ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සංවාදයට මේ හොඳම වෙලාවයි

Oct 13th, 2017 | By | Category: EDITOR'S CHOICE, LEAD NEWS, කාලීන, දැනුම, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමබිම ඉරිදා අතිරේකය, සමබිම පුවත්

383e649f18cc6069882f006bbfe2eca5_XLසැප්තැම්බර් 06 වැනි සිකුරාදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා ස්වදේශිය සේවය ඔස්සේ විකාශය වූ සුභාරතී වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහභාගී වූ අතර වර්තමාන සමාජ දේශපාලනික කාරණා පිළිබඳව මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය, මැතිවරණ ක්‍රමය සහ පළාත් සභා ක්‍රමය පිළිබඳවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඔහුගෙන් ඉදිරිපත් විය. මෙම සාකච්ඡාව නීතිඥ කේ. ඩඞ්ලිව් ජනරංජන විසින් මෙහෙයවනු ලැබූ අතර මෙම සටහන එම වැඩසටහන ආශ්‍රයෙන් සකස් කරන ලද්දකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පක්ෂයේ අදහස ලෙස ඔබ දකින්නෙ කුමක්ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ කමිටුවේ මමත් සාමාජිකයෙකු වෙනවා. නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට විස්සක් පමණ අප පවත්වා තිබෙනවා. 1978 ව්‍යවස්ථාව අපේ රටේ ක්‍රියාත්මක වීමෙන් අනතුරුව 19 වතාවක් පමණ සංශෝධනය කිරීම්වලට ලක්ව තිබෙනවා. ඒ වගේම එවැනි සංශෝධනයන්ට උත්සාහ කර භාගෙට නවත්වපු අවස්ථා තවත් විස්සක් පමණ තිබෙනවා. එතරම් ප්‍රමාණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම්වලට යොමු වීම තුළම දකින්න තිබෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවය. ලෝකයේ කිසිදු රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෙල්ලිපියක් වගේ හදන්න බැහැ. කාලෝචිතව වර්තමාන සමාජ, ආර්ථීක, දේශපාලනික මට්ටම අනුව, නව අවශ්‍යතාවයන් අනුව ව්‍යවස්ථාව වෙනස් වීමේ අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා. පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සිදුවී ඇති ආකාරය දෙසත්, සිදුව ඇති සංශෝධන දෙසත් බැලීමේදී අද සිදුවන දේ ගැන සතුටු විය හැකියි. මොකද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ලාල් විජේනායක කමිටුව දිස්ත්‍රික්ක මට්ටමින් මහජනතාවගේ සිටම අදහස් විමසීම සිදුකරනු ලැබුවා. ඒ වගේම මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කර කමිටු පත් කරනු ලැබුවා. එම කමිටුවල සභාපති ධුරයන් විපක්ෂයේ අයටත් ලබා දී එහි ඒ ඒ කමිටුවල අදහස් ගැනීමක් සිදුවුණා. ඒ වගේම අග්‍රාමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුතු මෙහෙයුම් කමිටුවක් සකස් කරනු ලැබුවා. ඒ අනුව ඕනෑම පුරවැසියෙකුට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියට තමන්ගේ අදහස් දැක්වීමේ අවස්ථාව මෙහි තිබුණා. තවමත් එය අවසන් නැහැ.

රජයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ස්ථාවරය වෙන්නෙ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතුයි කියන දේ. නමුත් එහි පියවරයන් තිබෙනවා වුනත් අද කණගාටුවට කරුණ වෙන්නෙ බොහෝ දෙනා කටයුතු කරන්නෙ මේ පියවරයන් සහ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයකින් තොරව. අපේ රටේ විද්වතුන් යැයි කියාගන්නා අය පවා මේ හදා තිබෙන යෝජනාවලියේ කරුණු කියන්නෙ දැනට නීතිගතව තිබෙන ව්‍යවස්ථාවක කරුණු කියනවා වගේ. මෙය යම් ආකාරයක විකෘති කිරීමක්. මේ ව්‍යවස්ථා යෝජනාවලියේ කරුණු නමයක් තිබෙනවා. මේවා එකින් එක අරගෙන රටට සිදුවිය හැකියැයි සැලකෙන හානි සියල්ලක්ම ඒ ඔස්සේ අර්ථ විග්‍රහ කිරීමයි සිදුවෙන්නෙ. නමුත් ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් අපිවත් කවුරුවත් දන්නෙ නැහැ තවම මේ එන කෙටුම්පතවත් කුමක්ද කියල. ඒ නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය පිළිබඳ රට නොමඟ යවන ආකාරයේ ප්‍රකාශයන් නිකුත් කර එය කඩාකප්පල්කාරී කිරීම වෙනුවට මෙය හොඳින් කියවන්න කියන දේ කිව යුතුයි.

මෙහි යෝජනා නමයක් තිබෙනවා. දැන් තමයි මේ සම්බන්ධයෙන් තවදුරටත් දායක වීමේ අවස්ථාව තිබෙන්නෙ. දැන් ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය තුළ ඉන්න පිරිස් එයින් ඉවත් වීම නෙවෙයි විය යුත්තේ, හිටියටත් වඩා සක්‍රීයව මෙයට දායක වීම. මේ තාක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේත් කමිටුවලත් ඉන්න කිසිවෙකුගෙත් අදහස් තලා පෙළා යට කරල නෙවෙයි මේ යෝජනා ඉදිරිපත්ව තිබෙන්නෙ. ඒ නිසා අපේ ඉල්ලීම වෙන්නෙ මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා තමන්ගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න කියල. මොකද අද සියල්ලන්ටම අවස්ථාව උදා වෙලා තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියකට දායක වෙන්න.

බලය බෙදීම කියන කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන අදහස මොකක්ද?

උතුරු නැගෙනහිර හැර අනෙක් පළාත් හතේම ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරු බලය බෙදා දීම සම්බන්ධයෙන් තමන්ගේ අත්දැකීම් ආශ්‍රයෙන් පොදුවේත් ඒ ඒ අයගේ යෝජනා වෙන වෙනමත් ඉදිරිපත් කර තිබෙනවා. මම පළාත් සභා අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරන විට ප්‍රාඥප්ති තුනක් ගෙනාවා. කිසිදු පළාත් සභාවක් ඉඩම් ප්‍රඥප්තිය ගෙනත් නැහැ. නමුත් මම ඉඩම් ප්‍රාඥප්තිය ගෙනත් සම්මත කළා. ඒත් ඇත්ත කතාව ඒ බලය දුන්නෙ නැහැ. උදාහරණයකට පළාත් සභාව හොඳ ඉස්පිරිතාලයක් හැදුවම ඒක මධ්‍යම ආණ්ඩුවට ගන්නව වගේ වැඩ සිද්ධ වෙනවා. මේවා දකුණටත් තිබෙන ප්‍රශ්න. ඒ නිසා මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගත්තම බලය විමධ්‍යගත කිරීමේදී තිබෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒ දිහා අපි සුබවාදීව බලනවා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පදනම් කර ගත් බලය බෙදීමකට යායුතුයි කියන ස්ථාවරයේ බොහොම පැහැදිලිව ඉන්නවා.

පළාත් සභාවේ ඇමතිවරයෙක් ලෙසත් ඔබ කටයුතු කළ නිසා ආණ්ඩුකාරවරයාගේ බලතල සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම මොකක්ද? 

මෙහි යම් යම් සංශෝධනය වීම් සිදුවිය යුතු දේවල් තිබෙනවා. ආණ්ඩුකාරවරයෙක් අනිවාර්යෙන්ම සිටිය යුතුයි. ඔහු හෝ ඇය ජනාධිපතිවරයාගේ නියෝජිතයා විය යුතුයි. යම් පළාත් සභාවක් රටේ තිබෙන නීතියට පරිබාහිරව කටයුතු කළොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන ක්‍රමවේදයක් තිබිය යුතුයි. ස්වාධීන කොමිසන් සභාවකට, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ට යනාදී ඕනෑම කෙනෙකුට ඕනෑම ආයතනයකට යම් කිසි ආකාරයක නියාමනයක් පාලනයක් තිබිය යුතුයි. ඒ ක්‍රියාවලිය වෙනුවෙන් ආණ්ඩුකාරවරයා අනිවාර්යෙන්ම සිටිය යුතුයි. ඒ වගේම පළාත් සභාවේ අභ්‍යන්තර පරිපාලනය සම්බන්ධ ඇතැම් කටයුතුවලදී ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීම් සම්බන්ධයෙන් පළාත් සභාවේ අමාත්‍යවරු උදාහරණ සහිතව යම් යම් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් යම් සංශෝධනයක් කිරීම සාධාරණයි කියල මම හිතනවා.

 

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඔබ දකින මූලික ලක්ෂණ මොනවද? විශේෂයෙන්ම පළාත් පාලනය සම්බන්ධයෙන්. 

අපේ රටෙත් ලෝකයේත් වෙනත් ඕනෑම රටකත් සියලුම දෙනාට පිළිගත හැකි අන්දමේ සාධාරණ මැතිවරණ ක්‍රමයක් නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් 1977දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට විසිපහක් ගත්තා. මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව අටයි. දෙමළ සන්ධානය සියයට හයක් ගත්තා. මන්ත්‍රී ධුර දාහතයි. ඒ වන විට තිබුණ කොට්ඨාස ක්‍රමයේ අඩුපාඩුවක් ඒක. එයින් පසුව සමානුපාතික ක්‍රමය ක්‍රියාත්මක වුණා. එහිදී උදාහරණයක් ගත්තොත් දොම්පේ ආසනය කියන්නේ හැම මැතිවරණයකදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට හැත්තෑවකට වැඩිය ඡන්ද ලැබෙන ආසනේ. මන්ත්‍රීවරයෙක් නැහැ. 2015 මැතිවරණයේදීත් ගම්පහ වැඩි ඡන්ද දොළොස් දහසකිනුත් දොම්පේ වැඩි ඡන්ද දහදාහකිනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරත් මේ ආසන දෙකටම මන්ත්‍රීවරු නැහැ. ඒ අනුව පේනවා මේ ක්‍රම දෙකේම තිබුණ අඩුපාඩුකම්. නමුත් නව මැතිවරණ ක්‍රමය තුළ මෙම ක්‍රම දෙකම ඇතුළත් වෙනවා. සමානුපාතික මැතිවරණ ක්‍රමය හොඳ වුනත් නරක තිබෙන්නෙ මනාප ක්‍රමය ඇතුළේ. උදාහරණයක් විදිහට භාරත ලක්ෂ්මන් මහතා නැතිවුණේ වෙන වෙන පක්ෂවල පිරිස් ගහගෙන නෙවෙයි. මනාප ක්‍රමය නිසා එකම පක්ෂයේ දෙන්නෙක් ගහ මරා ගත්තා. ඒ වගේම එන්න එන්නම මුදල් කියන සාධකය එක්ක මැතිවරණ ක්‍රම ගැටගැහුණා. ගම්පහින් මහාචාර්ය ඒ. වී. සුරවීර මැතිතුමා පළමු සැරේට තරග කරල ජයග්‍රහණය කළා. නමුත් ඊළඟ මැතිවරණයට එවැනි කෙනෙකුට නියෝජනය කරන්න ලැබෙන්නෙ නැහැ මුදල් පිළිබඳ සාධකය නිසා. මැතිවරණයකට අධික මුදලක් වියදම් කරන්න සිදුවීම නිසාම දේශපාලකයන් වැරදි දේවලට යොමු වීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසාම සැබෑ නියෝජනයක් මේ මැතිවරණ ක්‍රමයන් තුළ දකින්න ලැබුණේ නැහැ. නමුත් නව මැතිවරණ ක්‍රමය තුළ කොට්ඨාසයකට මන්ත්‍රීවරයෙක් අනිවාර්යෙන්ම ඉන්නවා. සියලුම දේශපාලන පක්ෂවලට ඒ ලබාගත් ඡන්ද ප්‍රතිශතය අනුව මන්ත්‍රී ධුර සංඛ්‍යාවකුත් අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනයේ මුළු සභිකයෝ සංඛ්‍යාවෙන් සියයට විසිපහක් කාන්තාවන් නියෝජනය වෙනවා. පළාත් පාලන මැතිවරණයේ මුළු කොට්ඨාස ප්‍රමාණයෙන් සියයට දහයක් අදාළ පළාත් පාලන ආයතනයේ මුළු සභික සංඛ්‍යාවෙන් සියයට දහයක් කොට්ඨාස වලිනුත් පොදු ලේඛනයෙන් සියයට පනහකුත් වශයෙන් කාන්තාවෝ තරග කළ යුතු වෙනවා. අවසානයේදී මුළු මන්ත්‍රී සංඛ්‍යාව විසිඅටක් නම් අවම වශයෙන් එහි හත්දෙනෙක් කාන්තාවන් විය යුතුයි. ඒ වගේම ලංකාවෙම 8423ක් පමණ සිටින පළාත් පාලන නියෝජිතයින්ගෙන් 2200ක් පමණ අනිවාර්යයෙන්ම කාන්තා නියෝජිතවරියන් විය යුතුයි. ඒ අනුව කාන්තා නියෝජනය නිසි පරිදි ලැබෙන, කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක් ලැබෙන, මනාප ක්‍රමය නැති, සමානුපාතික ක්‍රමය යටතේ ඒ අදාළ පක්ෂවලට හිමිවන මන්ත්‍රී ධුර ප්‍රමාණයත් ලැබෙන ඉතාමත් සාධාරණ යුක්ති සහගත නියෝජනයක් ලැබෙන මැතිවරණ ක්‍රමයක් පළාත් සභාවටත් පළාත් පාලන ආයතනවලටත් හඳුන්වා දී තිබෙනවා කියන එකයි මගේ අදහස.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීම ඇතුළේ අලුුත් මැතිවරණ ක්‍රමය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයග්‍රහණය සඳහා තිබෙන බලාපොරොත්තුව අඩුයි කියල ඇතැම් අය තර්ක කරනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද? 

මැතිවරණ ක්‍රමය ගැන දන්නෙ නැති අය එහෙම කියනවා. උදාහරණයකට අපි හිතුවොත් කලින් මැතිවරණ ක්‍රමය තුළ පළාත් සභාව පිහිටුවීමේදී මැතිවරණ සභිකයෝ තිස්දෙනෙක් ඉන්න සභාවක එක පක්ෂයකට 12කුත් තව පක්ෂයකට 10යකුත් තවත් පක්ෂයකට 08කුත් වශයෙන් ගියා නම් නිල වශයෙන් 12 දෙනෙකු ඉන්න පක්ෂයට කියනවා සභාපති උපසභාපති පත් කරන්න කියල. නමුත් දැන් මැතිවරණ ක්‍රමය අනුව එය වෙනස් වෙනවා. සභිකයන් 15වක් හෝ ඊට වැඩියෙන් ගන්න නොහැකි වුනොත් ඒ කියන්නෙ මුළු ආසන සංඛ්‍යාවෙන් භාගයකට වඩා ගන්න නොහැකි වුනොත් ඒ සභාවේ මන්ත්‍රීවරු සියල්ලම එකතු වෙලා සභාපති උපසභාපති තෝරාගත යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද කණ්ඩායම් දෙකක් ඉන්නවා කියන දේ පිළිගත යුතු කාරණාවක්. මම පහුගිය මැතිවරණ සියල්ලක්ම නව මැතිවරණ ක්‍රමයට ආදේශ කරල බැලුවා. මම දකින දේ තමයි මේ මැතිවරණ ක්‍රමය තුළ පක්ෂ හැකිතාක් සන්ධානගත වෙලා මැතිවරණයට ඉදිරිපත් වුනොත් පමණයි වාසියක් අත්වෙන්නෙ. ඒ අනුව මේ මැතිවරණ ක්‍රමය අද ගම්වලත් පක්ෂවලත් එක්කහු වී වැඩ කිරීමේ ක්‍රමයකට යොමු කරල තියෙනවා. ■

2017.10.15 වන දින රාවය සමබිම ඉරිදා අතිරේකයට ජයනි අබේසේකර විසින් සකසන ලද ලිපියකි.

Recent Posts

Tags: , ,

Leave a Comment