පුරවැසියෙකු වීමේ දුෂ්කර භූමිකාවට ජනතාව පුහුණු කළ යුතුයි

Sep 15th, 2017 | By | Category: LEAD NEWS, Today Lead News, සමබිම ඉරිදා අතිරේකය

 

සංකීර්ණ සංසිද්ධි බහුල යුගයක බුද්ධිමතුන් විසින් කළ යුත්තේ පවතින තත්ත්වය තවත් සංකීර්ණ කර සමාජයට ඉදිරිපත් කිරීම නොව තේරෙන භාෂාවෙන් තේරෙන විදිහට පැහැදිලි කර දීමයි. පසුගිය දා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ වැඩසටහනට මහනුවර සිට කඳුරට සේවය ඔස්සේ සජීවීව සම්බන්ධ වූ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් ජනවාරි 08 දේශපාලන වෙනස, අදට අදාළව සරලව පැහැදිලි කරන ලදී. නීතිඥ කේ. ඩබ්ලිව් ජනරංජන විසින් මෙහෙය වූ එම සංවාදය ආශ්‍රයෙන් සකස් කරන ලද ලිපියක් මෙවර සමබිම ගෙන එයි.  

Liyanage_Amarakeerthi_PNB_Interview_BND_3

ජනවාරි අට ගැන රොමෑන්ටික අපේක්ෂාව

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් අනූෂ පැල්පිටට අවුරුදු තුනක සිරදඬුවම් හිමිකර දුන් නඩු තීන්දුව දිහා මෙන්ම එය විභාග වූ ආකාරය දිහා ඉතා උනන්දුවෙන් මම බලා සිටියා. ඒ ජනවාරි අට බල පෙරළියේ පොරොන්දු පිළිබඳ කාරණය නිසා පමණක් නෙවෙයි. ඊට වඩා පුළුල් සංකේතමය දෙයක් මේ තුළ තිබුණා. ජනවාරි අට සිට මේ දේ සිද්ධ වෙන්න මඳ ප්‍රමාදයක් තිබුණා වුනත් අපට පෙනෙනවා නීතිය පසිඳලීම පිළිබඳ ක්‍රමවත් බවක් සහ විනිවිදභාවයක් ඇති වෙනව කියලා. මේ නඩු තීන්දුවට පෙර අගෝස්තු 17 වැනිදා පත්වුන ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙකුට ඉල්ලා අස්වීමට සිදුවුණා. ඒ වගේම බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ඉදිරියට යමින් තිබෙනවා. කොහොම වුනත් මේ තීන්දුව මේ රටේ නිලධාරී තන්ත්‍රයට වැදගත් නිවේදනයක් නිකුත් කරනවා කියන එකයි මගේ අදහස. බලයේ සිටින ඉහළ දේශපාලකයන් කරන ඉල්ලීම්වලදී ඒවා නීතියට අනුකූලව සිදුකරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් වඩාත් කැපවීමක් අපි බලාපොරොත්තු වෙනවා. පහුගිය අවුරුදු තිහ හතළිහ තිස්සේ දේශපාලකයන් දිහා අපි බලන්නෙ එක්තරා දූෂිත ගනුදෙනුකාර කෑදර පිරිසක් ලෙස. නමුත් මහජනයා සහ දේශපාලකයා අතර සිටින නිලධාරීන් දිහා බලන්නේ නීති පොතට අනුව වැඩ කරන, වෘත්තීයභාවයක් දරන දේශපාලකයන්ට වඩා කොහොමත් දැන උගත් පිරිසක් ලෙස. ඒ නිසාම නිලධාරී තන්ත්‍රය පිළිබඳ සාකච්ඡාව ඉතාමත් වැදගත් දෙයක්. මේ නඩු තීන්දුව සමඟ තිබෙන අනෙක් වැදගත්ම කාරණය මෙය හුදෙක් රටේ නිලධාරී තන්ත්‍රය පිළිබඳ වන නඩු තීන්දුවක් පමණක් නොවෙයි. එය රටේ තීරණාත්මක මැතිවරණයක් පවතින අවස්ථාවක, ජනතාව යම් කිසි දේශපාලන තීන්දුවක් ගන්නා අවස්ථාවක, රටේ ඉහළ නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳ පරීක්ෂාවක්. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වගන්තියක් එකතු කර තිබෙනවා යම් කිසි ඇමතිවරයෙක් තමන් යටතේ සිටින නිලධාරීයෙක්ට යම් නියෝගයක් ලබා දීලා එය යම් කිසි දූෂණ ක්‍රියාවකට මඟ පාදනවා නම් එහි පළමුවෙනි වගකීම තිබිය යුත්තේ දේශපාලකයන් සතුව කියල. මෙවැනි වගන්ති නව ව්‍යවස්ථාවට ඇතුළත් කර ගැනීමට මේ රටේ නිලධාරීන් වැඩි වැඩියෙන් උත්සාහ ගත යුතුයි. නීති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගත් විට නීතියක් පොතක ලියැවී තිබීම වගේම එය භාවිතය පිළිබඳ පූර්වාදර්ශ තිබීමත් වැදගත්. මේ නඩු තීන්දුවත් එවැන්නක්. ජනවාරි අට දේශපාලන පෙරළිය දක්වා කාලයෙහි අපි ඉතාම රොමෑන්ටිකව අපේක්ෂා කළ කාරණා සම්බන්ධයෙන් රට මේ වන විට හැරෙමින් තිබෙනවාය යන්න පිළිබඳ මේ නඩු තීන්දුව නිවේදනයක් නිකුත් කරනවා. 

දේශපාලකයන් පමණක් නොව නිලධාරීන්ද ජනතාවට වගකිව යුතුයි

ඒ වගේම මෙවැනි කාරණාවලදී රාජ්‍ය නිලධාරීන්ටම වරද පැටවීම යුක්ති සහගත නැහැ කියන අදහසට මම එකඟයි. මොකද මෙහි පළමුවැනි වගඋත්තරකරුවන් වෙන්න ඕන දේශපාලන බලය සහිත ඇමතිවරු, මේ කාරණයේදී නම් ජනාධිපතිවරු, ඔහුගේ පවුලේ අය සහ බලවත් ඇමතිකම් දරපු අය. මේ අය සම්බන්ධයෙනුත් යම් ආකරයකට පරීක්ෂණ ඉදිරියට යනවා. ජනවාරි අට වෙනසට දායක වූ කෙනෙක් හැටියට මම බලාපොරොත්තු වෙන්නෙ එම පරීක්ෂණ තවදුරටත් ඉදිරියට යෑම. නමුත් නිලධාරීයා කියන්නේ අහිංසක කෙනෙක් නෙවෙයි. නිලධාරීන් කියන්නෙ දේශපාලකයන්ටත් වැඩිය නීති පොත, ආයතන සංග්‍රහය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳට දන්න පිරිසක්. ඒ අය අකර්මන්‍ය දාසයෝ නෙවෙයි. ඒ අය කාරක ශක්තියක් තිබෙන තීරක ශක්තියක් තිබෙන මනුෂ්‍යයෝ. ඒ වගේම යමෙක් නිලධාරියෙක් වෙන මොහොතේම වගකීම් සහගත පුරවැසියෙකු බවට ඔහු හෝ ඇය පත් වෙනවා. ඒ නිසා ඔවුන් දේශපාලකයන්ගේ වහල්ලු හෝ දේශපාලකයන් අතේ නැටවෙන අවිඥානික උපකරණ නෙවෙයි. ඒ නිසා ඔවුන් දේශපාලකයන්ට කිව යුතුයි ඇමතිතුමා මෙය මේ විදිහට කළොත් එය නීතියට විරුද්ධයි කියන දේ. මොකද එහිදී ඔහු මහජන සේවකයෙක්. අපි නිලධාරීන් දිහා බලන්නෙ ඔවුන් ආණ්ඩුවේ නිලධාරීන් හැටියට. නමුත් නිලධාරීන් කියන්නෙ ආණ්ඩුවත් කොටසක් වන රාජ්‍යය කියන විශාල ව්‍යුහයේ කොටස්කාරයෙක්. ඒ අය වැටුප් ගන්නෙ නඩත්තු වෙන්නෙ මේ රටේ මහජනතාව වෙනුවෙන්. තනි පක්ෂයක් තිබෙන එයට පමණක් බලය තිබෙන, හමුදා නිලධාරීන් යටතේ පාලනය වෙන අධිකාරීවාදී ආණ්ඩු පාලනයකදී වගේ නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකදී නිලධාරීන්ද අවසන් වශයෙන් මහජනතාවට වගකිව යුතුයි.  මේ රටේ නිලධාරීන් අහිංසක, අසරණ, දේශපාලන බලය යටතේ කිසිවක් කර කියා ගත නොහැකි අය නොවෙයි. ඔවුන් එහෙම ඉන්නවා නම් ඒ නිලධාරීන් හැටියට තමන්ට තිබෙන විශේෂ ශක්තිය අවභාවිතා කරන පිරිසක් මිසක් රටේ නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආයතන සංග්‍රහය යනාදිය හේතුවෙන් අකර්මන්‍ය වුණ පිරිසක් නෙවෙයි කියල කිව යුතුයි. 

නිලධාරීන් මේ කියන නීතියට, ආයතන සංග්‍රහයට අනුකූලව ක්‍රියාකරනවාද යන්න වගේම ඉහළ බල කේන්ද්‍රවල කටයුතු කරන නිලධාරීන්ට යම් කිසි ආකාරයක ආචාරධර්මීක තර්කනයකුත් තිබෙන්නට අවශ්‍යයි. එය නීතියේ වචනයෙන් නොලියැවී තිබෙන්නට පුළුවන්. අවුරුදු කිහිපයක් ඇතුළත යහපාලනය පිළිබඳ යම් කිසි කතිකාවක් මේ රටේ ඇතිව තිබෙනවා. මේ කතිකාව ඇතුළේ අපි විටින් විට මතු කළ කාරණයක් වගකීම් සහගත පුරවැසියන්ටත්, සාමාන්‍ය සිවිල් පුරවැසියන්ටත්, ඉහළ නිලධාරීන්ටත් හුදෙක් නීතිය පිළිබඳ, නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීමක් වගේම අනෙක් මනුෂ්‍යයන්, පොදු මහජනතාව, මහජන දේපල, ජාතික ධනය, පිළිබඳ ආචාරධාර්මීක වගකීමක් සහ ආචාරධාර්මික තර්කනයකුත් තිබෙනවාය කියන කාරණය. මෙවැනි නඩු තීන්දු හරහා හැම නිලධාරීයෙක් තුළම එවැනි ආචාරධාර්මික ප්‍රඥාවක් ඇති විම සිදුවිය යුතුයි. මෙම නඩුවට අදාළ නිලධාරීන් දෙදෙනා කියනවා ඉහළ දේශපාලන අණ කොයිතරම් බලවත් වුණාද කියනවා නම් එය ක්‍රියාත්මක නොකර සිටීමට ඉඩක් ලැබුණෙ නැහැ කියල, අපි සිතිය යුතුව තිබෙන්නෙ ජනවාරි අට අපි පරාජය කළේ එවැනි බලගතු අණසකක් දිය හැකි අධිකාරීවාදි පද්ධතියක්ය කියන කාරණය. 

මේ නඩු තීන්දුව හරහා රාජ්‍ය නිලධාරීන් බිය වෙයි සහ රාජ්‍ය යාන්ත්‍රණයම විශාල අවුලකට ගමන් කරයි වැනි අදහස් මේ සම්බන්ධයෙන් ඇතැම් අය මතු කළා වුනත් මම හිතන්නෙ නැහැ රාජ්‍ය නිලධාරීන් එවැනි බියක් ඇති කර ගෙන තිබෙනවා කියල. මොකද රාජ්‍ය පරිපාලන සේවයේ අති බහුතරයක් ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ ඉහළම සුදුකම් සහිත, දෙස් විදෙස් පුහුණුව ලබන, පොත පත හොඳට කියවන පිරිසක්. ඔවුන්ට එවැනි බියක් ඇති වෙන්න හේතුවක් නැහැ. මොහොතකට හිතුවොත් එවැනි බියක් ඇති වුණා කියල එයින් අදහස් කරන්නෙත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමේ වගකීම තමන් වෙත ඇත හෝ මේ රටේ දූෂණය අවම කිරීමේ වගකීම තමන් වෙත ඇත යන බය නම් එය ඉතා හොඳයි. 

සීමිත ජයග්‍රහණය උපරිම ලෙස භාවිතයට

මම ජනවාරි අට වෙනසක් ඇති කිරීම වෙනුවෙන් මගේ අතින් වියදම් කර ගෙන ගිහින් ජනතාව ඇමතුව කෙනෙක්. මම බලාපොරොත්තු වුණා ප්‍රධාන පක්ෂ දෙකට අමතරව වෙනත් විකල්ප මතධාරී වාමාංශික පිරිස්වලින් බහුතරයක් පාර්ලිමේන්තුවට යා යුතුයි කියල. කෙසේවුවත් ජනවාරි අට වෙනස දිහා හැරී බලද්දී බලයට පත් වුණ ප්‍රධාන පක්ෂවල අය කෙරෙන් අපිට දිනාගත හැක්කේ සීමා සහිත ජයග්‍රහණයන් බව මම පෙර සිට දැන සිටී දෙයක්. ඒ නිසාම ජනවාරි අටෙන් පසු ගෙවී ගිය කාලය සම්බන්ධයෙන් මම විශාල අපේක්ෂා භංගත්වයක නැහැ. දැන් තත්ත්වය ගත් විට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කතිකාව හෙමින් හෙමින් හෝ ඉදිරියට යනවා. එය කොතෙක් දුරට යථාර්ථයක් වෙයිද කියන්න නොහැකි වුනත් ඒ කතිකාව ඉදිරියට යමින් තිබෙනවා. තොරතුරු පනත ආවා වගේම ස්වාධීන කොමිෂන් සභා පත් වුණා සහ ඒවා ක්‍රියාත්මක වීමෙන් යම් යම් ජයග්‍රහණ අපි අත්පත් කරගෙන තිබෙනවා. මහජන උද්ඝෝෂණ සම්බන්ධයෙන් ගත්තොත් අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයාත් කම්කරුවාත් උද්ඝෝෂණයේ යෙදෙනවා. ඒත් රතු පස්වලක් දකින්න නැහැ. මරා දැමීම්, පැහැර ගැනීම් සම්බන්ධයෙන් වන පරීක්ෂණත් හෙමින් හෝ සිදුවන බව පෙනෙන්න තිබෙනවා. නමුත් මම හිතනවා මේවා ඉක්මන් විය යුතුයි කියල. මරා දැමුණු තාජුඩීන් මහතාට ගෞරවනීය මරණ සහතිකයක් දෙන්න අසමත් වෙනවා නම් මේ රටේ යහපාලනයක් තිබෙනවා කියන්න බැහැ. ඒ වගේම පෝද්දල ජයන්ත වැනි අයගේ අත පය කැඩුවේ කවුද කියන දේ සම්බන්ධයෙන් පරීක්ෂණ ඉදිරියට යායුතුයි. සමහර දේශපාලකයන්ට අයිති යැයි කියන දේපලවලට අයිතිකාරයෙක් නැතිව තිබෙනවා. නමුත් ඒ අයිතිකරුවන් කවුද ඒ දේපල ගත්තේ කොහොමද කියන දේ සෙවිය යුතුයි. අපේ රටේ බයිසිකල්වලින් ගිහින් දේශපාලනයට ආව අය දේශපාලනයේ අවුරුදු පහක් දහයක් විස්සක් යන කොට වෙනත් රටවල දේපල තිබෙන, නැව් සමාගම්වල හිමිකරුවන් වුණ ප්‍රකෝටිපතියෝ බවට පත්වෙන්නේ කොහොමද? ඒ ආකාරයට දැවැන්ත ධනයක් රැස්කරගත්තේ කොහොමද කියන දේ මහජනයාට දැකගත හැකි වන තත්ත්වයට මේ රට හැදිය යුතුයි. දැන් ආණ්ඩුවේ ඉන්න දූෂිතයින්ටත් පසුගිය ආණ්ඩුවේ හිටපු දූෂිතයන්ටත් එරෙහිව සිදුවන පරීක්ෂණ ඉදිරියට යායුතුයි. ඒ සම්බන්ධයෙන් පුරවැසි බලවේගවලට ප්‍රශ්න කිරීමට තිබෙන අයිතිය, මාධ්‍ය අවකාශය යනාදිය පුළුල්ව තිබෙනවා වුනත් එය තවදුරටත් ආරක්ෂා කර ගැනීම අවශ්‍යයි. දූෂණ වංචාවලට හසුවෙන දේශපාලකයෝ ටෙලිවිෂන් කැමරා ඉදිරියේ අත් උස්සලා වීරයෝ වෙද්දී මිනිස්සු කී දෙනෙක් හිනා වෙනවද මුන්ට ලැජ්ජා නැද්ද කියල. එවැනි දූෂිතයින් ලැජ්ජාවට පත් කිරීම පිළිබඳ විඥානයක් මේ රටේ නිර්මාණයව තිබෙන්නෙ ජනවාරි අටෙන් පස්සේ. 

පරාජය කළ සටන් පාඨ නැවත අතට ගැනීම

ජනවාරි අට මැතිවරණයේදී අන් කිසිදු මැතිවරණයකට වඩා මේ රටේ සිවිල් සමාජ බුද්ධිමතුන් ඉදිරියට ඇවිල්ලා හරයාත්මක සටන් පාඨ රාශියක් ඉදිරිපත් කළා. යහපාලනය, සාධාරණය සහ යුක්තිය එහි ඉදිරිපත් වුණ සටන් පාඨ කිහිපයක් පමණයි. එහි තිබුණේ නැහැ බඩු මිල අඩු කිරීම්, වැටුප් වැඩි කිරීම් වගේ දේවල්. එහි තිබුණේ බලය බෙදීම, දමිළ ජනතාව සක්‍රීය ආකාරයෙන් රාජ්‍ය ව්‍යුහයට සම්බන්ධ කර ගැනීම වැනි කාරණා. ඒ නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පරාජිත බලවේගය සමඟ විවිධ ගනුදෙනු මඟින් බලය පවත්වා ගැනීමට වඩා දේශපාලන අධිෂ්ඨානයකින් යුතුව ජනවාරි අට මතු වූ හරයාත්මක දේශපාලන සටන් වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍යයි. නමුත් එය එලෙසින්ම පෙනෙන්නට නැහැ. ඒ නිසයි ඉතාම හරයාත්මක නීති කෙටුම්පත් භික්ෂුන් වහන්සේලා කෑගැහුවම ආපස්සට ගන්නෙ. නැතිනම් තමන්ගේ දරුවන්ට මොකද වුණේ කියල දැනගන්න කැමති සිංහල, දෙමළ, මුස්ලිම් අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ දරු කැක්කුමට භික්ෂුන් වහන්සේ කෙනෙක් විරුද්ධ වෙන්නෙ කොහොමද කියල අහන්න කොයිතරම් පහසුද? මොකද යහපාලනය, යුක්තිය, සාධාරණය යන වචන සියල්ලම ඉතාම පහසුවෙන් බුදුදහම තුළ අඩංගු කළ හැකියි. භික්ෂුන් වහන්සේලා, ගිහි බෞද්ධයන්, අතුරුදන් වූ දමිළ මිනිසුන් ගැන සෙවීමට විරුද්ධ වෙනවා නම් අපි ඒ අයට ඒත්තු ගැන්වීමට අවශ්‍යයි මේ සෙවීමෙන් බෞද්ධයන්ගේ බෞද්ධකමට හෝ සිංහලයන්ගේ සිංහලකමට හෝ හානි වීමක් නෙවෙයි සිදුවෙන්නෙ බෞද්ධයන්ගේ නියම බෞද්ධකම මතු කර ගැනීමක් බව. 2009 ඉඳල උතුරු, නැගෙනහිර දමිළ, මුස්ලිම් මිනිස්සු තවමත් වැළපෙනවා නම් තමන්ගේ අතුරුදන්වුන පවුල් සමාජිකයා වෙනුවෙන් රාජ්‍යයට වැඩි වගකීමක් තිබෙනවා ඒ කාරණය සම්බන්ධයෙන් සොයා බලන්න. එල්ටීටීඊය කියන්නෙ අධිකාරීවාදී සංවිධානයක්. ඔවුන්ගේ පාලනය යටතේත් යුද්ධයේ ඉතාම අපහසු කොන්දේසි යටතේත් මේ මිනිස්සු ජීවත් වුණේ ඉතාම දුෂ්කර තත්ත්වයක. ඒ නිසාම ඒ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය ස්ථාපිත කිරීමේදී තමන්ගේ අතුරුදන්වුන සමීපතමයන්ට එය වුණේ කොහොමද කියන දේ විනිවිදභාවයෙන් යුතුව දැනගැනීම අවශ්‍යයි. ඒ සඳහා දැවැන්ත දේශපාලන අධිෂ්ඨානයක් අවශ්‍යයි. ඒ වෙනුවට තමන් පරාජය වෙයි කියන බියෙන් අපි පරාජය කළ සටන් පාඨ යළි අතට ගැනීම දේශපාලන අධිෂ්ඨානය නෙවෙයි. 

ප්‍රජාතන්ත්‍රවාදය යනු බහු වාර්ගිකත්වය සහ ආගමිකත්වය පිළිගැනීම පමණක් නොවේ

ආගමික සංස්ථා රටේ ලෞකික කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන්ම රටේ නීති සම්බන්ධයෙන් මැදිහත් වීම ප්‍රජාතන්ත්‍රවාදය සහ ලෞකික මිනිස් අවකාශය වර්ධනය කිරීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක්. මෙය අභියෝග කළ යුතු තත්ත්වයක්. නමුත් මේ අභියෝග කිරීමේදී කිසිම ආගමක සිත් රිදවීමකට නොයා යුතුයි. නිදසුනක් ලෙස හැම ආගමකම පිරිස් හිතනවා ආගමික අනන්‍යතාවයයි තමන්ට වැදගත් කියල. සෑම ආගමකම තිබෙනවා ආචාරධාර්මික පද්ධතියක්. ඒ ආචාරධර්ම සියල්ලම නූතන ලෞකික ප්‍රජාතන්ත්‍රවාදය සමඟ අවශ්‍යයෙන්ම ගැටෙන්නෙත් නැහැ. එවැනි නොගැටීම් බහුතරයක් තිබෙන ආගම, බුදුදහම.  ලෞකික පුරවැසියෝ කියල කියන්නෙ එක අවකාශයකදී බෞද්ධ වන අතරම තව අවකාශයකදී ප්‍රජාතන්ත්‍රවාදී වීම. තවත් අවකාශයකදී මානව හිමිකම් ආරක්ෂකයන්, ස්ත්‍රීවාදීන් වැනි විවිධ අනන්‍යතාවන්ට මාරුවීම. හැම විටම අපිට වැදගත් වෙන්නේ අපේ බෞද්ධකම හින්දුකම හෝ මුස්ලික නෙවෙයි. ඒ නිසාම විශේෂ තත්ත්වයන් යටතේ පවා ගබ්සාවට එරෙහි වෙනවාය කියන කතෝලික පූජකවරු අමනෝඥයි. අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක නිසා දේශපාලන නායකයෝ මේ ආගමික කණ්ඩායම් සමඟ අවංක, අධිෂ්ඨානශීලි, මධ්‍යස්ථ සහ මිත්‍රශීලි සංවාදයකට යෑම කියලයි මම හිතන්නෙ. 

පශ්චාත් යටත් විජිත සමාජවල අපි පුරුදු වී තිබෙනවා අපේ බෞද්ධකම අනෙකාට එරෙහිව නිර්වචනය කරන්න. එය අපේ ආගමික, වාර්ගික අනන්‍යතා දේශපාලනයේ තිබෙන ගැටලුවක්. මම බෞද්ධ වෙන්නේ කුමක් නිසාද කියල හරයාත්මකව හිතනවට වඩා මම බෞද්ධ වෙන්නේ මුස්ලිම් නොවන නිසා කියල හිතන්න අපි පුරුදු වෙලා තිබෙන්නෙ. ජනවාර්ගික ජාතිකවාදී දේශපාලනයේ විශේෂයෙන් තිබෙන ලක්ෂණය තමයි ඒ අය දේශපාලන බලය ඉල්ලන්නේ ජන පිරිසකගේ ජනවාර්ගික අනන්‍යතාව වෙත වීම. ඒ ඉල්ලීම, බල බෙදීම පරිකල්පනය කරන්නෙ සිංහලයන්ට, දමිළයන්ට, මුස්ලිම්වරුන්ට කොපමණ බලයක්ද යනාදී වශයෙන්. ජනවාර්ගික අනන්‍යතාව තෝරාගත් එකක් නෙවෙයි අපට උපතින් හිමිවන දෙයක් කියන දෙයින් ජනතාව මුදවා ගත යුතුයි එය කිරීම අපහසු දෙයක් නෙවෙයි. ඒ වගේම නූතන ලෞකික ජීවිතයේදී තමන්ගේ ආගමික වාර්ගික අනන්‍යතාව පිළිගැනීම යන දේ අපට වැදගත්. නමුත් මෙයින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගෙන යන්න බැහැ. ඒ සඳහා ජාතික ධනය සියලු පුරවැසියන්ට සාපේක්ෂ සමානාත්මතාවයකින් බෙදී යාම වැදගත්. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අපිට බැහැ වාර්ගික ආගමික අනන්‍යතාවය පමණක් දැඩිව අල්ලාගෙන ඉන්න. එසේ වීමෙන් සිදුවෙන්නේ අපි අයිති ආගමික වාර්ගික කණ්ඩායමට අපෙන් වැඩි සැලකිලි ලැබීම. ජනවාරි අට අරගලය තුළ මේ සටන් පාඨ සියල්ලම වගේ තිබුණා. මේ රට ආගමික වාර්ගික චින්තනයෙන් එළියට ගන්න අවශ්‍ය කරන බුද්ධිමය අමුද්‍රව්‍ය ප්‍රජාතන්ත්‍රීය සමාජ කතිකාවේ අපමණ තිබෙනවා. 

හමුදා මානසිකත්වයෙන් පුරවැසි මානසිකත්වයට මාරු වීම 

රටක් ලෙස අපි සාමූහිකව ගත් අමනෝඥ ක්‍රියාමාර්ග නිසා, යටත් විජිතවාදයත් ඇතුළුව සිදුවුණ දේශපාලනික ක්‍රියාකාරකම් නිසා, විශේෂයෙන් කොළඹ කේන්ද්‍රීයව සිටී දේශපාලන නායකයන් ගත් සාවද්‍ය ක්‍රියාමාර්ග නිසා තිස් අවුරුදු යුද්ධයක් ඇති වුණා. මේ නිසා තමන් හරියට නොදන්නා හේතුවකට මියගිය විශාල පිරිසක් ඉතිහාසයේ ගොදුරු බවට පත්වුණා. ඒ අනුව යුදමය ක්‍රියාවලියේ හිටපු දෙපාර්ශ්වයේම පිරිස්වලට නැවත සාමාන්‍ය ජීවිතයට එන්න උදව් කිරීම අවශ්‍ය වුවත් යුද්ධයේ ජයග්‍රාහී පාර්ශ්වය නියෝජනය කරන පිරිස රණවිරුවන් හැටියට අධිනිශ්චය වීම තුළ බරපතළ දිර්ඝකාලීන ප්‍රතිඵල තිබිය හැකියි. ඕනම රටක දරුණුම රාජ්‍ය ආයතන තමයි හමුදාව සහ පොලිසිය. දරුණුම කියල කියන්නේ සමාජයේ නීතිය සහ පර්යාය පවත්වාගෙන යාම සඳහා ඒ ආයතනවලට ආයුධ දැරීමේ අයිතිය නීතියෙන් පවරා දී තිබෙන නිසා. එතකොට ආයුධ දැරීමට, අපි විසින් අයිතිය දී ඇති මේ පිරිස අපිම පුජනීය තත්ත්වයට පත් කරනවා නම් ඒක සමාජයටත් හොඳ නැහැ; ඒ අයටත් හොඳ නැහැ.  ඒ වෙනුවට අපි ආයුධ දැරීමේ අයිතිය නීතියෙන් හිමිවන කණ්ඩායම් හැසිරෙන්නෙ කොහොමද කියන දේ සම්බන්ධයෙන් පරීක්ෂාවකින් සිටීම වැදගත්. හමුදාවේ ඇතැම් නිලධාරීන් හිතාමතා මිනිසුන් පැහැරගෙන යාම් මරා දැමීම් සිදු කළාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම හමුදාවටත් මහජනතාවටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් හොඳ දෙයක්. නමුත් යම් කිසි ඵෙතිහාසික අත්‍යවශ්‍යය සංසිද්ධියක් හේතුවෙන් යුද්ධයට යන්නට සිදුවුණ, ඒ නිසාම සිය අත පය පරිත්‍යාග කරන්න සිදුවුණ මිනිස්සුන්ට මනුෂ්‍ය ගෞරවය දීමේ පොදු එකඟතාවයක් අපට තිබිය යුතුයි. ඒ වගේම එවැනිම ඵෙතිහාසිකව ගොඩනැඟුණු අවශ්‍යතාවයක් හේතුවෙන් යුද්ධයට සම්බන්ධ වුණු අනෙක් පාර්ශ්වය වෙනුවෙන්ද එවැනිම ගෞරවයක් අප ඇති කර යුතුයි. එසේ නොමැතිව ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් රණවිරුවන් අධිනිශ්චය කරන්නේ වෙනත් දේශපාලනික උවමනාවකින්.

පුරවැසියෝ ලෙස අපි ඒ පිළිබඳ පරීක්ෂාවකින් බැලිය යුතුයි. මොකද පුරවැසියා කියන්නෙ සුවිශේෂී භූමිකාවක්. පුරවැසියා ඉතාම සක්‍රීයව තමන් ජීවත් වන සමාජයේ තිබෙන සියලු බල කේන්ද්‍ර දිහා පරීක්ෂාවෙන් බලා ඉන්න ප්‍රශ්න අහන ප්‍රජාතන්ත්‍රීය දේශපාලන ක්‍රියාවලියට සහභාගී වන කෙනෙක්. මෙහි බල කේන්ද්‍ර යනුවෙන් අදහස් කරන්නෙ දේශපාලනික බල කේන්ද්‍ර පමණක් නෙවෙයි. සංස්කෘතික, ආර්ථීක, දෘෂ්ටිවාදී බල කේන්ද්‍ර දිහා පුරවැසියා පරීක්ෂාවෙන් ඉන්න අවශ්‍යයි. තමන්ගේ සියලු වෘත්තීය පෞද්ගලික වගකීම් සමඟ පොදු සමාජයේ රාජ්‍ය දිහාත් පරීක්ෂාවෙන් සිටිය යුතුයි එය ඉතා දුෂ්කර කාර්යක්. ඒ දුෂ්කර කාර්ය වෙනුවෙන් මහජනයා පුහුණු කිරීමේ වගකීම අපටත් තිබෙනවා. රාජ්‍යයටත් තිබෙනවා. ■

මහාචාර්ය ලියනගේ අමරකීර්ති

සටහන-ජයනි අබේසේකර

 

Recent Posts

Leave a Comment