එදා අපි අතුරුදන් කරපු ආණ්ඩු ඉවර කළා අද ආණ්ඩුව ලවා අතුරුදන් කරවීම් ඉවර කරනවා

Aug 25th, 2017 | By | Category: LEAD NEWS, Today Lead News

බලහත්කාරයෙන් අතුරුදන් කරවීම් සම්බන්ධ දිර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුයි. මේ ගැන ඔබේ පැහැදිලි කිරීම කෙබඳුද? 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන්ම අතුරුදන් කරවීම් සලකුණු කරන සිද්ධීන් තුනක් තිබෙනවා.  1971 කැරැල්ලේ දී අතුරුදන් කරවීම් පිළිබඳ බරපතළ ලෙස කථාබහක් ඇති වුනේ නැති වුනත් ඇතමෙක් කියනවා එවැනි සිදුවීම් තිබුණා කියල. නමුත් 1989 දකුණේ කැරැල්ලේදී සිදුවුණ අතුරුදන්වීම දේශපාලන උපකරණයක් ලෙස භාවිතා වුණා, ඒ කැරලිවලට සම්බන්ධ වූ තරුණයින්ව බියවැද්දීමට හා මර්දනයට. මෙම ක්‍රියාවලියට  එරෙහි ව්‍යාපාරවල නායකත්වය දරපු මහින්ද රාජපක්ෂ, ඒ කාලේ කිව්වේ අතුරුදන් වූ පිරිස 60,000ක් කියලයි. ඒ පිළිබඳව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බලයට පත්ව පිහිටවූ කොමිසමට වාර්තා වුනේ 26,000ක ප්‍රමාණයක්. ඒ  අවස්ථාවේ දකුණේ පමණක් නොවෙයි, විශාල වශයෙන් නැගෙනහිරත් අතුරුදන්වීම් සිදුවුණා. ඊට ඉන්දීය හමුදාව සහ එස්ටීඑෆ් එක විශේෂයෙන් හේතුවුණා. 1989 දී අතුරුදන්වීමේ සංකේතය වුනේ ‘ටයරය.’ මොකද ටයර් දාලා තමයි මීනී ගොඩක් පිච්චුවේ. ඊට පස්සේ යුද්ධ කාලේ අතුරුදන්වීම් සංකේතවත් වුනේ ‘සුදු වෑන්’ එකෙන්. මොකද පුද්ගලයින් පැහැරගැනීම් සිදුකළේ සුදු වෑන් යොදාගෙන. යුද්ධය තුළ දිගින් දිගටම අතුරුදන්වීම් සිදුවුනත් ඒ ආශ්‍රිත අතුරුදන්වීම් පිළිබඳ පැහැදිලි නිරවුල් සංඛ්‍යා ලේඛන නැහැ. උදාහරණයක් ලෙස මන්නාරමේ රදගුරුතුමා කියනවා, යුද මුක්ත කලාපයට ඇතු`ඵ වූ සහ ඉන් පිටවූ පුද්ගලයින් ගණනේ වෙනස 1,46679ක පමණ ප්‍රමාණයක් කියල. යූඑන් එකේ සමහර නිලධාරීන් කියනවා, එය 40,000 ක ප්‍රමාණයක් කියල. ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ පරණගම කොමිසමට වාර්තා වී ඇති ඝාතන සහ අතුරුදන් කරවීම් සංඛ්‍යාව 18,889ක් වන අතර හමුදාවේ එවැනි සිද්ධි පන්දහසක පමණ ප‍්‍රමාණයක් එයට වාර්තා වී තිබෙනවා.

DSC_0279

ලංකාවේ ආණ්ඩු පෙරලන්න පවා හේතු වූ කාරණාවක් අතුරුදන් කිරීම් කියන්නේ. නමුත් එවැනි පෙරලීම්වලින් හෝ අතුරුදන්වූවන්ගේ පවුල්වලට සිදුවූ සාධාරණය මොකක්ද?

අතුරුදන් වීම් මූලික කරගනිමින් 1989දී ලංකාවේ ව්‍යාපාර දෙකක් හැදෙනවා. ඒ, මව් පෙරමුණ හා අතුරුදන්වූවන්ගේ මා පිය දූ දරු සංවිධානය නමින්. ඔවුන් තමයි මෙම ක්‍රියාකාරීත්වයේ පෙරමුණගෙන කටයුතු කළේ. ඔවුන් විශාල වශයෙන් උද්ඝෝෂණ කිරීම්, පා ගමනක් වැනි දේ මගින් දකුණේ මිනිස්සුන්ට ඒත්තු ගැන්වීමට සමත් වුණා යම් ආකාරයකට අතුරුදන් කරවීම් සාධාරණ නැහැ කියන දේ. 

මේ නිසාම 1994 මැතිවරණයේදී ශක්තිමත්ව තිබූ යූඑන්පී ආණ්ඩුව පරදිනවා. එයට බලපෑවේ දකුණේ මේ සම්බන්ධයෙන් ඇති කළ ජනමතය. නමුත් එය යුද සමයේදී බරපතළ ලෙස වෙනස් වෙනවා. මොකද යුද්ධයේදී එල්ටීටීඊය සංවිධානය තමන්ගේ යුද උපක්‍රම විදිහට සාමාන්‍ය ජනතාවගේ ගම්වලට පහරදීම, බස් රථ වලට පහර දීම, මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගැනීම වැනි කාරණා නිසා දේශපාලනික වශයෙන් එල්ටීටීඊය අරගලය දිහා බලපු අය හැරෙන්න පොදු සාමාන්‍ය මිනිහෙකුට තමුන්ට අනතුරක් වේය යන හැඟීමක් තිබුණා. ඒනිසාම මහින්ද රාජපක්ෂගේ ක්‍රියාකාරීත්වය තුළ යුද්ධය අවසන් වුනාම, දකුණේ මිනිසුන් බහුතරයකට පොඩි විශ්වසනීයභාවයක් දැනෙන්න ගත්තා. ඒ දැනීම මහින්ද රාජපක්ෂට 2010 වසරේ පැවති මැතිවරණයෙන් ලක්ෂ 18 ජයග්‍රහණයක් හිමිකර දෙනවා. ඒ වගේම ඔහුට හැකි වුණා මාධ්‍ය මඟින් එල්ටීටීඊය පරාජය කිරීම පෙන්වමින්, සිදු කෙරෙනු අතුරුදන් කරවීම්, නීති විරෝධී ඝාතන සියල්ල සිදුවිය යුතු දේ බවට මහජන මතය හදන්න.   

1989 දී ජාත්‍යන්තර මට්ටමින් මේ ප්‍රශ්නය බරපතළ ලෙස සාකච්ඡා වුනේ නැහැ. දකුණ නිශ්ශබ්ද සහයෝගයක් යුද්ධයට දැක්වූ නිසාම ජාතික මට්ටමේ උද්ඝෝෂණ සාර්ථක වුනෙත් නැහැ. නමුත් යම් ප්‍රමාණයකට උතුරේ උද්ඝෝෂණ සහ එහි සිදු වූ විවිධ ක්‍රියාකාරකම් නිසා ජාත්‍යන්තර මට්ටමේ අවධානය ඊට ලබා ගැනීමට හැකි වුණා. ඒ නිසා උතුරේ යුද්ධය වැඩිපුර සාකච්ඡා වුනේ ජිනීවාවල. නමුත් ප්‍රශ්නය වුනේ 1989 යේ අතුරුදන් කරවීම්වලට 1994දී කොමිසම් පත්කර, නිර්දේශ ඉදිරිපත් කළවිට ඒ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම. නමුත් ඒ අවස්ථාවේ යුද්ධය නිසා ඒ තත්ත්වය යටපත් වෙනවා වගේම අතුරුදන්වූවන්ගේ දෙමාපියන්ට මරණ සහතිකයක් සහ පොඩි වන්දි මුදලක් ලැබුන විට ඒ අයටත් සංවිධානවලටත් සත්‍ය දැනගැනීමේ සහ නැවත සිදු නොවීම යන කාරණා මත තවදුරටත් රඳා සිටීමට බැරිව ගියා. ඒ අවස්ථාවේ බලයට පත් චන්ද්‍රිකාගේ ආණ්ඩුව අතුරුදන්වීම් ගැන සොයා බැලීමට කැමති වූ ආණ්ඩුවක්. ඒ නිසා වින්දිතයන්ගෙන් හෝ සිවිල් සංවිධානවලින් බරපතළ අභියෝගයක් ආණ්ඩුවට එල්ල වුනේ නැහැ. ඒ නිසාම අපි ඉගෙන ගත යුතු පාඩමක්, දැන් මේ ආණ්ඩුවට මොන හේතුවක් මත හෝ ජාත්‍යන්තරය ඉදිරියේ කියන්න සිදුව තිබෙනවා අපි මේ අතුරුදන් කිරීම්වලට එරෙහිව සාධාරණයක් කරනවා කියලා. එය ඉෂ්ට කර ගැනීමට 1996 අත්දැකීම්ද සමඟ අපට බරපතළ ලෙස කටයුතු කරන්න සිදුවෙනවා. පසුගිය ආණ්ඩුවලට වඩා මේ රජය යම් ප්‍රමාණයකට අතුරුදන්වීම් සොයන්න මිත්‍රශීලි වුනත් එය තවමත් නිසි ලෙස සිදු නොවෙමින් පවතින තත්ත්වයක් යටතේ කොහොමද මේ දුන් පොරොන්දු ඉටුකරගන්නේ කියන කාරණයට බර තබන්න අපට සිදුවෙනවා. 

අතුරුදන් කිරීම් වැඩි වශයෙන් සිදුවන්නේ ඉතිහාසයේ ඇති වූ දේශපාලනික කැරලි/අරගල මුල් කරගෙන. එවැනි තත්ත්වයක අතුරුදන් කරවීම්වලට අප විසඳුම් සොයන්නේ ඒ අරගලවලට මුල් වූ දේශපාලනික හේතූන් මඟ හැරලද? 

අසූනවයේ කැරැල්ලට හේතුවූ මූලික කරුණු ඒ සම්බන්ධයෙන් පිහිටවූ කොමිසම් වාර්තාවල අඩංගු වුණා. ආර්ථික පීඩනය වැනි තරුණ කැරැල්ලට හේතු වූ මූලික කාරණා එහිදී සාකච්ඡාවට ගත්තා වුනත් ඒවාට දෙන විසදුම් ක්‍රියාත්මක කරන්න ආණ්ඩු උනන්දු වුණේ නැහැ. අරගලයේ වින්දිතයෝ බවට පත් වුන අයත් එහි දේශපාලනික ස්වරූපය අවබෝධ කරගත්තේ නැහැ. ඔවුන් යොමු වුනේ තමන්ගේ නැතිවූ ස්වාමිපුරුෂයා හෝ දරුවා සොයාගන්න, නැත්තම් මරණ සහතිකයක් හෝ වන්දියක් ගන්න. 1996 යේ කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිව කියනවා ඉදිරියට සිදුනොවන්න නම් මේ ආකාරයෙන් කටයුතු කළ යුතුයි යන්න. නමුත් මේ යුද්ධයේදී සිදුවුනේ පැහැදිලිවම සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් බෙදී යාම. ඒ බෙදුම තවම සමනය කර ගන්න බැරි වීමේ තරම පෙන්වනවා, දකුණ මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන කොට මෛත්‍රීපාල සිරිසේනට දෙමළ සහ මුස්ලිම් බහුතරය ඡන්දය දීමෙන්. ඒ යුද්ධයට හේතුවුනෙත් එක්තරා විදිහක ආර්ථික හා දේශපාලනිකමය කරුණු වුනත් ඒ පිළිබඳව විග්‍රහයක් මේ ආණ්ඩුවලට නැහැ. දෙමළ මිනිසුන්ව ජාතියක් ලෙස පිළිගැනීම, ඒ මිනිසුන්ගේ ආර්ථීක තත්ත්වයන් වර්ධනය කිරීම, ඒ අයට මේ සමාජයේ සමාන තත්ත්වයකින් ජීවත් වීමට සැලැස්වීම හා ඒ සම්බන්ධයෙන් විශ්වාසය ගොඩනැන්වීම යනාදිය මේ ආණ්ඩු කරන්නේ නැහැ. ඒ නිසා යම් ප්‍රමාණයකට අතුරුදන්වීම් පිළිබඳ යම් විසඳීම් දුන්නත්, අර කියන අභ්‍යන්තර කාරණාවලට විසඳුම් ලබා දෙන්න ආණ්ඩුවේ අවධානය යොමු වෙනවා මදි. 

ලංකා ඉතිහාසයේ අතුරුදන් කරවීම් පිළිබඳ සොයා බැලීමට පත් කෙරුණු කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය සලකා බලද්දී, මෙම රජය විසින් යෝජනා කර, දැනට පනතක් පවා සම්මත වී ඇති අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙන් බලාපොරොත්තු විය හැකි විශේෂත්වය කුමක් ද?

මූලිකම දේ තමයි අතුරුදන්වූවන් පිළිබඳව පත්කළ කොමිෂන් සභා වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීම වෙනුවෙන් ඒ වින්දිතයන් නිසි ලෙස මෙහෙයවා ගන්න බැරිවීම. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ සංවිධානත් විවිධ හේතුන් නිසා ඒ කටයුත්ත යම් ප්‍රමාණයකට අත්හැරියා. මේ නිසා ලංකාවේ කොමිෂන් සභා වාර්තාවල නිර්දේශ විහිළු බවට පත් වී තිබෙනවා. අනෙක තමන්ගේ දුක පිළිබඳව ලියැවුණු මේ කොමිෂන් සභා වාර්තා වින්දිතයන් කී දෙනෙක් කියවලා ඇත්ද? ඒ නිසා මේ වාර්තා සහ ඒවායේ නිර්දේශ ඒවාට අදාළ වින්දිතයන් සහ ඒ ඒ ජන කොට්ඨාශ අතර සාකච්ඡාවට භාජනය කර සමාජ ගත කරන ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමටත් තවම බැරි වී තිබෙනවා. ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක නොකෙරුව කියල ආණ්ඩුවලට හිසරදයක් හැදුනෙත් නැහැ. එතන ඉඳලා තමයි අපි අතුරුදන්වූවන්ගේ කාර්යාලය දෙස බැලිය යුත්තේ. මේක කොමිසමකට වඩා වෙනස්, ස්ථිර කාර්යාලයක්. කොමිසමක් කියන දෙයින් දැන් වෙන්නේ වාර්තාවක් එනවා; සමහරු ඒක කියවනවා; ඊට පස්සේ හුඹස් පෙට්ටියට යනවා. නමුත් මේක අතුරුදන්වූවන් පිළිබඳව ක්‍රියා කරන ස්ථීර කාර්යාලයක් නිසා වින්දිතයන්ට, මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එම කාර්යාලයට දිනපතාම ගිහින් විමසීම් කරන්න පුළුවන්. නමුත් තමන්ට වන්දියක් නැතිනම් මරණ සහතිකයක් ලැබෙන එකෙන් යම් කෙනෙක් නිශ්ශබ්ද වෙනවා නම් සත්‍ය හෙළිදරව් වෙන්නෙත් නෑ; යුක්තිය ඉෂ්ට වෙන්නෙත් නෑ. ඒ දෙකම ඉටු නොවන නිසා නැවත සිදුවීම වළක්වාගන්නත් බැරිවෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා 1996 යෙන් පාඩම් ඉගෙන ගෙන මේ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ගැන විවේචන සහ අඩුපාඩු ගණනාවක් තිබ්බත් කොමිසමට වඩා යම් ඉදිරි පියවරක් ලෙස මෙය පිළිගන්න. එහි අඩුපාඩු සකසමින්, ආරක්ෂා කරමින් කෙසේද මේ ආණ්ඩුව දුන් පොරොන්දු මත අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට විසඳුමක් ලබා ගැනීමට යම් උත්සාහයක් දැරිය හැක්කේ කියන දේ වෙනුවෙන් අත නොහැර මැදහත් වුවහොත් අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙන් ප්‍රයෝජනයක් ගත හැකියි. නැතිනම් එයත් තවත් එක් කාර්යාලයක් පමණක් වෙයි. 

ඔබට චෝදනාවක් තිබෙනවා අතුරුදන්වූවන්ගේ ව්‍යාපාරය රජයේ අතකොඵවක් බවට පත් කරන්න උත්සාහ කරනව කියල. 

1989යේ භීෂණයෙන් අවුරුදු 26 කට පසුව තමයි දැන් අඩුමගාණේ මේ සම්බන්ධ පනතක් හෝ සම්මත වෙන්නෙ. ජාත්‍යන්තර බලපෑම් මත මෛත්‍රී – රනිල් ආණ්ඩුව යම් විසඳුම් මේ සඳහා යෝජනා කරනවා. එම යෝජනා ක්‍රියාත්මක කරවා ගැනීමයි අපේ එකම බලාපොරොත්තුව. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අඩුපාඩු සහිතව වුවත් එය ආණ්ඩුව තබන ඉදිරි පියවරක්. අතුරුදන් කරවීම්වලට වගකිව යුත්තන්ට දඬුවම් කිරීම අත්‍යාවශ්‍යම කාරණයක් වුවත් ඒ පිළිබඳව විවාදයන් පැවතිය හැකියි. නමුත් අඩුම ගණනේ සිද්ධීන් පිළිබඳව සත්‍යය හෙළිදරව් කිරීමටවත් මහින්ද ඇතුඵ නඩය විරුද්ධවීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකියි. ආණ්ඩුව යමක් කරද්දී එයට විරුද්ධව එන ජාතිවාදී බලපෑම් පරාජය කරන්න අපි ආණ්ඩුවත් සමඟ හිට ගන්නවා. ආණ්ඩුව පොරොන්දු ඉටුනොකර, කල් මරද්දී ජාතිවාදීන්ගේ ගොඩට නොවැටී අපි ආණ්ඩුවට විරුද්ධව හිටගන්නවා. අතුරුදන් කිරීම්වලට ප්‍රධානම හේතුව වූ ජාතිවාදය පරාජය කර බලය බෙදීම තුළ දෙමළ ජනතාවට යම් සාධාරණයක් ඉටු කිරීමට කුමන හෝ ආණ්ඩුවක් තබන පියවරක දී අපි ආණ්ඩුවත් එක්ක හිට ගන්න පසුබට වෙන්නේ නැහැ. 

ඔබ මේ සම්බන්ධයෙන් ජනාධිපතිට, යහපාලන ආණ්ඩුවට සහ පොදු මහජනතාවට දෙන පණිවිඩය කුමක් ද?

ජනාධිපතිට කියන්න වෙන්නේ, ඔහු ක්‍රියාකරන ආකාරය නිසා ඔහු ගැන තැබූ විශ්වාසය, ක්‍රමක්‍රමයෙන් හීන වෙන්න පටන් අරන් කියන එකයි. ජනාධිපති වරින් වර මහින්දගේ ජාතිවාදී බෞද්ධ බලවේගවල, සමහර හමුදා කොටස්වල බලපෑමට ලක්වෙන බව ඔහුගේ සමහර ප්‍රකාශ වලින් පැහැදිලි වෙනවා. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ප්‍රමාදයට සම්පූර්ණයෙන්ම ජනාධිපති වගකිව යුතුයි. එය මේ තරම් ප්‍රමාද වන්නේ, එය නිසි පරිදි අමාත්‍යවරයෙකුට පවරා කටයුතු නොකිරීම නිසයි. ජනාධිපතිගේ එම ක්‍රියාව, පාර්ලිමේන්තුව අභිභවා යාමක්. ව්‍යවස්ථා විරෝධී, ඒකාධිපති විධායක බලය භාවිතා කිරිමක්. ඒ විතරක් නෙමෙයි විධායකය අහෝසි නොකළොත් ජනාධිපති අමු බොරුකාරයෙක් වේවි. 

යහපාලන ආණ්ඩුවට කියන්නෙ, යමක් කරන්න උත්සාහ කරන බව වරින් වර ජාත්‍යන්තරයට ඔප්පු කිරීමට දරන උත්සාහයට වඩා අවංකව ඒ දුන් පොරොන්දු ඉටුකරන්න උත්සාහ කරන්න කියල. තමුන් පෙනී සිටින ස්ථාවරයන් වෙනුවෙන්, විශේෂයෙන් දකුණේ පැහැදිලිව පෙනී සිටින්න. එවිට ජාතිවාදීන් සහ ජාතිවාදී නොවන අය පැහැදිලිව දෙකට බෙදෙයි. නමුත් සු`ඵ ජාතික ප්‍රශ්න විසඳන්න, බලය බෙදීම පිළිබඳ පැහැදිලි ස්ථාවරයක් ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටියොත් සාමය, සහජීවනය අගයන බහුතරයක්, යහපාලන රජය සමඟ හිටගනීවි. 

මහජනතාවට කියන්න තියෙන්නෙ, තමුන්ට වාසියක් වෙන නිසා තමුන්ගේ කොන්ද නමන්න පුරුදු වෙන්න එපා. මහින්ද රාජපක්ෂගේ බිරිඳව වංචා සහ මිනීමැරුම් චෝදනා යටතේ ප්‍රශ්න කරන්න කරන ගෙන එන විට “විහාරමහා දේවී අපේ අම්මා” කියලා කෑ ගහපු අයගෙන් අහන්න තියෙන්නේ “උඹලට ලැජ්ජා නැද්ද” කියල විතරයි. මේ මොහොතේ ඔබේ දරුවා අතුරුදන් වෙලා නැතුව ඇති. නමුත් අතුරුදන් නොවන සමාජයක් ගොඩ නොනැඟුවහොත් ඉදිරියේදී ඔබේ දරුවාද එවැනි ඉරණමකට ගොදුරු නොවනවා යැයි ඔබට ස්ථිරව කිව හැකි ද?

අතුරුදන්වූවන්ගේ පවුල්වලට කියන්නෙ, ඔවුන් මේ ප්‍රශ්නය නිසා බොහෝවිට සමාජයේ තනි වුණා. ඒත් 1970 න් පසු වතාවන් තුනක් මේ දේවල් නැවත නැවත සිද්ධ වුණා. නමුත් සිදුවුන එකම දේ එය දකුණෙන් උතුරට සහ නැගෙනහිරට මාරු වීම පමණයි. ඔබට සත්‍යය හෙළි වුනත්, යුක්තිය ඉටු වුනත්, වන්දි ලැබුනත් ඔබගේ අතුරුදන්වුන අය නැවත දකින්න ලැබෙයිද කියන විශ්වාසය නැහැ. ඔබගේ උනන්දුවේ ක්‍රියාකාරීත්වයේ තරමට අතුරුදහන් කිරීමට විරුද්ධව මහජන මතයක් ගොඩනැගේවි. බලහාත්කාරයෙන් අතුරුදන් කරවීමේ සංස්කෘතිය මෙරටින් අතුගා දැමීමට එය නිසැකයෙන්ම සහයක් වනු ඇති.

 

බ්‍රිටෝ  ප්‍රනාන්දු  

අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති

2017 08.27 දින සමබිම රාවය ඉරිදා සංග්‍රහය වෙත සාකච්ඡා කර සකස් කළේ  ශ්‍රීනිකා නිලාෂිනි

Recent Posts

Leave a Comment