කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක්

Sep 7th, 2017 | By | Category: LEAD NEWS, Today Lead News

කෑගල්ලට දිවෙන කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රන්වල මංසන්ධියේ විකල්ප මාර්ගය ආරම්භක ස්ථානයේ වම්පසට වන්නට ටකරන් සෙවිලි කළ එකට එකක් වශයෙන් ආසන්නව පිහිටි ගෙවල් සමූහයක් හමුවේ. බිම් මට්ටමට වඩා පහතින් පිහිටි මේ ගෙවල් සමූහය රන්වල මංසන්ධියේ පාලම මතට පැමිණූ වම් පස බලන්නෙකුට එකවර නෙත ගැටෙනු ඇත. මෙයින් වසර හතළිහකට පමණ ඉහතදී නගර සභාවේ කම්කරුවන් වශයෙන් සේවයට බඳවා ගත් දමිළ ජනතාවට ඉන්න හිටින්නට කියා නිවාස ලබා දුන්නේ මේ ස්ථානයේය. පරම්පරා ගණනාවක් පුරා නගර සභාවට කඹුරමින් ඔවුන් ජීවත් වූයේ මේ බිම් කඩෙහිය.

DSC_0077

ප්‍රධාන පාරට පිවිසීමට තිබූ කුඩා පඩි පේළියකින් බැස නිවෙස් අතර ඇති පටු තීරුවක වැස්සේ ඇවිද යමින් අපි කතා බහට යමෙකු සෙවූවෙමු. ටකරන් වහලයේ සිදුරු අතරින් ආලෝකවත් වූ පී. ශංකර්ගේ නිවසට බිම එළා තිබූ ගෝනි පඩංගුවකින් පය පිසදා ගෙන අපි ඇතුළු වුණෙමු. බැලූ බැලූ අතේ ලෑලි පටි ගැසූ ටකරන් වහලය සහිත ගෙවල් පෙනේ. ශංකර් අපි සමඟ දොඩමළුය. “මෙතන ගෙවල් 19 ක් පවුල් 24 ක්, ඔක්කෝම පිරිස 87 ක් වගේ ඉන්නවා. පත්තරවලින් ඇවිත් අපේ විස්තර ලියාගෙන යනවා. ඒත් අපිට සිද්ධ වෙච්ච දෙයක් නැහැ. නදී කොහෙදෝ සිට අපේ කතාවට හවුල් වෙමින් පැවසුවාය. අපේ ආච්චිලා සීයලා තාත්තල ඔක්කෝම ජීවත් වුණේ මෙතන. රස්සාව කළේ නගර සභාවේ. මෙතන තිබුණේ ඒ අයට නගර සභාවෙන් ලැබුණ ක්වාටස්.”

DSC_0019

මේ සියලු දෙනා දමිළය. එහෙත් ඔවුන් මනා ලෙස සිංහල බස හසුරුවයි. නගර සභාවේ සේවය වෙනුවෙන් ගෙන්වා මෙහි පදිංචි කළ මෙම දමිළ ප්‍රජාව තවමත් නගර සභාව වෙනුවෙන් සේවයේ යෙදෙන්නේදැයි යන්න මට ප්‍රශ්නයක් විය. “අපෙන් දෙන්නෙක් ඇර අද වෙන කවුරුවත් නගර සභාවේ වැඩ කරන්නේ නැහැ. මම ත්‍රීවීලර් එකක් පදිනවා. තව අය ටවුමේ සපත්තු මහනවා. එක එක රස්සාවල් කරනවා. ඒත් අපේ සීයලා, ආච්චිලා තාත්තලා නගර සභාවේ වැඩ කරේ.” ඒ ප්‍රකාශ්ගේ හඬය. නගර සභාවේ වැඩ කරනවා කියන්නෙ රජයේ ස්ථීර රැකියාවක්, ස්ථීර පඩියක් ලැබෙන වැඩක්නේ. ඇයි ඔයාලා ඒක අත්හැරියේ? මගෙන් නිරායාසයෙන් ගිලිහුණ ප්‍රශ්නය ගැන මම පසුතැවුණෙමි. “ඔව් ඒක නම් ඇත්ත. ඒත් අපි ගොඩක් දෙනා දැන් වෙන වෙන රස්සාවල් තමයි කරන්නෙ. පිළිගත්ත පෞද්ගලික ආයතනයක මගේ මල්ලි වැඩ කරනවා. මගේ අක්කගේ පදිංචිය මෙහේ නෙවෙයි. මල්ලි රස්සාවට ගියේ පදිංචිය අක්කගේ ගෙදර කියල. ඉන්නේ මෙහේ කිව්වා නම් රස්සාව ලැබෙන්නෙ නැහැ”. ප්‍රකාශ්ගේ පිළිතුරෙහි වූයේ අන් කිසිවක් නොව පුද්ගල අභිමානයයි. ඔවුන් බොහෝ දෙනා අද විවිධ ස්වයං රැකියාවල යෙදෙමින් දවස සරි කර ගනිති. නගර සභාවේ කම්කරු දමිළ ජනතාව වශයෙන් තමන් ඉදිරියේ බෝඞ් එල්ලා බලා සිටින පිටස්තර සමාජයේ කෙනහෙළිකම් විසින් ඔවුන් වෙනත් රැකියා වෙත යොමු කරන්නට ඇත. අනෙක් අතින් තම වැඩහිටියන් කළ වෘත්තිය ඔවුන්ට සිය පරම්පරාවේ උරුමයක් ද නොවේ. එය කර තබා ගෙන යමින් තමන්ගේ ඊළඟ පරම්පරාවට නිගා දෙන්නට ඔවුන් අකමැති සේය.

ලී පටි ගැසු දොර ලෑලී අතරින් ශංකර්ලාගේ ප්‍රකාශ්ලාගේ නදීලාගේ දරුවෝ එබිකම් කරමින් අප දෙස බලා හිඳිනු පෙනේ. ඔවුන්ට අතේ දුරින් ඇති නගරයේ උසස් පාසලකට ඇතුළත් වීමේ වරම් අහිමි වී ඇත. ඒ මෙම ස්ථානයේ ස්ථීර පදිංචිය පෙන්වීමට ඔවුන් අසමත්ව ඇති හෙයිනි. දරුවෙකුට ඉගැනීමට ඇති නිදහසට පදිංචිය තහවුරු කරන්නට සිදුවන්නේ ඇයිදැයි යන්න නොතේරුණ ද සැණින් මේ ලංකාව බව පසක් වේ. “ඡන්ද නාම ලේඛනයේ අපේ නම් තියෙනවා. අපි ගෙවල්වලට වතුර ලයිට් අරන් තියෙනවා ඒ කිසිම දේකට අපේ පදිංචිය ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් අපේ දරුවෙක් ඉස්කෝලේ දාන්න හදන කොට ස්ථීර පදිංචිය ඉල්ලනවා. අපිට පයින් යන දුර තියෙන ඉස්කෝලෙට හතර දිග්භාගෙන්ම ළමයි එනවා. ඒත් අපේ දරුවෙක් ඒ ඉස්කෝලෙට දාගන්න බැහැ.” නදීගේ වචනවල වේදනාවද සෝපාහාසය ද මුසු වී ඇත.

මේ මිනිසුන්ගේ ඡන්දයකට ඇති වටිනකම ඒ ජීවිතවලට හිමිවී නැත. ඡන්දය ඉල්ලාගෙන තමන්ගේ පිල උඩට එන සුදු ඇඳි මහත්තුරු දහ අතේ පොරොන්දු තබා ඡන්ද උදුරා ගන්නවා මිස ඉන් මත්තෙහි මේ ජීවිතවලට සිදුව ඇත්තේ කුමක්දැයි නොසොයති. “අපි ඉස්කෝලේ යන කාලේත් අපේ දිහා මිනිස්සු බැලුවේ මේ වත්තෙන් ආපු, පාලම යට ඉන්න, මේ රස්සාව කරන මිනිස්සුන්ගේ ළමයි කියන අදහසින්. දැන් වුණත් අපේ දිහා, අපේ දරුවෝ දිහා බලන්නේ එහෙමයි. අපි යාළුවෝ අතර පවා කොන් වෙන අවස්ථා තියෙනවා. ඒ නිසයි අපි කැමති මෙතනින් යන්න. අපි හොඳට සිංහල කතා කරනවා. දරුවන්ව සිංහල ඉස්කෝලෙකට දාලා උගන්නන්නයි අපිට ඕන.” ප්‍රකාශ් කියාගෙන යන්නේය.

මේ මුළු වත්තටම ඇත්තේ පොදු වැසිකිළි දෙකකි. නාන්නට ඇත්තේ එක ස්ථානයකි. ඇති හැකි අන්දමින් ඇතමුන් ගෙදරටම පයිප්ප සවිකර, වැසිකිළි හදාගෙන සිටිති. මෙම ගෙවල්වලට පිටුපසින් ඇති ඇළ වැස්සට උතුරා යාමේ අවදානම ද ඔවුන් දරන්නේය. මීට ඔබ්බෙන් ඉදි කරමින් පවතින තට්ටු ගණනක ගොඩනැල්ල සියලු දේශපාලන සහයෝගයන් මත ශීඝ්‍රයෙන් ඉදිවෙමින් තිබෙනු පෙනේ. එහෙයින්ම එය අනවසර ඉදිකිරීමක් ද නොවේ.

DSC_0029

“ඉස්සර මෙතන ගෙවල් කීපයයි තිබුණේ. මෙතන බයි රෝඞ් එකක් හදද්දී අපිට කිව්වා මෙතනින් මීටර් පන්සියයක් වගේ ඉස්සරහින් තියෙන කෝපිවත්ත කියන තැනින් ඉඩම් දෙනවා, ගෙවල් හදලා දෙනවා මෙතනින් යන්න කැමති ද කියල. අපි කැමති වුණාම මෙතන තිබුණ ගෙවල් කඩලා තාවකාලිව ලෑලි, ටකරන්වලින් දැන් ඉන්න මේ ගෙවල් හදාගන්න කිව්වා, මෙතන තාවකාලිකව පදිංචි කරන්නෙ කියල. නමුත් කෝපිවත්ත කියන ඉඩමට පාරක් තිබුණේ නැහැ. කනත්ත අයිනෙන් තමයි යන්න එන්න පුළුවන්කම තිබුණේ. ඒ නිසා අපි අකමැති වුණා. නමුත් දැන් ඒ ඉඩම යොවුන් සේනාංකයට අයිති. ඒ ගමේ කෙනෙක් මේ පාර හදන්න තමන්ගේ ඉඩම් කොටසක් නගර සභාවට පවරලා තියෙනවා. එතන කාපට් කරල පාර හදල තියෙනවා. දැන් අපි යන්න කැමතියි පාරක් තියෙන නිසා. කියන්න ඕන හැම කෙනාටම කිව්වත් මේ ඉඩම් අපිට ලබා දෙනව ද කියන එක ගැන කිසිවක් සිදුවෙන්නෙ නැහැ. දැන් අපි අඩි විස්සක විතර කොටසක, ලෑලිවලින් හදපු ගෙවල් ඇතුළේ හිර වෙලා. අත තිබ්බමත් මේ ගෙවල් හෙළවෙනවා. ලී ඔක්කෝම දිරල.” ප්‍රකාශ්ගෙ මුහුණ වෙහෙසකර බවින් මිරිකේ.

DSC_0064

“එක අවස්ථාවක සියඹලාපිටිය පාරේ කිලෝමීටරයක් විතර ඉදිරියට ගිය තැන තියෙන ඉඩමක්, නගර සභාව, ප්‍රාදේශීය සභාව සමඟ සාකච්ඡා කරල අපිට දෙන්න තීන්දු කළාම අපි ඒකට කැමති වුණා. අපි එතනට එන්න කැමති වුණා කියල දැනගත්තම ඒ ගමේ මිනිස්සු උද්ඝෝෂණ කළා අපිව ඒ ගමට දාන්න එපා කියල.”

ශංකර් හා ප්‍රකාශ් සමගින් ඔවුන්ට දෙනවා යැයි කියා ඇති කෝපිවත්ත ඉඩම බලන්නට ද අපි ගියෙමු. කනත්තට ආසන්නයේ ඇති එම ඉඩම නරඹා එන අතර මෙම ඉඩමට ඇතුළු වන්නට ඇති බිම් කොටස රජයට පවරා පාරක් කපා ගන්නට සැලැස් වූ වයස්ගත මිනිසා උන් හිටි ගමන් අප වෙත කඩා පැන්නේය.

“මේක මිය ගිය මිනිස්සු වළලන ශුද්ධ වූ පූජා භූමියක්. තමුසෙලා කාගෙන් අහල ද අර ලැයිමේ දෙමළුන්ට මේ ඉඩම් දෙන්න යන්නේ. දෙමළු මේකට දාගන්න මම ඉඩ තියන්නෙ නෑ.”

පස්වලට යටව ඇති දිරා ගිය මළ කුණු සහිත භූමියක්, ශුද්ධ වන්නේ කෙසේදැයි අපි නොදනිමු. මියගිය මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි ඒ මිනිසා තමන් ඉදිරියේ සිටි ප්‍රකාශ්ගෙත් ශංකර්ගෙත් ජීවත් වීමට නිගා දෙමින් සිටියේය. මියගිය මිනිසෙකුට ඇති අයිතිය පවා ශංකර්ලා දෙමළ වීම නිසා අහිමි වී ඇත්තේය.

“අපිට ඉන්න තැනම ස්ථිර කරල දෙන්න කියල රජයට කියන්න මිස්; ඒ හොඳටම ඇති.” එන අතරමඟ ප්‍රකාශ් හෙමිහිට කෙඳිරුවේය. සිංහල බෞද්ධ මේනියාවෙන් ගැලවෙන්නට අපිට තව බොහෝ කල් යනු ඇත. සමහර විට එය කිසිදා සිදුනොවනු ද ඇත. ඒත් ශංකර්ලා ප්‍රකාශ්ලා මේ බිමෙහි ජීවත් විය යුතුව ඇත. ප්‍රකාශ්ලාගේ පා සටහන් රැඳෙන බිමක ඉන්නට අකමැති අය වෙනුවෙන් කියන්නට ඇත්තේ මෙපමණය. ඔවුන්ගේ දෙනෙත්වල ද බැල්මෙහි ද කතාවෙහි ද මා දුටුවේ තවත් අපි වැනිම මිනිසුන් පමණක් බව මට දිවුරා කිව හැකිය.

“මෙතන ගෙවල් 19 ක් පවුල් 24 ක්, ඔක්කෝම පිරිස 87 ක් වගේ ඉන්නවා. පත්තරවලින් ඇවිත් අපේ විස්තර ලියාගෙන යනවා. ඒත් අපිට සිද්ධ වෙච්ච දෙයක් නැහැ”

“අපිට ඉන්න තැනම ස්ථිර කරල දෙන්න කියල රජයට කියන්න මිස්; ඒ හොඳටම ඇති.” එන අතරමඟ ප්‍රකාශ් හෙමිහිට කෙඳිරුවේය”

 

ඡායාරූප – දෙනුවන් බංඩාර
විශේෂ ස්තූතිය – සනත් පතිරණ

ජයනි අබේසේකර

Recent Posts

Leave a Comment