ක්‍රීඩාව ඉතුරු කොට වීරයා ගෙදර යෑම

Aug 21st, 2017 | By | Category: OTHER NEWS, Today Lead News

උසෙන් බෝල්ට් ජනප්‍රියයි, දක්ෂයි, නිතරම සිනාසෙනවා, ඡායාරූපවලටත් නියමයි, මීඩියාත් කැමැතියි, වයසත් අඩුයි. ජැමෙයිකානු ජාතිකයෙක් නිසා එයාගේ රටටත් මිනිස්සු කැමැතියි. බෝල්ට් පිටියට එද්දි ක්‍රීඩා ලෝලීන් ෆුල් චියර් එක දෙනවා. ජස්ටින් ගැට්ලින් ඇමෙරිකානු ජාතිකයෙක් නිසා එයාගේ රටට මිනිස්සු කැමැතිත් නැහැ, ගැට්ලින්ට කැමතිත් නැහැ, තහනම් උත්තේජක ගත්තා කියලා වසර හතරක් ක්‍රීඩා තහනම් වුණා. මීඩියාවලින් නිතර බැනුම් අහනවා. ෆොටෝවලට ගතියකුත් නැහැ. හිනා වෙන්නෙත් නැහැ, වයසත් වැඩියි. ගැට්ලින් ක්‍රීඩා පිටියට එනකොට ක්‍රීඩා ලෝලීන් කරන්නේ හූ කියන එක. 

ඒත් ගැට්ලින් පුළුවන් වෙනවා බෝල්ට්ගේ අන්තිම තරගයේදී බෝල්ට්ව පරද්දන්න. ඒ දුවල විතරක් නෙමෙයි, තමන්ට පැරදුන තමන්ගේ ප්‍රධානම ප්‍රතිවාදියාට සලකන්නේ කොහොමද කියන එකත් පෙන්වලා. බෝල්ට් ක්‍රීඩාවෙන් සමුගත්තේ කාලයක් පුරා ක්‍රීඩා ලෝලීන්ගේ හිතේ ඉන්න වීරයෙක් විදිහටයි. හැබැයි බෝල්ට් සමුගත්ත කියලා ලෝකේ මීටර් 100 දුවන එක නවතින්නේ නැහැ. බෝල්ට් මීටර් 100 තරගවලට ගෙනාපු ජීවය නිසා වගේම හරිම කාලයේදී ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න තීරණයත් අපි ගොඩක් දෙනෙකුට ක්‍රීඩාවට ඇති ආශාව තහවුරු කළා. ඒත් හැම අතින්ම අවාසි සහගත තත්ත්වයක හිටියත් ගැට්ලින් අවසාන තරගයේදී එකතු කරපු ජීවය නිසා අනාගතයේදී බෝල්ට් නැති මීටර් 100 තරග බලන්නත් ආශාව ඉතිරි වුණා.

 

screen-shot-2017-08-05-at-5-07-48-pmපරණ වීරයෝ ක්‍රීඩා පිටියෙන් සමුගනිද්දි අලුත් වීරයෝ ක්‍රීඩා පිටියට එකතු වෙද්දි ක්‍රීඩාව විනාශ නොවී පැවතුණොත් ක්‍රීඩා ලෝලීන් දිගටම ක්‍රීඩාව සමඟ ඉඳීවි. මේක ක්‍රීඩාවට විතරක් නොවෙයි අනිත් දේවල්වලටත් අදාළයි. ඇමරිකාවටයි ජැමෙයිකාවටත් විතරක් නොවෙයි, අපේ රටටත් අදාළයි. පරණ වීරයෝ අදාළ කාලයේදී සමුගන්න ඕනි වගේම රටේ ආයතන, නීති රීති සහ දේශපාලනයේ ජීවය ඉතුරු කරන්නත් ඕනි. අලුත් අයත් පරණ කෙනාට අවශ්‍ය ගෞරවය දීලා සමුඅරන් අර ආයතන පද්ධතියෙන් වැඩ ගන්න ඕනි.

හැබැයි අපේ ජනප්‍රිය නමුත් පැරදුන පරණ වීරයෝ අවශ්‍ය වෙලාවට සමුගත්තේ නැහැ වගේම හිටපු කාලෙත් මේ රටේ ආයතන, නීතිරීති සහ දේශපාලනයේ ජීව ගුණය රැක ගත්තෙත් නැහැ. වැඩිය ජනප්‍රිය නැති නමුත් තරගයෙන් දිනුව අලුත් වීරයාට ඒ නිසා තාම සිද්ධ වෙලා තියෙන්නේ පරණ වීරයාට විවිධ ආකාරයේ ගෞරවනීය සමුගැනීම් සූදානම් කරන්න වැඩි කාලයක් ගත කරන්න. හැබැයි ඒක නිසා වෙන්නේ පරණ වීරයා විනාශ කරපු රටේ ආයතන සහ දේශපාලන පද්ධතිය හදන්න තියෙන කාලය ක්‍රමයෙන් අඩු වෙලා යන එකයි. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට තරගය බලන්න තියෙන ආශාව මැරෙන්න කලින් පරණ වීරයාට සමුදීලා ඒ කාලයේ විනාශ කරපු ක්‍රීඩාව ගොඩගන්න එක වහාම කරන්න අවශ්‍යයි.

සටහන ප්‍රබෝධ රත්නායක 

Recent Posts

Leave a Comment