මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රාජ්‍ය නොවන සංවිධානවල වැඩක්ද?

Sep 21st, 2017 | By | Category: OTHER NEWS, Today Lead News

“අපි රයිට්ස් නව් ආයතනයට සම්බන්ධ වුණේම රයිට්ස් නව් ආයතනය ප්‍රශ්න කරමිනුයි. ඒකට එක හේතුවක් වුණේ ඒ අවධිය වන විට රටේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ඒ අවධියේ පොදු විවේචන රාශියක් තිබීමයි. ඒ විවේචන සහිතව සහ ඒ විවේචන ප්‍රශ්න කරමිනුයි අපි සීමාවාසික පුහුණුවට සම්බන්ධ වන්නේ.” නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ රයිට්ස් නව් සීමාවාසික පුහුණුව සම්බන්ධයෙන් සිය මතකය අවදි කළේ ඒ ආකාරයෙනුයි. “මම මේ පුහුණුව ගැන දැන ගන්නේ කැම්පස් එකේ නෝටිස් බෝඞ් එකේ අලවල තිබුණු දැන්වීමකිනුයි, ඒ දැන්වීම දැක්කම මට හිතුණා මේ සංවිධානය මිනිස්සුන්ගේ අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් යම් කටයුත්තක නියැලෙන සංවිධානයක් බව” ඔහු පවසන්නේය. “සාමාන්‍ය ජනතාව පමණක් නෙවෙයි සමහර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මට මුණ ගැහිලා තියෙනවා, එයාලා හිතන් ඉන්නවා මානව අයිතිවාසිකම් කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන විසින් අරන් ඇවිත් මිනිස්සු මතට බලෙන් පටවන්න හදන සංකල්පයක් කියලා. එවන් පසුබිමක මේ සංකල්ප ඇති වුණේ කොහොමද?, මේවා කොච්චර දුරට වැදගත් වෙනවද? කියන එක ගැන දැනුවත්භාවයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යන් ඇතුළු තරුණ ප්‍රජාවට ලබා දීම උදෙසා රයිට්ස් නව් සංවිධානය විසින් මේ විදියට සීමාවාසික පුහුණුවක් පැවැත්වීම ඉතාම වැදගත් දෙයක් විදියටයි මම දකින්නේ” ඔහු පවසන්නේ සීමාවාසික පුහුණුවෙන් ඔහු ලද අත්දැකීම් සිහිකරමිනි. වසර හයකට පෙර එනම් 2011 වර්ෂයේ රයිට්ස් නව් සීමාවාසික පුහුණුව සමඟ සම්බන්ධ වනවිට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය ලැබූ ඔහු අද වනවිට මිනිසුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අරගලයක නිරතවන නීතිඥවරයෙක් ලෙස සිය මෙහෙවර සමාජයට ඉටු කරමින් සිටින්නේය.

රයිට්ස් නව් ආයතනයේ මානව හිමිකම් සීමාවාසික පුහුණුව 2008 වසරේ ආරම්භ කළ අතර මේ වනවිට සීමාවාසික කණ්ඩායම් 22 මඟින් සීමාවාසිකයින් 200 ක් පමණ පුහුණුව ලබා ඇති අතර එයින් සීමාවාසිකයන් බොහොමයක් දෙනා අද වනවිට සමාජයේ ක්‍රියාකාරී පුද්ගලයින් ලෙස ලංකාවේ නන් දෙස ක්‍රියාකාරීව සිටී.

පෞද්ගලික නීතිඥවරයෙක් ලෙස කටයුතු කරන ජයන්ත දෙහිඅත්තගේ මහතා ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු අධිකාරියට ඉදිරිපත් වන පාරිභෝගික අයිතිවාසිකම් කඩකිරීම් සම්බන්ධ නඩු කටයුතුවල පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරයෙකු ලෙස ද කටයුතු කරයි. ඊට අමතරව පැෆ්රල් සංවිධානයට සම්බන්ධ නීති උපදේශකවරයෙකු ලෙස මෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම සහ දහනමවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සම්පත් දායකයෙකු ලෙසද තම දායකත්වය එම ආයතනයට ලබා දී තිබේ. පැෆ්රල් සංවිධානය සමඟ එක්ව ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පෙරවදනක්’ ඇතුළු ග්‍රන්ථ කීපයක් රචනා කර තිබෙන මෙම තරුණ නීතිඥයා නීතිය සම්බන්ධ ලිපි, අයිතිවාසිකම් පිළිබඳ ලිපි පුවත්පත් හා සඟරාවලට රචනා කරන්නෙකු ලෙසද සිය දායකත්වය සමාජයට ලබා දෙන්නේය. එමෙන්ම AFRIEL (Association of Friendship & Love) සංවිධානය සඳහා සම්පත් දායකයෙකු ලෙස හා තරුණ නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන ඔහු අවශ්‍ය අවස්ථාවන්හිදි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය සමඟ එක්ව පුරවැසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද කටයුතු කරමින් සිටී. පහත පළවන්නේ රයිට්ස් නව් සීමාවාසික පුහුණුවේ නව වන කණ්ඩායමේ සාමාජිකයෙකු වන ජයන්ත දෙහිඅත්තගේ සමඟ මා කළ සංවාද සටහනයි.

රයිට්ස් නව් සීමාවාසික පුහුණුවත් සමඟ සම්බන්ධ වීම ගැන සහ සීමාවාසික පුහුණුව තුළ ඔබ ලබාගත් අත්දැකීම් පිළිබඳව මතකය අවදි කරමුද?

රයිට්ස් නව් නවවන කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස මම සම්බන්ධ වෙන්නේ 2011 වර්ෂයේ අග කාලයෙදියි. සීමාවාසික පුහුණුව ගැන මම දැනගන්නේ කැම්පස් එකේ නෝටිස් බෝඞ් එකේ අලවල තිබුණු දැන්වීමකිනුයි. ඒ දැන්වීම දැක්කම මට හිතුණා ඒක මිනිසුන්ගේ අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් යම් කටයුත්තක නියැලෙන සංවිධානයක් බව. ඒ නිසයි මම සීමාවාසික පුහුණුවට අයදුම් කළේ. ඒ වනවිට රටේ බරපතළ විදියට මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් විවිධ ක්ෂේත්‍රවල කඩ වෙන තත්ත්වයක් තිබුණා. අපේ සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදී හරයන් ස්ථාපනය වෙලා නැහැ කියන කාරණය ගැන මට පෞද්ගලිකව උනන්දුවකුත් තිබුණා, ඒ සම්බන්ධයෙන් යම්කිසි කාර්යභාරයක් නීති ශිෂ්‍යයෙක් විදියට කරන්නට මට අවශ්‍ය වුණා. එහෙම පසුබිමක් මතයි රයිට්ස් නව් සීමාවාසික පුහුණුවට අයදුම් කරන්නේ.

ඉන්ටර්විව් එකේදි මගෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. ‘ලංකාවේ මානව අයිතිවාසිකම් තත්ත්වය ගැන ඔබ කුමක්ද හිතන්නේ?’ කියන ප්‍රශ්නය මගේ මතකයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයයි. ඒ අවස්ථාවේ මගේ පිළිතුර වුණේ ලංකාවේ මේ වනවිට ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකට මානව අයිතිවාසිකම් උල්ලංඝනයන් පෙනෙන්නට තිබෙන බවයි. පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන විසින් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් කඩ කිරීම්, ලංකාවේ ශිෂ්‍ය අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය වීම් සහ ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය ප්‍රධාන වශයෙන් තියෙන බව මම එදා ප්‍රකාශ කළා. සීමාවාසික පුහුණුවේ සම්මුඛ පරීක්ෂණයට පැමිණි සිසුන් අතරින් මා ඇතුළු තිදෙනෙකු තෝරාගෙන තිබුණා. රමිදු පෙරේරා හා සුභාෂිණී මේනකා අනෙක් දෙදෙනායි.

අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විසින් සීදූවේ සිදු කරන ලද සැමරුමකට අපි සහභාගි වුණ ආකාරය මගේ මතකයේ තියෙනවා. පුහුණුව තිබුණු කාලයේදි මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපිට විවිධ දේශන තිබුණා. මට ඒ කාලෙ තිබුණ ප්‍රශ්නය වුණේ පත්වන කුමන ආණ්ඩුවක් වුනත් බලය අයුතු ලෙස භාවිතා කිරීමයි. සමාජයේ උපරිම යහපතට පාවිච්චි කිරීම සඳහා මිනිස්සු පාලකයන්ට බලය දීලා තියෙනවා. එහෙම දීලා තියෙන බලය පාලකයන් අයුතු විදිහට පාවිච්චි කරද්දි සමාජය පෙරළා ප්‍රශ්න කරන්නෙ ඉතාම අඩුවෙනුයි. විශේෂයෙන්ම ඒ කාලයේ ඒක දැඩිව තිබුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව කියන්නේ යම්කිසි දැනුවත්භාවයක් තිබෙන පිරිසකුයි. ඒ පිරිස පවා පාලකයො විදියට සිදු කරන අත්තනෝමතික ක්‍රියාවන් සහ ජනතාවගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීම් ප්‍රශ්න කළේ නැහැ. ඒකට එක් හේතුවක් වුනේ අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි දේවල් ගැන ඔවුන්ට හරි අවබෝධයක් නැතිකමයි.

මානව හිමිකම් ක්‍රියාධරයෙකු හා නීතිඥයෙකු ලෙස ඔබ විසින් සිදු කරන ලද සමාජ මෙහෙවරයන් මාධ්‍යවලින් අප දුටුවා. ඒ ආකාරයට ඔබ ක්‍රියාකාරීව මැදිහත් වුණු විශේෂ සිද්ධීන් මොනවාද?

මානව හිමිකම් ක්‍රියාධරයෙක් ලෙස මිනිස්සුන්ට උද්ඝෝෂණය කරන්න තියෙන අයිතිය සම්බන්ධයෙන්, නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය සම්බන්ධයෙන්, සෞඛ්‍යමත්ව ජීවත් වීමට ඇති අයිතිය සම්බන්ධයෙන් සහ අත්තනෝමතික ලෙස පරිසරය විනාශ කිරීම් වලට විරුද්ධව මම මගේ දායකත්වය ලබා දෙනවා. මිනිස්සුන්ට උද්ඝෝෂණය කරන්න තියෙන අයිතිය කඩ වුන අවස්ථාවල මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු අදාළ ආයතනවලට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ කාර්යයට සහ සමාජ කතිකාවක් ඇති කිරීම සම්බන්ධයෙනුත් ක්‍රියාකාරීව කටයුතු කරල තියෙනවා. 2013 වර්ෂයේ රතුපස්වල සිද්ධිය, කොටදෙනියාවේ දැරියක් දූෂණයට ලක්වීම සම්බන්ධයෙන් පාසල් ශිෂ්‍යයෙක් අත්අඩංගුවට ගැනීම පිළිබඳ සිද්ධිය, ඉන්දියානු මුහුදු යාත්‍රා ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් කටයුතු කිරීම උදාහරණ ලෙස දක්වන්න පුළුවනි. රතුපස්වල සිද්ධිය වන විට මම නීති ශිෂ්‍යයෙක්. රතුපස්වල ප්‍රදේශවාසීන් පානීය ජලයට ඇති අයිතිය වෙනුවෙන් මහජන සාමය කඩවීමකින් තොරව සිදුකරන උද්ඝෝෂණය හමුදාව විසින් අයුතු විදියට විසුරුවා හරිනවා. එහිදී සාමාන්‍ය වැසියන් තිදෙනෙක් මරුමුවට පත් වෙනවා වගේම විශාල සංඛ්‍යාවක් තුවාල ලබනවා. හමුදාව විසින් අයුතු ලෙස බලය පාවිච්චි කිරීවම ගැන එක් වාර්තාවකුත්, මිනිස්සුන්ට ජලයට තියෙන අයිතිය ගැන තව වාර්තාවකුත් වශයෙන් මේ ගැන මානව හිමිකම් කොමිෂන් සභාව වාර්තා දෙකක් නිකුත් කරලා තිබුණා. උද්ඝෝෂණය විසුරුවා හැරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න වාර්තාවේ නිර්දේශ නිකුත් කරලා තිබුණත් ඒ එක නිර්දේශයක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ.

eeee
එවැනි පසුබිමක නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න කියලා බලපෑමක් කරන්න තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් සමඟ මම සම්බන්ධ වුණා. එහිදී අපි මාධ්‍ය සාකච්ඡා කීපයක් පැවැත්වුවා. එවකට තිබුණු රජයටත් මානව හිමිකම් කොමිෂන් සභාවටත් නැවත මේ ගැන සිහිකැඳවීමක් කළා. මේ අතර රතුපස්වල වෙඩි තැබීම සම්බන්ධයෙන් නඩුවක් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වුණා. ඒ නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී ඉන්න මට අවස්ථාවක් ලැබුණා. මේ සිද්ධියෙන් අවුරුදු තුනකටත් පසුවයි සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක් වෙන්නේ. මේ සම්බන්ධයෙන් මුල සිටම නිවැරදි ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවට හා එසේ නොමැති වුවහොත් නීතියේ ආධිපත්‍යය කියන කාරණය හෑල්ලුවට ලක් වෙනවා කියන දේ අපි සමාජගත කරමින් සිටියා. කොහොම වුණත් අවසානයේ මේ සිද්දියට සැක පිට හමුදා නිළධාරින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු කටයුතු පැවැත්වෙමින් තියෙනවා.

මේ වෙද්දි ලංකාවේ මිනිස්සුන්ට උද්ඝෝෂණය කරන්න තියෙන අයිතිය පිළිගන්නෙ නැති තත්ත්වයක් තියෙනවා. මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නැති ආණ්ඩුවලට විරුද්ධව මිනිස්සුන්ට උද්ඝෝෂණය කරන එක හැරෙන්නට වෙන විකල්පයක් නැහැ. උද්ඝෝෂණය කියන්නේ අයිතියක්. ඒ නිසා උද්ඝෝෂණ අයිතිය සමාජගත කිරීම වෙනුවෙන් මම පෙනී සිටිනවා. විරෝධය පෑම මගින් මිනිස්සු ඓතිහාසිකව මානව නිදහස සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබෙනවා වගේම වර්තමාන සමාජය අද තියෙන තත්ත්වයට පත්වීම සඳහා මිනිස්සුන්ගේ විරෝධයන් සෘජු බලපෑමක් වෙලා තියෙනවා. ඒ හන්දම වඩා සාධාරණ සමාජයක් සහ වඩා නිදහස් ජීවිතයක් වෙනුවෙන් මිනිස්සු සටන් කරන්නේ අරගල කරන්නේ කොතැනද, එතැනදි මම මගේ දායකත්වය ලබාදෙන්න පසුබට වෙන්නේ නැහැ.

සමාජයේ මේ වනවිට ෆේස්බුක් වැනි සමාජාලා වෙබ් අඩවිවල මානව හිමිකම් සුරක්ෂිත කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීව සිටින තරුණ ප්‍රජාවක් අපිට දකින්නට ලැබෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

ෆේස්බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවිවල තරුණ ප්‍රජාව ක්‍රියාකාරීව සිටීම හොඳ ප්‍රවණතාවයක්. යම් පුද්ගලයෙක්ගෙ අයිතියක් උල්ලංඝණය වූ විට ඉතාම ඉක්මනින් ඊට විරෝධය දක්වන්න ෆේස්බුක් වැනි සමාජජාලයකින් අවස්ථාව ලැබිල තියෙනවා. ඒ මගින් ඉතා හොඳ සංවාදයක් ඇති වී අවසානයේ හොඳ අදහසක් ඉස්මතු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ හරහා එකී අයිතිවාසිකම් උල්ලංඝණය සම්බන්ධයෙන් යම් සමාජ සංවාදයක් ගොඩ නැගීමටත් අයිතිවාසිකම් උල්ලංඝනයන්හිදී නිද්‍රාශීලී නොවී ඊට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් යම් අදහසක් සමාජගත කිරීමටත් හැකියාවක් ලැබිල තියෙනවා.

නමුත් මේ තත්ත්වය කොපමණ දුරකට යහපත්ව පාවිච්චි වෙනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම සිදුවීම් වාර්තාකරණයේදි අසත්‍ය තොරතුරු වැඩි වශයෙන් සංසරණය වෙනවා. ඒ නිසා ෆේස්බුක් පාවිච්චි කිරීමේදි වඩා වගකීමෙන් කටයුතු කිරීම පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. මූලික අයිතිවාසිකම් කඩකිරීමක් ගැන ෆේස්බුක් එකේ ඉතා ක්‍රියාකාරීව සංවාදයේ යෙදෙන තරුණ ක්‍රියාකාරිකයින් එතනින් නතර නොවිය යුතුයි. අදහස් පළ කිරීමෙන් පමණක් නොනැවතී ක්‍රියා කරන සමාජ ව්‍යාපාරයක් තවම දකින්න නැහැ. නමුත් මූලික අයිතීන් කඩවීමක් පිළිබඳව විරෝධය පළ කරන පළමුවැනි පියවර විදියට ෆේස්බුක් හරහා අදහස් ප්‍රකාශ කරන්නට ලැබීම ඉතා වැදගත්.

ඔබ සමබිම පුවත්පතේ පාඨකයෙක්. පුවත්පත ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?

මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන උනන්දුවක් තියෙන අයව ඉලක්ක කරගෙන සමබිම පුවත්පත ප්‍රකාශයට පත් කරන බවකුයි මට දැනෙන්නේ. සමබිම පුවත්පත මීට වැඩියෙන් සමාජගත යුතුයි කියන ස්ථාවරයක මම ඉන්නවා. සමහර ලිපි ගැඹුරු භාෂාවකින් ලියල තියෙනවා, ඒ ආකෘතිය වෙනස් විය යුතුයි කියලා මම යෝජනා කරනවා.

ddd

නම ජයන්ත දෙහිඅත්තගේ

සීමාවාසික පුහුණුව ලැබූ අවුරුද්ද හා කණ්ඩායම
2011 – 09 වන රයිට්ස් නව් සීමාවාසික කණ්ඩායම

රැකියාව

දැනට පෞද්ගලික නීතිඥවරයෙකු ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරියේ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරයෙකු ලෙස ද කටයුතු කරයි.

පැෆ්රල් සංවිධානයට සම්බන්ධ නීති උපදේශකවරයෙකු ලෙසද, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම සහ දහනමවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෙෘ්ධනය පිළිබඳව සම්පත් දායකයෙකු ලෙසද තම දායකත්වය එම ආයතනයට ලබා දී තිබේ.

පැෆ්රල් සංවිධානය සමඟ එක්ව ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පෙරවදනක්’ ඇතුළු ග්‍රන්ථ කීපයක් රචනා කර තිබේ

නීතිය සම්බන්ධ ලිපි, අයිතිවාසිකම් පිළිබඳ ලිපි පුවත්පත් හා සඟරාවලට රචනා කරන්නෙකි.

AFRIEL (Association of Friendship & Love)  සංවිධානය සඳහා සම්පත් දායකයෙකු ලෙස කටයුතු කරයි.

තරුණ නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය සමඟ අවශ්‍ය අවස්ථාවන්හිදි එක්ව පුරවැසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරයි.

සාකච්ඡා කර සකස් කළේ රුවිනි අයේෂා බියගම

Recent Posts

Leave a Comment