ෆෙඩරල් මිත්‍යාව නිරාවරණය කල ඓතිහාසික නඩු තීන්දුව

Sep 11th, 2017 | By | Category: LEAD NEWS, Today Lead News

ශ්‍රී ලංකාවේ භූමි භාගය තුළ වෙනම රාජ්‍යයක් ස්ථාපනය කිරීමක් වන ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් ඉල්ලා සිටීම තමන්ගේ එක් අරමුණක් සහ අභිලාෂයක් කර ගැනීම හරහා, (ඉස්සර ෆෙඩරල් පක්ෂය වශයෙන් හැඳින්වුණු) ‘ඉලංකෙයි තමිල් අරසු කච්චි’ පක්ෂය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කොට තිබූ පෙත්සමක් අගෝස්තු 4 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරන ලදි. පෙත්සම මගින් ඉදිරිපත් කරන ලද මතය සමග විනිසුරුවරු තිදෙනා එකඟ නොවූහ. ඇතැම් පුවත්පත් මගින් ඓතිහාසික නඩු තීන්දුවක් වශයෙන් හඳුන්වා තිබූ මේ විනිශ්චය ප්‍රකාශයට පත් කරමින්, පවතින ව්‍යවස්ථාවේ සීමාවන් තුළ ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටීම, බෙදුම්වාදයක් වෙනුවෙන් පෙනීසිටීමක් නොවන බව, අගවිනිසුරු ප්‍රියසත් ඩෙප්, විනිසුරු උපාලි අබේරත්න සහ විනිසුරු අනිල් ගුණරත්න කියා සිටියහ. මේ නඩු තීන්දුවට අදාළ බොහෝ ගැටලුකාරී ප්‍රශ්න කේන්ද්‍ර වුණේ (ෆෙඩරල් යන වචනය සඳහා වන දෙමළ සහ සංස්කෘත) වචන සඳහා වන පරිවර්තන ප්‍රශ්නයක් වටා යැයි පෙනෙන්ට තිබුණත්, මෙකී නඩු තීන්දුව, අඩු වශයෙන් කරුණු තුනක් නිසා, ඓතිහාසික වන්නේය.

SRI_LANKA_POLITICS

මුලින්ම, ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ නොවෙනස් දරදඬු අර්ථකථනයක් මත රැඳී සිටිනවා වෙනුවට, ඒකීය සහ ෆෙඩරල් ක්‍රම දෙක ඔස්සේම එක සේ හුවමාරු විය හැකි පොදු ලක්ෂණ හඳුනා ගැනීම අරභයා වන නම්‍යශීලී එළැඹුමක් උපයෝගී කර ගැනීම මෙහි ඇති විශේෂත්වයකි. ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන් පරිදි, ‘ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ ඇතුළත් කර ගත් ඒකීය රාජ්‍ය ක්‍රම පැවතිය හැකි අතර, ඒකීය ලක්ෂණ ඇතුළත් කර ගත් ෆෙඩරල් ආණ්ඩු ක්‍රම ද තිබිය හැකිය. ඒකීය රාජ්‍ය ක්‍රමයක් තුළ, ඊට අයත් ඒකකවලට පුළුල් බලතල පවරා ඇති විට එය ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් වශයෙන් සැලකිය හැකිය. එයාකාරයෙන්ම, ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් තුළ කේන්ද්‍රය වඩා බලවත් වන විට සහ මධ්‍යම ආණ්ඩුව තුළ බලය කේන්ද්‍රගත වන විට, එය ඒකීය ආණ්ඩු ක්‍රමයක් වශයෙන් ද සැලකිය හැකිය. එබැවින් ස්වෛරීත්වය බෙදා ගැනීම, බලය බෙදා හැරීම සහ විමධ්‍යගතකරණය නිසා, ඒකීය රාජ්‍ය ක්‍රමයක් තුළ ෆෙඩරල් දිසානතියක් දැක ගැනීමට හැකියාව තිබේ.’ ව්‍යවස්ථාව උල්ලංඝනය නොකොට පළාත් වෙත බලය බෙදා හැරීමේ උදාහරණයක් වශයෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උපමා කොට ගැනීමටත් විනිසුරුවරු පෙළඹුණහ.

දෙවැනුව, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටීම හරහා නීති විරෝධී කටයුත්තක නිරත වන බවට පැවති පදනම් විරහිත විවිධ චෝදනා සහ මිථ්‍යා ප්‍රවාද මේ විනිශ්චය මගින් අවසානයකට පත්කරන් නේය. ඉතා පැහැදිලි සත්‍යයක් දැන් රටේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විදාරණය කොට තිබේ: එනම්, ෆෙඩරල්වාදය නීති විරෝධී නොවන බවයි. කෙසේ වෙතත්, නීති විරෝධී නොවූ පමණින්, ෆෙඩරල්වාදය කෙරෙහි දේශපාලනික ආකර්ෂණයක් ලැබෙන්නේ නැත. ඊටත් වඩා, කෙටි කාලීනව එවැන්නක් ප්‍රායෝගික වන්නේ ද නැත. දැනට අප වටහා ගත යුත්තේ, ‘ඒකීය රාජ්‍ය ක්‍රමයක් තුළ ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් පැවතීම’ ව්‍යවස්ථානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇති බවයි. ඒ සමගම, මේ විනිශ්චය මගින්, ඉලංකෙයි තමිල් අරසු කච්චි වේවා, වෙනත් ඕනෑම පක්ෂයක් හෝ සංවිධානයක් වේවා කටයුතු කළ යුත්තේ, පවතින ඒකීය ක්‍රමය තුළ මිස ඉන් පිටස්තරව නොවන බවත් මේ විනිශ්චය හරහාම තීන්දු කොට තිබේ. එහෙත්, පවතින ඒකීය ක්‍රමය, වෙනස් කළ නොහැකි දරදඬු දෙයක් නොව, නම්‍යශීලී දෙයකි. ඒ සමගම 13 ව්‍යවස්ථා සංශෝධනයත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් යළි සනාථ කොට ඇති නිසා, එය තව කල් තිරසාර වන්නේය.

තුන්වැනි කාරණය, හරයාත්මක බවකට වඩා සංකේතීය ස්වරූපයක් ගනී. එහෙත් ඒ හේතුව නිසා එය වටිනාකමින් අඩු වන්නේ නැත. තමන්ගේ සිවිල් සහ අපරාධ නඩු දෙමළ විනිසුරුවරුන් විසින් අසනවාට වඩා සිංහල විනිසුරුවරුන් විසින් අසනු දැකීමට දෙමළ නීතිඥයන් සහ නඩු කියන දෙමළ ජාතිකයන් අතර වැඩි කැමැත්තක් ඇති බවට කතාවක් තිබේ. සිංහල විනිසුරුවරුන් තුළ උපරිම විෂයබද්ධතාවක් සහ සාධාරණත්වයක් දැකිය හැකි බවත්, දෙමළ විනිසුරුවරුන් තුළ තිබිය හැකි අර්ධද්වීපීය කලාපවාදය සහ පළාත්බද පටු අගතීන් සිංහල විනිසුරුවරුන් තුළ නැති බවත් එයින් කියැවෙයි. කෙසේ වෙතත්, ව්‍යවස්ථානුකූල කරුණු අරභයා දෙන ලද වාසිදායක නඩු තීන්දු අභියාචනාධිකරණ හරහා ආපසු හැරුණු බව දැක ඇති දෙමළ වැදගතුන් තුළ, දේශපාලනික සහ ව්‍යවස්ථානුකූල කරුණු සම්බන්ධයෙන් අපේ අධිකරණයේ හැසිරීම ගැන ඇත්තේ එක්තරා භින්නෝන්මාදී අදහසකි. ඉන්දීය සම්භවය සහිත දෙමළ ප්‍රජාවගේ පුරවැසිභාවය පිළිබඳ නඩුව (1950 මුල් භාගයේ කොඩකන් පිල්ලේ නඩුව) සහ දෙමළ රාජ්‍ය සේවකයන්ගේ භාෂා ඥානය පිළිබඳ නඩුව (1960 ගණන්වල ඇසුණු ඉතා ප්‍රකට කෝඬේස්වරන් නඩුව) ඊට උදාහරණ වශයෙන් දැක්වේ. වඩාත් මෑත කාලීන උදාහරණ ගතහොත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ වෙනස් මතයක් දැරූ විනිසුරුවරුන්ගේ අවිචාරවත් කරුණු ගෙනහැර පෑමත්, ‘නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාව’ නැමැති ප්‍රතිපත්තිය ඔළුවෙන් සිටැවූ, උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ නඩුවත් ගෙනහැර දැක්විය හැකිය.

දැන් අගවිනිසුරු ප්‍රියසත් ඩෙප්, විනිසුරු උපාලි අබේරත්න සහ විනිසුරු අනිල් ගුණරත්න විසින් දෙන ලද මේ තීන්දුව අනාගතය සඳහා වන යහපත් ප්‍රවණතාවක් වශයෙන් දැකිය හැක්කේ එවැනි පසුබිමක ය. සාධාරණව ගත් විට, අධිකරණමය අගතීන් යනු ශ්‍රී ලංකාවට පමණක් සීමා වන දෙයක් නොවේ. ඓතිහාසිකව ගත් විට, සෑම සමාජයකම අධිකරණය, එරටේ සමාජ ගතානුගතිකත්වය, ආර්ථික අසමානතාව, ගොවියන් සේවකයන් සුළුතරයන් සහ වැඩියත්ම සෑම සමාජ ස්ථරයකම කාන්තාවන් වින්දිතයන් බවට පත්කෙරෙන දේශපාලනය ආදියෙන් විනිර්මුක්ත නොවන්නේය. සමාජ ප්‍රගතිය ඇති කර ගැනීමටත්, ඒ ප්‍රගතිය සමග, සියල්ලන්ගේම නැතත්, හැම තැනකම නැතත්, පොදුවේ විනිසුරුවරුන්ගේ ප්‍රගතිය ඇති කර ගැනීමටත්, සියවසකට වැඩි කාලයක් තිස්සේ කරගෙන ගිය අරගල සහ අධ්‍යාපනය හේතු වී ඇත. එසේම, ‘අනෙකා’ පිළිබඳ ඇති කර ගත් අවබෝධයත් ඊට හේතු වී ඇත.

ශ්‍රී ලංකාවට තමන්ගේ රුදුරු බහිරවයා ඉතිහාසයේ බෝතලය තුළට දමා ගැනීම ඇරඹීමට සියවස් භාගයක් ගත වී තිබේ. එම බෝතලයේ මූඩිය නැවත ඇරෙන එකක් නැතැයි බලාපොරොත්තු තියා ගැනීමට අපට හැකි විය යුතුය. අධිකරණමය චින්තනය තවදුරටත් සාධනීය මාවතක යතැයි බලාපොරොත්තු තියා ගැනීමට අපට හැකි විය යුතුය. එහෙත් නපුරු බහිරවයන් මුදා හැරීමේ අනතුර සහ සංස්කෘතිකමය සහ දේශපාලනික අවපාතයන් පිළිබඳ අවදානම, කිසි දවසක සදහට තුරන් නොවනු ඇත. උදාහරණයක් විදියට වර්තමාන ඇමරිකා එක්සත් ජනපදය දෙස බලන්න. උමතු ජනාධිපතිවරයෙකු යටතේ දිනපතා ඒ රටේ කරුණු දිග හැරෙන ආකාරය දෙස මොහොතකට බලන්න. එම තත්වය ඉදිරියේ ඇමරිකාවේ හිටපු උපජනාධිපති අල් ගෝර් වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ එකම දෙයකි: ඉල්ලා අස්වන්න.

නාමයක ඇත්තේ කුමක් ද?

මීට 30 වසරකට ඉහත, 1987 නොවැම්බර් මාසයේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ආන්දෝලන මධ්‍යයේ, ‘ලංකා ගාඩියන්’ සඟරාවට ලියමින් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, 2017 අගෝස්තු මාසයේ දෙන ලද වර්තමාන තීන්දුව පෙරදැක තිබුණි. ඒකීය සහ ෆෙඩරල් ක්‍රම අතර පවතින පොදු ලක්ෂණ ඔහු එහිදී පැහැදිලි කෙළේය. ‘යම් වෙනසක් නිසා ඒකීයභාවයට හානියක් වෙන තරමට දිව්‍ය ලෝකයෙන් සාදා නිමැවූ කිසි මාදිලියක් ඇත්තේ නැත, ෆෙඩරල් ක්‍රමයත් එසේම ය. ඒ නිසා, ඉතා ශක්තිමත් ෆෙඩරල් ලක්ෂණ සහිත ඒකීය රාජ්‍ය ක්‍රම ඇතිවා සේම, ඉතා ශක්තිමත් ඒකීය ලක්ෂණ සහිත ෆෙඩරල් ක්‍රමත් ඇත්තේය.’ එසේ කී ඔහු මේ කාරණයත් අවධාරණයත් කෙළේය: ‘රටක එක්සත්භාවය තීන්දු වන්නේ රාජ්‍යයක පවතින ආකෘතිය මත නොව. බොහෝ විට, ෆෙඩරල් ක්‍රමය තුළ යම් අනතුරක් ඇතැයි සමහරු දකිති. එහෙත්, ඉතිහාසය දෙස බැලූ විට පෙනෙන්නේ, වෙනම රාජ්‍යයන් සේ කැඩී යා හැකි ඒකක එකට බැඳ තබා ගැනීමේ මාර්ගය වී ඇත්තේ ෆෙඩරල් ක්‍රමයම බවයි.’ සමකාලීන දේශපාලන විද්‍යාඥ ඇල්ෆ්‍රඞ් ස්ටෙෆන් (කොලොම්බියා විශ්ව විද්‍යාලය) 1999 දී මෙම කාරණයම පෙන්වා දුන් අතර ඊට උදාහරණයක් වශයෙන් ඔහු ශ්‍රී ලංකාව ගෙනහැර දැක්වීය: ‘ෆෙඩරල්වාදයේ අනාගත අනතුරක් ගැන බියට පත්, ප්‍රදේශ වශයෙන් ගත් විට බහු-භාෂාමය සහ බහු-ජාතික වන ඒකීය රාජ්‍යයක්, තමන් මුහුණදුන් වාර්ගික විෂමතාවන් කළමනා කරණය කර ගත නොහැකිව, වසර පහළොවකටත් වඩා දිග් ගැස්සුණු ගොරතර සිවිල් යුද්ධයක් තුළ ගිලී ගියේය.’

මාතෘකාවට වඩාත් අදාළව ගතහොත්, ෆෙඩරල් හෝ අර්ධ-ෆෙඩරල් ක්‍රමයක් බිහි විය හැකි ආකාර දෙකෙන් එකක් වන්නේ, කොල්වින් ආර් ද සිල්වා කියූ ‘එකට බැඳ තබා ගැනීමේ’ කාරණයයි. අනිත් ආකාරය වන්නේ, ‘එකට එක් වීමයි’. එනම්, පළාත් හෝ ප්‍රාන්ත හෝ වශයෙන් වෙනම අධිකරණ බල කලාප වශයෙන් පවතින ඒකක, එකට එක් වීමෙන් සෑදෙන ෆෙඩරල් ආකෘතියයි. ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය සහ ඕස්ටේ්‍රලියාව එසේ එකට එක් වීමෙන් සැදුණු ෆෙඩරල් රාජ්‍යයන් ය. වෙනම ඒකක එකට බැඳ තබා ගත් රාජ්‍යයන්ට උදාහරණ වන්නේ, ඉන්දියාව, බෙල්ජියම සහ ස්පාඤ්ඤයයි. මේ රාජ්‍යයන් තුළ කලින් පැවති ඒකීය රාජ්‍ය ක්‍රමය තුළින් උප-ජාතික ඒකකවලට බලය බෙදාහැර ඇති අතර, ඉතා ශක්තිමත් ඒකීය ලක්ෂණ ද ආරක්ෂා කරගෙන ඇත. ‘බ්‍රෙක්සිට්’ තිබියේවා නොවේවා, බි්‍රතාන්‍යයත් දැන් මුහුණදෙමින් සිටින්නේ, ‘එකට බැඳ තබා ගැනීමේ’ එවැනි අභියෝගයකටයි.

මෙකී ආකෘති දෙකට ස්ටෙෆන් තුන්වැනි ආකෘතියකුත් එක් කොට තිබේ. එනම්, ‘එකට දැමීමේ’ ෆෙඩරල් ක්‍රමයයි. ඊට උදාහරණ වශයෙන් ඔහු සපයන්නේ පැරණි සෝවියට් දේශයයි. ඔහුගේ මතයට අනුව, එහිදී සිදුවුණේ, කලින් පැවති ස්වාධීන රාජ්‍යයන් බලහත්කාරයෙන් එකට එක්කාසු කොට බහුජාතික රාජ්‍යයක් ගොඩනැගීමයි. මෙය විවාදාත්මක අදහසකි. මන්ද යත්, සෝවියට් දේශය ගොඩනැගීමට කලින් පැවති ඒකක, සාර්වාදී අධිරාජ්‍යය හෙවත් ලෙනින් කී පරිදි ‘අභ්‍යන්තර යටත්විජිතයක්’ වූවා මිස ස්වාධීන රාජ්‍යයන් නොවූ බැවිනි.
මේ ආකාරයේ ආකෘති සම්බන්ධයෙන් ගත් විට, ශ්‍රේෂ්ඨාධිකරණයේ ලයිසම පාවිච්චි කොට ශ්‍රී ලංකාව ‘ඒකීය රාජ්‍ය ක්‍රමයක් තුළ ෆෙඩරල් මාදිලියක්’ ඇති කර ගතහොත් එය ගැනෙනු ඇත්තේ, ‘එකට බැඳ තබා ගැනීමේ’ ආකෘතියටයි. එහෙත් කලින් ද මා සඳහන් කොට ඇති පරිදි, යම් දේශපාලනික ප්‍රස්තුතයක් හුදෙක් නීත්‍යනුකූල වූ පමණින් වහා ක්‍රියාත්මක කළ හැකි දෙයක් නොවන්නේය. ෆෙඩරල් ක්‍රමය තවමත් ශ්‍රී ලංකාවේ දේශපාලන කතිකාව තුළ ගැනෙන්නේ රකුසෙකු ලෙස ය. මේ පිළිබඳ දැනුම් තේරුම් ඇති අය පවා, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සීමා වන්ගෙන් අඟලක්වත් එහාට යාමට කැමැත්තක් නොදක්වනු ඇත. කෙසේ වෙතත්, 13 සංශෝධනයෙන් අඟලක් එහාට යාම, අඟලක් ආපස්සට යාමට වඩා යහපත් බව කිව යුතුය. මේ සංශෝධනය කටුගා දැමීමට පවා උත්සාහ කළ හිටපු රාජපක්ෂ පාලනය බැලුවේ අඟලක් දෙකක් ආපස්සට යාමටයි.

දැනට පෙනෙන විදිහට, රාජපක්ෂලාගේ උද්ධච්ච භාවය වෙනුවට යහපාලනයේ අදක්ෂතාවන් ඉස්මත්තට විත් තිබේ. බොහෝ කාරණා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මුලදී යහපත් පියවර ගෙන ඇතත්, ඒ කිසිවක් සම්බන්ධයෙන් වැඩිමනත් සාර්ථකත්වයක් ලැබීමට එය සමත්ව නැත. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ කාරණය එහිදී කැපී පෙනේ. අනේක විශේෂඥයන්ගේ දැනුම් සම්භාරයක් සේවයට ගෙන තිබුණත්, දේශපාලන නායකත්වය තුළ උපාය මාර්ගික චින්තනයක අඩුව පැහැදිලිව දකින්ට තිබේ. එපමණක් නොව, එම නායකත්වය තුළ බරසාර අභිප්‍රායක් ඇති බවක් පෙනෙන්ටත් නැත. මේ අතරේ, මහ බැංකු බැඳුම්කර පිළිබඳ ආන්දෝලනය සහ රවි කරුණානායකගේ හුටපටය අස්සේ හිර වී සිටින ආණ්ඩුව, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය කරන සදාචාර හයිය අහිමි කරගෙන තිබේ. එසේම එක්සත් ආණ්ඩුව තුළ කිසි එක්සත් කමක් නොමැති වීම කරණකොටගෙන, බරපතළ වෙනස්කම් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන එකඟත්වයක් පිළිබඳ අපේක්ෂා සිඳී ගොස් ඇති අතර, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් ලබා ගැනීමේ හැකියාව කෙමෙන් පරණ වෙමින් තිබේ. කරුණු එසේ වෙතත්, අගෝස්තු 4 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව, නිදහසේ පටන් මෙතෙක් බලයට පත් කිසි ආණ්ඩුවකට නොහැකි වූ, කෑලි එක්කාසු කොට ශ්‍රී ලංකාව එකට බැඳ තබා ගැනීමේ කාර්යභාරය අනාගත ආණ්ඩුවලට පහසු කරවන, ඓතිහාසික තීන්දුවක් වශයෙන් සැලකිය යුතුව තිබේ.

රාජන් ෆිල්ප්ස්

(පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

Recent Posts

Leave a Comment