නීති පොතේ අැති භාවිතයේ නැති අපේ අයිතිවාසිකම්

Sep 18th, 2017 | By | Category: LEAD NEWS, Today Lead News

ආබාධ සහිත පුද්ගලයන් යනු රටේ සුළුතර ජන කොට්ඨාශයක් වන අතර ඔවුන් පිළිබඳව ඉතිහාසයේ පටන් පැවත එන සමාජ මතය වන්නේ ඔවුන් කාගේ හෝ සරණක් අවැසි ජන කොට්ඨාශයක් වන බව හා ඔවුන්ව රැකබලා ගැනීම පවා පුණ්‍යවන්ත කටයුත්තක් වන බවයි. නමුත් තවදුරටත් ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොවේ. ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට භුක්ති විඳීමට අයිතියක් ඇති අතර ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා දෙනු ඇතැයි යන්න පමණක් ඔවුන් සමාජයෙන් බලාපොරොත්තු වේ. ආබාධ සහිත පුද්ගලයෝ ද මනුෂ්‍යයෝ වන අතර මේ ඔවුන්ගේ අයිතිවාසිකම් හා ඔවුන් පිළිබඳව සමබිම පාඨක ඔබ වෙත ගෙන එන ලිපි මාලාවේ දෙවැනි ලිපියයි.

ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ පහසුකම්

ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ පහසුකම් රෙගුලාසි පිළිබඳව වගකිවයුතු සියලුම පාර්ශ්වයන් දක්වන සැලකිල්ල කණගාටුදායකය. විශේෂයෙන් ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රවේශ පහසුකම් සැපයීම පිළිබඳ 2006.10.17 හා අංක 1467/15 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් නිකුත් කර ඇති අංක 1619/24 හා 2009.09.18 දින දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව, අලුතින් ඉදිවන සියලුම ගොඩනැගිලි ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශ පහසුකම් සහිතව ඉදි කළ යුතු අතර දැනට පවත්නා සියලුම රජයේ ප්‍රසිද්ධ ගොඩනැගිලි, ප්‍රසිද්ධ ස්ථාන හා සේවාවන් සැපයෙන ස්ථාන 2014.10.16 දිනට ප්‍රථම ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශ විය හැකි ආකාරයට සකස් කරනු ලැබිය යුතුය.

ප්‍රවේශ පහසුකම් පිළිබඳ නියෝග නිකුත් කර වසර ගණනාවක් ගතව ඇතත් මේ වනවිට අලුතින් ඉදිවන ගොඩනැගිලි පවා ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ වීමට අවශ්‍ය පහසුකම් රහිතව ඉදිවන බවත්, පවත්නා ගොඩනැගිලි ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශවීමට හැකි වන ලෙස සකසා ඇත්තේ සුළු ප්‍රමාණයක් පමණක් බවත් දක්නට ලැබේ. ප්‍රවේශ පහසුකම් යනු හුදෙක් ගොඩනැගිල්ලට පිවිසීමට ඇති හැකියාව පමණක් නොවේ. සියලුම ආබාධ සහිත පුද්ගලයින් හට තනිවම පැමිණ තමාට අවශ්‍ය කරන සේවාව ලබාගැනීම සඳහා අවශ්‍ය වන අයුරින් පරිසරය සකස් වී තිබීමත්, අවශ්‍ය ආධාරක උපකරණ තිබීමත් ඊට ඇතුළත්ය. නිදසුනක් වශයෙන් ගතහොත්, ශ්‍රව්‍යාබාධිත තැනැත්තෙක් කාර්යාලයට පැමිණි විට ඔහු/ඇය සමග සන්නිවේදනය සඳහා ක්‍රමයක් තිබීමත් ප්‍රවේශ පහසුකම්වලට අයත් වේ. එලෙසින් දෘශ්‍යාබාධිත තැනැත්තකුට අවශ්‍ය බ්‍රේල් පහසුකම් වැනි ක්‍රමවේද යොදාගැනීම මේ අතරට අයත් වේ.

ප්‍රවේශ පහසුකම් රෙගුලාසිවලට අනුව අදාළ ප්‍රවේශ පහසුකම් නීති රීති කඩ කරන සෑම ස්ථානයකටම එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකියාව ඇති අතර, එවැනි අවස්ථාවන් ප්‍රයෝජනයට ගත් එක් අයෙක් හැර (වෛද්‍ය අජිත් පෙරේරා) වෙනත් කිසිම කෙනෙක් එසේ සිදු කර නැත. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක ත්‍ගඍ221රැ2009 යටතේ 2013.06.17 දින ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව පෞද්ගලික අංශයේ ගොඩනැගිලි ද ඇතුළුව ප්‍රසිද්ධ ස්ථාන හා සේවාවන් සපයන සියලුම ස්ථාන ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශ වීමට පහසුකම් ඇති වන ආකාරයට සකස් කළ යුතු වේ. ඒ අනුව ඒ වෙනුවෙන් පියවර නොගැනීම තවදුරටත් එම ප්‍රවේශ පහසුකම් නීති රීති ඉටු නොකර සිටීමට අනුබල දීමක් වැනිය. එබැවින් ඒ වෙනුවෙන් අප සැම තනි තනිව හෝ එක්ව කටයුතු කළ යුතු වේ.

image

ආබාධ සහිත පුද්ගලයන්ගේ අධ්‍යාපන අයිතිය

ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ කතා කරන විට තවත් ඉතා වැදගත් අංශයක් අධ්‍යාපන ක්ෂේත්‍රයට හිමි වේ. සෑම පුරවැසියෙකුටම අධ්‍යාපනය ලබා ගැනීමට අයිතියක් ඇත. නමුත් ආබාධ සහිත වීම එම අයිතිය අහිමි කිරීමට හේතුවක් විය යුතු නැත. 2011 සංඛ්‍යාලේඛනවලට අනුව පාසැල් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ පසුවන 34% ක් වන ආබාධ සහිත ළමුන්ට කිසිම අධ්‍යාපනයක් නොලැබුණ බවත්, 20.3% වන පෙරපාසැල් අධ්‍යාපනය ලැබිය යුතු ආබාධ සහිත ළමුන්ට පෙරපාසැල් අධ්‍යාපනයක් නොලැබුණ බවටත් අනාවරණය කරගෙන තිබේ. මෙම ආබාධ සහිත ළමුන් නිසි අධ්‍යාපනයට යොමු නොවීම තුළ ඔවුන්ගේ අනාගතය අඳුරෙන් අඳුරට වැටෙන තත්ත්වයක් උදා වී ඇත. ආබාධ සහිත පුද්ගලයෙකු කෙසේ හෝ දුෂ්කරතා මැද අධ්‍යාපනයට යොමු වී නිසි ආකාරව අධ්‍යාපනය ලැබූ කල්හි සමාජය තුළ අභිමානයෙන් යුතුව කටයුතු කරමින් රටේ සංවර්ධන ක්‍රියාදාමයට ද දායක වන අයුරු අපට දකින්නට තිබේ. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපත්ති අනුව සැමට අධ්‍යාපනය යන තේමාව ඔස්සේ අධ්‍යාපන කටයුතු සැලසුම් කොට අධ්‍යාපනයේ සම අවස්ථා නිදහස් අධ්‍යාපනය මූලධර්ම තුළ ලබාදීමට කටයුතු කර ඇත. එසේ වුවද ආබාධ සහිත දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා ලබාදීමට රජය අපොහොසත් වීම කනගාටුවට කරුණකි. ශ්‍රව්‍ය ආබාධ සහිත, දෘශ්‍ය ආබාධ සහිත, ශාරීරික ආබාධ සහිත සහ බුද්ධි ඌණතා සහිත යන මූලික ක්ෂේත්‍ර හතරට අදාළ වූ ආබාධ සහිත දරුවන්ට සුවිශේෂී ගැටලු ඇතුවාක් මෙන්ම එම ගැටලු විසඳීමේ ක්‍රමෝපාය සහ සැලසුම් අතවශ්‍ය වේ.

ආබාධ සහිත පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය

අප සියලු දෙනාට මෙන් ආබාධ සහිත පුද්ගලයින් හට ද තම ඡන්ද බලය පාවිච් කිරීමේ අයිතිය ලංකාවේ මැතිවරණ ක්‍රමය තුළින් තහවුරු කර ඇති කරුණකි. නමුත් මෙම කාරණයේදී ආබාධ සහිත පුද්ගලයින් තමන්ට හිමි අයිතීන් පිළිබඳ නිසි ආකාරව නොදැනුවත් වීමත් හා මේ පිළිබඳ කටයුතු කරන නිලධාරීන් ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීමත් ඉතා බරපතළ තත්ත්වයකි. ශ්‍රී ලංකාව තුළ ජීවත් වන මිලියන 1.7 ක් වූ ආබාධ සහිත පුද්ගලයින් අතරින් සැලකිය යුතු පිරිසක් මෙම ඡන්දය පාවිච් කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ. එවැනි විශාල ජනතාවකට රටේ සමස්ත ඡන්ද පදනමින් සැලකිය යුතු කොටසක් නියෝජනය සඳහා ඉඩ සැලසෙන අතර, ඔවුන්ගේ සක්‍රීය සහභාගිත්වය රටේ පාලන තන්ත්‍රය සඳහා නියෝජිතයන් තෝරාගැනීමේ මැතිවරණ ක්‍රියාවලියේදී තීරණාත්මක සාධකයක් බව පැහැදිලිය.

සෑම මැතිවරණයකදීම ආබාධ සහිත පුද්ගලයින් හට හිමි ඡන්ද අයිතිය නිසිසේ භාවිතා කිරීමට වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පහත දැක්වෙන නියෝග නිකුත් කොට තිබේ.

 ඉතා පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානවල ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවිය යුතුය.

 ඡන්ද මධ්‍යස්ථානවල ඇති සියලු ආකාරයේ බාධක ඉවත්කොට එම ස්ථාන ආබාධ සහිත පුද්ගලයින්ගේ ප්‍රවේශයට හිතකර වන ආකාරයට සකස් කළ යුතුය.

 ඡන්ද මධ්‍යස්ථානයේ දොරටුව අසල සිට ආබාධ සහිත හෝ විශේෂ අවශ්‍යතා ඇති ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථානය කරා ප්‍රවාහනය සඳහා යතුරුපැදි හෝ ත්‍රීරෝද යෙදවිය යුතුය.

 ග්‍රාම නිලධාරීවරයා මාර්ගයෙන් විශේෂ අවශ්‍යතා සහිත හා ආබාධ සහිත පුද්ගලයින්ගේ හා අවශ්‍යතා සොයා දැනගත යුතුය

ඉහත කරුණුවලට අමතරව තවත් බොහෝ නීති රෙගුලාසි මේ පිළිබඳ නිකුත් කර ඇති අතර ඒවා පිළිබඳ මීට වඩා දැනුවත් කිරීම් සිදුකිරීම ඉතා අත්‍යවශ්‍ය කරුණකි. මෙම කරුණ විශේෂයෙන් රාජ්‍ය යාන්ත්‍රයන් ඔස්සේ මෙන්ම සිවිල් සමාජ සංවිධාන මගින් ද මැදිහත් වී සිදු කළ යුතු කරුණකි.

ලංකාව තුළ ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් ඇති තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්වීමට නොහැකි වූවත් රජය විසින් පසුගිය දශක දෙකක කාලයක් පුරාවට විවිධ මැදිහත්වීම් සිදු කර ඇති බැව් කිව යුතු කරුණකි. මේ පුද්ගලයින්ගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් සමාජ සේවා අමාත්‍යාංශය මගින් විශාල කාර්යභාරයක් සිදු කරන අතර එය පමණක් ප්‍රමාණවත් නොවේ. ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී රටේ ඇති සියලුම අමාත්‍යාංශ සහ ආයතන වලට වෙන් වෙන් වශයෙන් කළ යුතු දෑ බොහෝ ඇත. ගැටලුව ඇත්තේ දැනට ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් රජය විසින් ලබාදී ඇති ඇති අයිතිවාසිකම් හෝ ප්‍රතිපත්ති හෝ තීන්දු තීරණ ප්‍රායෝගික තලය තුළ ක්‍රියාත්මක නොවීමයි. මේ වෙනුවෙන් සියලුම පුද්ගලයින් ආකල්පමය වශයෙන් වෙනස් විය යුතු කාලය දැන් එළඹ ඇත.

 

සසංක මෙන්ඩිස්
ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ කළමනාකරු

Recent Posts

Leave a Comment