An Apple from Paradise

Sep 13th, 2017 | By | Category: OTHER NEWS

පසුගිය වසරේ සාර්ක් අන්තර්ජාතික සිනමා උලෙළේ තිරගත වූ ඇෆ්ගනිස්ථාන සිනමාකරු හොමායුන් මොරොවත්ගේ a (Homayun Morowat), An Apple From Paradise වචනයේ පරිසමාප්ත අරුතින් ඉතා අපූරු සිනමා කෘතියක් විය. කඩාවැටී තිබුණු ඇෆ්ගනිස්ථානු සිනමාවට නව ආලෝකයක් වූ එය ඔහුගේ කුළුදුල් සිනමා කෘතියයි.

වයෝවෘද්ධ මුස්ලිම් ආගමික බැතිමතෙකු වූ පස්දරු පියා (Rajab Gussainov) , කාබුල් නගරයට පැමිණෙන්නේ තමුන්ගේ ජීවත්ව සිටින එකම පුතු දැකීමේ අපේක්‍ෂාවෙනි. විවාහක දියණියන් දෙදෙනෙකු සිටින ඔහුගේ අනෙක් පුතුන් දෙදෙනා සෝවියට් දේශය සමග පැවති යුද්ධයේදි මරණයට පත් වන අතර ඉතිරි වන ඔහුගේ එකම පුතු වන ‘යුසුෆ්’, කාබුල්හි මැඞ්රාසා පාසලක කුරාණය කේන්ද්‍රීය වූ ඉස්ලාම් ආගම ඉගෙනීමට යොමුකරවන්නේ අනාගත මුල්ලාවරයෙකු කිරීමේ අපේක්‍ෂාවෙනි. නමුත් මැඞ්රාසාවට එන වයෝවෘද්ධ පියාට දැන ගැනීමට ලැබෙන ඔහු කිසිසේත්ම අපේක්‍ෂා නොකළ ආරංචිය වන්නේ සිය එකම පුතු මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස ඉස්ලාම් මූලධර්මවාදී සංවිධානයකට බැඳී ඇති බවයි. එම සංවිධානයේ ප්‍රධානියා පියා වෙත දන්වා සිටින්නේ ආගමේ නාමයෙන්, සත්‍ය වෙනුවෙන් ඔහුගේ පුතු ජීවිත පරිත්‍යාග කොට දෙව්ලොව යාමේ අපේක්‍ෂාවෙන් පසුවන බවත් ඔහු ඔහුගේ පුතා පිළිබඳ ආඩම්බර විය යුතු බවත්ය. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස ත්‍රස්ත සංවිධානයකට බැඳී සිටීම මැඞ්රාසා පාසලෙහි ආගමික ගුරුවරයාට අනුව සත්‍ය වෙනුවෙන්, අපට නොපෙනෙන දෙවියෙකු වෙනුවෙන් දෙව්ලොව යාමේ අපේක්‍ෂාවෙන් කරන ජීවිත පරිත්‍යාගයකි. නමුත් ආගමේ නාමයෙන් ඔහුට මු`ඵමනින්ම සිය පුත්‍රයා අමතක කර දැමිය හැකිද? ආගම මත පදනම් වූ සමාජ යාන්ත්‍රණයට මුළුමනින්ම ගැටගැසී ඇති ඔහුට ඊට එරෙහිවීමට තරම් අධ්‍යාපනයක් හෝ බුද්ධියක් නොමැත; ඔහු ගොවියෙකි; නූගතෙකි. එහි ව්‍යාජය හා මායාව ඔහුට නොපෙනේ. ප්‍රේක්‍ෂකයා දකින අසත්‍ය (භක්තිය) මත පදනම් වූ සමාජ යාන්ත්‍රණය ඔහු ඇතුළු සමස්ත සමාජයට සත්‍යයකි. මිථ්‍යාවේ ගිලුණු සමාජයකට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වීම සත්‍ය වෙනුවෙන් දිවි පිදීමකි. ආගමික ඉගැන්වීමට අනුව දෙව්ලොව යාමකි. චිත්‍රපටය පුරාවටම දිස්වන්නේ රාජාබ් ගුසායිනෝගේ සුවිශිෂ්ට රංගනයයි. චිත්‍රපටයට පාදක වන්නේ ඔහුගේ මෙම අභ්‍යන්තර ලෝක දෙක අතර ගැටුමයි. එනම් දාරක ප්‍රේමයත් ආගම මත පදනම් වූ සමාජ යාන්ත්‍රණයත් අතර ගැටුමයි. නැතහොත් සත්‍ය හා අසත්‍ය අතර ගැටුමයි.

appleparadise2
භක්තිය යනු අවිද්‍යාවයි. එය සියලු ආගම්වලට පොදු වූ සත්‍යයකි. ආගමික භක්තිය විසින් ආගමික අන්තවාදයත්, ආගමික ත්‍රස්තවාදයත් නිර්මාණය කරයි. ආගමික භක්තිය හා නොපෙනෙන දෙවියන් පිළිබඳ විශ්වාසය වූ කලීම අවිද්‍යාවයි. එනම් ආගම මත පදනම් වූ සමාජ යාන්ත්‍රණය හා නොපෙනෙන දෙවියන් පිළිබඳ විශ්වාසය මිනිසාව විද්‍යාවෙන් දුරස් කරයි; සත්‍යයෙන් දුරස් කරයි. හොමායුන් මොරොවත් අපට අනාවරණය කරන්නේ අසත්‍ය මත පදනම් වූ සමාජ යාන්ත්‍රණයකට හසුවුණු මිනිසුන්ගේ ඛේදවාචකයයි; භක්තිය පදනම් කරගත් වැරදි ආගමික අර්ථදැක්වීම් පරම්පරා ගණනාවක් මුලාවේ දමා ඇති ආකාරයත්, අඩු තරමින් අනාගත පරම්පරාව හෝ ඉන් මුදාගත යුතු බවත් ඔහුගේ සිනමා කෘතියේ ගැබ්ව ඇති සාරයයි.

චිත්‍රපටය පුරාවටම අපට දැකගත හැකිවන්නේ අතිශය ජනාකීර්ණ, අපිරිසිදු මෙන්ම වඩාත් සංකීර්ණ පිළිවෙළක් නොමැති කාබුල් නගරයේ, කෲර සමාජ යාන්ත්‍රණයට එරෙහිව වයෝවෘද්ධ පුද්ගලයෙකු ගෙනයන පසු නොබසින ඒකපුද්ගල අරගලයකි. නමුත් මෙය පවතින සමාජ දේහයට එරෙහි අරගලයක් ලෙස පෙනෙන්නේ චිත්‍රපටය නරඹන අපට පමණි. වයෝවෘද්ධ පියාගේ එකම අරමුණ සිය පුතු සොයාගෙන යාමයි. ආගම මත පදනම් වූ සමාජ යාන්ත්‍රණය පිළිබඳ ඔහුට කිසිදු ප්‍රශ්න කිරීමක් නොමැත. විටෙක ඔහු තරුණයන්ගේ සමච්චලයට හා පීඩාවට පත්වෙයි. විටෙක ඔහු සිහසුන්ව ඇදවැටෙයි. ඔහුට මුණගැසෙන එක්තරා පොලිස් නිලධාරියෙකු පවසන්නේ පවතින ගෝලීය ධනවාදී දේශපාලන යාන්ත්‍රණයට එරෙහි අරගලය තුළ දෙදෙනාම දෙයාකාරයකින් ඊට ගොදුරුව ඇති බවය. සිනමාරූපගතකරණය, සංස්කරණය, පසුබිම් හඬ, සංගීතය, කලා අධ්‍යක්‍ෂණය හා නළු නිළියන් මෙහෙයවීම ආදී සෑම අංශයක්ම සැලකූ කල මෙය අපූරු සිනමාත්මක අත්දැකීමකි.

අටවැනි අන්තර්ජාතික කසාන් සිනමා උළෙලෙහි යුරෝපීය මාධ්‍යවේදියෙකු චිත්‍රපටය පුරාවටම කිසිදු කාන්තා චරිතයක් නොමැති වීමට හේතු විමසූ විට හොමායුන් මොරොවත් පවසා සිටියේ සිතාමතා ඒ ආකාරයට රූපරචනය සිදුකළ බවයි. ඔහු ජීවත් වූ සමාජයේ කිසිදු කාන්තා නියෝජනයක් නොමැති බවත් පාලන තන්ත්‍රය තුළ පවා එය නාමමාත්‍රික බවත් එය ඔහුට වඩාත් වේදනාකාරී අත්දැකීමක් ද වූ බවත් ඔහු පෙන්වා දෙයි. වයෝවෘද්ධ පියා චිත්‍රපටයේ අවසන් විනාඩි කිහිපයේ මුදලට ඔට්ටු අල්ලන කනගල් සුනඛ සටන් පිටියකට පැමිණෙයි. ඔහුට සිය පුතු පිළිබඳ කිසියම් හෝඩුවාවක් ලැබෙන අතර ඔහුට ත්‍රස්ත සංවිධානයේ නායකයා මුණගැසීමට අවස්ථාවක් ලැබේ. නායකයා උපහාසාත්මක සිනාවක් මුවට නගාගෙන පවසන්නේ වයෝවෘද්ධ පියා යූසුෆ් වෙත රැගෙන යන ලෙසය. ඊළඟ දර්ශනයේ අප දකින්නේ ඔහුව උඩුබැලි අතට දෙදෙනෙකු විසින් හිම මත ඇදගෙන ගොස් පල්ලමකට පෙරළා දමන දර්ශනයකි. පෙරළී යන ඔහු අතින් ඇපල් ගෙඩියක් ගිලිහෙයි. කැමරාව ඊට සමීප දසුනක් ලබාදෙයි. චිත්‍රපටයේ අවසන් දර්ශනයේ අප දකින්නේ වයෝවෘද්ධ පියා කාබුල් නගරයේ ජනාකීර්ණ වීදියක ඇදහැලෙන මද වර්ෂාවේ ඇපල් ගෙඩිය අතැතිව මනෝ විකාරයෙන් දෑත් ඔසවමින් වාහන වෙත ඇපල් ගෙඩිය දිගු කරමින් කරන රංගනයකි. ආගම මත පදනම් වූ සමාජ දේහයට ගොදුරු වන මිනිසුන්ගේ මානසික අවපීඩනය අධ්‍යක්‍ෂක හොමායුන් මොරොවත් ලෝකයා ඉදිරියේ අනාවරණය කරයි.

අප ජීවත් වන සමාජය කලක පටන් වර්ධනය වූ දැන් දැන් වඩාත් ත්‍රස්ත ස්වරූපයෙන් ගොඩනැගෙමින් පවතින සිංහල බෞද්ධ අන්තවාදය ගත්කල එය මුළුමනින්ම බුදුදහමට පටහැනිය. බුදුදහම දේශනා කළ යුගයට සාපේක්‍ෂව කෙතරම් ඉදිරිගාමී වුව ද වර්තමාන නව දැනුම් සම්භාරය සමග සැසඳූ කල ආගමක් මත්තේම නැහීම කෙතරම් පසුගාමී ද යන බව අප පිළිගත යුතුය. මුස්ලිම් අන්තවාදය ගෝලීය ධනවාදයට එරෙහිව ගොඩනැගෙන සමාජ බලවේගයකි. ඇමරිකාව ලෝක ආර්ථිකය තුළ ධනවාදී රාජ්‍යයක් ලෙස ස්ථාවර වීම ඊට මූලිකම හේතුවයි.

ආගමික අන්තවාදය සමස්ත මානව ශිෂ්ටාචාරයේ මහා ඛේදවාචකයක ඇරඹුමක් බව අප පිළිගත යුතුය. හොමායුන් මොරොවත් ඔහුගේ කුඵඳුල් සිනමා කෘතිය හරහා එය අපට අනාවරණය කරයි.

සපුමල් ලියනආරච්චි

Recent Posts

Tags: ,

One Comment to “An Apple from Paradise”

Leave a Comment