාන හේතු කීපයක්ම දැක්විය හැකිය. එයින් පළමුවැන්න දකුණෙන් උතුරට පැමිණෙන දේශපාලනික “ප්‍රභූවරු” රඟ දක්වන භූමිකාවයි. ඒ අනුව දෙමළ සමාජයට ප්‍රවේශවීමේ දොරටුවක් ලෙසින් ද හිත දිනා ගැනීමේ උපායමාර්ගික ක්‍රියාවලියක් ලෙසින් ද හින්දු ආගමික සංස්ථාව භාවිත කිරීම දක්නට ලැබෙයි. සිංහල බෞද්ධ සමාජයෙහි දළදා මාලිගාවටත් මහ සංඝයා වහන්සේලාටත් පවතින සමාජ දේශපාලනික බලය නල්ලූර් කෝවිලටත් එහි පූජකතුමාටත් පවතින්නේය යන උපකල්පනය බොහෝ ලෙසින්ම මෙයට හේතු වී ඇත. නල්ලූර් කෝවිලට යෑම පමණක් නොව කෝවිලේ පූජකතුමාව හමුවීම සඳහා දකුණේ දේශපාලකයන් පුළුල් මාධ්‍ය ආවරණයක් දෙන්නේ මේ නිසාය. යාපනයට පැමිණෙන පිටස්තරයෙකු නල්ලූර් කෝවිලට යෑම සාමාන්‍ය දෙයක් වුවත් කෝවිලේ ‘ආදීනම්’ නමින් හැඳින්වෙන පූජක සංස්ථාවෙහි භාරකරු හමුවීම වනාහි හුදු ආගමික අරමුණකට එහා ගිය දෙයක් සංකේතවත් කිරීමක් බවට පත්වෙයි. දළදා මාලිගාවට යන සියල්ලෝම මහනායක හිමිවරු හමු වී ආශිර්වාදය ලබා ගැනීම හෝ උපදෙස් ලබා ගැනීම කරන්නේ නැත. එසේ හමුවීමත් ආශිර්වාදය ලබා ගැනීමත් උපදෙස් ලබා ගැනීමත් සිදු කෙරෙන්නේ හුදු බැතිමතෙකුට එහා ගිය පුද්ගලයෙක් ආගමික අපේක්ෂාවට එහා ගිය අරමුණු වෙනුවෙන්ය.

නල්ලූර් කෝවිල ආගමික කටයුතු සඳහා පමණක් නොව පා ගමන් උපවාස ආදී දේශපාලන ක්‍රියාමාර්ග ආදිය ආරම්භ කෙරෙන සංකේතාත්මක වැදගත් සහිත ස්ථානයක් බවට වර්තමානයෙහි පත්වෙමින් පවතින්නේ මෙම ප්‍රවණතාවයෙහි වර්ධනයත් සමඟය. හින්දුන් වෙනුවෙන් පෙනී සිටීමට කෝවිල් ඉදිරියට ආ යුතුය යන අදහස බලවත් ලෙසින් පෙරට එන්නේ යුද්ධයට පසුවයි. එහිදී බෞද්ධ භික්ෂු සංස්ථාවෙහි භූමිකාව ආදර්ශයක් බවට පත් කරගැනීම දක්නට ලැබෙයි. එහෙයින් උතුරෙහි ආගමික සංස්ථා දේශපාලන ක්ෂේත්‍රය තුළට ඈඳා ගැනීම වේගයෙන් වර්ධනය වීම සිදු වෙයි. මෑතකාලීනව මෙයට හොඳ උදාහරණයක් වන්නේ උතුරු පළාත් සභාවට අදාළව ඇති වූ අර්බුදයෙහිදී විග්නේශ්වරන් සහ මාවෛ සේනාධිරාජා යන පාර්ශ්ව දෙකම වෙන වෙනම යාපනයෙහි රදගුරු සහ නල්ලූර් ආදීනම්හි ප්‍රධාන පූජකතුමාව හමුවීමත් මෙකී ප්‍රශ්නය විසඳීම උදෙසා එම ආගමික පූජක දෙපළගේ මැදිහත්වීම ප්‍රකටව පෙනීමත්ය. මෙය සමස්තයක් වශයෙන් ලෞකික ප්‍රශ්න වෙනුවෙන් ආගමික නායකයන්ගේ මැදිහත්වීම සමස්තයක් ලෙසින් ලංකාවෙහි සෑම ආගමකටම පොදුය යන බැරෑරුම් සහගත නිගමනයට පැමිණීමට සලස්වයි.

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය  සාමිනාදන් විමල්

Recent Posts

Leave a Comment