අතුරුදන් කිරීමට තේරෙන සිංහලෙන් විරුද්ධ වීම 

Sep 1st, 2017 | By | Category: LEAD NEWS, අවතැන්වූවෝ, දේශපාලන, සමබිම ඉරිදා අතිරේකය

අගෝස්තු 30 වැනිදා අතුරුදන්වූවන් සැමරීමේ ජාත්‍යන්තර දිනයයි. එදින අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විසින් කොළඹදී ‘යළි සිදු නොවනු පිණිසයි’ යනුවෙන් සැමරීමක් සංවිධානය කරන ලදී. අතුරුදන්වූවන්ගේ ගැටලු‍ පොරොන්දු වූ ආකාරයට වහා විසඳන ලෙස රජයට බල කිරීම මෙහි අරමුණ විය.  මේ රැස්වීමට උතුර, නැගෙනහිර අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් මෙන්ම 1988-89 කාලයේ දකුණේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ද සහභාගී වී සිටීම විශේෂත්වයකි. මීට අමතරව වවුනියාවේදී ද රජයට බලකෙරෙන උද්ඝෝෂණ දෙකක් සංවිධානය කර තිබෙනු දක්නට ලැබුණි.

DSC_0071

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා  පසුගිය 24 වන දා පාර්ලිමේන්තුවේදී  සභාව කල්තබා ගැනීමේ යෝජනාවක් ලෙස අතුරුදන්වූවන්ගේ ගැටලු‍ විසඳීමට යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන ලදී.  අතුරුදන්වීම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඉක්මන් විසඳුමක් ලබාගැනීම  සඳහා පසුගිය කාල වකවානුවේම උතුරු නැගෙනහිර ජනතාව සාමකාමීව උද්ඝෝෂණ  කරමින් සිටින බව පෙන්වාදෙන සම්බන්ධන් මහතා මෙම අතුරුදන්වූවන්ගේ පවුල් වෙනුවෙන් රජය කළයුතු කරුණු හතරක් පෙන්වා දෙයි.

01 පසුගිය කාලයේ රඳවාගෙන සිටි අයගේ නම් සහ තොරතුරු හෙලිකිරීම

02 දැනට රඳවාගෙන සිටින අයගේ නම් සහ ස්ථාන  හෙලි කිරීම

03 දැනට රහසිගත කඳවුරුවල රඳවාගෙන සිටි රැඳවුම්කරුවන් වෙත අතුරුදන්වූවන්ගේ පවුල් වල නියෝජිතයන්ට ප්‍රවේශය ලබා දීම සහ, 

04 පාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත වහාම ක්‍රියාත්මක තලයට ගෙන ඒමය. 

විශේෂයෙන්ම සංහිඳියාව සඳහා යන ගමනේ දී අතුරුදන්වූවන්ගේ පවුල්වල විශ්වාසය දිනාගැනීම අතිශය වැදගත් කටයුත්තක් වන අතර ඉහත මුල් කරුණු තුන ඉටු කිරීම මඟින් එම විශ්වාසයට පදනම වැටේ. එමෙන්ම රජය මඟින් මේ වනවිට ආරම්භ පිරවර තබා ඇති අතුරුදන්වූවන්ගේ කාර්යාලය වඩා සාර්ථකව ක්‍රියාත්මක කරගැනීමට මෙයින් පදනම වැටෙන බව විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර අතුරුදන්වූවන්ගේ පවුල්වල ඉල්ලීම් වලට සහයෝගය දක්වමින් යාපනයේ සිට ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති අධ්‍යයන සඳහා වන  අඩයාලම් මධ්‍යස්ථානය (ACPR), මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා මධ්‍යස්ථානය  (CHRD), මානව හිමිකම් ආරක්ෂාව සහ ප්‍රචාරණය සඳහා වන මධ්‍යස්ථානය (CPPHR) සහ දෙමළ සිවිල් සංවිධාන එකතුව (TCSF) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් තම ගැටලු‍ වලට විසඳුම් ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහයට  අගෝස්තු 30 වන දා වන විට දින 192 පිරෙන බවයි. මෙම සත්‍යග්‍රහයට දින 100 පිරෙන මොහොතේ  එනම් පසුගිය ජුනි 12 වෙනිදා ඔවුන් ජනාධිපතිවරයා හමුවූ අතර එහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම් කෙරෙහි ජනාධිපතිවරයා අවධානය යොමු කළ යුතු බවයි. ජනාධිපතිවරයාට එහිදී ලබාදුන් ඉල්ලීම් මූලික වශයෙන්ම  සම්බන්ධන් මහතා ගේ ප්‍රකාශයේ සදහන් ඉල්ලීම්වලට සමාන අතර අමතර කාරණයකට ඇත්තේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පත්කරන ලද කොමිෂන් සභා සහ විමර්ශන වාර්තාවන් ප්‍රසිද්ධ කරන ලෙසයි. 

මෙම ප්‍රකාශනයේ තවදුරටත්  ඔවුන් අවධාරණය කර සිටින්නේ බලහත්කාරයෙන් අතුරුදන් කරවීමේ සිදුවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩියෙන්ම සිදුවීම් වාර්තාවීම අතින් දෙවනුවට සිටින්නේ ලංකාව වුවත් රට තුළ ඒ පිළිබඳ නිසි අවධානයක් නැති බවයි. එසේම අතුරුදන්වීම වලට තිත තැබීම වෙනුවෙන් වහා ක්‍රියාත්මක වීම තිරසාර සාමයේ පදනම බවද ඔවුන් සඳහන් කරයි.

මේ අතර උතුරත් දකුණත් සම්බන්ධ කර ගනිමින් අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව පැවැත්වූ සැමරීමේ දී ද ඉහත සඳහන් ඉල්ලීම් ඒ අකාරයෙන්ම ප්‍රකාශ වූ අතර අමතර ඉල්ලීමක් වූයේ ‘ජාතිවාදීන්ට බිය නොවී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත පෙර සිදුවීම් වලටද බලපවත්වන ලෙස, අතුරුදන් කරවීම අපරාධයක් ලෙස නීතිගත කරන්න’ යන ඉල්ලීමය.

21167768_1933592456902178_2135344283015150508_o

අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් උතුරේ සහ දකුණේ විවිධ සිවිල් සමාජ සංවිධාන සමග එක්ව මේ අකාරයට සත්‍යග්‍රහ, සාකච්ඡා, උද්ඝෝෂණ, ආදී විවිධ ක්‍රම මගින් තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරන අතර මෙම සෑම තැනකින්ම ඇසෙන්නේ එකම ඉල්ලීම් කිහිපයකි. නමුත් මේ එක් එක් කණ්ඩායම් වලට ආණ්ඩුව කෙරෙහි  තිබෙන විශ්වාසයේ ප්‍රමාණය මත ඉල්ලීම් ඉදිරියට එන ස්වරූපයේ වෙනස්කම් ඇත. එසේම මේ සමහර කණ්ඩායම් සිතන්නේ ආණ්ඩුව ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දු නිසා මෙම ගැටලු‍ වහා විසදිය යුතු බවයි. තවත් පිරිසක් සිතන්නේ යහපාලන ආණ්ඩුව සිවිල් සමාජය සමග පැමිණි සම්මුතිය අනුව යමින් මෙම ගැටලු‍ විසඳිය යුතු බවයි. මෙයින් දෙවනුව කී පිරිස එනම් ආණ්ඩුව සමග තමන් පැමිණි සම්මුතිය අනුව යමින් අතුරුදන්වූවන්ගේ ගැටලු‍ විසඳිය යුතු යැයි සිතන පිරිස දකුණේ දේශපාලන වටපිටාව ගැන සංවේදී වෙමින් තම ඉල්ලීම ඉදිරියට ගෙන එයි. මුල් පිරිසට දකුණේ දේශපාලනය සම්බන්ධයෙන් විශ්වාසයක් නැත. මේ දෙපිරිසම ගැන දකුණේ ජාතිවාදීන්ට ඇත්තේ එකම අදහසකි, එකම චෝදනා ටිකකි. එනම් එන්ජීඕකාරයෝ, ඩයස්පෝරා සල්ලි, බටහිර කුමන්ත්‍රණ, රණවිරු දඩයම, රට බෙදනවා වැනි ජාතිවාදීන්ගේ පොදු චෝදනාවන්ය.

මෙම  ඊනියා චෝදනා යහපාලන ආණ්ඩුවේද සංවේදී කලාපයකි. සංහිඳියාව යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පොරොන්දුවකි. නමුත් සංහිඳියාව සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩුවේ බෙදීමක් තිබෙන බව රහසක් නොවේ. එම බෙදීමට ප්‍රධාන හේතුවක් වන්නේ දකුණේ ජාතිවාදී බලවේගයන්ය. සංහිඳියාව වෙනුවෙන් තමන් ගනු ලබන ඕනෑම පියවරක් ආණ්ඩුවේ දේශාපාලන බලයේ සමතුලිතභාවය බිඳ දැමීමට යොදා ගැනීමට ඉඩ තිබෙන බව ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් හොඳින් දනී. එම නිසා අතුරුදන්වූවන්ගේ ගැටලු‍ වියුක්තව ගෙන විසඳන ලෙස ඉල්ලා සිටීමෙන් ප්‍රයෝජනයක් නොමැති අතර ආණ්ඩුවේ ස්ථාවරභාවයට සාපේක්ෂව මේ දෙස අවධානය යොමුවන බව පමණක් දැනට තේරුම් ගත හැක. දකුණේ දේශපාලනය තීරණය වන්නේ දකුණේ ජනමතය අනුවය. එම නිසා අතුරුදන්වූවන්ගේ ගැටලු‍ පිළිබඳ දකුණේ ජනතාව වඩ වඩා සංවේදී කිරීම හැර ආණ්ඩුවට බලපෑම් කළ හැකි අන් ක්‍රමයක් නැති බව පැහැදිලිය. එම නිසා උතුරේ වේවා දකුණේ වේවා අතුරුදන්වූවන් පිළිබඳ සංවිධානය කරනු ලබන වැඩසටන්වල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ දකුණේ සිංහල-බෞද්ධ ජන මනස මිස ජාත්‍යන්තරය නොවේ. ■

21199619_1933590746902349_7259522878532214748_o

ප්‍රබෝධ රත්නායක

Recent Posts

Leave a Comment