20 වන සංශෝධනයෙන්  පිළිතුරු සොයන ප්‍රශ්නය කුමක් ද?

Sep 11th, 2017 | By | Category: OTHER NEWS

නිදහසෙන් පසුව මේ වනවිට ලංකාවට ව්‍යවස්ථා තුනක අත්දැකීම් තිබේ. ඉන් සෝල්බරි ව්‍යවස්ථාව අප වෙනුවෙන් නිර්මාණය කරදීමට ඉංග්‍රීසි ව්‍යවස්ථා නිර්මාපකයන්ට සිදුවිය. 72 ව්‍යවස්ථාව මුළු‍මනින්ම දේශීය ව්‍යවස්ථා නිර්මාණ ශිල්පීන්ගේ උත්සාහයකි. ඊට වෙනස්ව, 78 ව්‍යවස්ථාව යනු මුළු‍මනින්ම ජනතාව වෙතටවත් පාර්ලිමේන්තුව වෙතටවත් නොනැමුණු එක් පුද්ගලයෙකුගේ අභිමතාර්ථ සාධනය කිරීමට ඔහු විසින්ම කළ නිර්මාණයකි.

ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාව වසර 228 ක් තරම් වයස්ගතය. මේ වනවිට ඊට එකතු වී තිබෙන්නේ සංශෝධන 27 ක් පමණි. අනෙක් අතින් ඉන්දීය ව්‍යවස්ථාවට වයස අවුරුදු 70වකි. එයට සංශෝධන 101ක් මේ වන විට එකතු වී තිබේ. එකතු වී ඇති සංශෝධන ප්‍රමාණය ප්‍රමාණාත්මකව ඉහළ මට්ටමේ වුවත් එරටට තිබෙන්නේ එකම ව්‍යවස්ථාවක අත්දැකීමක් පමණි. ඉන්දීය ව්‍යවස්ථාව සම්පාදනයට පෙරමුණ ගන්නේ කුල පීඩනයට බුද්ධියෙන් අභියෝග කළ ආචාර්ය අම්බෙඞ්කාර්ය. ව්‍යවස්ථා සභාවේදී නේරු, ගාන්ධි හා අම්බෙඞ්කාර් තිදෙනා අතර දැඩි මතවාදීම ගැටුමක් තිබිණි. විශාල පරිමාණයේ වාද විවාද ගොඩනැගිණි. එහෙත් කල් පවතින ව්‍යවස්ථාවක් ඔවුන් ජාතියට දායාද කළෝය. මේ නිසා ජාතික අනුකලනය රටේ සංවර්ධනයට පෙරා ගැනීමට එරට මූලික නීති ලියවිල්ලට හැකිව තිබේ.

72 සහ 78 ව්‍යවස්ථා සම්පාදනයේදී අපගේ ව්‍යවස්ථා නිර්මාපකයන් අතර ඉන්දියාවේ මෙන් ප්‍රබල මත ගැටීමක් (දේශපාලනික ගැටීමක් විනා) නොතිබිණි. ව්‍යවස්ථා සම්පාදනය සමාජයට විවර වූ මතවාදාත්මකව දැඩි කැළඹිලිකාරී ස්වභාවක් නොගත් අතර එම නිසාම සමාජ ඉරි තැලීම් මනාව හඳුනාගැනීමට දෙකෙන් එකකටවත් හරිහැටි නොහැකි විය. 71 හා 88, 89 තරුණ නැගිටීම් දෙකට, 30 අවුරුදු යුද්ධයටවත් විසඳුම් ඉන් ඉදිරිපත් නොකෙරිණි. එමනිසා සමාජය සමෝධානය කර සංවර්ධනයේ එළි දැල්වීම එම ව්‍යවස්ථා ඉදිරියේ දිනෙන් දින කඩවන අඳුරු බලාපොරොත්තු පමණක් විය.

ඒ අනුව, වඩාත් උත්ප්‍රාසාත්මකව මෙහිදී කිව හැක්කේ “ඉන්දියාව ගැටුම් ඇතිකරගෙන පසුව ව්‍යවස්ථාවක් හදාගෙන එක්සත් වූවත් අප ව්‍යවස්ථා දෙකක් හදාගෙන පසුව ගැටීම් ඇතිකරගෙන තිබුණු එක්සත් කමත් නැති කරගත්තේය.” යන්නයි.

මේ වසරේදී 78 ව්‍යවස්ථාව සිය 29 වැනි උපන්දිනය සමරයි. මේ වනවිට සංශෝධන 19 ක් එකතු වී තිබේ. ඉතා අඩු කාලයක් තුළ සංශෝධන රැසක් එකතු වීම ව්‍යවස්ථාවේ ගුණාත්මකත්වය සෘජුව ප්‍රශ්න කිරීමකි. මෙහිදී වැදගත් කරුණක් වන්නේ 17 හා 19 යන සංශෝධන දෙක හැරෙන්නට අනෙකුත් සංශෝධන සියල්ලෙන්ම පාහේ කෙරී ඇත්තේ සෘජුව හෝ වක්‍රව විධායක ජනාධිපතිවරයාගේ බලතල උපක්‍රමික ලෙස අසහායකරණයයි. ඇක්ටන් සාමිවරයා කීවේ ‘බලය කොහොමත් දූෂිතයි. අධික බලය අන්ත දූෂිතයි’ කියාය. එවිට සංශෝධන බහුතරයකින් කර තිබෙන්නේ බලය දූෂණය කිරීමට පහසුවන සේ එක් ආයතනයක පොරකටු උල් කිරීමයි. විශේෂයෙන්ම 18 වැනි ප්‍රබල සංශෝධනයකින් ජනාධිපතිවරයා ජීවිතාන්තය දක්වාම රටේ පාලකයා කිරීමට දැරූ තැත මෙහිදී දැක්විය යුතුය.

දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට ඉතා කුඩා ගෝත්‍රික ජන කණ්ඩායම්වල පවා අදහස් විමසූ බව සඳහන්ය. ව්‍යවස්ථාවේ මූලික කරුණු නූගත් ජනතාවට තේරුම් කරදීමට වීදී නාට්‍ය පවා පෙන්වීය. එතරම් එය සාමාන්‍ය ජනතාව වෙතට නැඹුරු විය. 78 ව්‍යවස්ථාව උපදින්නේ මේ කිසිදු වෑයමකින් තොරව ඕපපාතිකවය. ජනතාවගෙන් වෙන් වූ එවැනි ව්‍යවස්ථාවකින් හිස්තැන් පිරවුම් ගොන්නක් පසු කාලීනව අප බලාපොරොත්තු විය යුතුය. කෙටි කලක් තුළ සංශෝධන වාර ප්‍රමාණය 19 ක් තරමට දිගු වූයේ මේ නිසාය. දැන් 20 වැන්නකට ද සූදානමක් ආණ්ඩුවේ පැත්තෙන් තිබේ.

20 සහ දේශපාලනය

සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් යනු සමාජ ගර්භාෂයේ ඇතිවන ප්‍රශ්නයකට දෙන දේශපාලනික පිළිතුරකි. එහෙත් ලංකාවේ දේශපාලනික වශයෙන් ආන්තීකරණය වූ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තනිකරම ජනතාවගෙන් විනිර්මූක්ත වූ දේශපාලන ප්‍රභූත්වයේ අධිකාරියක් වී තිබේ. ඒ නිසා එම ක්‍රියාවලිය දේශපාලන පක්ෂවලට වාසි ගැනීමට හොඳ මෙවලමක් ද වී තිබේ.

18 වැනි ව්‍යවස්ථාව හඳුන්වා දුන් ඒකාධිපති ව්‍යවස්ථානුකූල වියරුවට තිත තැබීමට 19 වැනි සංශෝධනය ගෙන ඒමට යහපාලන ආණ්ඩුවට සිදුවිය. 19 සම්මත කිරීමේ වාසිය කෙළින්ම ගියේ එක්සත් ජාතික පක්ෂයටය. අනෙක් අතට 19 සම්මත වනවාත් සමඟ 18 නිෂ්ක්‍රීය විය. එය නිෂ්ක්‍රීය වීමෙන් ආණ්ඩුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශ්වයට කිසිදු දේශපාලනික වාසියක් නොලැබුනු අතර (එය ඔවුන්ගේම නිර්මාණයක් නිසා), 19 සම්මත වීම යනු 18 ට අත එසවූ සියල්ලන්ට එල්ල වූ එක් අතකින් දැවැන්ත දේශපාලනික පා පහරක් වැනිය. 19 යේ වාසිය තමන් අතට ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයන්ට තිබූ කෙටිම මඟ වූයේ මේ වනවිට තවත් උභතෝකෝටියක්ව තිබූ 20 සංශෝධනයක් පෙරට දැමීමයි. එමනිසා 19 සම්මත වීමටත් පෙර 20 කරලියට අවේය. මෙහිදී සැළකිය යුතු කරුණු දෙකක් තිබේ. පළමුවැන්න, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වැනි පුළුල් කටයුත්තක් හුදු සංශෝධනයකින් කිරීම ඉතා අසාර්ථක බවයි. එය ව්‍යවස්ථාව සමගම බද්ධ කළ යුතු දෙයක් බවයි. දෙවැන්න, ළඟදීම අවලංගු වීමට නියමිත 78 ව්‍යවස්ථාවට මැතිවරණ ක්‍රම සංශෝධනයක් ගෙන ඒමෙන් කල්පවතින ප්‍රතිඵල නොලැබෙන බවයි. එනම් මැරෙන්න ඉන්න අස්සයාට ලාඩන් ගැසීමක් බඳුය. ඔවුන්ට අවශ්‍ය නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මැතිවරණ ක්‍රම සංශෝධනය ඉදිරිපත් කළ හැකිව තිබුණි. මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නායකයන් 19 වාසිය තමන්ට හරවාගත්තේ තම පක්ෂය 19 ට අත එසවුයේ තමන් ඉදිරියේදී ගෙනෙන 20 ට එක්සත් ජාතික පක්ෂයේ සහය බලාපොරොත්තුවෙන් බව කියමිනි. සමස්ත ව්‍යවස්ථාවේම වෙනසක් බලාපොරොත්තුවන එක්සත් ජාතික පක්ෂය මැතිවරණ ක්‍රම සංශෝධනයකට විශේෂයෙන් දායක නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයෝ හොඳින් දැන සිටියහ. එවිට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව තවත් විවේචනයක් එකතු කරගැනීමට ඔවුන්ට හැකිවිය.

මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය එකම ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මැරුවේය. එනම් 18 ට අත එසවීමෙන් කරගත් වරදට සිවිල් සමාජයෙන් එල්ල වූ විවේචනයට අලංකාරික පිළිතුරක් (අපි තමයි 19 සම්මත කළෙත් වැනි) සොයාගැනීමයි. 19 සම්මත කිරීමෙන් යම් පමණකට සම්මාදම් වීම (එ.ජ.නි.ප ඇතැම් ඉහළ පෙළ නායකයන් පවා කීවේ අපි නැතිනම් 19 කුණු බක්කියට යන බවයි) හා 19 දඩමීමා කරගෙන 20 වැන්නක් පෙරට ගෙන එහි වාසිය ද තම පක්ෂයට ගැනීමයි.

20 ට සූදානම්

20 සංශෝධනය පූර්ව-යහපාලන ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් නොවුනත් රජය පිහිටුවීමෙන් පසුව එජනිප ය ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමුකර තිබේ. ඒ සඳහා 2015 වසරේ සිට මේ දක්වා ගැසට් පත් දෙකක්ද නිකුත් කර ඇති අතර මැතිවරණ ක්‍රමය සුවිශේෂ වෙනස්කම්වලට ලක් කිරීමට බලාපොරොත්තු වේ.

 2015.06.15 ගැසට් පත්‍රය

මෙම මුල් ගැසට් පතින් මූලික කාර්යන් දෙකක් කිරීමට නියමිත විය. 01) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ප්‍රමාණය 237 දක්වා වැඩි කිරීම. 02) සීමානීර්ණය කොමිෂන් සභාවක් පත්කර මැතිවරණ ප්‍රදේශ ඡන්ද කොට්ඨාසවලට බෙදීම, එම ප්‍රදේශවලට නම් දීම හා මන්ත්‍රීවරුන් බෙදීම ආදිය ඊට අයත් විය.

2017 ජූලි 28 ගැසට් පත්‍රය

සියලු‍ම පළාත් සභාවල ඡන්දය එකම දිනයක පැවැත්වීම හා යම් සීමිත අවස්ථාවලදී පළාත් සභාවක් විසුරුවා හරිනු ලැබූ විට එහි බලතල ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවට පැවරීම යන කාර්යන් මෙම ගැසට් පත්‍රයට විෂය වේ.

ගැසට් හා වාද-විවාද

සීමානීර්ණය කිරීම සම්බන්ධයෙන් සිවිල් සමාජයෙන් මත විරෝධීත්වය ගොඩනැගිණි. ආණ්ඩුව තමන්ට වාසි සහගත ලෙස එම කටයුත්තට අත්ගැසිය හැකි බවට ද සැකයක් ද ඉස්මතු විය. එහෙත් සීමානීර්ණ වාර්තාව සිවිල් සමාජයේ වැරදි මතය දුරු කළේය. 

හඳුන්වාදීමට නියමිත වන්නේ සමානුපාතික හා සරල බහුතර ලක්ෂණ පෙන්වන මිශ්‍ර ක්‍රමයකි. එය දිනේෂ් ගුණවර්ධන වාර්තාව නිර්දේශ කළ ජර්මන් මොඩලයේ ආදර්ශයකි.

දැනට පවතින සමානුපාතික නියෝජන ක්‍රමය උද්ගත කර ඇති මනාප පොරය නිසා විරුද්ධ පාක්ෂිකයන් අතර පමණක් නොව එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර ද ගැටුම් ඇතිවීම සුලභ වී තිබේ. අපේක්ෂකයා පක්ෂයේ ගැත්තෙකු කිරීම, නියෝජන ක්‍රමයේ ඇතැම් විකෘතිතා මගහැරීම යනාදී ධනාත්මක ප්‍රතිසංස්කරණ නව මැතිවරණ ක්‍රමයෙන් හඳුන්වා දීමට බලාපොරොත්තු වේ.

සෑම පළාත් සභාවකම ඡන්දය එකම දිනයක පැවැත්වීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍යම සංශෝධනයකි. එසේ නොවන විට සිල්ලර ක්‍රමයට එක් එක් පළාත් සභාව බැගින් ඡන්ද පවත්වා බලය මංකොල්ල කෑමේ අවස්ථාව පවතින ආණ්ඩුවට හිමිවේ.

විධායක ජනාධිපතිවරයාගේ බලතල ද එක්වූ විට පළාත් සභා අතර ප්‍රජාතන්තීය නියෝජනය මුළුමනින්ම ගබ්සා වීමේ අවදානමක්ද පවතී.   

ධනුෂ්ක සිල්වා විකල්ප 

www.vikalpa.org වේබ් අඩවියට 

ලියන ලද ලිපියකි 

 

Recent Posts

Leave a Comment