සිංහල ජාතිකවාදයේ අර්බුදය

Aug 28th, 2017 | By | Category: OTHER NEWS, Today Lead News

ඥානසාර භික්ෂුව ඇතුළු විවිධ සිංහල වර්ගවාදී භික්ෂු කොටස් විසින් නායකත්වය දෙන කල්ලි හා කණ්ඩායම් රාශියක් කාලයක් ලද ඉසුඹුවකින් පසුව යළි නැගී සිටින අන්දමක් පෙනෙන්නට තිබේ. ඔවුන්ගේ මූලික පදනම ගොනු වන්නේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මතවාදය වටා වන අතර දෙමළ හා මුස්ලිම් ජන කොටස් එම මතවාදය තුළ දෙවැනි පෙළ පුරවැසියන් ලෙස ජීවත්විය යුතු බවක් කියවේ. මීට ඉහත බොහොම සාමකාමීව පත්තර පිටුවලට සීමා වී තිබූ සිංහල බෞද්ධ මතවාදය රාජ්‍ය පාලනයේ න්‍යාය බවට පත්කර ගත්තේ රාජපක්ෂ රෙජීමය විසිනි. මේ වනවිට එම ලිබරල් සාමකාමීත්වයට පවා තර්ජන එල්ල කරන මට්ටමට භික්ෂු කොටස්වල වර්ගවාදය ඉස්මත්තට පැමිණ ඇත. ඒ නිසා මෙම මතවාදය කැඩී බිඳී යන තත්ත්වයට පත්ව තිබේ.

1978 දී ගෝලීය ප්‍රාග්ධනය ශ්‍රී ලංකාව කරා එනවිට ජාතිකවාදී මතවාදයන් දැරූ සමාජ කොටස් ගොනුවී තිබුණේ ප්‍රධාන ධනපති පක්ෂ දෙක වටාය. ගෝලීය ප්‍රාග්ධනය එතෙක් ලාංකික සමාජයේ තිබූ සාම්ප්‍රදායික සමාජ පුරුෂාර්ථයන්හි පදනම් වෙනස් කරමින් සිටි අතර ඒ කම්පනයන් දරා ගැනීමට අපහසු වූ සමාජය විමුක්තියේ නව මං සොයමින් සිටියහ. විශේෂයෙන් සමාජයේ ආන්තික කොටස් තවදුරටත් ආන්තිකකරණයට ලක්වීම ද සාම්ප්‍රදායික සමාජ ස්ථරයන්ට එල්ල වූ බලපෑම් ද නිසා සමාජය තුළ ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව කඳවුරු බැඳ ගැනීමක් සිදු වුණි. එහෙත් මේ වනවිටත් සමාජ සම්බන්ධතා ප්‍රතිව්‍යුහගත වෙමින් තිබුණේ ප්‍රාග්ධනයට අවශ්‍ය ලෙසිනි. ඒ නිසා ගෝලීය ප්‍රාග්ධනය මුළුමනින්ම නොතකා කටයුතු කිරීමට සමාජයට නොහැකි වුණි. විශේෂයෙන්ම ධ්‍රැවීකරණය වෙමින් ආ අතරමැදි පන්තියට ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව කටයුතු කිරීමට නොහැකි වූයේ එම සමාජ කොටස්වල පදනම සකස් වී තිබුණේ ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාකාරීත්වය මත බැවිනි. අනෙක අතරමැදි පන්තිය විශාල ශීඝ්‍රතාවකින් වර්ධනය වී පුළුල් වූයේ ද ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාකාරීත්වය තුළය. ඒ නිසා අතරමැදි පන්තිය සමාජ විමුක්තිය සඳහා ජාතිකවාදය මත පදනම් වෙමින් දේශපාලන ක්‍රියාකාරීත්වයක ගොනු වුණි.

Ampepitiye-Monk-e1480799198674

ජාතිකවාදය එහි කෝෂාර්ථයෙන් අර්ථ දැක්වෙන්නේ ධනපති පන්තිය තුළය. ලෝකයේ සාර්ථක ජාතිකවාදී ව්‍යාපාරයක් ඇත්නම් එය පදනම් වී ඇත්තේ ධනපති පන්තිය මතය. නමුත් ගෝලීය ප්‍රාග්ධන ව්‍යාප්තිය හමුවේ තවදුරටත් පවුරු පදනම් තුළ සීමාවීමට ධනපති සමාජයට නොහැකි වුණි. පටු බෙදීම් ඉවත ලා ගෝලීය අරමුණක් වෙනුවෙන් පෙනී සිටීමට යෑමේ ප්‍රතිඵලය වූයේ ජාතිකවාදී මතයන් දැරූ සමාජ කොටස් ලාංකික ධනපති පන්තිය හැර යෑමයි. ධනපති පන්තයෙන් ගිලිහී ගිය ජාතිකවාදී මතය දෝතින් බදා ගත්තේ අතරමැදි පන්තිය වීම ලාංකික සමාජ අර්බුදයේ උභතෝකෝටිකයයි. යම් ජාතියක ස්වයං සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රයත්නය මතවාදීව සූත්‍රගත කිරීම එම ජාතියේ ජාතිකවාදයයි. ඒ අනුව පටු බේදයන් ඉක්මවා සමස්ත ජාතිය වෙනුවෙන් කටයුතු කළ හැක්කේ ධනපති පන්තියට පමණි. එම මතවාදය අතරමැදි සමාජ ස්ථර කරා ආ විට පන්ති ස්ථරයේ සමාජ වගකීම් එකිනෙකින් වෙනස් නිසා අතරමැදි පන්තිය කටයුතු කරන්නේ පුළුල් ජාතිකවාදය ඉක්මවා ගිය පරමාර්ථයෙනි. ඒ නිසා ජාතිකවාදය වර්ගවාදී අගු පිල් කරා ඇදී යෑමත් පටුවීමත් තාර්කිකය. ඒ අර්ථයෙන් ජාතිකවාදය යම් සමාජ කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ ධනපති පන්තියයේ ග්‍රහණයට එය ලක් වූ විට පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමට මූලික වූ මහනුවර මන්ත්‍රී එච්. ශ්‍රී නිස්සංක සිංහල ජාතියේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටී අයෙකි. එසේම හොරණ මන්ත්‍රීවරයා වූ විල්මට් ඒ පෙරේරා ද දණ්ඩගමුව මන්ත්‍රීවරයා වූ අයි. එම්. ආර්. ඊරියගොල්ල ද සිංහලයන් වෙනුවෙන් පෙනී සිටී දේශපාලකයන් ය. මේ මන්ත්‍රීවරුන් සැමදාම කතා කළේ සිංහල ජාතියේ අභිවර්ධනය වෙනුවෙනි. නමුත් ඔවුහු වෙනත් ජාතියක අයිතීන් කප්පාදුවක් වෙනුවෙන් කිසි දා පෙනී සිටීයේ නැත. ඒ නිසා පුරවැසිකම් පිළිබඳ විශේෂ විධිවිධාන පනත ගෙන ආ විට ඊට මේ මන්ත්‍රීවරුන් එදා විරුද්ධ වූයේ අදාළ පනත මගින් නීතියේ මූලික පදනමට අභියෝග එල්ල වෙන බව ප්‍රකාශ කරමිනි. එම පනතට පක්ෂවෙමින් ද ඇති තරම් වර්ගවාදී පිළිකනුවල ලගිමින් ද කටයුතු කිරීමට මේ මන්ත්‍රීවරුන්ට හැකි වුව ද ඔවුන් එසේ නොකළේ ඒ නිසා සිංහල ජාතියට විශේෂ වාසියක් අත් නොවන බව දන්නා බැවිනි. ඒ අර්ථයෙන් සිංහල ජාතිකවාදය අතීතයේදී පදනම් වී තිබුණේ ධනපති සමාජ ස්ථරය අතර බව ප්‍රකාශ කළ හැකිය. ඒ නිසා ජාතිකවාදයේ හැසිරීමට, වඩා විදග්ධ පදනමක් තිබුණි. අද සිංහල ජාතිකවාදය පදනම් වී ඇත්තේ අතරමැදි පන්තිය මතය. ඒ නිසා එය සිංහල බෞද්ධ වර්ගවාදයක් ලෙස පෙනී යෑම පුදුමයක් නොවේ. එය මෙම යුගය තුළ ජාතිකවාදයේ දෘෂ්ටිවාදී ගැටලුවකි.

සිංහල ජාතිකවාදී ව්‍යාපාරය පෙනී සිටීය යුත්තේ සිංහලයන්ගේ සැබෑ අයිතීන් හා උරුමය වෙනුවෙන් මිසක් අනෙකාගේ අයිතීන් හා උරුමයන් කොල්ල කා ගැනීමට නොවේ. ඒ අනුව ජාතියක් ලෙස නැගී සිටීමට අනෙකුත් සියළු බෙදීම් ඉවත ලා කටයුතු කළ යුතුය. එවැනි ජාතිකවාදී ව්‍යාපාරයක මතවාදී අවශ්‍යතාවක් සමාජය තුළ පවතින බව නොරහසකි.

 

කේ. ජී. පිලිප් ශාන්ත විසින් 2017 අගෝස්තු සමබිම කලාපයට රචිත ලිපියකි.

Recent Posts

Leave a Comment