අපි දෙවියන් ඇති තැනකට යං

Oct 4th, 2017 | By | Category: LEAD NEWS, උත්තර ධ්‍රැවය, උත්තරධ්‍රැවය, මානව හිමිකම්
ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර

ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර

සංහිඳියාව උදෙසා ප‍්‍රවීණ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන් සමගින් සමබිම ඇවිද යන ගීතමය චාරිකාවේ තවත් එක් නැවතුමකි මේ. ලෙයින් වැකි බිමකට සිහින් දිය බිඳක්ව මෙය වැගිරෙන්නේ ද, එය අපගේ අපේක්ෂාව ද වන්නේය.

ලංකා ඉතිහාසයේ කළු පැහැයෙන් දුර්වර්ණ වූ පරිච්ඡේදයක ඛේදනීය මතක මකා දැමිය නොහැකි පරිද්දෙන් ශේෂව ඇත්තේය. දමිළ බසින් කතා කළ අපේම රටේ මිනිසුන් කොටසකගේ හිස් මත පුපුරා ගිය ජාතිවාදයේ වෙඩි උණ්ඩ ‘ජූලි’ මාසය සදාකාලිකව සිදුරු කර තිබේ. එයින් මතු එළැඹුණ, එළැඹෙන සෑම ජූලි මසකම අතීත වේදනාවක ශේෂයන්ගේ කෙඳිරුමක් හෝ නැගෙන සිංහල යැයි කියනා පපු කොතෙක් මේ පොළොව මත තිබේ දැයි අපි නොදන්නෙමු. සිය අතීත වැරදි පිළිබඳ එවැනි රිදුමක් හෝ යමෙකුට ඇති වන්නේ ද එය වුව මෙවන් කලෙක වටින්නේය.
1983 වසරේ ජූලි මස මෙරට දමිළ ප‍්‍රජාව වෙත සිංහල ජනතාව මුදා හළ ප‍්‍රචණ්ඩත්වය ඉදිරියේ එවකට බලයේ සිටි රජය ද, රජයේ මර්දනකාරී යාන්ත‍්‍රණයන් වන පොලිසිය සහ හමුදාව ද මුනිවත රැුකීය. දමිළ මිනිසුන් මරා දමන්නට ද, පහර දෙන්නට ද, ඔවුන්ගේ දේපළ මංකොල්ල කන්නට ද, ස්ත‍්‍රී දූෂණයට ද එම වකවානුවේ ජූලි මස සිංහල මිනිසුන්ට නොනිල බලපත‍්‍ර ලැබී තිබුණේය. එවන් වටපිටාවක සාමාන්‍ය දමිළ වැසියන් කිසිදු හව්හරණක් නොමැතිවම මේ ප‍්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වූහ. කළු ජූලිය ඉන් නිමා වුව ද එය එතෙකින් නොනිමෙන ජාතිවාදී ගින්නකට මග සැලසුවේය. පසුකලෙක ‘තමිල් ඊලාමයක්’ ඉල්ලා උතුරේ දමිළ වැසියන් ආයුධ අතට ගැනීම පිටුපස 1983 කළු ජූලියෙන් හටගත් වේදනාව තැවරී නොතිබුණේ යැයි කාට කිව හැකිද?

“මේ පාළු සීතල රාත‍්‍රියේ ඈතින් ඇසෙන කවියක් වගේ
නුඹ ගැන මතකය පිච්ච මල් සුවඳයි උමා…
…නුඹ සැතපෙන ලැයිම් කාමරේ
කුප්පි ලාම්පු එළියක්වත් නොපෙනෙයි
මා දෙනෙත ටිකෙන් ටික පියවෙන විට
මර ළතෝනියක හඩ ඈතින් ඇසෙයි…”

කළු ජූලිය මෙරට බොහෝ කවියන්ගේ සිත් සසල කර තිබුණේය. රට පුරා විසිරී සිටි දමිළ ජනතාවට එරෙහිව දියත් කෙරුණු කළු ජූලියේ මරණීය සෙවනැලි වතුකරයේ ජීවත් වූ දෙමළ ජනතාව තුළ ද ඇති කළ බිය, තිගැස්ම සුදත් ගාමිණී බණ්ඩාර නමැති කවියා කුරුටු ගෑවේ එලෙසිනි. උමා පිළිබඳ වන මතකය කවියාට පිච්ච මල් සුවඳක් සේ හදවත පුරා ඉහිරී තිබුණ ද දෙසවන් පුරා ළතෝනියක් පමණක් දෝංකාර නැගෙන්නේය. ඇය දෙස බලන්නට දෙවියනට අමතකව තිබුණේය. ‘දුම්බර මතකය’ නැමති ඔහුගේ කාව්‍ය සංග‍්‍රහයේ ඇතුළත් මෙම කවිය පසුකලෙක ඔහු, තුමුන නමුණුකුලගිරි හිස නමින් ගීතයක් බවට ද පත් කරන ලද්දේය. කලක් මන්නාරම දිස්ත‍්‍රික්කයේ ගත කිරීමෙන් ලද අත්දැකීමෙන්ද 1983 කළු ජූලියේදී මොනරාගල දමිළ ජනතාව වෙත මුදාහළ ප‍්‍රචණ්ඩත්වයෙන් ද සසලව ගිය රත්න ශ‍්‍රී විජේසිංහ කවියා ද සිය අත්දැකීම් ගීතයක් බවට පත් කළේය.

“ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමං
කුංකුමං තෙමා අහසේ හඩන චන්දිරන්
පාන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුන්
ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යං”

උමාලාට හෝ ශාන්තිනීලාට සිදුවූ ඒ වින්නැහිය බලන්නට එක්කෝ ඔවුන්ගේ දෙවොලේ දෙවියන් සිටියේ නැත. නැතිනම් ඔවුන් දෙවියන් වැඩසිටින තැනක සිටියේ නැත. අවිහිංසක ශාන්තිනීලා උමාලා පා තැබු දෙවියන්ගේ දොවොල ජාතිවාදී පා පහසින් කිලිටි වී තිබිණි. දෙමළ යැයි කියා සිංහලූන් වෙඩි තැබූ ශාන්තිනීලාගේ පපු ගැඹුරෙන් ගලා ගියේ රතු ලේ කැටිතිම වුව අප මෙතෙක් නොදුටුවේ ද එයමය. තිස්වසක වාර්ගික යුද්ධයකට බීජ වැපිරූ ඒ ජූලි මස කිසි දා මැකී නොයන කළු පැල්ලමක් පමණක් අවසන ඉතිහාසයට ඉතිරි කර ගත්තේය.
කළු ජූලියෙන් කම්පා වූ කිවියර රත්න ශ‍්‍රී විජේසිංහයන්ගේ සිත ශාන්තිනී ගීතය ලිවීමෙන් සැනහුණේ නැත. එයින් ඇති කළ කම්පනයෙන්ම ඔහු “ශිවරමනි අඩන්නෙපා එකවරක් හිනැහිලා යන්න”යි ලීවේය. කළු ජූලිය විසින් ඇති කළ ජාතිවාදී ගිනිදැල් තවමත් නොනිවී දැල් වෙන බවත් සිය ආදරය ඒ තුළ අහිමිව ගිය බවත් රත්න ශ‍්‍රී අපට කියන්නේය.
“ඔය කඳුළු සිංහලට නගන්න බැරි වෙයි මට කිසිදා”

දශක ගණනාවක් පුරා ජාතිවාදයේ අතුල් පහරින් බැට කෑ දමිළ මිනිසුන්ගේ කඳුළු, වේදනාව සිංහලයාට පැහැදිලි කර දෙන්නට කවියා ද අපොහොසත්ය. මිනිසෙකුගේ ඇසට උනන කඳුළුකට පාටක් ද ජාතියක් ද ආගමක් ද නැත්තේය. එය යමෙකුගේ වේදනාව පමණක් දරා සිටින්නේය. එහෙත් දශක ගණනාවක් අපි එකිනෙකාට ඇන කොටා ගනිමින් කඳුළු ද ලේ ද වර්ග කර ගත්තෙමු. සිංහල දමිළ මිනිසුන් එකට ජීවත්වන රටක් වෙනුවට අපි සිංහල අපේ රටක් ගැන සිහින දුටුවෙමු. “සාමාටත් අමරටත් මල් පිපීදැයි බලන්න” එන්න කියන්නට අපිට අමතකව තිබිණි. මල් පිපෙන්නේ සාමා ද අමර ද ඇති ලෝකයක මිස අමර පමණක් හුදෙකලා වූ ලෝකයක නොවන බැව්, දීර්ඝ කාලීන යුද්ධයකට සම වැදුණු අපි අමතක කර දැමුවෙමු.

“කළු ජූලි මාසේ තවම දැවේ ගින්දර නෑ නිවිලා
නුඹ කඩා දැමු මලක් වගේ මලානිකව හිටියා
බෝඩිමට ඇවිත් අප්පා දුව එක්ක යන්න කියල
මට කිසි දවසක මල් නොපිපෙන රටක් ඉතිරි කරල”

මේ බිමේ ශිවරමනිලා නමැති මල්වලට පිපෙන්නට ඉඩක් නැත. කළු ජූලියේ ආයුධ පොලූ මුගුරු එසවුණේ ද තිස් වසක් පුරා ගහ මරා ගත්තේ ද උමාලාට ශාන්තිනීලාට ශිවරමනිලාට මේ බිමට අයිතියක් නැති බව කියන්නටය. “කළු ජූලිය විසින් පන පොවනු ලැබූ මහා යුද්ධයක කුරිරු බව සහ ම්ලේච්ඡත්වය අත්විඳි සමාජයක නැවත නැවත ඒ ගිනි දැල් නැගෙන විට ඒ දෙස නොපෙනෙන දෑසින් කලාකරුවන්, මහා බුද්ධිමතුන් දේශපාලකයන් බලා සිටින රටක ඉපදීම මොන තරම් අවසානාවක් ද කියල මට හිතෙනවා”යැයි අවසානයේ ජයතිලක බණ්ඩාරයන් මිමිණුවේය.
කළු ජූලිය ගෙවී තිස් හත් අවුරුද්දක් ද තිස්වසක යුද්ධයක් ද අවසන්ව තිබියදීත් අපි තවමත් ශාන්තිනීලාගේ කඳුළු සිංහලෙන් කියවා ගන්නට බැරිව හිඳින්නෙමු. ඉදින් ශිවරමනීට ද, ශාන්තීනිට ද, උමාට ද කියන්නට ඇත්තේ ‘අපි දෙවියන් ඇති තැනකට යමු’ කියාය.

ශිවරමනි අඩන්නෙපා එකවරක් හිනාවෙලා යන්න ඇහේ කඳුළු පිසදා
ඔය කඳුළු සිංහලට නගන්න බැරි වෙයි මට කිසි දා

කළුජූලි මාසේ තවම දැවේ ගින්දර නෑ නිවිලා
නුඹ කඩා දැමූ මලක් වගේ මලානිකව හිටියා
බෝඩිමට ඇවිත් අප්පා දුව එක්ක යන්න කියල
මට කිසි දවසක මල් නොපිපෙන රටක් ඉතිරි කරල
මේ නුවර දමා ඈත ගමට යන්නම බෑ කියල
අත පුරා වළලූ එල්ලීගෙන මග දිගටම ඇඩුවා
ඔබ හිතේ බරක් පොදි බැඳගෙන ඉන්න එපා නොනිදා
ඒ හැම දුකක්ම තියා යන්න මගේ නමට පවරා

ගායනය – ජයතිලක බණ්ඩාර
පද රචනය – රත්න ශ‍්‍රී විජේසිංහ
සංගීතය – අජිත් ජයවීර

සමබිම 2017 ජුලි_ අගෝස්තු කලාපයට ජයනි අබේසේකර විසින් සකස් කරන ලද ලිපියකි.

Recent Posts

Tags: , , ,

Leave a Comment