මම ගුවන්විදුලියෙදී කරන්නේත් සිවිල් සමාජ කාර්යමයි. -නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Aug 31st, 2017 | By | Category: LEAD NEWS, Today Lead News

වෘත්තියෙන් නිතිඥයෙකු වන සුදර්ශන ගුණවර්ධන රාජ්‍ය නොවන සංවිධානයක් වන රයිට්ස් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සාමුහිකයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබිය. ජාතික සංහිදියාව සහ මානව හිමිකම් ප්‍රචලිත කිරිම සදහා වන සිවිල් සමාජ සංවිධාන පිහිටුවිමේ පුරෝගාමියෙකු වන ඔහු නිදහසේ වේදිකාවේද සම කැඳවුම්කරැවකු විය. ගත්කතුවරයෙකු, මාධ්‍යවේදියෙකු ද, සිවිල් සමාජ ක්‍රියාකාරීකයකු වශයෙන්ද විවිධ භූමික හොබවු ඔහු ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරයි. මේ මිරර් ආට්ස් ඔහුත් සමඟකළ කතාබහකි.

DSC_0775

අද වන විට නව තාක්ෂණික මාධ්‍යන් සමඟ ගත් විට ගුවන් විදුලිය වියපත් මාධ්‍යක් බවට පත්වෙමින් තිබෙනවා නේද ?කොහොමද ඒ ගුවන් විදුලිය නව තාරුණ්‍යයකට රුගෙන එන්න හැකිවෙන්නේ ?

ගුවන් විදුලිය වියපත් මාධ්‍යයක් කිය එක සත්‍යයක්ම නෙවෙයි. එහෙම කියන්නේ ඊට පසුව ආව මාධ්‍ය පෙරට ආව නිසයි. ගුවන් විදුලිය තමන්ගේම අනන්‍යතාවයකින් වියපත් නොවී පැවතිය හැකි මාධ්‍යක් කියලයි මම කියන්නේ. 

ඉස්සර ගෙදර තිබුණ පරණ රේඩියෝ සෙට් එක දැන් අයින් වෙලා. නමුත් තාක්ෂණයත් එක්ක තවත් අලුත් මාධ්‍ය ඉස්සරහට ඇවිත් තියෙනවාග අද ගමනා ගමනයේ යෙදෙද්දී වාහනවල හොද ගුවන් විදුලි යන්ත්‍ර තියෙනවා. ජංගම දුරකතනයේ රේඩියෝ ඇප් එක තියනවා.හෙඩ් ෆෝන් එකක් මිලට ගත්ත ගමන් දුරකථනය රේඩියෝ එකක් බවට පත් වෙනවා. පරිගණකයට අන්තර්ජාලය තිබේ නම් ගුවන් විදුලිය හා සම්බන්ධ වෙන්න පුළුවන්ග පිටරටක හිටියත් අන්තර්ජාලය හරහා ගුවන් විදුලියට සවන් දෙන්න පුළුවන්.

ඒ නිසාම ගුවන් විදුලිය වියපත් නැහැ. අභියෝග ජයගනිමින් හැඩගැහෙන මාධ්‍යයක්. ලෝකයේ ඕනෑම තැනක ඉදලා ඕනෑම විදියකට තමන්ගේ චැනල් එක අහන්න පුළුවන්. ඒ නිසා මේක ලොකු අභියෝගයක් නෙවෙයි.

රජයේ අනෙකුත් මාධ්‍යන් මෙන්ම ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව දැඩිව දේශපාලනීකරණයට ලක්වූ ස්ථානයක් විදියටයි හඳුනා ගැනේනනේ ?

ඇත්තටම අපිට අභියෝගයක් තියෙනවා. අපේ නම තමයි රේඩියෝ සිලෝන්. පසුව එය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වීම සමඟ යම් ආකාරයක දේශපාලනීකරණයක් තිබුණා. නමුත් ගුවන් විදුලි සංස්ථා පනත අනුව මෙය බිහිකරල තියෙන්නේ මහජන සේවා ආයතනයක් වශයෙන්. මෙහි අරමුණු වෙන්නේ අපක්ෂපාති ප්‍රවෘත්ති ජනතාවට ලබා දීම ,අනෙක් අතින් ජාතීන් අතර ආගම් අතර වෛරය ඇති නොවන ආකාරයට ක්‍රියා කිරීමල ඉහළ රසඥතාව පිබිදවීම. මෙම අරමුණු අනුව කටයුතු සිදුවුණා නම් මේ වගේ චෝදනාවක් ඇති වෙන්නේ නෑ.

කොහොම නමුත් මෙවැනි අදහසක් සමාජයේ තිබේ නම් එය වෙනස් කරන්න කාලය දැන් ඇවිල්ලා. වර්තමාන රජය බලයට පත්වූනේ ප්‍රජාතන්ත්‍රවාදය,ජාතික සංවර්ධනය,සංහිදියාව ඇති කිරීමේ න්‍යාය පත්‍රයක් මත. ඒ න්‍යාය පත්‍රය සඳහා ඉහළ රසඥතාවයෙන් යුතු සමබර පුවත් ලබා දෙනල දැනුම, විනෝදය, අවබෝධය ලබා දෙන ආයතනයක් බවට පත් කළ යුතුයි. ගුවන් විදුලි සංස්ථාවේ නම නැවත නගා සිටුවන්න හැකියි කියලා මම හිතනවා.

කෙතරම් ගුවන් විදුලි නාලිකා තිබුණත් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව තමයි භෞතික සම්පත් වලින් පොහොසත්ම ගුවන් විදුලිය. මේවායින් ගුවන් විදුලි සංස්ථාව ප්‍රයෝජනයක් ලබා ගන්නවාද? මහජනතාවට ඒවායින් ප්‍රයෝජන ලබා ගන්නට තිබෙන අවස්ථාවක් තිබෙනවද?

මම මේ තනතුරට පත්වෙලා දැනට මාස දෙකක්. මේ දේවල් ගැන සැලසුමකට ඇවිත් තිබුණත් ක්‍රියාත්මක වුණා කියන්න අමාරුයි. අපිට තියෙන පෞද්ගලික සම්පත් දිහා බැලුවම පෞද්ගලික නාලිකා සමඟ තරග කරන්න බැරි කමක් නෑ. පෞද්ගලික නාලිකා තමන්ගේ භූමිය, ශ්‍රමය, ව්‍යවසාය සියල්ල ප්‍රාග්ධනය මගින් සපයා ගත යුතුයි. අපිට රජය මගින් ජනතාවගේ බදු මුදලින් භූමිය,ගොඩනැගිලි,කාර්ය මණ්ඩලය ලබා දී තියෙනවා. ලොකුම ප්‍රශ්නය ව්‍යවසායකත්වය. එය ගෙනාවොතින් අලුත් අදහස් මගින් මෙය ඉහළට ගන්න පුළුවන්.

අපිට විශිෂ්ඨ සංගීත කණ්ඩායමක් ඉන්නවා. අපි මේ අය යොදා ගෙන ප්‍රසංග ඉදිරිපත් කිරීමටත් ,සංස්ථාව හැටියට ප්‍රසංගවලට මේ කණ්ඩායමේ සේවය ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා. අපිට ඉහළ මට්ටමේ ශබ්දාගාර මැදිරි තියෙනවා. මේවා පසුගිය කාලයට වඩා මහජනතාවට විවෘත කරලා පටිගත කිරීම් වලට දෙන්න බලාපොරොත්තු වෙනවා. මෑතකදී ඩැඩී සංගීත කණ්ඩායම නොමිලයේම එවැන්නක් කළා. ඒ වගේම ප්‍රේමකීර්ති ද අල්විස් සමරු පටිගත කිරීමක් කළාග ප්‍රවීණ ශිල්පීන් මේ සඳහා සහභාගිවුණා. මේක වර්ධනය කරලා මෙම මැදිරි සාධාරණ මිලකට සංගීත කටයුතුල සාහිත්‍ය කටයුතු,පොත් එළිදැක්වීම්ල පොත් පිළිගැන්වීම් සහ සිවිල් සමාජ කටයුතු වලට දෙන්න බලාපොරොත්තු වෙනවා.

දැනට තියෙන සම්පත් ගත්තොත් අපිට තියෙන තැටි ගබඩාව ඩිජිටල්කරණය කරල තියෙනවා. පරණ තැටි සංරක්ෂණය කරන ගමන්ම ඒ තැටි වල ගීත පරිගණක මාර්ගයෙන් අහන්න පුළුවන් මට්ටමට ගෙනල්ල තියෙනවා. මෙය මහජනතාවට විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. මහජනතාවට මිලක් ගෙවා ලබාගන්න පුළුවන් තත්වයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා.

අපේ පැරණි ගීත තැටිගත කරලා සී.ඩී. හැටියට නිෂ්පාදනය කරලා අලෙවි කරන්නත්, අලෙවිය ප්‍රවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.

 
පර්යේෂණ පුස්තකාලයක් වශයෙන් භාවිතා කළ හැකි තැටි පටි ගබඩාවක් තියෙනවා. එහි වාචික ඉතිහාසය අඩංගුයි. එය පර්යේෂණාගාරයක් වශයෙන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී අපටත් යම් මුදලක් ලබා ගන්න පුළුවන්. අපේ දේපලවල විශාල වාණිජමය වටිනාකමක් තියෙන දේපල තියෙනවා. මේවා වාණිජමය පරමාර්ථයෙන් භාවිතා කළ හැකියි.

ශ්‍රවනාගාර කුලියට දීම පටන්ගෙන තියනවා. අලුත්වැඩියා කළ මැදිරි අනෙක් අයට අයකිරීමක් මත ලබා දීමට පටන්අරගෙන තියෙනවා. ඒ වගේම ජාතික පොත් ප්‍රදර්ශනය අවස්ථාවේදී අපි සී.ඩී. අලෙවිය සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ගුවන් විදුලි පුස්තකාලය ශබ්ද පර්යේෂණ කටයුතු සදහා විවෘතයි. ඒවාට සවන් දීලා සටහන් කර ගන්න පුළුවන්. ඒවායේ පිටපත් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මෙය තවත් දියුණු කරලා මහජනයාට විවෘත කර දෙන්න කටයුතු කරනවා.

60-70 දශකයේ ගුවන් විදුලියෙන් ගීත තමයි අදටත් රසවිදින්නේග එතනින් එහාට ගිහින් අලුත් ගීත සාහිත්‍යක් බිහිකරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් තිබෙනවද?

60-70 දශකය තමයි ස්වර්ණමය යුගය විදියට සැලකෙන්නේ. එවකට තිබූ එකම ශ්‍රව්‍ය ආයතනය ගුවන් විදුලිය. ඕනම ගායකයෙකුට ඉදිරියට එන්න නම් ගුවන් විදුලි සංස්ථා ප්‍රමිතිය හරහා එන්න ඕන. නැතිනම් චිත්‍රපට සංගීතය හරහා එන්න ඕන. ඒ කාලයේ සරල ගී වැඩසටහන් හරහා ශිල්පීන් වර්ගීකරණය කරලා, ඉදිරිය එන්න අවස්ථාව දුන්නා. නමුත් පසුකාලීනව නව ගීත නිෂ්පාදනය ගිලිහිලා ගිහින් කැසට් ව්‍යාපාර අතට ගියා. පසුව සීඩී බිහිවුණා. පසුකාලීනව රූපවාහිනිය විසින් මෙයට අවස්ථාව දුන්නා. දැන් ගීත නිර්මාණ පුද්ගලිකවම කරලා යූටියුබ් වලට යනවා. අද විශාල වශයෙන් අලුත් ගායක පිරිසක් හැදිල තියෙනවා.

 
වාණිජමය වශයෙන් මේක කරගන්න බැරි අයට අපි වැඩපිළිවෙලක් පටන් ගත්තා. අලුත් සිංදු සී.ඩී. කරල තියෙනවා නම් අපිට ගෙනත් දෙන්න කියලා සභාපතිවරයා වශයෙන් මම කියනවා. ෆේස්බුක් හරහාත් මම මේක කියලා තියෙනවා.සමහර අය ගෙනත් දෙනවා. ඒවා චාට් ෂෝ එකකට ගෙනල්ලා ජනප්‍රියතාවය මත වර්ගීකරණය කරල ඉහළට ගේන්න බලාපොරොත්තු වෙනවා.

වර්තමානයේ තියෙන මට්ටමට එහා ගිය අලුත් ගීත සම්ප්‍රදායක් හදන්න අපි උත්සාහ ගන්නවා. දැන් ඉන්න අලුත් පරම්පරාවට රසවිදින්න පුළුවන් ගීත අපි නිර්මාණය කරන්න ඕන. අලුත් පරම්පරාව කියන්නේ ඉතාම ඉහළ මට්ටමේ සංගීතයට නිරාවරණය වූ තාක්ෂණික වශයෙන් දියුණු උපකරණ වලින් ගීත අහන පිරිසක්. දැන් දරුවන් රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් ගීත අහන්නෙ නෑ. අයිපෑඩ් එකකින් අයිපෝන් එකකින් ගීත අහන අය ඉන්නේ, විදේශීය ගීත රසවිදින්නේ.

 
එවැනි රසඥතාවක් ඇති අයගේ රුචිකත්වයට ගැලපෙන ලෙසට වර්තමාන සංකීර්ණ සමාජය තුළ මිනිසුන් මුහුණ දෙන සමාජීය,ආත්මීය ගැටලු නිරූපනය වන ආකාරයේ ගීත නිර්මාණය අවශ්‍යයි. අපේ රට සංවර්ධනය කරා ගෙන යන්න අවශ්‍යයි. ආර්ථිකය මීට වඩා දියුණු කරල ජාතික සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද විශ්වාසය, පුද්ගල ස්වාධිපත්‍ය පිළිබද අදහස ඉහළට ගෙව ඒමට අලුත් සංගීත නිර්මාණ අවශ්‍යයි.

වගා සංග්‍රාමය ජාතික ප්‍රතිපත්තිය වූ විට එයට සහාය වෙන ගීත නිර්මාණය කළා. සොදුර මට සමුදෙන්න, කහවන් ගොයමට ආදී ගීත අදත් රසවිඳිනවා. ඒවා සර්වකාලීන අගයක් සහිත ගීත. ඒවගේ වර්තමාන අභියෝගවලට ගැළපෙන ගීත නිර්මාණය කිරීමේ වගකීම ජාතික ගුවන් විදුලියට තියෙනවා.

DSC_0776

ශ්‍රී ලංකා ගුවන් විදුලිය ලෝකයේ ඕනෑම රටකට ගුවන් විදුලි විකාශයක් පවත්වාගෙන යන්න පුළුවන් කමක් තියනවා ඒ සඳහා මොන වගේ වැඩ පිළිවෙලක්ද අපේ ගුවන් විදුලියට තිබෙන්නේ ?

සභාපතිවරයා වශයෙන් මම මගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමෙන් මෙය පටන් ගත්තා. සමහරු මෙය විවේචනය කළා. මම මගේ කටයුතු ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් කරගෙන යනවා. මෙයට ප්‍රතිචාර තියෙනවා දැනටමත්. වර්තමාන ලෝකයේ අලුත් සන්නිවේදන මාධ්‍ය පාවිච්චි කළ යුතුයි ජාත්‍යන්තරයට යෑමට. අපි කොළඹ කේන්ද්‍රීය ගුවන් විදුලියක් නෙවෙයි කොහොමත්. අපේ ප්‍රාදේශීය සේවා 6 ක් තියෙනවා. රජරට සේවය, මහනුවර කඳුරට සේවය, මාතර රැහුණු සේවය,වයඹින් කුරුණැගල, අක්කරෙයිපත්තු, යාපනය ආදි ප්‍රාදේශීය සේවා තියෙනවා.

පිටරට ඉන්න අය අපි හා සම්බන්ධ වෙන්නේ අන්තර්ජාලයෙන් ලයිව් ස්ක්‍රීමින් හරහා. උදාහරණයක් ලෙස සහන් වීරසේකර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ගුවන් විදුලි සේවයක් පවත්වාගෙන යනවා. ඔහු වැනි විදෙස් රටවල සිට මෙවැනි දේ කරන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධකරගෙන ඔවුන්ගේ සහාය මත විශ්වාසය තියා මෙය අන්තර්ජාල රේඩියෝවක් ලෙස පුළුල් කරන්න කටයුතු කරනවා.

ප්‍රජා ගුවන් විදුලි සංකල්පය නැවතත් මහජනතාව අතට පත්කිරීමක් කරන් පුළුවන්දරෑ එය කොතරම් දුරකට ප්‍රජාවකට වැදගත් වේද?

ප්‍රජා ගුවන් විදුලි සංකල්පය වැදගත් සංකල්පයක් මෙය අන්තර්ජාලය පැමිණෙන්න කළින් ඉතා ප්‍රචලිතයි. ඒත් අද ප්‍රජා වෙලා තියෙන්නේ ෆේස්බුක් හරහාග ප්‍රතිචාර එනවා. ප්‍රජාවට සහභාගීවෙන්න අවස්ථාව එනවා. නමුත් ඉන්ටර්නෙට් නැති සාමාන්‍ය ප්‍රජාවක් ඉන්නවා. ඒත් දැන් ප්‍රචලිත මෙම අලුත් තාක්ෂණික තත්වයයි. අපේ වැඩසටහන් ගැන අපි දැන්වීම් හදද්දී වෙනත් අයත් දැන්වීම් හදලා දානවා.’අජිත් පැරකුම් ජයසිංහ වෙළද සේවයේ බයිලා සහ වේග රිද්ම ගී මරු, කියලා දාලා තියෙනවා. තවත් අයෙක් කිව්වා ,වේයන්ගොඩට ඇහෙන්නෙ නෑ, කියලා. අපි ඉංජිනේරු අංශයට දැනුම්දුන්නම ඒ අය හැදුවා දැන් දාලා ,89.8 සිටි එෆ්ගඑම් අසමින් වැඩට පැමිණෙමි, දැන් චැනලය සුසර වේ, කියලා. මෙමඟින් ප්‍රජාගුවන් විදුලිය බවට පත් වීමත් ප්‍රජාව සම්බන්ධවෙමින් අදහස් ඉදිරිපත් කිරීමත් සිදු වෙනවා. අපි පුවත්පත් කියවන වැඩසටහනක් ආරම්භ කළා. ප්‍රජාව කියනවා කොහොමද වෙන්න ඕන කියන එක. ඒ අනුව අපිට දැනගන්න පුළුවන්.

අද වන විට ප්‍රජා ගුවන් විදුලිය භාවිතයක් නැති තත්වයක තියෙන්නේ. ඒ ප්‍රදේශවල අයත් අහන්නේ කොළඹ සේවයමයි. ප්‍රජා ගුවන් විදුලි සේවා නැවත සොයාගත යුතුයි. අන්තර්ජාලය සතු ඕනෑම කෙනෙකු එය පටන්ගත හැකියි. මේ වනවිට ප්‍රජා ගුවන් විදුලි සංකල්පය නව ආරකට ගෙන ඒමට කටයුතු කරමින් තිබෙනවා .

අද මිනිස්සු කොළඹ කේන්ද්‍රීය වෙන්නයි කැමති. මිනිස්සු අහනදෙයක් දිය යුතුයි. නැතිනම් වැඩක් නෑ. අපේ ප්‍රජාවේ වැදගත් කොටසක් රටෙන් පිට ඉන්නේ. ඒ අයත් සම්බන්ධ කරගනිමින් මේ ජාතික ගුවන්විදුලිය ක්‍රියාත්මක විය යුතුයි. දේශීය වශයෙන් ඉන්න අයට සම්බන්ධතා මාර්ග තියෙනවනම් ඕනෑම කෙනෙකුට සම්බන්ධවෙන්න පුළුවන්. මම ප්‍රජා ගුවන් විදුලියේ රසිකයෙක් නෙවෙයි. සම්බන්ධතා මාර්ග නැති කාලයක තමයි ප්‍රජා ගුවන් විදුලි වැදගත්.

ගුවන් විදුලි මුදල් දී ඇහුකම් දෙන්නට සලස්සන කාලයක මේ තිබෙන හර පද්ධති රැකගෙන ඉදිරියට යන්නෙ කොහොමද?

වෙළදාමක් සාධාරණ වෙන්න නම් කාටත් සම තත්වයක් තිබිය යුතුයි. ගුවන් විදුලි තරංග කියන්නේ මහජන දේපලක්. අපිට තනියම තරංග පාවිච්චි කරන්න බෑ. අපි රජයට බදු ගෙවනවා. අනිත් අයත් ගෙවනවා. සල්ලි දීල ගුවන්විදුලි අහන්න කියනවා නම් ඒක මංකොල්ලකෑමක්.

මාධ්‍ය අහන පිරිස වැදගත් ශ්‍රවන පර්යේෂණ අද රෙටින්ග්ස් මගින් ගෙදරට ගිහින් අහන්නේ ඔබ අහන චානල් එක. දැන් මේ දේ හැම නාලිකාවම ගිහින් කරනවා. සල්ලිත් දෙනවා. මෙය නීතිවිරෝධීයි. අමු අමුවේ කරන මේ වැරැද්ද ගැන වැරදි ගැන කතා කරන මාධ්‍ය කතා කරන්නේ නෑ. වෙළද දැන්වීම් වැඩියෙන් දෙන්නෙ වැඩියෙන් අහන කෙනාටනේ.

මෙම තත්වයට ප්‍රබුද්ධ බලවේග‍ ගොඩ නගා ආමන්ත්‍රණය කළ යුතුයි. හොද දේට ඉඩ තියෙනවා. හොද දේ හොදට පැකේජ් කරල දෙනව නම් තරඟය අසාධාරණ වුවත් මුහුණ දෙන්න බෑ කියලා පලා යන්නෙ පරාජිතයෝ. මට මේ තරගයට මුහුණ දීළ ජයගන්න පුළුවන්.

අපි දුටුවා ශ්‍රවණය කරා රාජපක්ෂ ආණ්ඩු සමයේ රජයේ ගුවන් විදුලිය ඉතාමත් වියරු සහ අන්තික ලෙස කටයුතුකරන අකාරය. ගුවන් විදුලියල පවතින රජයේ හොරනෑවක් නොවන බවට වන විශ්වාසවන්තභාවය මහජනයා තුළ යළි ගොඩනගන්නේ කෙ‍ාහොමද?

මම ළඟකදී කියෙව්වා අපේ හිටපු සිංහල සේවා අධ්‍යක්ෂවරයා සහ ප්‍රවීණ මාධ්‍යවේදියා වන පාලිත පෙරේරා විසින් කාලයකට ඉහතදී ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රථම සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත්වූ නෙවිල් ජයවීර මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක්.

 
මේකෙදී ඔහු අහනවා සභාපතිගෙන් ඔබට දේශපාලන බලපෑම් ආවෙ නැද්ද කියලා. ඒකාලේ තිබුණෙ ඩඩ්ලි සේනානායක ආණ්ඩුව. ඔහු උත්තර දෙනවා මේ රජයේ කිසිකෙනෙක් මට බලපෑම් කලේ නෑ කිසිම දේකට. සමහර විට ඒ ආණුඩුවේ හිටියෙ මහත්වරු නිසා වෙන්න ඇති එහෙම නැත්නම් මම ඒ අය කියන දේ කරන් නැතිවෙයි කියල හිතුව නිසාද දන්නෑ මට එහෙම බලපෑමක් වුනේ නෑ. නමුත් මේ රජයේ වැඩලිළිවෙල වගා සංග්‍රාමය ඉදිරියට ගෙනයාම ආයතනික මෙහෙයවීම අවශ්‍යවුණා. මම මගේ කණ්ඩායමට කිව්වා මේ වෙලාවේ රෝමියෝ ජුලියට් වගේ කතා නෙමේ අවශ්‍ය වෙන්නේ මේ වගා සංග්‍රාමය වැඩසටහන ප්‍රවර්ධනය වෙන දේවල් තමයි අවශ්‍ය කියලා.

මෙන්න මෙතන තියෙනවා උත්තරේ රජයේ ආයතනයක් වෙන මෙය මහජන මුදලින් නඩත්තුවන වන අපි දැන් ආදායමකුත් උපයන ආයතනයක්. මහජන සේවා සඳහා රජයට ජනමාධ්‍ය අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ජනතාවට පණිවිඩ දෙන්න.

රජයේ ප්‍රතිපත්තිය ජාතික සංහිදියාවල ප්‍රජාතන්තුවාදය ස්ථාපිතකිරීම සහ තිරසර සංවර්ධනය ගොඩනැගීම. ඒ අරමුණු තුන ප්‍රවර්ධනය ගොඩනැගීම සදහා සිවිල් සමාජයත් කැපවෙලා ඉන්නවා. මේ කාරණා ප්‍රවර්ධනයට මගේ නායකත්වයෙන් අපි කටයුතු කරනවා.

අපේ රජයේ ප්‍රතිපත්තියට පක්ෂපාතීයි. ඒ වෙනුවෙන් කටයුතු කරනවා පෙනී ඉන්නවා. එය දේශපාලන පක්ෂපාතීත්වයක් නෙවෙයි. පක්ෂයක් හෝ පුද්ගලයෙක් ප්‍රවර්ධනය කිරීමක් නෙවෙයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ කැමැත්තෙන් ජනමාධ්‍ය ඇමතිවරයා මට මෙය භාර දුන්නේ

ඔවුන් සිවිල් සමජායේ කෙනෙකුට භාර දීම තුළ බලාපොරොත්තු වෙන්නේ පනතේ අරමුණු අනුව කටයුතු කිරීම. මට දේශපාලන බලපෑමක් මේ දක්වා එල්ල වෙලා නෑ. ස්වාධීනව කටයුතු මෙහෙයවන්නයි මට පැවරිලා තියෙන්නේ.
ඒ වගේම මම හිතනවා බාධාවක් තියනවා නම් ඒය තියෙන්නේ අප තුළමයි කියලා. රජයටත් නරකනාමයක් එන විදියට කටයුතු වෙන්නේ පුද්ගලයන් නිසයි. කඩේ නොයා මහජනයට හිතකර සමබර ප්‍රවෘත්ති ලබා දෙන ඉහළ රසාස්වාදයක් ලබා දෙන මාධයයත් ලෙස මෙය පවත්වාගෙන යන්න මේ රජයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා සහ ඒ සදහා රජයට උවමනාවක් තියෙනවා කියලා මට කියන්න පුළුවන්.

ගුවන් විදුලියේ වැඩභාර ගැනීමේදි පවසනවා මම එජාප හො ශ්‍රීලනිප සමාජීකයෙක් නෙවෙයි මම සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් කියලා. ගුවන් විදුලිය මේ විෂය ක්ෂේත්‍රයට ඔබ අලුත් කෙනෙක්. කොහොමද මේ කටයුතු සිද්ධකර ගෙන යන්නේ?

මම බ්‍රෝර්ඩ්කාස්ටින් කරල නෑග මේකට මට අලුත් තමයි. මම සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් ඒ වගේම මම මුද්‍රිත මාධ්‍යයේ වසර 15 ක් පමණ වැඩ කළා. 2005 සිට අඛණ්ඩව රාවය එක්ක වැඩ කළා, සමබිම පුවත්පත්වල වැඩ කළා. තවත් මුද්‍රිත මාධ්‍යයන්ට දායක වුණා . 2015 ජාතික රූපවාහිනිය සමග වැඩසටහන් මෙහෙයවලා නිෂ්පාදනය , සම්බන්ධීකරණය ,සංකල්පීයකරණය කරලා කටයුතු කළා. 2011 සිට වෙබ් මාධ්‍යය සමග කටයුතු කළා. වෙබ් මාධ්‍යවේදීන් පුහුණු කලා. වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය අරඹන්න කටයුතු කළා. මාධ්‍යවේදීන්ට නීතිමය දැනුම ,ඩිජිටල් ආරක්ෂාව ,ශාරීරික ආරක්ෂාව ගැන විවිධ පුහුණු ලබා දුන්නා. මාධ්‍යවේදය මට අලුත් දෙයක් නෙවෙයි. ඒත් ගුවන් විදුලි මාධ්‍යයට මම අලුත්.

මෙතනදී වඩා සුදුසු දේ තමයි ගුවන් විදුලි ක්ෂේත්‍රයෙන්ම ප්‍රවීණ කෙනෙක් මෙතනට පත්වීම. දේශපාලන බෙදීම නිසා ආයතන දේශපාලනීකරණය වීම නිසා මේ ක්ෂේත්‍රයේම කෙනෙක් මෙතනට යෙදීමට රජයට අපහසු වෙන්න ඇති. රජය කල්පනාකරන්න ඇති මේ ක්ෂේත්‍රයට පිටින් කෙනේක් ගන්න එක හොදයි කියලා. ඒ වගේම රූපවාහිනිය සහ වෙනත් මාධ්‍ය ආයතන වලටත් ඒ මාධ්‍යයට සම්බන්ධ අයම නෙවෙයි සභාපතිවරුන් ලෙස පත්කරලා තියෙන්නේ.

මෙනතට අවශ්‍ය පරිපාලකයෙක්. ඒ වගේම රජයේ වැඩපිළිවෙල ගැන දේශපාලන අවබෝධය ඇති කෙනෙක්. මම පරිපාලකයෙක් වගේම දේශපාලන අවබෝධය ඇති කෙනෙක් විදියට මෙය කරගෙන යන්න මට බාධාවන් නෑ.

 
ආයතන වල බෙදීම් තියනවා. ඕනෑම තැනක බෙදීම් තියනවා. රටේ තියෙන දේශපාලන බෙදීම නිසාත් අපේ සමාජයේ බෙදීමක් තියෙනවා. විශේෂයෙන් යුද්ධයෙන් පසුව වාර්ගික බෙදීමක් තියෙනවා. ආගමික බෙදීම් තියෙනවා. මම දේශපාලන පක්ෂයනට අයත් නොවී දේශපාලන පක්ෂ සමග සමීපව වැඩ කරන කෙනෙක්. කිසිම ජාතික ආගමට වෙනස් කර නොසලකන හා සුවිශේෂිකොට නොසලකන සමානත්මතාවය පිළිගන්න කෙනෙක් නිසා මම වගේ කෙනෙක්ට මෙම ආයතනය එක්සත් කරන්න පුළුවන්. ඒ නිසා ජාතීන් අතර ආගම් අතර පමණක් නෙවෙයි දේශපාලන පක්ෂ අතරත් සංහිදියාව ගොඩනගන්න පුළුවන් කියලා හිතනවා.මෙතන ශිල්පීන් ඕන තරම් ඉන්නවා. ඒ අය මෙහෙයවගෙන මේ කටයුත්ත කිරීම මට පුළුවන් කියලා හිතනවා.

විශේෂයෙන් ගීතය හරහා එය කරන්න පුළුවන්. ගීතයට දේශපාලන බෙදීම් නෑ .සියලු දෙනා ගීත අහනවා. සියලු දෙනා එකතු කරන්න ජාතික සංහිදියාව ගොඩනගන්න මට පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ අර්ථයෙන් ගත්තම මම සුදුසුයි මෙතනට. මේ විෂය මම ඉතා ඉක්මණින් ඉගෙන ගන්නවා. රට පුරා විසිරී ඉන්න ෆේස්බුක් මිතුරු සමාජයේ සහයෝගය වැදගත්, මට තියෙන අත්දැකීම ප්‍රමාණවත් මේ කටයුත්ත කරන්න.

සාමාන්‍ය පිළිගැනීම වන්නේ රජයේ මාධ්‍ය අතිශය දේශපාලනිකවුණ ආයතනය බව මේ තත්ත්වයන් නිරවුල් කරගනිමින් කොහොමද අරමුණු කරා යන්නේ?

මේක එළියෙ තියෙන මතයයි. මම නම් සැහැල්ලුවෙන් මේ කටයුත්ත කරන්නේ. මම හිතන්නේ එක දෙයයි. ඔලුව බේරා ගෙන වැඩ කිරීම කොහොමද කියලා හිතුවොත් තමයි ප්‍රශ්නය. අපි හෘද සාක්ෂියට එකගයි නම් ස්වභාවික යුක්තියේ මූළධර්ම මත නම් වැඩ කරන්නේ නම් අපට වැඩ කරන්න බාධාවක් නෑග අපි ප්‍රජාතන්ත්‍රවාදය සදහා අරගලයේ හිටියේ අවදානමක් අරගෙනග හෙට මොනවා වෙයිද කියලා අපි දන්නේ නෑ. අද යහපත් වාතාවරණයක් තියෙනවා. ජනාධිපතිවරයා අගමැතිවරයා ජනමාධ්‍ය ඇමති සිවිල් සමජයේ අය මේ පිරිසගේ විශ්වාසය රැකගෙන මෙය කරනවා නම් මෙය බරක් කියා මම හිතන්නේ නෑ. 

අපි මේ රටට ආදරය කරනවා නම් අපේ දරුවන්ටත් ජීවත් වෙන්න පුළුවන් රටත් හදන්න ඕනකියා හිතනවා නම් අපි අවදානමක් අරන් ඉදිරියට අඩිය තිබ්බ නම් ලස්සන රටක් හැදෙයි ඉස්රහට. දේශපාන පක්ෂ දෙකක නායකවයින් දේශපාලන වශයෙන් විරුද්ධ දෙපිරිසක් එකතු වූවා නම්, සාමූහික වූවා නම් සම්මුතිවාදී ආණුඩුවක් හැදුවනම් මේ වගේ පොඩි ආයතනයක් අපිට ගෙන යන්න බැරි වෙන්නෙ නෑ. මේ රටට අඩු විශ්වාසය.

 
ඒකාධිපතිත්වයක් පරාජය කළ පමණින් සියල්ල නිවැරදි වෙන්නෙ නෑ. කිරියෙන් පැණියෙන් උතුරන්නෙ නෑ. ඒකාධිපති ආණ්ඩුව අපි අමාරුවෙන් පරාජ‍ය කළේ. රටක් වශයෙන් අපි එක පැත්තකින් මානව හිමිකම් අතින් උගුලක හිටියා. ණය උගුලක හිටියා. රට ඉස්සරහට යන්න අමාරුයි. ඒ අමාරුව අපිටත් තියෙනවා . රට අමාරුවෙන් ඉදිරියට අරන් යන්න රටේ ජනතාව තුළ රට ගැන විශ්වාසය ඇති කරන්න පුළුවන් නම් මම විශ්වාස කරලා අනිත් අයටත් විශ්වාය ඇති කරන්න අවශ්‍යයි. එවිට ආයතනයත් රටත් හදන්න පුළුවන්

පළමුව එවරට්ස් කන්ද තරණය කළ සර් එඩ්මන් හිලරිට අසන්න ලැබුණ එකම එකම ගුවන් විදුලිය රේඩියෝ සිලොන් බවත් නැවතත් ඒ තැනට ඔසවා කටයුතු කරනවා කියලා?

දකුණු ආසියාවේ නෙවෙයි මුලු ආසියාවෙම ප්‍රථම ගුවන් විදුලිය අපේ ගුවන් විදුලියයි. එඩ්මන් හිලරි පවා එවරට් කන්දෙදි ගුවන් විදුලිය ක්‍රියාත්මක කළාම අහුවුණෙ රේඩියෝ සිලොන්. අපිට ඉහළට යන්න පුළුවන් කියන විශ්වාසය තමයි මම මේ හරහා ප්‍රකාශ කළේ. කොහොම උනත් මම හැමදාම ඉන්න ආවෙ නෑග නිශ්චිත පදනම හැදුවම මම හෙට ගියත් මෙතනට කවුරු ආවත් මාර්ගයේ යන්න පුළුවන් ලෙස ආරම්භයක් අරන් දීල තියෙනවා.

 
මම බෞද්ධයෙක් දහම්පාසලේ ඉගෙනගත්තා. ජතක පොත කියවල තියෙනවා. ඒකේ තියෙන මඝමානවක කතාවට මම හරි ආසයි. මඝමානවකයා එයා තමා හරි කියලා හිතන දේ කළා. තව අය එකතු කරන් කැළැ එළි පෙහෙළි කළාම තවත් අය ඇවිත් එතන ඉල්ලනවා. ඔහු රණ්ඩු වුණේ නෑග ඔහු එතනදීලා අලුත් තැනක් හදනවා. ඔහුගේ මිෂන් එක කැලේ කපල සුද්ද කරන එකයි.මම ඔහුගෙන් ආභාෂය ගන්න කැමතියි. මම ආස වැඩ කරන්න. තැනක් තියනවා නම් මම වැඩ කරනවා.එතනින් ගලවල වෙන තැනකට දැම්මොත් එතනත් වැඩ කරනවා. ම‍ට දෙන ඕන තැනක මම වැඩ කරනවා. මගේ මිෂන් එක වැඩ කිරීමයි.

සාකච්ඡාව- ෂාරා

ඡායාරූප – දෙනුවන් බණ්ඩාර 

උපුටා ගැනිම http://www.mirrorarts.lk/

 

Recent Posts

Leave a Comment