බලය බෙදීම සහ ඡන්ද අයිතියත් ආරක්ෂා කරමින් ලබාදුන් තීන්දුවක් 

Sep 22nd, 2017 | By | Category: LEAD NEWS, Today Lead News

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ, ව්‍යවස්ථානුකූලභාවය පෙත්සම්කරුවන් අටදෙනෙකු පමණ ප්‍රශ්නකර සිටියා. ඉදිරිපත් කරන ලද පෙත්සම්වල ප්‍රතිඵලයක් ලෙස ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 19 වැනිදා යම් කිසි තීන්දුවක් ලබා දෙනු ලැබුවා. මෙය ඉතාම කෙටි වගන්ති පහකින් යුතු සංශෝධනයක්. පළමුවැනි වගන්තිය මෙම කෙටුම්පත හඳුන්වාදීමේ වගන්තිය. පස්වැනි වගන්තිය අනුකූලතාවය සම්බන්ධ එනම් සිංහල දෙමළ ඉංග්‍රිසී භාෂා අතර ගැටලුවක් පරස්පරතාවයක් ඇති වුනොත් එය සිංහල භාෂාවෙන් බලාත්මක වෙනවාය යන්න ඇතුළත් පාඨය. ඒ අනුව මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගතය, ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කාරණා ඇතුළත් වන වගන්ති තුනක් පමණයි තිබෙන්නෙ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන තීරණයේ කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 12 සහ 14 යන වගන්තිවලට එය පටහැනි වන බව. සරලවම මෙම පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැහැ කියන දේ මෙයින් ගම්‍ය වෙනවා. 

21199636_1979407915670895_1713903847115112881_o

මෙම පනත් කෙටුම්පත යෝජනා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන වගන්ති හතරක් සංශෝධනය කරන්න. මෙම සංශෝධයේ එක වගන්තියකට අනුව පළාත් සභා විසුරුවන දිනය පාර්ලිමේන්තුවට බාර කිරීම ඇතුළත්. එසේම මෙහි පළාත් සභාවල කාලය ඉකුත් වීමෙන් පළාත් සභාවක් විසිරී වීම සිදු නොවන අතර පාර්ලිමේන්තුව විසින් නිශ්චිත කරන දිනයක් දක්වා පළාත් සභාවල කාලය දීර්ඝවේය යනුවෙන්ද වගන්තියක් ඇතුළත්. අනෙක් වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසින් නිශ්චිත දිනයක් නියම කිරීමට පෙර ආණ්ඩුකාරවරයා විසින් යම් හේතුවක් මත පළාත් සභාව විසුරුවා හැරියහොත් එතැන් සිට පාර්ලිමේන්තුව නියම කරන නිශ්චිත දිනය තෙක් එම පළාත් සභාවේ කටයුතු පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනවාය යන්න ඇතුළත් වෙනවා. ඒ අනුව මේ පනත් කෙටුම්පතෙහි ඇතුළත් කාරණා මඟින් යම් ආකාරයකට පළාත් සභාවලට දී ඇති බලතල ආපසු ගැනීමක් සිදුවෙනවාය යන්නයි මගේ අදහස. ශ්‍රේෂ්ඨාධිකරණය මේ දිහා බලන්නෙ එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලභාවය පිළිබඳ පමණයි. නමුත් මම මේ තුළ දකින දේ අනුව මගේ අදහස වෙන්නේ මෙම පනත් කෙටුම්පතහි ඇතුළත් 2, 3, හා 4 යන  වගන්ති තුළින් සිදුවෙන්නෙ පළාත් සභාවලට දී ඇති බලතල ආපසු ගැනීමක් සිදුවන බව. පළාත් සභා නිශ්චිත දිනයට පෙර විසුරුවන්නත් පුළුවන් එසේ නොවෙන්නත් පුළුවන්. නමුත් යම් ආකාරයකට එසේ විසුරුවා හැරීමක් සිදුවුවහොත් පාර්ලිමේන්තුව විසින් පළාත් සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම යන කාරණයේදී සිදුවෙන්නෙ දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට ලබා දුන් බලතල නැවතත් පාර්ලිමේන්තුව විසින් යම් කිසි කාලයකට හෝ ලබා ගැනීමක්. 

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් ගත්තොත් පළාත් සභාවේ හෝ පාර්ලිමේන්තුවේ බලතල ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් නෙවෙයි එහි අවධානය යොමු වී තිබෙන්නෙ, මේ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන වගන්තිවලටද බලපෑම් කර තිබෙන්නෙ යන්න සම්බන්ධයෙන්. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සටහන් කර තිබෙනවා. තුන්වෙනි ව්‍යස්ථාව කියන්නෙ ජනතා පරමාධිත්‍ය පිළිබඳ කාරණා ඇතුළත් ව්‍යවස්ථාව. මෙම සංශෝධනයේ දෙවැනි සහ තුන්වැනි වගන්තිවල ඇතුළත් වෙන්නෙ පළාත් සභාවල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන්. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව යම් කිසි පළාත් සභාවක ඡන්ද කල් ඇතිව පැවැත්වීම ජනතාවගේ ඡන්ද අයිතියට බාධාවක් නොවුනත්  ඡන්ද පැවැත්වීම කල් දැමීම ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කිරීමක් බව කියවෙනවා. ඒ වගේම මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවැනි වගන්තියත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියත් මෙම ප්‍රතිපාදන තුළින් උල්ලංඝනය කෙරෙන බව දක්වනවා. අවුරුදු පහක කාලයක් සඳහා පත් වුණ පළාත් සභා සමහරකට වැඩිපුර කාලයක් ලබා දීමත් ඇතැම් ඒවා කල් ඇතිව විසිර වීමත් විසින් පුරවැසියන් අසමානතාවයකට ලක්වන බව දැක්වෙනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) ව්‍යවස්ථාව අනුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන කාරණයට පටහැනිව මෙම සංශෝධනයේ ප්‍රතිපාදන යෙදී ඇති බව දැක්වෙනවා.

වරුණ කරුණාතිලක එදිරිව මැතිවරණ කොමසාරිස් නඩුවේදී ඡන්ද භාවිතා කිරීමේ අයිතියට හරස් වීම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වීමක් ලෙස සලකා තිබුණා. ඒ අනුව මෙම සංශෝධනය මඟිනුත් එම අයිතිය උල්ලංඝනය කිරීමක් සිදුවන බව පෙන්වනවා දී තිබෙනවා. 

මීට අදාළ වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 12(1), 14(1) යන ව්‍යවස්ථාද ඇතුළත්ව 83 වන ව්‍යවස්ථාවේ ඇතුළත් අනෙකුත් ව්‍යවස්ථා සංශෝධනයකට ලක්වන්නා වූ යම් කිසි පනත් කෙටුම්පතක් ගෙන ඒමේදී එවැනි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්තෙන් මෙන්ම ජනමත විචාරණයකින්ද සම්මත විය යුතුයි. එසේ නොමැතිව එය නීතියක් බවට පත් වෙන්නෙ නැහැ.  එසේ සම්මත වූ බවට ජනාධිපතිවරයා විසින් අත්සන් කළ යුතුද වෙනවා. ඒ අනුව මේ 20 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තකින් වගේම ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වී තිබුණා. මෙහි වඩා වැදගත් දේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පනත් කෙටුම්පත, ජනතාවගේ ඡන්ද අයිතියට, අදහස් ප්‍රකාශ කිරීමේ සහ සමානාත්මතාවයේ අයිතියට පටහැනි බව පෙන්වීම. එයින් එහා ගිහින් මම දකින දේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පළාත් සභාවලට දී ඇති බලතල සම්පූර්ණයෙන් නොවුනත් එයින් යම් කොටසක් නැවත පාර්ලිමේන්තුවට ගැනීමේ උත්සාහයක් මේ තුළ තිබෙන බව. බලය බෙදා හැරීමක් පිළිබඳ කතා කරන අවස්ථාවක එය එතරම් සුදුසු තත්ත්වයක් නෙවෙයි කියන එකයි මගේ අදහස. 

නීතිඥ ජගත් ලියනාරච්චි

 

Recent Posts

Leave a Comment