OMP කොළඹට සීමා කරන්න එපා…!

Sep 4th, 2017 | By | Category: LEAD NEWS, Today Lead News, අවතැන්වූවෝ, දේශපාලන, පුද්ගල නිදහස, පුරවැසි අයිතිය, මානව හිමිකම්, සමබිම ඉරිදා අතිරේකය

අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත සාදරයෙන් පිළිගනිමින් අතුරුදන් තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරීමට ගිය වසරේ විහාර මහාදේවී උද්‍යානයට රැස් වූ උතුරේ, දකුණේ සහ නැගෙනහිර අතුරුදන්වූවන්ගේ මව්වරු වසරක් ඇවෑමෙන් අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීමට පසුගිය අගෝස්තු 30 වැනිද දා යළිත් දුකද වේදනාවද පමණක් රැගෙන හිස් අතින් විහාර මහාදේවී උද්‍යානයට එක්රැස්ව සිටියහ. ‘අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය අතුරුදන් නොකරනු’ තේමාව යටතේ අතුරුදන් තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරීමට මෙවර අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විසින් කටයුතු සුදානම් කර තිබූණි. ඒ සඳහා උතුර, දකුණ සහ  නැගෙනහිර නියෝජනය කරමින් අතුරුදන් තැනැත්තන්ගේ මව්වරු දහසකට වැඩි පිරිසක් නොසිඳුනු අපේක්ෂාවන් කැටිව පැමිණ සිටියහ.

ඔවුන් සමඟ විවෘත සාකච්ඡාවකට උදෑසන කාලය වෙන් කෙරිණි. එහිදී මව්වරුන් විටෙක හඬා වැළපෙමින්ද විටෙක ආවේගයෙන්ද යුතුව සිය අහිමී ආදරණීයයන්ට සාධාරණයක් ඉටු විය යුතු බවට හඬ ගෑවේය. සත්‍ය දැනගැනීමට තමන්ට තිබෙන අයිතිය අහිමි නොකොට තම සමීපතමයාට සිදුවූයේ කුමක්ද? ඔවුන් තවම ජීවතුන් අතරද නැද්ද යන්න දැනගැනීමේ අවකාශය විවෘත කරන අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය තවදුරටත් ප්‍රමාද නොකර එය වහා ස්ථාපිත කරන්න යැයි ඔවුන්ගේ ඉල්ලීම වූහ. සිය අරගලය තමන්ට සත්‍ය හෙළිදරව් වන තෙක්ද යුක්තිය ඉටු වන තෙක්ද නොනවතින බව ඔවුහු එහිදී අවධාරණය කළෝය. සවස් කාලයේදී ඔවන් සමග එක් වූ විපක්ෂ නායක ආර් සම්බන්ධන්, අමාත්‍ය මනෝ ගනේෂන්, අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මෙම ජනතා අරගලයේ තමන්ද කොටස්කරුවන් බවත් යුක්ති සහගත අවසානයක් දක්වා මෙම මව්වරුන් සමඟ එක පෙළට තමන්ද හිටගන්නා බවටත් අවධාරණය කෙළේය. 

එහිදී අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් දැක් වූ අදහස් 

 DSC_0053

අපිට සාධාරණයක් ඕන

■ එල්. ජී. කුසුමලතා, ගාල්ල

1988 වසරේදී මගේ ස්වාමී පුරුෂයාව මට අහිමි වුණා. එයින් පසුව අද වෙනකම් කිසිම සාධාරණයක් අපට සිදුවුණේ නැහැ. දරුවන්ට රස්සවක්වත් නැහැ. අපි අපේ ආර්ථීක ප්‍රශ්න මැද පවා මේ විදිහට එකතු වෙන්නෙ මොනව හෝ සාධාරණයක් වෙයි කියන බලාපොරොත්තුවෙන්. 

DSC_0055

අපේ දරුවන්ට මොකද වුණේ?

■ තෙරේසම්මා, මඩකලපුව

1986 ජනවාරි 16 වැනිදා මගේ එක පුතෙක් හමුදාව විසින් පැහැර ගනු ලැබුවා. අවුරුදු එකොළහකට කලින් එයාගේ බිරිඳ ඉදිරියේම මගේ දෙවැනි පුතාත් බලහත්කාරයෙන් පැහැරගනු ලැබුවා. සුදුවෑන් එකකින් තමයි මේ පැහැර ගැනීම සිදුවුණේ. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ දරුවන්ට මොකද වුණේ කියල දැනගන්න.  

DSC_0057

දෑත් බැඳලා අරන් ගියා ගියාමයි

■ ඉන්ද්‍රාණි, මඩකලපුව

1990 අගෝස්තු මස 07 වෙනිදා මගේ ස්වාමී පුරුෂයා රැකියාවට ගිය අතරදී කාර්ය සාධක හමුදාවේ භටයින් විසින් ඔහුව අත්අඩංගුවට ගත්තා. ඔහුගේ දෑත් බැඳලා බලහත්කාරයෙන් අරන් ගියේ. මම පස්සෙන් ගියාම මට කිව්වා උඹ කිට්ටු වුණොත් වෙඩි තියනවා කියල. පසුව මම මගේ සැමියා ගැන විමසුවාම ඔවුන් කිව්වේ උඹේ සැමියා මෙහේ නැහැ කියල මාව එළව ගත්තා. තාමත් මගේ සැමියාට මොකද වුණේ කියල හොයනවා. 

DSC_0062

මගේ සහෝදරයෝ තුන්දෙනෙක් අතුරුදන් කළා

■ පතිරණ, වලස්මුල්ල

මම අවුරුදු ගාණක් වෙන රටක ජීවත් වෙලා 1989 භීෂණ සමයේ ලංකාවට ආවේ. ඒ ඇවිල්ලා සති තුනක් ඇතුළත මගේ සහෝදරයෝ තුන්දෙනෙක් අතුරුදන් කළා. මගේ ව්‍යාපාර කටයුතුවලට සහය වුණ සේවකයෝ අතුරුදන් කළා. මම මානසිකව කඩා වැටුණා. මගේ දේපල පවා අහිමි වුණා මේ ප්‍රශ්න නිසා. මෙහෙම හරි රැස්වෙන්න නිදහස අද අපිට තියෙන එකම සතුටක්. එය අපි තුළ සුබවාදී බලාපොරොත්තුවක් ඇති කරනවා. 

DSC_0066

යමක් උපයන්න පුළුවන්  පවුලේ අය අහිමි වුණා

■ මුණරාසා, වාලච්චේන

යුද්ධය පැවති අවස්ථාවේදී මගේ සැමියාව ආරක්ෂක හමුදා විසින් වෙඩි තබා ඝාතනය කළා. මටත් වෙඩි වැදුණා. ඉන් පස්සේ 2010 ඔක්තෝබරයේදි මගේ පුතාව අතුරුදන් කළා. එයින් පස්සේ මගේ බෑනා අතුරුදන් කළා. යමක් උපයන්න පුළුවන් පවුලේ අය මේ විදිහට අහිමි වුනාම අපි හැම අතින්ම කඩා වැටිලා. අපට අවශ්‍යයි සත්‍ය දැනගන්න. 

DSC_0067

OMP කොළඹට  සීමා කරන්න එපා

■ මඩකලපු, කල්කුඩා 

උතුරු නැගෙනහිර පළාත්වල සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සු සියලු දෙනා හිරිහැරයන්ට මුහුණ දුන්නා. මේ ජනාධිපතිතුමාව බලයට ගේන්න උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්ද හේතු වුණා. අතුරුදන්වූවන්ගේ කාර්යාලය (ධඵඡ* කොළඹට විතරක් සීමා කරන්න එපා කියන එකයි අපේ ඉල්ලීම. අපි වගේ කොළඹින් ඈත ඉන්න මිනිස්සුනට අපහසුයි ප්‍රශ්න අරගෙන කොළඹ යන්න එන්න. ඒ නිසා අපේ ප්‍රදේශවලටත් මේ කාර්යාලය ගේන්න. 

DSC_0064

ඒ කාලේ අතුරුදන් කරවීම  සාමාන්‍ය දෙයක්

■ අන්නසුන්දරම්, කොක්කඩිචොලෛ

අපේ ප්‍රදේශවල දරුවන් අතුරුදන් කරවීම සාමාන්‍ය දෙයක් ලෙසයි එදා යුගයේ තිබුණේ. මගේ දරුවා අතුරුදන් වෙලා අවුරුදු ගණනාවක් වෙනවා. අපි ඉතාම දුෂ්කරතා යටතේ ජීවත් වෙන්නෙ. අපි ආණ්ඩුවෙන් අහන්නේ අපේ දරුවෝ ජීවතුන් අතර ඉන්නවද නැද්ද? නැතිනම් මොකද වුනේ කියල අපට කියන්න කියල. 

DSC_0069

පාර්ලිමේන්තුව ඉස්සරහ  උද්ඝෝෂණයක් කරන්න ඕන 

■ ජයන්තා ධර්මරත්න, හම්බන්තොට

අතුරුදන්වූවන්ගේ පවුල්වලට වන්දි ලබා දෙනවා කිව්ව එක ඇඟට දැනුණා තමයි. ඒත් අපිට ඊට වඩා දැනුණා සමෘද්ධිලාභීන්ගේ සමෘද්ධිය කැපුව එක. මොකද මෙතන ඉන්න අම්මල බහුතරයක් සමෘද්ධීලාභීන්. පාර්ලිමේන්තුවේ ඉන්න අය සෙංකෝලේ තියන් හරඹ කරනවා නම් අපිට බැරි ඇයි පාර්ලිමේන්තුව ඉස්සරහට ගිහින් අපේ ඉල්ලීම් ඉල්ලන්න.  

images

සැමියවයි මල්ලිවයි දෙන්නම අරන් ගියා

■ තිරුක්කෝවිල්වල මවක්

1988 අගෝස්තු මාසේ 22 ගොදරටම ඇවිත් මගේ සැමියාව ආරක්ෂක අංශවල පිරිසක් විසින් පැහැර ගෙන ගියා. එයින් අනතුරුව අපේ පවුල නඩත්තු කළේ මගේ මල්ලී. මගේ මල්ලීවත් පසුව පැහැර ගනු ලැබුවා. ඇයි මෙහෙම කළේ? ඔවුන්ට මොකද වුණේ කියලවත් අපි දන්නේ නැහැ.  

සටහන-ජයනි අබේසේකර

 

Recent Posts

Leave a Comment