අතුරුදන්වූවන්ගේ කාර්යාලයට බාධා කරන්න කිසිවෙකුට ඉඩ නොදෙමු

Sep 18th, 2017 | By | Category: OTHER NEWS, Today Lead News, සමබිම ඉරිදා අතිරේකය

DSC_0083

සැප්: 15 සිට ක්‍රියාත්මක වන අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත පිළිබඳ අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ නිවේදනය

යහපාලන රජයේ පොරොන්දුවක් වූ “අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය” සැප්තැම්බර් 15 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපති විසින් අනුමත කර ඇත. මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී නඩයෙන් මෙහෙයවුන බොහෝ පිරිසකගේ විරෝධතාවයන් මැද කල් දැමුණු මෙම කාර්යාලය පනත සම්මත වී වසරක් ගත වූ පසුව හෝ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට කොන්දක් තිබීම ගැන සතුටු වීමට අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවට  අයිතියක්  ඇත. ඇතැම් වින්දිතයින්ගේ, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ පවා යම් යම් විරෝධතාවයන් මධ්‍යයේ ධඵඡ සාදරයෙන් පිළිගන්නා බවට ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් එය වහා ක්‍රියාත්මක කරන සේ විවිධාකරයෙන් බලපෑම් කිරීමට අපි පෙරමුණ ගත්තෙමු. අවසානයේ එය ක්‍රියාත්මක කිරීම ආරම්භ වීම සියලු අතුරුදන්වූවන්ගේ පවුල්වල සමාජිකයින්ගේ එක් ජයග්‍රහණයකි. 

මෙය ක්‍රියාත්මක වීම තුළ පමණක් අතුරුදන්වූවන්ට පූර්ණ සාධාරණයක් ඉටු නොවන බව අප සිහි තබා ගත යුතුව ඇත. ඒ සඳහා රජයේ අනෙක් පොරොන්දු ද බොහෝ කල් නොයවා ඉටු කළ යුතුය. ඒ සඳහා ජාත්‍යන්තරයේ බලපෑම් තුළ හෝ මේ සම්බන්ධව ආණ්ඩුවේ දේශපාලනික උවමනාව ශක්තිමත් කිරීමට තවදුරටත් බලපෑම් කළ යුතුව ඇත. ඒ සම්බන්ධව ජාතිවාදී නඩයන්ගේ විරෝධතා නොතකා කටයුතු කිරීමට ආණ්ඩුවට ශක්තිය සැපයීමට කොන්දේසි විරහිතව අපි පෙනී සිටින්නෙමු. 

මෙය ක්‍රියාත්මක කරන ආකාරය ව්‍යවස්ථාවට පටහැනි බවට මතයක්ද ගොඩනැගෙමින් පවති. අතුරුදන්වූ තම ඥාතීන් පිළිබඳ යම් තොරතුරක් ලැබෙන තෙක් සදාකාලිකවම විඳවන අතුරුදන්වූවන්ගේ පවුල්වල අයට සහනයක් ලබා දීමේදී සියල්ල ඉරි පේළි සහ කොටු තුළ සිදුවන්නේ නම් එය වඩා මැනවි. එසේ වූවත් නොවූවත් රජය ගත්තා වූ මේ තීන්දුව ආරක්ෂා කිරීම අපේ යුතුකමක් සහ වගකීමකි. ව්‍යවස්ථාවේ අඩංගු 13 වන සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කර ගැනීමට අපොහොසත් වූ අප වින්දිත ජන කොටසකට සහන සලසන යම් පියවරකට නීති පොලු හරස් කිරීම සුදුසු නොවේ. අන් සියල්ලට වඩා සුළුතර ජන කොටසකට (අතුරුදන් කළ සිංහල, දෙමළ, මුස්ලිම් සැම) සහනයක් සැලසීමට විවිධ විරෝධතාවයන් මධ්‍යයේ රජය ගත්තා වූ මේ පියවර කොන්දේසි විරහිතව අප ආරක්ෂා කළ යුතුව ඇත. 

අතුරුදන්වූවන් සම්බන්ධව දුන් පොරොන්දු ඉටු කිරීමේදී රජයේ මන්දගාමීත්වය අප කළකිරවන සුළුය. නමුත් මෙවැනි පොරොන්දු ලබා දුන් සහ ඒ වෙනුවෙන් මන්දගාමීව හෝ ඉදිරියට යන වෙනත් බලවේගයක් මේ මොහොතේ පේන තෙක් මානයක නැත. සැප්තැම්බර් 15 වැනිදා සිට හෝ මෙය ක්‍රියාත්මක කිරීමට සිදුවුයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ රැස්වීමට හිස් අතින් නිව්යෝක් යෑමට ජනාධිපතිට තිබූ අපහසු නිසා යැයි කියවුනද මෙය 1980 ගණන්වල සිට දුක් වින්ද අතුරුදන්වූවන්ගේ පවුල්වලට යම් බලාපොරොත්තුවක්ද දල්වන්නකි. 

ජාත්‍යන්තරයට පමණක් මෙය භාරදී නොසිට එම සහයත් ලබමින් ජාතික මට්ටමේ උතුර, දකුණ, නැගෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම් සියලු වින්දිතයින් ඒකරාශි කරමින් දකුණේ ජාතිවාදී එකතුවට විරුද්ධ මානුෂික හැඟීමෙන් යුත් පිරිස් ගොනු කරමින් විශේෂයෙන් දකුණේ මහජන මතයක් මේ සම්බන්ධව ගොඩනැගීමට පුළුල් ක්‍රියාකාරීත්වයක් ඇති කළ යුතුව තිබේ. 

යහපාලන ආණ්ඩුවද ජාතිවාදී ආණ්ඩුවක් බවට පත් නොවීමටත්, දුන් පොරොන්දු ඉටු කිරීම තුළ ආණ්ඩුවට අනාගතයක් ඇති බව හැඟී යන පරිදි ඔවුන් පෙළඹවීමටත් අපට හැකි වන්නේ එම ක්‍රියාකාරීත්වය හරහා ගොඩනඟන විවේචනාත්මක සහය තුළ පමණි. 

Recent Posts

Leave a Comment