මොණරාගල බස් නැවතුම්පළ වෙනස් කළේ කවුද?

Oct 3rd, 2017 | By | Category: LEAD NEWS, පුරවැසි සංවිධාන, මානව හිමිකම්, සමබිම පුවත්

සංවර්ධනයේ නිම් වළලූ පුළුල් වන්නට වන්නට, ඉදිවන ගොඩනැගිලිවල නවීනත්වය, අලංකරණය සහ පහසුකම් පිළිබඳව උදම් අනනවා විනා ‘සමානාත්මතාවයට’ ගරු කරමින් සමාජයේ සියලූ මිනිසුන්ට එහි පහසුකම් සමසේ ලබා ගත හැකි ද යන්න සොයා බැලීමට රටේ මහජනතාවට, රාජ්‍ය ආයතනවලට මෙන්ම, ඉදිකිරීම් කටයුතුවල නිරත වන වගකීම් සහගත බලධාරීන්ට ද අමතකය. ඒ සියල්ලටමත් වඩා තමාට හිමි අයිතිවාසිකම් අමු අමුවේ කඩ වෙමින් පවතින බව දැක දැකත් එය නොදැක්කා නොඇසුනා සේ සිටින්නට බහුතරයක් දෙනා පුරුදු පුහුණු වී තිබේ. එවැනි සමාජයක තම අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව ශක්තිමත්ව අත්නොහැර ඒ වෙනුවෙන් සටන් කරන සමාජ ක‍්‍රියාධරයන් ද නැතුවාම නොවේ. ආබාධ සහිත පුද්ගලයන්ගේ එදිනෙකා කටයුතු බාධාවකින් තොරව සිදු කර ගැනීමට ඉඩපහසුකම් සලසා දීම මගින් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර දීමට කටයුතු කිරීම සමාජමය වගකීමක් බව අප අමතක නොකළ යුතු කාරණයකි.

2006/10/17 අංක 1467/15 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් 2006 අංක 01 දරන ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ  ප‍්‍රවේශ  නියෝගය නිකුත් කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා අලූතෙන් ඉදිකරන සියලූම පෞද්ගලික හා රජයේ ආයතන ගොඩනැගිලිවල ප‍්‍රවේශ පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් සනාථ කළ යුතු බවට නියෝග පනවන්නේ ආබාධ සහිත වූවන්ගේ අයිතිවාසිකම් නීතිමය ලෙස තහවුරු කිරීමේ අරමුණෙනි. කෙතරම් නීති රෙගුලාසි පනවා තිබුණ ද සමාජයක් වශයෙන් අනෙකාට ඇති ආදරය සැලකිල්ල කරුණාව සංවේදිතාවය දියුණු නොවන තාක්කල් ඒවා තවදුරටත් පොත්වලට පමණක් සීමා වනු ඇත.
ආබාධ සහිත පුද්ගලයන්ගේ වෙල්ලස්ස සංවිධානයට මොනරාගල දිස්ත‍්‍රික් මධ්‍යම බස් නැවතුම්පළ ප‍්‍රවේශ නියෝග කඩ කරමින් අනීතිකව සහ ශීලාචාර නොවන ආකාරයෙන් ඉදිවෙමින් පවතින බව දැන ගන්නට ලැබෙන්නේ බස් නැවතුම්පළෙන් සියයට හැටක පමණ ප‍්‍රමාණයක් නිමවා අවසන්ව ඇති අවස්ථාවකයි. ලක්ෂ 420 ක් පමණ ඇස්තමේන්තුගතව තිබූ මෙම නව ගොඩනැගිල්ල වෙත ගොස් පරීක්ෂා කළ ‘ආබාධ සහිත පුද්ගලයන්ගේ වෙල්ලස්ස සංවිධානයට’ දකින්නට ලැබුනේ විවිධ හැඩතලයන්, පඩිපෙළවල් සමගින් ඉදිකර තිබූ මෙම බස් නැවතුමෙහි කිසිදු ආකාරයක ප‍්‍රවේශ පහසුකමක් සනාථ කර නොමැති බවයි. එසේම ගොඩනැගෙමින් තිබූ වැසිකිළිවල ද ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික මෙවලම් යෙදීමට සැලසුමක් තිබුණු බව දකින්නට නොලැබුණෙන් මේ පිළිබඳ විමසීමට ‘විමසීම් මැදිරියට’ යාමට අවශ්‍ය වූ සංවිධානයේ සාමාජිකයින්ට ඒ වෙත ළගා වීමට සිදු වූයේ ද පඩිපෙළවල් තුනක් පමණ පසු කිරීමෙන් පසුවයි. මෙම අනීතික ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉදිකිරීම් කටයුතු සිදුකරන පුද්ගලයන්ගෙන් විමසුව ද ඔවුන් කිසිදු පුද්ගල නමක් ආයතනයක් නොදන්නා බව ඔවුන්ගේ පිළිතුර විය. එයින් නොනැවතී, එයින් නොසැලී අඩකට වඩා වැඩි ප‍්‍රමාණයක් තනා නිමකළ ගොඩනැගිල්ලක් තුළ තම අයිතිවාසිකම් ස්ථාපනය කිරීම වෙනුවෙන් ඔවුන් ආරම්භ කළ අරගලය නිම වන්නේ ප‍්‍රවේශ පහසුකම් සහිත නව බස්නැවතුම්පළකට අනුමැතිය ලැබීමෙන් පසුවයි. ‘ආබාධ සහිත පුද්ගලයන්ගේ වෙල්ලස්ස සංවිධානය’ ඒ අරගලය ගෙන ගිය ආකාරය පිළිබඳව එම සංවිධානයේ කළමනාකරු ජීවන් කොඩිතුවක්කු මහතා අප සමග සංවාදගත වූයේය.

“මොනරාගල නව බස් නැවතුම්පළෙහි මෙම අනීතික ඉදිකිරීම සම්බන්ධයෙන් අපි වෙල්ලස්ස පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන සේවා අධිකාරියෙන් සහ ඌව ගමනාගමන කොමිෂන් සභාවෙන් ලිඛිතව විමසීමක් කළා. නමුත් මෙම ඉදිකිරීමට ඔවුන්ගේ කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බවට ඔවුන් පිළිතුරු දුන්නා. අපි එයින් නැවතුනේ නැහැ, දින කිහිපයක් තිස්සේම අපි විවිධ පාර්ශ්වයන් ගණනාවකට දුරකථනයෙන් අමතමින් මෙම ඉදිකිරීම සම්බන්ධ ආයතනය පිළිබඳව හෝඩුවාවක් සොයා ගැනීමට වෙහෙසුණා. වෙල්ලස්ස සංවිධානයේ එක් සාමාජිකයෙකුගෙන් ලැබෙන තොරතුරකට අනුව මෙම ඉදිකිරීම මොනරාගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය විසින් සිදු කරන්නක් බව අපි දැන ගන්නවා. ඒ අනුව වහාම ක‍්‍රියාත්මක වෙමින් අම්පාර මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අමතා මෙම ඉදිකිරීම ගැන විමසා ස්ථානීය පරීක්ෂණයකට පැමිණෙන ලෙසට ඔහුට කළ ඉල්ලීමකට අනුව පසුදාම ගොඩනැගිල්ල ඉදිවන ස්ථානයට පැමිණීමට ඔහු එකග වෙනවා.

20170518_121332

ඒ අනුව ස්ථානීය නිරීක්ෂණයට අම්පාර මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා පැමිණෙන අතර එම ඉදිකිරීම තුළ ප‍්‍රවේශයට ඇති අයිතිය උල්ලංඝනය වී ඇති බව ඔහු පිළිගත් නමුත් නමුත් ඔහුට නැවත ප‍්‍රවේශය සනාථ කිරීමට නම් මොනරාගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත‍්‍රික් සැලසුම් අධ්‍යක්ෂකගේ අනුමැතිය අවශ්‍ය බව පවසන ලදී. එහිදී අපි ආබාධ සහිත පුද්ගලයන්ගේ ප‍්‍රවේශය සඳහා ඇති අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලීම් ලිපියක් ඔහුට භාරදුන්නා. එම ලිපියේ පිටපත් ගරු ජනාධිපති, ගරු අගමැති, පළාත් ප‍්‍රධාන ඇමති, පළාත් ප‍්‍රවාහන ඇමති, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය සහ ප‍්‍රාදේශීය සම්බන්ධීකාරක – බදුල්ල සහ දිස්ත‍්‍රික් ලේකම්තුමිය ඇතුළු අනෙකුත් උනන්දු පාර්ශ්වයන්ට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න අපි අමතක කළේ නැහැ.
විශේෂයෙන් මතක් කරන්න ඕනි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව, දිස්ත‍්‍රික් ලේකම් තුමිය ඇතුළු අනෙකුත් පාර්ශ්වයන් මෙම ගැටලූව විසඳීම සඳහා වහා ඉදිරිපත්වූ අතර මාධ්‍ය ආයතන පවා මෙම තත්ත්වය වාර්තා කරන්න පසුබට වුණේ නැහැ. මොනරාගල දිස්ත‍්‍රික් ලේකම්තුමියගේ මැදිහත්වීමෙන් මොනරාගල දිස්ත‍්‍රික් සැලසුම් අධ්‍යක්ෂකවරයා, අම්පාර මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා අපේ සංවිධානය සම`ග දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ රැුස්වී උද්ගතව ඇති තත්වය පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡුාවක් සිදුකළා. එහිදි වෙල්ලස්ස සංවිධානය වශයෙන් අපි ඔවුන්ට මෙම ගොඩනැගෙමින් පවතින බස් නැවතුම නීති, නියෝග සහ රෙගුලාසි කඩකරමින් ඉදිකර ඇති බවත් එය පවතින නීතීන්ට අනුව ඉදිකරන ලෙසටත් කරුණු පෙන්වා දුන් අතර ප‍්‍රවේශයට අදාල සියලූ නීතිමය ලියකියවිලි ද සාකච්ඡා මේසයට ඉදිරිපත් කළා.

ඒ අනුව ක‍්‍රියාත්මක වුණු මොනරාගල දිස්ත‍්‍රික් සැලසුම් අධ්‍යක්ෂකතුමා සහ අම්පාර මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීතුමා මොනරාගල බස්නැවතුමෙහි සැමට ප‍්‍රවේශය සහ සනීපාරක්ෂක පහසුකම් නියම ප‍්‍රමිතියට සකස් කරන බවට ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට, මොනරාගල දිස්ත‍්‍රික් ලේකම්තුමියට, වෙල්ලස්ස සංවිධානය ඇතුළු අනෙකුත් උනන්දු පාර්ශ්වයන්ට ලිඛිතව දන්වා බස්නැවතුමේ සැලැස්ම සැමට ප‍්‍රවේශය සනාථ වන පරිදි වෙනස් කරන බවට පොරොන්දු වුණා.”

එම පොරොන්දුවට අනුව එම දැනුම්දීම මේ වනවිටත් අදාළ පාර්ශ්වයන්ට සිදුකර තිබෙන බව ජීවන් කොඩිතුවක්කු අපට පැවසුවේ ජයග‍්‍රාහී ස්වරයකිනි.
වෙල්ලස්ස සංවිධානයේ මූලිකත්වය සහ අනෙකුත් උනන්දු පාර්ශ්වයන්ගේ මැදිහත්වීම නොවන්නට හෙට දිනයේ උත්සව ශ‍්‍රීයෙන් විවෘත වන මොනරාගල මධ්‍යම බස් නැවතුම්පළ සැමට සමබිමක් වීමට ඉඩක් නොතිබුණු බව ජීවන් කොඩිතුවක්කු සිහි කළේ මහත් ආඩම්බරයෙනි. තමන් සතු අයිතිවාසිකම් ඇස් පනාපිට කඩ වෙමින් තිබියදිත් ‘පොලිසි ගානෙ උසාවි ගානෙ රාජ්‍ය ආයතන ගානෙ රස්තියාදු වෙමින් ඕවා වෙනුවෙන් පෙනී සිටින්නට නොහැකි’ යැයි මැසිවිලි නගන බහුතරයක් ශ‍්‍රී ලාංකිකයන් වෙසෙන රටක ජනතාවට, ආබාධ සහිත වූවන්ගේ වෙල්ලස්ස සංවිධානය ලබා දුන්නේ අපූරු ආදර්ශයකි. තමා සතු අයිතිවාසිකම් දිනා ගන්නා තුරුම ඔවුහු අරගලය අත් හැරියේ නැත. අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් සමානාත්මතාවය තහවුරු කිරීම රාජ්‍යයේ වගකීමක් වනවා සේම අප සතු අයිවාසිකම් සුරක්ෂිත කර ගැනීමට, ඒවා වෙනුවෙන් පෙනී සිටීමට පුරවැසියන් වශයෙන් අපට ද යුතුකමක් තිබෙන බව අප අමතක නොකළ යුතුය.

සාකච්ඡා කර සකස් කළේ රුවිනි අයේෂා බියගම

 

Recent Posts

Tags: , , ,

Leave a Comment