“රජයේ නිළධාරින් තොරතුරු පනතෙන් වැඩ ගන්නවා”

Sep 4th, 2017 | By | Category: OTHER NEWS, Today Lead News

“පොළාන්නරුව ප්‍රදේශයේ ජීවත් වුණු පුද්ගලයෙක්ගෙ නිවස අසලින් අලුත් පාරක් හැදෙනවා. බොහොම ඉක්මනින් මේ පාර අබලන් තත්ත්වයට පත් වෙද්දි මේ පුද්ගලයා ඉන්නෙ කොළඹ ප්‍රදේශයේ නිසා ගම්වාසීන් ඔහුත් සමඟ මේ ගැන සාකච්ඡා කරනවා. ‘ඔබට රජයේ ඉහළ දේශපාලනඥයන් සමඟ ගනුදෙනු කරනවා නේද, එයාලට ලියුම් ලියල හරි පාර සකස් කරල දෙන්න, මේ තරම් ඉක්මන්ට පාර කැඩුනෙ කොහොමද කියල දැන ගත යුතුයි’ ඔවුන් පවසනවා. මේ අනුව ඔහු රාජ්‍ය නිලධාරීන්ට සහ මේ සම්බන්ධ සියලුම ආයතනවලට මේ ගැටලුව ගැන පැමිණිලි කළත් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් තොරතුරු පනත සම්මත වූවායින් පසුව ‘කොන්ත්‍රාත් එක කළේ කව්ද?, ඒක අධීක්ෂණය කළේ කව්ද?’ යනාදී තොරතුරු ඉල්ලමින් මෙම පුද්ගලයා තොරතුරු දැනගැනීමේ ඉල්ලුම් පත්‍රයක් අදාළ ආයතනයට යොමු කරනවා. දවස් කීපයකින්ම එම ඉදිකිරීම සම්බන්ධයෙන් කටයුතු කළ ප්‍රධානියාගෙන්ම ඔහුට දුරකථන ඇමතුමක් එනවා. ‘අපි මේ ගැන දැනන් හිටියෙ නැහැ, අපි මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙනවා’ කියලයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඉදිකිරීම් කටයුතු සම්බන්ධ ප්‍රධාන ඉංජිනේරුවාගෙ සිට මේ කටයුත්ත හා සම්බන්ධ සියලුම ඉහළ නිලධාරීන්ගෙන් ඔහුට දුරකථන ඇමතුම් එනවා. දවස් කීපයකින් පසු ඔවුන් ඇවිත් පාර හදල යන්නේ ඉල්ලා සිටි තොරතුරු දෙන්නත් කලිනුයි. තොරතුරු ඉල්ලා හිටියෙත් පාර හදාගන්න තියෙන වුවමනාවටයි, ඉතින් තොරතුර ලැබෙන්නත් කලින් පාර හැදිලත් තියෙනවා” තොරතුරු දැන ගැනීමේ පනත සාමාන්‍ය ජනතාවට කොතරම් සමීප වී තිබේද යන්නට නීතිඥ ජගත් ලියනාරච්චි උදාහරණයක් ගෙනහැර දැක්වූයේ එලෙසිනුයි.

2016 අංක 12 දරන ‘තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත’ සම්මත වන විටදි එය ජනගත කරන්නේ කෙසේද යන අභියෝගය තවදුරටත් අප හමුවේ පැවතීම පිළිබඳව බොහෝ දෙනෙක් කතාබහ කළා. රාජ්‍ය යාන්ත්‍රණය තුළ මෙය කෙසේ ක්‍රියාත්මක වෙයිද?, ජනතාව තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කිරීම පිළිබඳව දැනුම්වත් වී තමාට අවශ්‍ය තොරතුරු නිසි ලෙස ලබා ගනීවිද? තොරතුරු නිලධාරීන් ලෙස කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් තම කාර්යය නොපසුබට ලෙස ඉටු කරාවිද? මේ ආකාරයේ ගැටලු රාශියක් තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳව තවදුරටත් අප ඉදිරියේ ඉතිරි වී තිබුණා. තොරතුරු දැනගැනීමේ පනත සම්මත වී මාස හයක් ගත වී තිබෙන මේ අවස්ථාවේ ඉහත අභියෝග සමඟ තොරතුරු දැනගැනීමේ පනත සමාජගත වී ඇති ආකාරය පිළිබඳවත්, රාජ්‍ය නිලධාරීන් මේ පිළිබඳව දක්වන උනන්දුව කුමන ආකාරයේ එකක් ද යන්න පිළිබඳවත් කතාබහ කිරීමට දිවයින පුරා රාජ්‍ය නිලධාරීන් විශාල සංඛ්‍යාවකට තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් වැඩමුළු පවත්වමින් ඔවුන් සමඟ සම්බන්ධ වී කටයුතු කරන ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ (තොරතුරු ජාල) අධ්‍යක්ෂක නීතිඥ ජගත් ලියනාරච්චි මහතා සමඟ අපි සාකච්ඡාවක් සිදු කළා.

17016085_1881288862149468_561530373989913499_o

තොරතුරු දැනගැනීමේ පනත සම්මත වීමෙන් පසුව ජනතාව ඉල්ලා සිටින තොරතුරු ලබාදීමට අදාළ රාජ්‍ය ආයතනවල තොරතුරු නිසියාකාරයෙන් ගබඩා වෙලා තියෙනවද?

පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන අවස්ථාව වන විට තම ආයතනය සතුව තිබෙන තොරතුරු ඉදිරි අවුරුදු 10ක කාලයක් සඳහා ආරක්ෂා කළ යුතු බව පනතේ සඳහන් වෙනවා. ආයතන සතු සෑම තොරතුරක්ම වසර 10 ක් ආරක්ෂා කරමින් පවත්වාගෙන යා යුතු නමුත් අවුරුදු 150 ක් පරණ තොරතුරක් හෝ ආයතනයේ තියෙනවා නම් ඒ තොරතුර ලබාදීමට ආයතන බැඳී සිටිනවා. අවුරුදු 10 ක කාලයක් තොරතුරු රැක ගැනීම සඳහා විශාල අතිරේක ඉඩකඩක් අවශ්‍ය වෙනවා. ඒ නිසා තොරතුරු රැක ගැනීම සම්බන්ධයෙන් ආයතනවල පහසුකම් ඇති කළ යුතු වෙනවා. පනත යෝජනා කරනවා හැකි සෑම අවස්ථාවකදීම ඉලෙක්ට්‍රොනික් ආකාරයෙන් තොරතුරු ගබඩා කරල තියා ගන්න කියලා. ඒ වගේම ලෝක බැංකු ආධාර මත ඉලෙක්ට්‍රොනික් ආකාරයෙන් තොරතුරු ගබඩා කර තබා ගැනීමේ ක්‍රියාවලිය රජයේ ආයතන සඳහා හඳුන්වා දීමට දැනට රජය සැලසුම් කරමින් පවතිනවා. පනත ‘පොදු අධිකාරිය’ විදියට හඳුනාගන්නා පෞද්ගලික ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානත් මේ ආකාරයට තොරතුරු ගබඩා කර ගන්න තමන්ගේ ආයතන ඇතුළෙ සැලසුම් සකස් කර ගත යුතුයි. ඒ ආයතනවලට ගබඩා කිරීමේ පහසුකම් සපයන්න රජය මැදිහත් වෙන්නෙ නැහැ. රජය මැදිහත් වෙන්නේ රජයට අයිති පොදු අධිකාරීන්වල තොරතුරු ආරක්ෂා කර ගැනීමේ කාර්යය සඳහා පමණයි.

තොරතුරු කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ට නිසි පුහුණුවක් ලබා දී තියෙනවාද? ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවාද?

තොරතුරු ගබඩා කිරීම හා ලේඛන කළමනාකරණය කිරීම පිළිබඳව දැනටත් රාජ්‍ය නිලධාරීන්ට පුහුණුවක් තියෙනවා සහ එයට අදාළ චක්‍රලේඛ, පාඨමාලා ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් අඛණ්ඩව දැනටත් පවත්වාගෙන යනවා. නමුත් එම පාඨමාලාවන් සහ පුහුණුව තොරතුරු පනතට ගැලපෙන ආකාරයට නවීකරණය කිරීම, සහ තාක්ෂණය ලබාදීම සිදු කළ යුතුයි. ෂක්‍ඕ ආයතනය තමයි තොරතුරු ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් ගබඩා කිරීම සම්බන්ධයෙන් වගකීම් දරන්නේ. නමුත් ඒ ක්‍රියාවලිය තවම ආරම්භ වෙලා නැහැ.
රජයේ නිලධාරීන් දැනුම්වත් කිරීමේ කටයුතුවලදි ඔවුන්ගෙන් මතුවන ගැටලු මොනවාද? ඔවුන්ට ඉටු කරන්නට තියෙන රාජකාරිත් සමඟ තොරතුරු ලබාදීමේ කාර්යය සිදු කිරීම ඔවුන්ට එකතු වන අමතර රාජකාරියක් වෙනවා. මේ සඳහා විරෝධයක් එල්ල වෙන්නෙ නැද්ද?
මේ වනවිට තොරතුරු පනත සම්බන්ධ පුහුණුවීම් සිදු කිරීමට මම රාජ්‍ය නිලධාරීන් 2000 ක් පමණ සමඟ කටයුතු කරලා තියෙනවා. තොරතුරු ලබා දීම සම්බන්ධ කාරණයේදි ඔවුන් ඉන්නේ ඉතාම ධනාත්මක තැනකයි. ඔවුන්ගේ රාජකාරිය දේශපාලන බලපෑමකින් තොරව ඉටු කරන්න හැකි හොඳ අවස්ථාවක් විදියටත් ඔවුන් මේක දැක්කා.

තොරතුරු ගබඩා කිරීම සහ කළමනාකරණය සිදු කරන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ට ප්‍රශ්න තිබුණා. ඒ වගේම තොරතුරු පනතේ සදහන් යම් කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තැන් තිබුණ අවස්ථා තිබුණා. පනතේ සඳහන් සමහර කාරණා නිශ්චිත නොමැති වීම නිසා තොරතුරු ලබාදීමක් ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථාවක්ද නැද්ද යන්න හරිහැටි තීරණය කරන එක පිළිබඳව ඔවුන්ට ගැටළුවක් තිබුණා. පෞද්ගලිකත්වය දැඩි ලෙස ආක්‍රමණය කරන්නා වූ තොරතුරක් කියන කියන්නේ මොකක්ද, ජාතික ආරක්ෂාවට දැඩි ලෙස අගතිගාමී වන්නා වූ තොරතුරක් කියන්නේ මොකක්ද කියන එක නිශ්චිත නොවීම උදාහරණයක් විදියට ඔවුන් පෙන්වා දුන්නා. දැඩි ලෙස අගතිගාමී වෙනවා කියන එක පුද්ගලයෙන් පුද්ගලයාට වෙනස්. එවන් අවස්ථාවක වැරදි තොරතුරක් තමන් හරහා එළියට යයිද කියන එක ගැන තොරතුරු නිලධාරීන්ට ප්‍රශ්නයක් තියෙනවා.

බොහොමයක් රාජ්‍ය නිලධාරීන් මේ තොරතුරු පනත පිළිබඳව ඉගෙන ගන්න, ඒ අනුව වැඩ කරන්න ඉදිරිපත්වෙලා තියෙන්නෙ බොහොම උනන්දුවෙනුයි. මේ වනවිට රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් තොරතුරු ඉල්ලලා අයදුම්පත්‍ර ඉදිරිපත් කරලා තියෙනවා. මම දන්න විශ්වවිද්‍යාලයක තොරතුරු අයදුම්පත්‍ර සියල්ලක්ම ඇවිත් තියෙන්නේ විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලයෙනුයි. ඒ වගේම මම පුහුණුවීම් කටයුතු සඳහා ගිය ආන්දෝලනාත්මක ඉහළ රජයේ සමාගමකට තොරතුරු අයදුම්පත්‍ර පනස් ගාණක් ලැබිලා තියෙනවා. ඒ පනස් ගානම ඇවිල්ල තියෙන්නේ ඒ ආයතනයේ විධායක නිලධාරීන්ගෙනුයි. ඒ අනුව දැන් රජයේ නිලධාරීන් තමන්ගේ ප්‍රශ්න විසඳන්නත් මේක භාවිතා කරලා තියෙනවා.

තාම අපේ රටේ තොරතුරු නිලධාරීන් පුහුණු කිරීමේ විධිමත් පාඨමාලාව පටන් අරගෙන නැහැ. නිලධාරීන් 3700 ක් පුහුණු කිරීමේ අරමුණෙන් පවත්වන දින තුනක දැවැන්ත වැඩමුළුවකට දැනට සැලසුම් සකස් කරමින් පවතිනවා. එය ක්‍රියාත්මක වන තෙක් අපි රජයේ නිලධාරීන්ට පුහුණු වීම් කටයුතු සිදු කරනවා. ආයතනය තුළ වැඩසටහන් සංවිධානය කරමින්, සම්බන්ධීකරණය කරමින් තොරතුරු නිලධාරීන් ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා. මාත් එක්ක කතා කරපු හැම තොරතුරු නිලධාරියෙක්ම පාහේ තමාට තොරතුරු නිලධාරියෙක් වීමට ලැබීම ගැන ගෞරවයකින් යුතුවයි කතා කළේ. රාජ්‍ය සේවය බොහෝ අය හෑල්ලු කළත්, බාල්දු කළත් තමන්ට ලැබුණ අතිරේක වැඩක් විදියට නොසිතා රාජ්‍ය නිළධාරීන් බොහෝ දෙනෙක් ඉතා සතුටෙන් තොරතුරු ලබාදීමේ කාර්යය සිදු කරනවා.

 

තොරතුරු ලබාගැනීමේ අයදුම්පත්‍රය පිරවීමේදී, අපට අවශ්‍ය තොරතුර නිවැරදි ආකාරයෙන් ලබා ගැනීමට නම් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාරණා මොනවාද?

අපට තොරතුරු ලබා ගන්න අවශ්‍ය විදිහට තොරතුරු අයදුම්පත්‍රය පිරවීම සම්බන්ධයෙන් අපි සැලකිලිමත් විය යුතුයි. ආයතනයේ භාරයේ සහ පවතින තොරතුරු පමණක් ඉල්ලුම් කිරීමට අපි වග බලා ගත යුතුයි. තොරතුරු ඉල්ලන්න පුළුවන් වෙන්නේ ක්‍රම හතරකින් විතරයි. ඒ වැඩ හෝ ලේඛන පරීක්ෂා කිරීම වශයෙන්, ලේඛනවල සහතික කළ පිටපත් ලබා ගැනීම විදියට, සහතික කළ ආදර්ශ හෝ නිදර්ශක විදියට, ඉලෙක්ට්‍රොනික් ආකාරයෙන් ගබඩා කර ඇති තොරතුරක් ඉලෙක්ට්‍රොනික ආකාරයකට හෝ දෘඪ පිටපතක් වශයෙනුයි.

උදාහරණයක් විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පහුගිය අවුරුදු දෙකේ ගුවන් ගමන් සඳහා වියදම් කළ මුදල පිළිබඳව තොරතුරු අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලනවා. එහෙම වාර්තාවක් කොහෙවත් හදල නැති නිසා ඒක ලබා දෙන්න නැහැ. භාරයේ සහ පාලනයේ තියෙන තොරතුරු මිස තොරතුරු අයදුම්පත්‍රයකට තොරතුරු ලබාදීම සඳහාම යම් ආයතනයක් වෙනම ගණනය කිරීම්, පරීක්ෂණ සිදු කිරීම්, ශේෂ පරීක්ෂා කිරීම් කරන්නේ නැති බව පනතේ පැහැදිලිව තියෙනවා. එහෙම තොරතුරක් කාට හරි අවශ්‍ය නම් වෙන වෙනම අමාත්‍යාංශවලින් අදාළ තොරතුරු අරන් තමන් එය සකස් කර ගත යුතුයි. ඉන්දියාවේ ශාම්ලාල් යාදෙව් කියන විමර්ශනාත්මක මාධ්‍යවේදියා මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරලා ලෝක ජනප්‍රිය වුණු ලිපියක් ලිව්වා. ඔහු සියලුම මන්ත්‍රීවරුන්ගේ පහුගිය අවුරුදු පහේ ගුවන් ගමන් වියදම් සඳහා කීයක් ගියාද යන වග වෙන වෙනම අදාළ අමාත්‍යාංශවලිනුයි ලබා ගත්තේ.

තොරතුරු අයදුම්පත්‍රයක් පුරවද්දි අවධානය යොමු කළ යුතු කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි පොදු අධිකාරිය භාරයේ සහ පාලනයේ තියෙන තොරතුරක් විය යුතුයි. දෙවෙනි කාරණය ඉහත සඳහන් කළ ආකාර හතරෙන් එකකට පමණක් තොරතුරු ඉල්ලා සිටිය යුතුයි. අයදුම්පත්‍රය පුරවද්දි පුරවැසියාගෙන් අහනවා මේ ආකාර හතරෙන් කොයි විදියටද තොරතුරු අවශ්‍ය කරන්නෙ කියලා. ඒ නිසාම අයදුම්පත්‍රයක් පුරවද්දි වරදින්න විදිහක් නැහැ කියන එකයි මගේ අදහස. තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය ආකාරයට ප්‍රශ්න සකස් කර ගැනීමේ ක්‍රමය අපේ පුරවැසියන්ට තවම ආගන්තුකයි. ඉන්දියාවේ තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කළ මුලදි අයදුම් පත්‍රයේ ප්‍රශ්න පහක පමණ ප්‍රමාණයකුයි තිබුණේ. නමුත් මේ වනවිට තොරතුරු නිලධාරියාට නිශ්චිත ලෙසම පිළිතුරු දීමට හැකි වන ලෙස ප්‍රශ්න විසිපහක පමණ ප්‍රමාණයකට අයදුම්පත පුරවැසියන් විසින් දියුණු කරගෙන තිබෙනවා. ඒකෙන් නිලධාරියාට ඒ ප්‍රශ්න මඟ හරින්නත් බැහැ, නිලධාරියාට පහසුයි සහ නිලධාරියා නොමඟ යන්නෙත් නැහැ. ඒකට හුරුවෙන්න අපේ රටේ පුරවැසියාට කාලයක් යාවි. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන, ඒ සඳහා කටයුතු කරන කණ්ඩායම්, විශ්වවිද්‍යාල ප්‍රජාව, නීතිඥ සංගම්, වෘත්තීය සමිති වගේ කණ්ඩායම්වල සහයෝගය පුරවැසියන්ට අවශ්‍ය වෙනවා.

තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වූවායින් පසුව මේ අයිතියෙන් ප්‍රයෝජනයක් ගන්නට සාමාන්‍ය ජනතාවට තිබෙන උනන්දුව ගැන යම් අදහසක් ඔබේ පුහුණු වැඩමුළුවලදි හෝ සමාජ ක්‍රියාකාරකම්වලදි ලැබුණු අත්දැකීම් ඇසුරින් පැහැදිලි කරමුද?

සාමාන්‍ය ජනතාව මේ පිළිබඳව බොහෝම උද්යෝගිමත්, මේ වෙද්දි තොරතුරු ලබා ගැනීමේ පනතෙන් බොහෝ දේවල් ලබා ගත්ත පුරවැසියො ඉන්නවා. මාතලේ, කන්තල, පානම, අම්පාර වගේ ප්‍රදේශවල මිනිස්සු විශාල ප්‍රමාණයක් තොරතුරු ඉල්ලලා අයදුම්පත් භාරදීලා තියෙනවා. තමන්ගෙ ඉඩමට මොකද වුණේ, තමන්ගෙ ඉඩම කොහොමද ගුවන් හමුදාවට පවරා ගත්තේ, මුහුදු වෙරළෙන් ඔක්කොම මිනිස්සු ඉවත් කරද්දි එක හෝටලයක් විතරක් මුහුදු වෙරළෙ තියෙන්නේ කොහොමද? ඒ හෝටලේට නඩු දාලා නැද්ද? මේ වගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඒ අය තොරතුරු ලබාගෙන තියෙනවා. මේ තොරතුරු මීට කලින් ඒ මිනිස්සුන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දුන්නේ නැහැ, බැනල එලෙව්වා. නමුත් දැන් තොරතුරු ඉල්ලුම් පත්‍රයක් යොමු කළ විට තොරතුරු ලැබෙනවා. විශේෂයෙන් වව්නියා ප්‍රදේශයේ මම දන්නා ආයතනයක් මගින් රජයේ විවිධ ආයතනවලට තොරතුරු ඉල්ලුම් පත්‍ර 1800 ක් පමණ යොමු කරල තියෙනවා. තොරතුරු දැන ගැනීමේ අයිතිය බලාත්මක කළ නිසා සමහර මිනිස්සුන්ට තොරතුරු ලැබෙනවට වඩා ඉක්මන්ට විසඳුම් ලැබිලා තියෙනවා. මෙය ඉතාම හොඳ තත්ත්වයක්. තොරතුරු දැනගැනීමේ පනතෙන් මිනිස්සු මොන තරම් හොඳට ප්‍රයෝජනයට අරන් තියෙනවද කියන එක මේ සම්බන්ධ වාර්ෂික වාර්තාව ආවම හැම කෙනෙක්ටම දැන ගන්න පුළුවන් වේවි.

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ (තොරතුරු ජාල) අධ්‍යක්ෂක නීතිඥ ජගත් ලියනාරච්චි
සාකච්ඡා කර සකස් කළේ රුවිනි අයේෂා බියගම

 

Recent Posts

Leave a Comment