මානව හිමිකම් කොමිෂන් සභාවේ දොරට තට්ටු කිරීම අපේ වැඩකි

Aug 31st, 2017 | By | Category: OTHER NEWS

මූලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධයෙන් කතා කරන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යන වචනය නිරන්තරයෙන් අසන්නට ලැබෙන වචනයකි. මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම සහ ඒවා කඩවීමකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ කතා කිරීමේදී ඉතා වැදගත් ආයතනයක් වන මානව හිමිකම් කොමිෂන් සභාව යනු කුමක්ද යන්න හා මූලික අයිතිවාසිකම් කඩවීමකදී මානව හිමිකම් කොමිෂන් සභාවේ සහය පුරවැසියා ලබාගන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් සාමාන්‍ය ජන ජීවිතයට මානව හිමිකම් කොමිෂන් සභාව තව තවත් සමීප කිරීමේ අරමුණ ඇතිව ලියවෙන ලිපි මාලාවේ පළමුවන ලිපියයි මේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වශයෙන් මානව හිමිකම් සුරැකීමට කැපවී කටයුතු කිරීමත්, ජාත්‍යන්තර ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවට පවරා ඇති රාජකාරී හා පොරොන්දු ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාවට නැංවීමත් අරමුණු කර ශ්‍රී ලංකා රජය 1996 අංක 21 පනත මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් වශයෙන් ස්ථාපිත කරන ලදී. පැරිස් මූලධර්ම යටතේ සකස්කරන ලද තත්ත්වයන් පවත්වා ගැනීමත්, රටේ සෑම පුරවැසියෙකුගේම මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීමට කටයුතු කිරීමත්, නීතියේ ආධිපත්‍ය කෙරෙහි ඇති ගරුත්වය ආරක්ෂා කිරීමත් එහි ප්‍රධාන වගකීමක් වේ. පැරිස් මූලධර්මවලදී අවධාරණය කරන්නේ මානව හිමිකම් ආයතනය අනිවාර්යයෙන්ම සහ සත්‍ය වශයෙන්ම රජයෙන් ස්වාධීන විය යුතු බවයි.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සඳහා ප්‍රතිකර්ම ලබා ගැනීමේ අවස්ථාව තවදුරටත් පුළුල්කිරීමක් ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව පිහිටුවීම හැඳින්විය හැකියග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේදී හෝ උල්ලංඝනය වීමට අත්‍යසන්න අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණයට අමතරව සෑම තරාතිරමක පුද්ගලයකුටම සහන ලබා ගැනීම සඳහා යොමුවිය හැකි ජාතික ආයතනය වන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවයි. විධායක හෝ පරිපාලන ක්‍රියාවක් හේතුවෙන් සිදුවන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධව සමඟි කිරීමට, සමථ කිරීමට හෝ විමර්ශනයක් පවත්වා නිර්දේශයක් නිකුත් කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාවට බලය තිබේ.

ඒ අනුව මානව හිමිකම් කොමිෂන් සභාව යනු රජයේ කටයුතු අධීක්ෂණය කිරීමට බලය පවරමින් රාජ්‍ය විසින්ම ස්ථාපනය කරනු ලබන ආයතනයක් වෙයි. රාජ්‍යය විසින් පිහිටුවන ලද සහ රාජ්‍යය විසින් මුදල් ප්‍රතිපාදන සපයන නිසා රාජ්‍ය ආයතනයක් වන්නා වූ ද, රාජ්‍යයේ කටයුතු අධීක්ෂණය කරන බැවින් ස්වාධීන ආයතනයක් වන්නා වූ ද දෙමුහුම් ආයතනයක් වන ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට අයිති ආයතනයකි.

මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධව පැමිණිලි ලැබුණු විට විභාග කිරීම සම්බන්ධව මානව හිමිකම් කොමිෂන් සභාවට වගකීමක් ඇත. කොමිසමට ලැබෙන පැමිණිලි පරීක්ෂණය කරන්නේ විත්තිය සහ පැමිණිල්ල යන දෙපාර්ශවයම මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවීමෙන්ය. දෙපාර්ශවයටම සවන් දීමෙන් පසුව එනම් ස්වභාවික යුක්තියේ මූලධර්මවලට අනුව මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ ඉදිරිපත් කරයි.

උදාහරණයක් ලෙස පානීය ජල ප්‍රශ්නයට එරෙහිව වැලිවේරිය, රතුපස්වල ජනතාව ගෙන ගිය උද්ඝෝෂණයේදී සිදු කරන ලද වෙඩි තැබීම සම්බන්ධ සිද්ධියේදි මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් තුවාලකරුවන්ගෙන්, පල්ලියේ පූජකවරුන්ගෙන්, පොලීසියෙන්, හමුදාවෙන් සහ එම අවස්ථාවේ සිටි ජනමාධ්‍යවේදීන්ගෙන් තොරතුරු ලබා ගන්නා ලදී. මේ අවස්ථාවලදී ආරක්ෂක හමුදාවල හැසිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවට මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ෂෂෂ වන පරිච්ඡේදය මගින් පිළිගත් මූලික අයිතිවාසිකම් කඩවීම් සහ කඩවීමට අත්‍යාසන්න අවස්ථාවලදීල පීඩාවට පත් පුද්ගලයන්ට, පුද්ගල කණ්ඩායම්වලට හෝ පීඩාවට පත් යම් පුද්ගල කණ්ඩායමක් වෙනුවෙන් කොමිෂන් සභාව වෙත සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකදී කිසිදු පැමිණිලි කිරීමකින් සහ විමසීමකින් තොරව කරුණු විමර්ශනය කිරීමට සහ විමසීමට කොමිෂන් සභාවට හැකියාවක් ඇත. සමහර අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද මූලික අයිතිවාසිකම් සම්බන්ධ පැමිණිලි සම්බන්ධව විමර්ශනය කොට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත වාර්තා කරන ලෙස කොමිෂන් සභාවට දන්වනු ලබයි’

මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිල්ලකල

උල්ලංඝනය වී ඇති අයිතිවාසිකම කුමක්ද?

අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත්තේ කාගේද?

අයිතිවාසිකම් හෝ හිමිකම් උල්ලංඝනය සඳහා වගකිව යුත්තේ කවුරුන්ද? අයිතිවාසිකම් උල්ලංඝනය වූයේ කවරාකාරයෙන්ද?

අයිතිවාසිකම් උල්ලංඝනය වූයේ කවදාද?

කොතැනකදීද?

ප්‍රතිකර්ම ලෙස ඔබ බලාපොරොත්තු වන්නේ මොනවාද? යන කරුණු අන්තර්ගත විය යුතුයි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිලි භාරගැනීමේ ආකෘති පත්‍රය සම්පූර්ණ කර භාරදීම මගින්, ලිපි මගින්, ෆැක්ස් මගින්, විද්‍යුත් තැපෑල මගින්, හදිසි ඇමතුම් අංකය මාර්ගයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. මෙම ඉදිරිපත් කිරීමේදී වග උත්තරකරුවන්ට ද පිටපත් සහිතව ඉදිරිපත් කළ යුතුයි. පැමිණිලි භාර ගැනීමේදී කොමිෂන් සභාවේ විෂයපථයට වැටෙන පැමිණිලි ලියාපදිංචි කොට අංකයක් ලබා දෙන අතර අනෙකුත් පැමිණිලි පිළිබඳව පැමිණිලිකරුට දන්වා ඒ සම්බන්ධයෙන් සහන ලබා ගත හැකි ආයතනවලට යොමුවීමට පැමිණිලිකරුට අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම සිදු කරයි.

මූලික අයිතිවාසිකම්වලට අදාළ නොවන පැමිණිලිල වෙනත් අධිකරණයක විනිශ්චය සභාවක විභාග වෙමින් පවතින පැමිණිලි සහ කාල සීමාව ඉක්මවූ පැමිණිලි (පැමිණිල්ලේ ස්වභාවය අනුව තීරණය කරයි) කොමිෂන් සභාවේ විෂය පථයට අයත් නොවන පැමිණිලි වශයෙන් සලකයි.

 
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කිරීමට නීතිමය නියෝජිතයෙකු රැගෙන ඒම හෝ ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නැත. ඔබ ඉදිරිපත් කරන පැමිණිලි මානව හිමිකම් කොමිෂන් සභාව යටතට නොගැනෙන විට රජය විසින් ස්ථාපිත කර ඇති ප්‍රතිකර්ම ලබාදෙන අදාළ ආයතන වෙත එම පැමිණිලි යොමු කරන ලැබීම මානව කොමිෂන් සභාව විසින් සිදු කරයි. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී සාධාරණ හේතු මත දීර්ඝ කාලයක් ගතවීමෙන් පසුව වුවත් ඉදිරිපත් කරන පැමිණිලි පිළිබඳව සොයා බැලීමට ද මානව හිමිකම් කොමිෂන් සභාවට හැකියාවක් ඇත.

අපගේ අසල්වැසියාගේ, අපගේ මිතුරාගේ හෝ අප නියෝජනය කරන සමාජ කණ්ඩායමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම්වලදි සක්‍රීය අයුරින් මානව හිමිකම් කොමිෂන් සභාව සමග සම්බන්ධ වෙමින් මානව හිමිකම් කොමිෂන් සභාවේ සහය ලබා ගැනීමට අපට ඇති උවමනාව කොපමණද යන්න මේ සම්බන්ධයෙන් වන කතිකාවෙදි මතු වන සුවිශේෂී කාරණයකි. මානව හිමිකම් කොමිෂන් සභාව අපගේ දොරට තට්ටු කරන තෙක් බලා නොසිට අප වෙනුවෙන් විවෘත කර ඇති මානව හිමිකම් කොමිෂන් සභාවේ දොරට තට්ටුවක් දමා අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම අප කළ යුතුය. එය අපගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමක් මෙන්ම නිසර්ගයෙන්ම අප සතු යුතුකමකි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
165 කිංසි පාර,
බොරැල්ල,
කොළඹ 8.

දුරකථන : 011 2 694 925 / 011 2 685 980
ෆැක්ස්  011 2 694 924
විද්‍යුත් ලිපිනයථ smskh:sechrc@sltnet.lk

ක්ෂණික ඇමතුම්ත 1996 (වධහිංසා පැමිණවීම, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පමණි)
ප්‍රාදේශීය කාර්යාල මහනුවර, වවුනියාව, යාපනය, කල්මුණේ, අනුරාධපුරය, බදුල්ල, ත්‍රිකුණාමලය, මාතර, මඩකලපුව සහ අම්පාර යන නගරවල ස්ථාපිත කර ඇත.

 

චානක රූපසිංහ

 

මීළඟ සමබිම කලාපයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ වැදගත්කම පිළිබඳව තවත් ලිපියක් බලාපොරොත්තු වන්න.

Recent Posts

Leave a Comment