නිමා නොවූ යුද්ධයක, සිවිල් සමාජ කාර්යභාරය

Sep 14th, 2017 | By | Category: OTHER NEWS, Today Lead News

යුද්ධය අවසන්ය. එහෙත් දැන් ඇති යුද්ධයක් නැතැයි කියා අත් පිසදා අහක බලා ගන්නට අපට නොහැකිය. මන්ද දැන් ඇත්තේද එක්තරා ආකාරයක යුද්ධයකි. තිස් අවුරුද්දක් පුරාවට අවි ගෙන දෙපසකට වූ ජාතීන් දෙකක් ද, මරා දැමුණු, අතුරුදන් වූ, අවතැන් වූ, රෝගී වූ, ආබාධිත වූ මෙන්ම දේපළ හානි වූ දහස් ගණනක් මිනිසුන්ට ද සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් කරන්නට බොහෝ වැඩ ඇත්තේ දැන්ය. සියල්ල රජයෙන් සිදුනොවනු ඇත. සියල්ල ආණ්ඩුවකට කළ නොහැකි වනු ද ඇත. එහෙත් මේ සියලු මිනිසුන් වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතු බව ආණ්ඩුව විසින් පිළිගෙන ඇති වාතාවරණයක, සංහිඳියාව උදෙසා නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන තත්ත්වයක, ඒ වැඩබිම අප සියල්ලන්ටම විවෘතය. රයිට්ස් නව් Rights Now ආයතනය, ෆෝකුස් විමෙන් Fokus Women ආයතනය හා මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ අත්වැල් බැඳගනුයේ සිවිල් සමාජය ලෙස ඒ වැඩබිමේ අපට කරන්නට ඇති දේ හා හැකි දේ කරන්නටය.

DSC_0173
තිස් අවුරුදු යුද්ධයක අවසානයේ ස්වාමිපුරුෂයන් අහිමි කාන්තාවන්, සිය දරුවන් අහිමි මව්වරුන් උතුරට ද දකුණට ද එකසේ ඉතිරි විය. ලිංගික හිංසනය, මානසික ව්‍යාකූලතා, දරුවන්ගේ ගැටලු, ඉඩම් අහිමි වීම්, රැකියා විරහිත වීම් සහ ඒ සමඟ ඇති වන ආර්ථීක දුෂ්කරතා යනාදී දහසකුත් එකක් ප්‍රශ්න මැද යුද්ධයේ පීඩිතම පාර්ශ්වය වන්නේ කාන්තාවය. ඇය යුද්ධයෙන් සෘජුව හෝ වක්‍රව හෝ එම පීඩනයේ ගොදුරක්ව ඇත්තේය. එවන් කාන්තාවන් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ ගැටලු නිසි ලෙස සමාජයට සන්නිවේදනය කිරීමත්, ස්වකීය ප්‍රශ්නවලට මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ආයතන තුළින් යම් සහනයක් ලබා ගැනීමට තිබෙන ඉඩකඩ විවෘත කරමින් එවන් රාජ්‍ය ආයතන හා ඔවුන්ගේ ගනුදෙනුව සමීප කිරීමත් යන්න ‘ෆෝකුස් විමෙන්’ ආයතනය හා අත්වැල් බැඳගත් අපගේ අරමුණ වන්නේය.

යුද්ධයේ ඍජු බලපෑමට ලක්වූ ප්‍රදේශවල මෙන්ම දකුණේ තෝරාගත් ප්‍රදේශ ආශ්‍රිතව ද යුද්ධයේ බලපෑමට ලක් වූ කාන්තාවන් අරඹයා සිදු කෙරෙන මෙම දැනුම්වත් කිරීමේ හා පුහුණු වැඩසටහන තුළින් ස්වකීය අයිතිවාසිකම් පිළිබඳ අදහසක් මෙම කාන්තාවන් තුළ ඇති කිරීමට උත්සාහ දරන්නේය. සිය අයිතිවාසිකම් මොනවාද යන්න මෙන්ම එම අයිතිවාසිකම් උල්ලංඝනය වීමකදී යායුතු රාජ්‍ය ආයතන හා විශේෂයෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව ද ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව අවබෝධයක් ලබාදීම ද මෙම වැඩසටහනෙහි අරමුණකි. මෙහි ආරම්භක වැඩසටහන ජුනි 28 වැනි දින ෆෝකුස් විමෙන් ආයතනය, රයිට්ස් නව් සංවිධානය, මානව හිමිකම් කොමිෂන් සභාව හා එක්ව ප්‍රාදේශීය සිවිල් සමාජ නායකත්වය ද සමඟින් ආරම්භ කළ අතර එහිදී ප්‍රාදේශීය සිවිල් සමාජ නායකත්වය දුක්ගැනවිලි රැගෙන තමන් වෙත පැමිණෙන ජනතාවගේ ප්‍රශ්න මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ තබමින් එම ප්‍රශ්න සඳහා මානව හිමිකම් කොමිසමට කළ හැකි දේ, ඒවා යොමු කළ හැකි ආයතන එම ඇතැම් ප්‍රශ්න සඳහා සිවිල් සමාජය වශයෙන් කළ හැකි දේ පිළිබඳ සාකච්ඡාවට බඳුන් කළහ. එහිදී මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි දිපීකා උඩුගම මහත්මිය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරයත් ඒ වෙත ඉදිරිපත් කළ හැකි ගැටලුවල ස්වභාවයත්, ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරුත් ලබාදෙනු ලැබුවාය. රයිට්ස් නව් ආයතනයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සහ ෆෝකුස් විමෙන් ආයතනය නියෝජනය කරමින් එහි විධායක අධ්‍යක්ෂිකා ශ්‍යාමිලා ගෝමස් මෙහිදී සිය අදහස් දැක්වීම් සිදු කළහ.

DSC_0413

එම වැඩසටහන ආශ්‍රයෙන් ලද අදහස් ද තොරතුරුද ප්‍රාදේශීය සිවිල් සමාජ ක්‍රියාකාරීකයන්ගේ සහය ද ඇතිව ජූලි 26 වැනි දින අනුරාධපුරයේදී යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන් උදෙසා පළමු වැඩසටහන පවත්වන්නට අපට හැකි විය. එහිදී යුද්ධයේ ඍජු බලපෑමට ලක් වූ කාන්තාවන් සිය ගැටලු අනුරාධපුර මානව හිමිකම් කොමිසන් සභාවේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරී ශිරෝමී ප්‍රියංගා සහ එහි අධ්‍යාපන හා දත්ත නිලධාරී ධනුෂ්ක චමිල් යන මහත්ම මහත්මීන් වෙත ඉදිරිපත් කළ කරනු ලැබූහ.

යුද්ධයෙන් ඍජු බලපෑමට ලක් වූ උතුරේ කාන්තාවන් බහුතරයක් මේ වන විට නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිත රැකියාවන්හි නියුක්ත වන අතර එම කාන්තාවන් යුද්ධයෙන් ද වෙළෙඳ කලාපය තුළ සිදුවන විවිධ හිරිහැර, අඩු වැටුප්, රෝග ව්‍යාප්තිය, ආර්ථීක අර්බුද ආදියෙන් ද පීඩා විඳිති. එවැනි පීඩාවන්ට ලක්වූ වෙළෙඳ කලාපයේ කාන්තාවන් එක්රැස් කරගනිමින් ජූලි 30 වැනි දින තවත් වැඩසටහනක් කටුනායක පැවැත්වීම සඳහා ඩාබිඳු සාමූහිකයේ අධ්‍යක්ෂිකා චමිලා තුෂාරි මහත්මිය අපට සහය දැක්වූවාය. මෙහිදී පැමිණි කාන්තාවන් වෙතින් ඉදිරිපත් වූ ප්‍රශ්න සියල්ලට පිළිතුරු දෙමින් එම ගැටලු ඉදිරිපත් කළ යුතු රාජ්‍ය ආයතන පිළිබඳව පැහැදිලි කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ විශ්වාසනීය හැඟීමක් ඇති කරමින්, මානව හිමිකම් කොමිෂන් සභාවට මැදිහත් විය හැකි ප්‍රශ්න පිළිබඳ අවබෝධය සරලවත් පැහැදිලිවත් ලබා දීමට මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යාපන හා විශේෂ වැඩසටහන් අංශයේ අධ්‍යක්ෂිකා මේනකා හේරත් මහත්මිය සහ කොමිෂන් සභාවේ පර්යේෂණ හා විමර්ශන අංශයේ අධ්‍යක්ෂක නිහාල් චන්ද්‍රසිරි මහතා විසින් කටයුතු කළහ.

DSC_0485

එමෙන්ම මෙම වැඩසටහන් ද්විත්වයේදීම සිය ගැටලු නිසි ලෙස හඳුනාගෙන එය සමාජගත කිරීම සඳහා ජනමාධ්‍ය උපයෝගී කර ගත හැකි ආකාරයත් ඒ සඳහා නිවැරදි සන්නිවේදන ක්‍රම අනුගමනය කිරීමත් පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ආශ්‍රිත පැහැදිලි කිරීම මාධ්‍යවේදිනී මනෝරි කලුගම්පිටිය විසින් සිදුකරනු ලැබුවාය. සිය ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට අවැසි නම් ඒ සඳහා යා හැකි ස්වාධීන කොමිෂන් සභා මොනවාද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් රයිට්ස් නව් ආයතනය නියෝජනය කරමින් චානක රූපසිංහ විසින් සිදුකරන ලදී.

යුද්ධයෙන් ද, ඉන් ලද වේදනාත්මක උරුමයන් ද ඇතිව නිරන්තරයෙන් සමාජයේ පීඩාවට පත්වන මෙම කාන්තාවන්ට තමන් පිළිබඳවම ආත්ම විශ්වාසයක් ද සිය අයිතිවාසිකම් පිළිබඳව මනා අවබෝධයක්ද සිය ගැටලු රැගෙන යන්නට හැකි තැනක් ද එය හඬගා කියන්නට හැකි මාර්ගයක් ද විවර කරදීම මෙම වැඩසටහන තුළ අපගේ අභිලාෂය වන්නේය.

සටහන – ජයනි අබේසේකර

Recent Posts

Leave a Comment