නීතිඥ සුදර්ශන ගුණවර්ධන නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට

Oct 12th, 2017 | By | Category: LEAD NEWS

ආචාර්ය රංග කලංසූරිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධූරයේ වැඩ බැලීම සඳහා  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පත්කරනු ලැබ තිබේ.

මෙම පත්වීම ඊයේ (ඔක්තෝබර් 11)  සිදුකර ඇති බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් තහවුරු කෙළේය.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සුදර්ශන ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධුරයට පත් කරන ලද්දේ 2017 ජුනි මස 19 දිනය. ඉන් අනතුරුව ඔහු ජාතික ගුවන්විදුලිය නැවතත් ශ්‍රාවකයන් අතර ප්‍රචලිත කිරීම උදෙසා පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් දියත් කළේය. එම ප්‍රතිසංස්කරණ කටයුතු නිමා වන තුරු සංස්ථා සභාපති ධූරය දැරිය යුතු බැවින් මෙලෙස වැඩ බලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කර තිබෙන අතර එම කටයුත්ත නිමා වීමෙන් පසු ස්ථිර අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස කටයුතු කරනු ඇත. 

2007 දී රයිට්ස් නව් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සාමූහිකය නම්  ප්‍රජාතන්ත්‍රවාදය ජාතික සංහිදියාව සහ මානව හිමිකම් ප්‍රචලිත කිරිම සදහා වන සිවිල් සමාජ සංවිධානය පිහිටුවීමේ පුරෝගාමියෙකු වූ සුදර්ශන ගුණවර්ධන මහතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයේ විධායක ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. 

2009 දී ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් අනතුරුව බිහිවූ සිවිල් සමාජ ව්‍යාපාරයක් වන ‘නිදහසේ වේදිකාව’ සංවිධානයේ සම කැඳවුම්කරුවෙකු ලෙස කටයුතු කළ ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන නිදහස්, සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. 

2015 වසරේදි රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ උපදේශක මණ්ඩල සාමාජිකයෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුදර්ශන ගුණවර්ධන මහතා පත් කරන ලදී. එමෙන්ම 2016 දී ජාතික මානව හිමිකම් ක්‍රියාකාරි සැලැස්ම සැකසීම සඳහා වන උපදේශකයෙකු ලෙසද එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඔහු පත් කරන ලදී.  

සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායෙහි බස්නාහිර කලාපීය බලකායේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කර ඇත. 

මැතිවරණ නිරීක්ෂණය පිළිබඳව විශේෂඥකු වශයෙන් සුදර්ශන ගුණවර්ධන මහතා 1999 වසරේදී නැගෙනහිර ටිමෝරයේ ජනමත විචාරණය සංවිධානය කිරීමට සහභාගි වූ අතර, 2000 දී කොසෝවෝ හි ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු වලටද දායක විය. 

නිදහස් දේශපාලන විශ්ලේෂකයෙකු, ලේඛකයෙකු සහ මාධ්‍යවේදියෙකු ද වන ඔහු ජාතික රූපවාහිනියේ සංවාද වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස ද කටයුතු කර ඇත.

සුහදශීලී මහත්මයෙකු ලෙස ප්‍රකට සුදර්ශන ගුණවර්ධන මහතා ආයතන පරිපාලනයේ දී අත්තනෝමතික දැඩි මතධාරියෙකු නොවී කටයුතු කිරීමේ දක්ෂයෙකු බව තම ක්‍රියාකාරිත්වය විසින් මෙතෙක් ප්‍රදර්ශනය කර තිබේ.

නව ධූරය සාර්ථක කර ගැනීම සඳහා  ඔහුට සුබ පතන්නෙමු..!  

(ලංකා ඊ නිව්ස්  වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී – http://www.lankaenews.com/news/6484/si)

Recent Posts

Leave a Comment